බයිඩන්ගේ දිවුරුම් දීම වෙනුවෙන් ඇමරිකාවේ දැඩි ආරක්ෂාව

January 19, 2021

ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් ඇමරිකාවේ වොෂිංටන් ඩී.සී. අගනුවරට දැඩි ආරක්ෂාවක් පනවා තිබෙනවා.

2021 ජනවාරි 6 වනදා ට්‍රම්ප් පාක්ෂිකයන් විසින් ඇතිකරන ලද කැරැල්ල මෙන්ම එයින් අනතුරුව නව තර්ජනයක් පිළිබඳ වන අවිනිශ්චිතතාව හේතුවෙන් මෙවන් පියවර ගැනෙමින් ඇති බවයි වාර්තා වන්නේ.

පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් උත්සවයේ බොහෝ අංගවලට ජනතාව අන්තර්ජාලය ඔස්සේ සහභාගී කරගැනීමේ අදහස මුල පටන්ම තිබුණා. නමුත් ජනවාරි 6 සිද්ධීන් සමග එම තත්ත්වය තවත් තහවුරු වී තිබෙනවා. දිවුරුම්දීමේ උත්සවය පවත්වන ජනවාරි 20 වනදා වොෂිංටන් ඩී.සී. වෙත පැමිණීමෙන් වළකින මෙන් නගරාධිපතිණි මුරියල් බව්සර් ජනතාවගෙන් කෙලින්ම ඉල්ලා සිටියා.

ජාතික උද්‍යානය (National Mall) සහ වොෂිංටන් ඩී.සී. හි මාර්ග සමහරක් වසාදමා තිබෙන අතර කැපිටල් ගොඩනැගිල්ල ආදී ස්ථාන වටා අඩි හතක් උස වැටවල් පනවා තිබෙනවා. එම වැටවල් මුදුනේ කටුකම්බි ද යොදවනු ලැබ තිබෙනවා. මේ අතර Airbnb වැනි සේවාවන් වොෂිංටන් ඩී.සී. හි නවාතැන් ලබාදීම අත් හිටුවා තිබෙනවා. නගරාධිපතිණිය පවසන්නේ මින් පෙර මුහුණ නොදුන් තත්ත්වයකට නගරය මුහුණ දී සිටින බවයි.


වොෂිංටන් ඩී.සී. හි ජාතික ආරක්ෂක භටයින් පිරිසක් (LA Times)

වෙනත් දිවුරුම්දීමේ උත්සවවලදී ජාතික උද්‍යානය පිරී ඉතිරී යමින් රැස්වන සෙනග මෙවර දක්නට ලැබෙන්නේ නැහැ. ජෝ බයිඩන් කැපිටල් ගොඩනැගිල්ලේ පියගැටපෙළ මත වේදිකාවක දිවුරුම් දෙනු ඇති අතර උත්සව සභාවට පැමිණෙන පිරිස ද සමාජ දුරස්ථභාවය රැකීම අවශ්‍ය බව නිවේදනය කරනු ලැබ තිබෙනවා.

ජාතික ආරක්ෂක මුරභට හමුදාවේ 25,000 කට ආසන්න පිරිසක් නගරයේ ආරක්ෂාව සඳහා කැඳවා ඇති අතර ඔවුන් සියල්ලන්ම පිළිබඳ පසුබිම් පරික්ෂාවක් ඇමරිකාවේ ෆෙඩරල් රහස් පරීක්ෂක කාර්යංශය (FBI) විසින් සිදුකරන බව වාර්තා වුණා.

ආරක්ෂාව වැඩි කිරීම
පසුගිය සතියේ උප ජනාධිපති මයික් පෙන්ස් සමග ආරක්ෂක කටයුතු රැස්වීමකදී FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ව්‍රේ පවසා තිබුණේ අන්තර්ජාලය ඔස්සේ විශාල අදහස් හුවමාරුවීම් ප්‍රමාණයක් සිදුවන බව නිරීක්ෂණය කළ හැකි හෙයින් දැඩි ආරක්ෂාවක් යෙදීම අවශ්‍ය බවයි.

දිවුරුම්දීමේ උත්සවයෙහි ආරක්ෂාව භාරව සිටින්නේ එක්සත් ජනපද රහස් ඔත්තු සේවය (US Secret Service) යි. එය භාරව කටයුතු කරන ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය ලේකම් කෙන් කුචිනෙලි නොබෝ දා 60 Minutes වැඩසටහනේදී ප්‍රකාශ කළේ මෙම උත්සවයට අදාල ආරක්ෂක සැලසුම් කලක් තිස්සේ සූදානම් කළ බවයි. නමුත් මතුව ඇති නව තත්ත්වය හේතුවෙන් එම ආරක්ෂක වැඩපිළිවෙළ තීව්‍ර කරන්නට ඔවුනට සිදුවුණා. එමෙන්ම ජනවාරි 6 සිදුවීම්වලදී බෝම්බ දෙකක් සවිකළ පුද්ගලයා ඇතුළු ඇතැමුන් ඒ වනවිට ද සොයාගෙන නැති බවද ඔහු පෙන්වා දුන්නා.


