සමලිංගික සේවනය අපරාධයක් නොවන බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
දකුණු ආසියාවේ ප්‍රථම වතාවට සමලිංගික ඇසුර අපරාධයක් නොවන බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා Navtej Singh Johar v. Union of India නඩුවේදී තීන්දු කළේය. ඒ අනුව සමලිංගිකත්වය අපරාධයක් ලෙස සලකන ලද බ්‍රිතාන්‍ය පාලන සමයේදී එනම් 1861 දී හඳුන්වා දුන් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වන වගන්තියේ වලංගුභාවය සංශෝධනයට ලක් විය.
ඉන්දීය දණ්ඩනීති සංග්‍රහයේ 377 වගන්තියේ මෙසේ කියැවේ.
377. Unnatural offences (අස්වාභාවික වැරදි) —
Whoever voluntarily has carnal intercourse against the order of nature with any man, woman or animal, shall be punished with imprisonment for life, or with imprisonment of either description for a term which may extend to ten years, and shall also be liable to fine.
Explanation — Penetration is sufficient to constitute the carnal intercourse necessary to the offence described in this section.
මේ අනුව ස්වභාවධර්මයට විරුද්ධ ලෙස මිනිසෙකු, ගැහැනියක හෝ සතෙකු සමඟ සංවාසයේ යෙදෙන්නා ජීවිතාන්තය දක්වා හෝ දස වසරක කාලයක සිර දඬුවමකට ලක් කළ හැකිය.
උක්ත තීන්දුව අනුව වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිද්ධ වන සමලිංගික ක්‍රියා තහනම් වන පරිදී 377 වන වගන්තිය බලාත්මක කිරීම ව්‍යවස්ථා විරෝධී බවට තීරණය විය. (On 6 September 2018, the Court ruled unanimously in Navtej Singh Johar v. Union of India that Section 377 was unconstitutional “in so far as it criminalises consensual sexual conduct between adults of the same sex”.)
මේ අනුව සමලිංගික සේවනය වැරදිද? වැරැද්දක් නැද්ද? එය අපේ රටේත් අපරාධමය තත්වයෙන් මුදවිය යුතුද? සමලිංගික විවාහයට ඉඩ දිය යුතුද? පිළිබඳව සමාජ මාධ්‍ය ආදියෙහි හා විවිධ සාමාජීය කතිකාවත්හි සාකච්ඡා වේ. මේ සම්බන්ධව පක්ෂ විපක්ෂ මත රාශියක් පල වී තිබේ.
මේ පිළිබඳව තුලනාත්මකව ජීව විද්‍යාත්මක – පුද්ගල නිදහස- මිනිස් අයිතිවාසිකම්- සමාජීය සදාචාර පද්ධතියේ පැවැත්ම – ධර්මානුකූලභාවය ආදී සෑම පැත්තෙන්ම සිතා බලන විට ( Holistic thinking ) යම් එක නිශ්චිත නිගමනයකට එළඹීම පහසු නැත. ඒ පිළිබඳ ගැඹුරින් විමසිය යුතුය.
සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ කොඩියේ ඇත්තේ දේදුනු වර්ණයන්ය. ඉන් අර්ථ ගැන්වෙන්නේ විවිධත්වයට ඉඩ දෙමු යන්නය. සමාජයේ බහුතරයක් වූ විෂම ලිංගිකයන්ගේ අයිතිවාසිකම් පමණක් නොව සුළුතරයක් වූ සම ලිංගික අයිතීන්ද පිළිගත යුතු යයි එයින් අර්ථ ගැන්වේ.
ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ මෙසේ සඳහන් වේ.
“කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය, හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය.”
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද මේ හා සමාන විධිවිධානයක් තිබේ. උක්ත තීන්දුව ලබා දීමේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇත්තේ අදාළ නීතිය නිසා එම මූලික අයිතිවාසිකම උල්ලංඝනය වන බවය. තවද පෞද්ගලිකත්වයද මූලික අයිතිවාසිකමක් බවත්, තම පෞද්ගලික අවකාශය තුළ, කාන්තාවන්ට හෝ දරුවන්ට හානියක් නොකර, යම් අවුරුදු 18ට වඩා වයසින් වැඩි වැඩිහිටියන් සිය කැමැත්තෙන් සමලිංගික ක්‍රියාවන්හි යෙදෙන්නේ නම්, එය පෞද්ගලික තෝරාගැනීමක් වන අතර, එය ප්‍රතික්ෂේප කළ නොහැකි අයිතියක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දක්වා තිබේ. ( “Consensual sex between adults in a private space, which is not harmful to women or children, cannot be denied as it is a matter of individual choice.” )
එමෙන්ම ලිංගික ආකර්ෂණයේ නැමියාවන් ස්වභාවික වන අතර පුද්ගලයන්ට එය පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවද එම තීන්දුවේ කියැවේ. (sexual orientation is natural and people have no control over it) මින් අදහස් වන්නේ බොහෝ මිනිස්සු වැඩිවියට පත්වෙද්දී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වුවද ඇතැම් මිනිස්සු උපතින්ම, වැඩිවියට පත් වෙද්දී සමාන ලිංගිකයන්(same sex) කෙරෙහි ආකර්ෂණය ඇති වීමේ ස්වභාවය ඇතුව උපදින බවයි. එමෙන්ම ඇතැම් දරුවන් ස්වභාවික සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස (Trans gender) උපත ලබති.
