ඉන්දියාවේ INDIA සන්ධානයට මෝදි පරාද කළ හැකිද​?

July 22, 2023

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව පරාජය කිරීම සඳහා විපක්ෂ දේශපාලන පක්ෂ 26 ක එකතුවෙන් INDIA නම් වූ සන්ධානයක් ජූලි 18 වනදා ප්‍රකාශයට පත් කරනු ලැබුණා.

ජූලි 17-18 දෙදින තුළ කර්ණාටකයේ බෙංගලූරු නගරයේදී පවත්වන ලද විපක්ෂ දේශපාලන පක්ෂවල සම්මේලනයේදී මෙම සන්ධානය පිළිබඳ නිවේදනය කරනු ලැබුණා.

Indian National Developmental Inclusive Alliance හෙවත් ඉන්දියානු ජාතික සංවර්ධනවාදී අන්තර්ගෘහිත සන්ධානය නම් මෙම විපක්ෂ සන්ධානයට ඉන්දියානු ජාතික කොන්ග්‍රසය, ත්‍රිණමූල් කොන්ග්‍රසය, සමාජවාදී පක්ෂය, ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම්, ආම් ආද්මි පක්ෂය, ජනතා දාල් (එක්සත්), රාෂ්ත්‍රීය ලෝක් දාල්, ශිව් සේනා (උද්දව් බාල් ටාකරේ), ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂය (ශරද් පවාර් පාර්ශවය), ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය, ජාර්ඛන්ඩ් මුක්ති මෝර්චා යනාදී පක්ෂ ඇතුලත් වනවා.

මේ අනුව මෙම සන්ධානය 2024 මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය සහ එය ප්‍රමුඛව සැදුම්ලත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පරජය කිරීම උදෙසා තරග වදිනු ඇති.

INDIA යන නම තෝරාගැනීමත් සමග මෙම විපක්ෂ සන්ධානයට පැහැදිලි ප්‍රචාරක වාසියක් ලබාගන්නට හැකිවුණා.

කෙසේ වෙතත් එම නම තෝරාගැනීමටත් සැලකියයුතු තරමක සකච්ඡා සිදුවූ බවයි දේශපාලන ආරංචිමාර්ග කියා සිටියේ.


බෙංගලූරු නගරය විපක්ෂ රැස්වීමට සූදානම් කර තිබූ අයුරු

මීට අමතරව ජූලි 18 වනදා මාධ්‍ය ඇමතූ විපක්ෂ ප්‍රබලයින් සිය ඉදිරි වැඩකටයුතු පිළිබඳ වන සැලසුම්වලට අදාල කරුණු කිහිපයක් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව INDIA සන්ධානය මේ වනතෙක් අගමැති අපේක්ෂකයකු තෝරාගෙන නැහැ. එක් එක් සන්ධාන පාර්ශවකරුවන් කිනම් ආසන සඳහා තරග කරනු ඇතිදැයි ද තවම තීරණය කර ඇති බවක් පෙනෙන්නේ නැහැ.

තනි නායකයකු වෙනුවට සන්ධානයේ කටයුතු මෙහෙයවීමට 11 දෙනකුගෙන් යුක්ත කමිටුවක් නම් කරන බවත් මැතිවරණ කටයුතු මෙහෙයවීමේ ප්‍රධාන කමිටුවක් දිල්ලියේ ස්ථාපිත කරන බවත් අවශ්‍ය පරිදි අනෙකුත් කමිටු ද ස්ථාපිත කෙරෙනු ඇති බවත් කොන්ග්‍රස් පක්ෂ සභාපති මල්ලික්අර්ජුන් කර්ගේ කියා සිටියා.

කෙසේ වෙතත් විපක්ෂ සන්ධානයට මීළඟ මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් අභියෝග කිහිපයකට මුහුණදීමට සිදුවනු ඇති. මෙයින් එක් අභියෝගයක් වනු ඇත්තේ ජනතාවට නව බලාපොරොත්තුවක අවශ්‍යතාවය ඒත්තු ගැන්වීමයි. පවතින භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව සාර්ථක ලෙස කටයුතු කරන්නේ නම් එය බලයෙන් පහකිරීමේ අවශ්‍යතාවයක් ජනතාවට මතුවන්නේ නැහැ. එනම්, එම ආණ්ඩුව අසාර්ථක බව ජනතාව තුළ පුළුල් මතයක් ලෙස ස්ථාපිත විය යුතුයි.