ෆ්ලොරීඩා සිට පැමිණි ජාතික ආරක්ෂක මුරභටයින් පිරිසක් (AFP)

එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් මෙවන් ජනරාශීන් සිදුවන වැදගත් අවස්ථා හඳුන්වා දෙන්නේ “විශේෂ ආරක්ෂාව අවශ්‍ය ජාතික අවස්ථා” (National Special Security Event) ලෙසයි. එවැනි අවස්ථා පිළිබඳ ආරක්ෂක සැලසුම් මාස ගණනක සිට සැකසීම සාමාන්‍ය දෙයක්. නව ජනාධිපති දිවුරුම්දීමේ උත්සවයට සාමාන්‍ය තත්ත්වය යටතේ වුවද ජාතික මුරභට හමුදාවේ 10,000 ක් කැඳවීමට නියමිත වුණා.

එම සංඛ්‍යාව 25,000 දක්වා වර්ධනය කළා පමණක් නොව ඔවුන්ට සන්නද්ධ අංශ විසින් ගිනි අවි ද ලබා දුන්නා. මෙම සංඛ්‍යාව මේ වනවිට ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ සිටින ඇමරිකන් සන්නද්ධ අංශ සාමාජික සංඛ්‍යාවට වඩා වැඩි අගයක්. නවාතැන් ගැන්වීමට ප්‍රමාණවත් ඉඩ නොමැති හෙයින් මෙම භටයින් විශාල ප්‍රමාණයක් කැපිටල් ගොඩනැගිල්ලේම කොරිඩෝවල නවාතැන් ගන්වා තිබුණා.

රට පුරා ආරක්ෂාව
මේ අතර රටපුරා ප්‍රාන්ත කැපිටල් ගොඩනැගිලි ආසන්නයේ (ප්‍රාන්ත කොන්ග්‍රස් සභා ගොඩනැගිලි) විරෝධතා පැවැත්වීමේ ඉඩක් ඇති හෙයින් එම ස්ථානවල ද ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙනවා. පුරවැසියන්ට තුවක්කු දැරීමේ අවසර ඇති ස්ථානවල අවිගත් විරෝධතාකරුවන් ද සිටීමේ අවදානමක් පවතින හෙයින් තත්ත්වය තවත් භයානක වී තිබෙනවා.


කැපිටල් ගොඩනැගිල්ලේ කොරිඩෝවල නිදන ජාතික ආරක්ෂක භටයින් පිරිසක් (Getty Images)

කෙන් කුචිනෙලි කියා සිටියේ පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ සිදුවූ කතාබහ තුළ ඍජුවම වොෂිංටන් ඩී.සී. පිළිබඳ පමණක් නොව රටපුරා ප්‍රදේශ පිළිබඳ පොදුවේ කතාබහ සිදුවූ බවයි. එහෙයින් මෙම අවදානම වෙනත් තැනක ද මතුවිය හැකි බව ඔහු පෙන්වා දුන්නා.

පසුගියදා ජෝර්ජියා ප්‍රාන්තයේ සෙනට් සභා ඡන්ද විමසීම්වල ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ ජෝර්ජියා ප්‍රාන්ත කැපිටල් ගොඩනැගිල්ල අසළ අවිගත් විරෝධතාකරුවන් කිහිප දෙනකු දක්නට ලැබීම මෙම තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් වුණා. පසුගිය දිනවල ද ඇතැම් ප්‍රදේශවල මෙවන් උද්ඝෝෂණ වාර්තා වුණා.

නගරාධිපතිණි බව්සර් සඳහන් කළේ වොෂිංටන් නගරයේ ද දිවුරුම්දීමේ දිනයට කලින් පිරිස් රැස්වීමේ සූදානමක් පිළිබඳ අන්තර්ජාලය පිරික්සීමේදී දක්නට ලැබුණ බවයි. සාමාන්‍යයෙන් ආරක්ෂක විධිවිධාන පැනවීමට දින හයක් තිබියදී එම කටයුතු ක්‍රියාත්මක කරන ලද්දේ එහෙයින් බව ඇය පැවසුවා.


වොෂිංටන් ඩී.සී. හි මෙවර තරම් ආරක්ෂාවක් ඉතිහාසයේ කිසිවිටෙක පනවා නැති තරම් (EPA)

ජාතික ආරක්ෂක මුරභටයන්ගේ මෙන්ම ඇමරිකානු සන්නද්ධ අංශවල ද ප්‍රධානියා වන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වන අතර ජනවාරි 20 මධ්‍යහ්නය වනතුරු තත්ත්වය එසේ පවතිනවා. මේ අනුව ජනාධිපතිවරයාට ඔවුන්ගේ ක්‍රියාමාර්ග නවත්වා දැමීමට නියෝග කළ හැකියි. ප්‍රායෝගිකව ට්‍රම්ප් එවැන්නක් සිදුකරනු ඇතැයි සිතිය නොහැකියි. එහෙත් එවැන්නක් සෛද්ධාන්තිකව සිදුවුණද ඊට කිනම් ප්‍රතිචාරයක් ලැබේදැයි සැක සහිතයි. සන්නද්ධ අංශ මේ වනවිටත් දිවුරුම්දීමේ උත්සවය පිළිබඳ මැදිහත් නොවන බවත් එය සාමාන්‍ය පරිදි සිදුවිය යුතු බවත් නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ජනවාරි 20 වනදා මධ්‍යාහ්නයේදි ජෝ බයිඩන් මීළඟ ජනාධිපති ලෙස දිවුරුම්දීම අනිවාර්යයෙන් සිදුවන බව වොෂිංටන් ඩී.සී. නගරාධිපතිණිය පවසනවා.

මූලාශ්‍ර​
1. Photos show ramped-up troops and barriers locking down Washington, DC, ahead of Biden’s inauguration (Business Insider)

2. How Washington is bolstering security for the inauguration (60 Minutes)

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.