සමලිංගික නැමියාව අස්වාභාවික තත්වයක් හෝ මානසික රෝගයක් ලෙස සැලකීම නිවැරදි නොවන බව වෛද්‍ය විද්‍යාත්මකව මේ වන විට සනාථ වී තිබේ. එහෙයින් සමලිංගික නැමියාව ඇත්තන් ගැන සහ සංක්‍රාන්ති ලිංගිකයන් (Trans gender) ගැන සහකම්පනය(empathy) හා කරුණා මෛත්‍රිය පෙරදැරි සිතින් බලා ඔවුන්ද අයිතිවාසිකම් ඇති අය ලෙස තේරුම් ගෙන, ඔවුන් කෙරෙහි සිත් වල ඇති ආකල්ප වෙනස් කරගෙන, ඔවුන්ට සාධාරණ ලෙස සැලකීම ධාර්මික මිනිසුන්ගේ යුතුකමයි. ඔවුන් ගැරහීමට,සිනහවට හා පීඩාවට පත් කිරීම අධාර්මික අමනුෂ්‍ය වැඩකි. එනමුත් ඉතිහාසය පුරාවටත්, වර්තමානයේදීත්, ඔවුන් ගැරහීමට,සිනහවට හා පීඩාවට පත් කිරීම බහුලව සිදු වේ.
ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තිය ද උක්ත ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වන වගන්තිය හා සමානය. 365 අ වගන්තිය යටතේ අතීතයේ සඳහන් වූයේ “පුරුෂයන් අතර දැඩි අශෝභන ක්‍රියා” ලෙසය. එනම් 1995 වන තෙක් මෙම නීතිය යටතේ අපරාධ වරදක් ලෙස සැලකුණේ පුරුෂයින්ගේ සමලිංගික ක්‍රියාකාරකම් සදහා පමණි. එනමුත් 1995 දී එය “තැනැත්තන් අතර දැඩි අශෝභන ක්‍රියා’ ලෙස සංශෝධනය විය. එහි ප්‍රතිඵලය වූයේ ගැහැණුන්ගේ සමලිංගික ක්‍රියාකාරකම් සඳහා ද මේ යටතේ දඩුවම් දීමට හැකියාව ලැබීම යි. එනම් නීතිය වඩාත් පුළුල් විය.
සමලිංගික සේවනය අපරාධයක් ලෙස සඳහන් මෙම නීතීන් බ්‍රිතාන්‍යයන් විසින් තම යටත්විජිත වලට හඳුන්වා දුන් නීති වේ.
බ්‍රිතාන්‍යයේද පුරුෂයන් අතර සමලිංගික සේවනය අපරාධයක් ලෙස අතීතයේ සැලකුණි. එම නීතීන් මගින් දණ්ඩන වලට ලක්වූවන් අතර පරිගණකයේ පීතෘවරයෙකු ලෙස සැලකෙන ප්‍රකට බ්‍රිතාන්‍ය පරිගණක විද්‍යාඥ ඇලන් ටර්නින්ග් ද වෙයි. 1952 දී ඔහු සමලිංගික සේවනයේ වරදට වරදකරු වූ අතර එහි ප්‍රතිඵලය ලෙස සිරගත වීම හෝ පරිවාසයකට යටත් වීම තෝරාගැනීමට ඔහුට සිදු විය. පරිවාසයකට යටත් වන්නේ නම් ලිංගික ආශාවන් නැති කරලන වසරක් පුරා කෙරෙන එන්නත්කරණ ක්‍රියාවලියකට ඔහු යටත් විය යුතු විය. ඔහු පරිවාසය තෝරා ගත් අතර අදාළ හෝමෝන ප්‍රතිකාරය නිසා ලිංගික බෙලහීනතාවට පත් වූ අතර රෝගී විය. ඉන් චිත්ත පීඩාවට පත් හේ (වයස අවුරුදු 41 දී) 1954 ජුනි 7 වනදා ආසනික් පානය කොට සියදිවි නසා ගත්තේය. විශිෂ්ඨ බුද්ධියකින් යුතු පරිගණක විද්‍යාඥයෙක් ලොවට අහිමි විය.