Click on the Image

ඊළඟට, එසේ අසාර්ථක වන බීජේපීයට වඩා තමන් හොඳ විකල්පයක් බව ජනතාවට පෙන්වාදීම ද විපක්ෂය සතු අභියෝගයක් වනවා. වර්තමානයේ දකින්නට ලැබෙන එකමුතුව ඒ සඳහා ප්‍රමාණවත් තරම් සවිමත් බවක් පෙනෙන්නේ නැහැ.

මෙම සන්ධානය තුළම ඇතැම් පක්ෂ අතර වන එදිරිවාදිකම් පිටුදකිමින් එක්සත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතාව ඉදිරියේ පෙනී සිටීමේ අභියෝගය ඔවුන් සතුයි.

@elearninglk

මෝදි ආණ්ඩුව එළවීමේ එකම අරමුණ පමණක් පෙරදැරිව එක්සත් වූ සන්ධානයකට ජනතාව මනාපය දෙනු ඇතැයි සිතීම අසීරුයි. එසේ වීමට නම් ජනතාවට මෝදි වහ කදුරු මෙන් අප්‍රිය විය යුතුයි.

නමුත්, දැනට පෙනෙන ආකාරයෙන් මීළඟ මාස කිහිපය තුළ එවැන්නක් සිදුවීමේ ඉඩකඩ අඩු බව ද කිව හැකියි.


බෙංගලූරු විපක්ෂ රැස්වීම

INDIA සන්ධානය වෙත ඇති මීළඟ අභියෝගය වන්නේ අගමැති අපේක්ෂකයකු තෝරාගැනීමයි. ඉන්දියාවේ ඡන්දදායකයින් අතුරින් සැලකියයුතු පිරිසක් මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා කවරෙක්ද යන්න පිළිබඳ අවධානය යොමු කරන බව සමීක්ෂණවලින් පෙන්නුම් කෙරෙනවා.

එමෙන්ම අගමැති අපේක්ෂකයකු තීරණය කරගැනීමට හැකිවීම විපක්ෂ සන්ධානයේ එකමුතුව පිළිබඳ ද සාධකයක් වනු ඇති. කෙසේ වෙතත් මේ වනවිට ද සන්ධානය තුළ අගමැති අපේක්ෂකයා පිළිබඳ විවිධ කතාබහ ඇතිවී තිබෙන බව පෙනී යනවා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මේ අතර, මෙම සියළු කරුණු ඉටු වුවද මහ මැතිවරණය ජයගැනීමට නම් ආසන 543 කින් බහුතරය දිනාගත යුතුයි.

දැනට ඒකරාශී වී ඇති විපක්ෂ සන්ධානය තුළ සැලකියයුතු ශක්තියක් ඒකරාශී වී තිබුණ ද කොන්ග්‍රස් පක්ෂය හැරුණවිට අන් සියළුම දේශපාලන පක්ෂ ප්‍රාදේශීය පක්ෂ බව පෙනී යනවා. එහෙයින් විශේෂයෙන්ම තීරණාත්මක ප්‍රාන්තවල මෙම සන්ධානය කෙතරම් සාර්ථක වේදැයි සැක සංකා මතුව තිබෙනවා.


Click on the Image

භාරතීය ජනතා පක්ෂයේ බලකොටු වන්නේ හින්දි හදබිම ලෙස හඳුන්වන උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, ගුජරාට්, බිහාර් යනාදී ප්‍රදේශයි. ඊට අමතරව මහාරාෂ්ට්‍රය සහ බටහිර බෙංගාලය ද ඒවායේ තිබෙන ආසන සංඛ්‍යාව හේතුවෙන් තීරණාත්මක ප්‍රාන්ත වනු ඇති.

උත්තර් ප්‍රදේශ් හි ආසන 80 ක්, මහාරාෂ්ට්‍රයේ ආසන 48 ක්, බිහාරයේ ආසන 40 ක්, රාජස්ථානයේ ආසන 26 ක්, ගුජරාටයේ ආසන 26 ක්, මධ්‍ය ප්‍රදේශ් හි ආසන 29 ක් හා බටහිර බෙංගාලයේ ආසන 42 ක් වනවා. 2019 මහමැතිවරණයේදී මෙම ආසනවලින් සාතිශය බහුතරය බීජේපීය විසින් ජයගනු ලැබුණා.


Click on the Image

මහ මැතිවරණය ජයගැනීමට එය ඉමහත් රුකුලක් බවට පත්වුණා.

එහෙයින් මීළඟ මහ මැතිවරණයේදී මෙම ප්‍රාන්තවල ආසනවලින් තුනෙන් එකක්වත් විපක්ෂයට දිනාගන්නට හැකි නොවුණොත් භාරතීය ජනතා පක්ෂ ජයග්‍රහණය වැළැක්වීම අපහසු වනු ඇති.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.