1967 දී අවුරුදු 21 ට වැඩි පුරුෂයන් අතර පෞද්ගලිකව සිදු වන සමලිංගික සේවනය අපරාධයක් නොවන බවට බ්‍රිතාන්‍යයේ නීති සම්පාදනය විය. (1967 – The Act decriminalised homosexual acts between two men over 21 years of age in private in England and Wales.)
ලංකාවේ පසුගිය කාලයේදී මේ හා සමාන නීති සම්පාදනයට උත්සාහ කෙරුණු අවස්ථාවන්හිදී ඊට ආගමික, සංස්කෘතික,දේශපාලනික කෝණයන් ඔස්සේ විශාල ප්‍රතිරෝධයක් එල්ල විය.
ඊට විරෝධය දැක්වූවන් පොදුවේ දරන්නේ මෙබඳු මතයකි.
ලිබරල්වාදීන් මෙන්, සමාජ ගිවිසුමකින් බැඳුණු ස්වාධීන නිදහස් පුද්ගලයන්ගේ එකමුතුවක් ලෙස සමාජයක් සැලකිය නොහැකිය. conservative එනම් සංරක්ෂණවාදීහු (ගතානුගතිකවාදීන්) සමාජයක් වනාහි ගහක් වගේ සංකීර්ණ අන්තර් සම්බන්ධතා (සංස්කෘතික, සම්ප්‍රදායික, ආගමික,සදාචාරාත්මක, සමාජයීය) වලින් යුතු පද්ධතියක් ලෙස සලකති. ඒ නිසා වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියා (consenting sex between adults) සෑම අවස්ථාවකම ඔවුන්ගේ පෞද්ගලික දෙයක් වන්නේ නැත.සමාජයේ යහපැවැත්ම සුරක්ෂිත වන සංස්කෘතික(හැදියාව) හර පද්ධතිය (moral fabric) උල්ලංඝනය වේ නම් එය ප්රශ්නයකි. නීතිය මගින් පවා ව්‍යභිචාරය/Incest (උදා: පියා හා දුව අතර ලිංගික සම්බන්ධයක්) වැනි ලිංගික හැසිරීම් සෑම රටකම පාහේ තහනම් කර ඇත්තේ එනිසායි.
සදාචාර රාමුවකින් තොරව ශිෂ්ටාචාරගත සමාජයකට පැවැත්මක් නැත. සමාජ ස්ථාවරත්වය අවදානමේ හෙළමින් පුද්ගල නිදහසට වැඩි බරක් දෙමින් ලිබරල්කරණය වන සමාජය සියවස් කිහිපයක් තුළ සපුරා බිඳ වැටෙයි. විනයක්, හැදියාවක්, ශික්ෂණයක් නැතිව සමාජයකට දියුණුවක් හෝ ඉදිරි ගමනක් නැත. සමලිංගික සේවනය සමාජයේ පිළිගත් නියාමයක් (accepted social norm ) බවට පත්වීම සමාජ සදාචාරය හා ජාතික ආධ්‍යාත්මිය වඩාත් පිරිහීමට සෘජුවම දායක වනු ඇත.
මේ මතයේ වලංගුභාවයක්ද තිබේ. ඉන් ප්‍රධාන වශයෙන් අවධාරණය කෙරෙන්නේ public decency එනම් පොදු සමාජයේ පැවතිය යුතු සංවරභාවයයි.
එනමුත් මුලින් මා දැක්වූ හේතූන් අනුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගලයන්ගේ පෞද්ගලික අවකාශය තුළ වැඩිහිටියන් අතර සමලිංගික ක්‍රියා අපරාධයක් ලෙස සැලකිය යුතු නොවන බවට දුන් තීන්දුව සාධාරණ යැයි සැලකිය හැකිය. මේ අනුව ඉන්දියාවේ හා ලංකාවේ ඇතුළු සෑම රටකම සමලිංගික සේවනය අපරාධයක් ලෙස දක්වා ඇති දණ්ඩ නීති, ව්‍යවස්ථාදායකය මගින්ම සංශෝධනයට පියවර ගැනෙන්නේ නම් එය කාලෝචිතය.
එනමුත් බටහිර රටවල මෙන් සමලිංගික විවාහ ලියාපදිංචිය, සමලිංගික යුවලවල් හට දරුවන් හදාවඩා ගැනීමට ඉඩ දීම, අශෝභන සමලිංගික ප්‍රසිද්ධ රැලි පැවැත්වීමට ඉඩ දීම, ආදියට අවසර දිය යුතුද ? නැද්ද? යන්න වඩාත් ගැඹුරින් සලකා බැලිය යුතුය.
eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.