තාරකා අතරට (Interstellar චිත්‍රපට විවරණය)

අහස් කුසට යොමු වූ මීටර් සියගණනක උසින් යුතු ගොඩනැගිලි තවදුරටත් පෘථිවිය මත දක්නට නැත. මංතීරු ගණනාවකින් සමන්විත ජනාකීර්ණ මංමාවත්, ප්‍රේක්ෂක ඔල්වරසන් නදින් පිරී ඉතිරී ගිය දැවැන්ත ක්‍රීඩාංගණ ආදිය අයිති වී ඇත්තේ අතීතයට ය. ඒ වෙනුවට බැලූ බැලූ අත දක්නට ඇත්තේ අක්කර ගණන් පැතිරිණු වගාබිම් සහ ඒවාට උඩින් පැතිරුණු දුහුවිල්ල පමණි. පෘථිවිය ශීඝ්‍රයෙන් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙමින් ඇති අතර මේ ගෙවී යමින් තිබෙන්නේ මානව ශිෂ්ඨාචාරයේ අවසාන වසර කිහිපය යි.

සටහන: මෙම ලිපිය ලියැවෙන්නේ බ්ලොග් අඩවියේ මිතුරන් කිහිපදෙනෙකුගේ ඉල්ලීම වෙනුවෙනි. මෙහි අඩංගු කරුණු වටහා ගැනීමට චිත්‍රපටය නරඹා තිබීම අවශ්‍ය වේ.

ඔස්කාර් සම්මානයක් ද ඇතුළුව සම්මාන 45ක් දිනාගත් Interstellar චිත්‍රපටය Inception, The Dark Knight trilogy වැනි අග්‍රගණ්‍ය සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ Christopher Nolanගේ තවත් අද්විතීය නිර්මාණයකි. ඇමෙරිකානු ඩොලර් මිලියන 670කට වඩා වැඩි මුදලක් උපයමින් 2014 වසරේ තිරගත වුණු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත Matthew McConaughey හා Anne Hathaway විසින් රඟපාන ලදී.

Interstellar යනු රචකයෙකුගේ මනසේ මැවුණු හුදු විද්‍යා ප්‍රබන්ධයක් පමණක්ම නොවේ. එහි අන්තර්ගත සෑම සිදුවීමක්ම නිර්මාණය කර ඇත්තේ සැබෑ වශයෙන්ම විද්‍යාත්මක න්‍යායන් හා කරුණු පදනම් කොටගෙන ය. මේ සඳහා ප්‍රවීණ අභ්‍යවකාශ භෞතික විද්‍යාඥයෙකු වන Kip Thorne චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භයේ සිට අවසානය දක්වාම උපදෙස් සැපයීමේ හා අධීක්‍ෂණය කිරීමේ කාර්යයේ නිරතව සිට තිබේ.

අනාගතයේ යම් කාලයක පෘථිවිය දරුණු ස්වභාවික ව්‍යසනයකට මුහුණ දෙනු ලබන අතර මිනිස් වර්ගයාගේ පැවැත්ම අවිනිශ්චිත තත්ත්වයකට පත් වේ. Blight නමින් හැඳින්වෙන මෙම විපතෙන් පසු මුළු පෘථිවියම දුහුවිල්ලකින් වැසී යයි. විටින්විට දැවැන්ත දුහුවිලි කුණාටු ඇති වේ. ජීවත් වීම ම දැඩි අභියෝගයක් බවට පත් වන මෙම කාලවකවානුවේදී මිනිසුන් ආහාර, වාසස්ථාන වැනි මූලික අවශ්‍යතාවයන්ට සැබෑ වශයෙන්ම මූලිකත්වය ලබාදෙන අතර උසස්, පහත් සියළුම ආකාරයේ රැකියාවන් අභාවයට ගොස් ඒ වෙනුවට කෘෂිකර්මාන්තය ප්‍රධානම හා උසස්ම ජීවන වෘත්තිය බවට පත් වේ.

ජෝසප් කූපර් ද නාසා ආයතනයේ අභ්‍යවකාශගාමියෙකු ලෙස සේවය කොට පසුව ඉන් ඉවත් වී වගා කටයුතු වලට යොමු වූ අයෙකි. වසර ගණනකට පෙර නාසා ආයතනය ද වසා දමා ඇත්තේ ව්‍යසනයෙන් පසු මූලික අවශ්‍යතාවයන් සඳහා අත්‍යවශ්‍ය වූ මුදල් අභ්‍යවකාශ ගවේෂණ ව්‍යාපෘතීන් වලට වැය කිරීමට එරෙහිව මහජනයා අතරින් නැගුණු ප්‍රබල විරෝධයක් නිසා ය.

එක් දිනක් දැවැන්ත දුහුවිලි කුණාටුවකට මුහුණ දීමෙන් පසු කූපර්ගේ දියණිය, මර්ෆි ඇගේ කාමරයේ බිම දුහුවිලි වලින් ඇඳුණු රටාවන් කිහිපයකට ඔහුගේ අවධානය යොමු කරවන අතර කූපර් මුලදී එය අහඹු සිදුවීමක් යැයි සලකා බැහැර කළද, පසුව එයින් යම් අක්ෂාංශ-දේශාංශ පිහිටුමක් නිරූපණය වන බවට සැක පහළ කරයි. දියණියද සමග එම පිහිටීම සොයා යන ඔහුට එහිදී හමුවන්නේ අතිශයින් රහසිගතව තවදුරටත් පවත්වාගෙන යන නාසා ආයතනය යි. වසා දැමූ බවට ලෝකයට හැඟවුවද, දිගින් දිගටම ක්‍රියාත්මක වූ නාසා ආයතනය ගත වූ වසර කිහිපය තුළ මානව සංහතිය බේරාගැනීම සඳහා විශාල වශයෙන් පර්යේෂණයන් කර තිබේ.

වැදගත්ම කාරණය වන්නේ ළඟ ළඟම එන ඛේදවාචකයෙන් මිනිස් වර්ගයා බේරාගැනීමට යම්කිසි දියුණු ජීව විශේෂයක් ඉදිරිපත් වී තිබීම යි. මහාචාර්ය බ්‍රෑන්ඩ් විසින් ‘ඔවුන්’ ලෙස හඳුන්වන මෙම ජීවීන් මිනිසුන් සමග සන්නිවේදනයේ නොයෙදෙන අතර ඒ වෙනුවට සෙනසුරු ග්‍රහයා අසල පණු කුහරයක් (Worm Hole) නිර්මාණය කර තිබෙන්නේ මිනිසුන්ට ඒ හරහා ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පිහිටි වෙනත් මන්දාකිණියකට ගොස් වාසයට සුදුසු ග්‍රහලෝකයක් සොයාගැනීම සඳහා ය.

නාසා ආයතනය විසින් මේ වනවිටත් පණු කුහරය හරහා එම මන්දාකිණියේ ඇති ග්‍රහලෝක දොළහකට අභ්‍යවකාශගාමීන් යවා ඇති අතර ඉන් ලෝක තුනක් ජීවයට හිතකර බවට අදාළ අභ්‍යවකාශගාමීන් විසින් සංඥා එවා ඇත. කලකට පෙර පළපුරුදු අභ්‍යවකාශ යානා නියමුවෙකු වූ කූපර්ට තවත් අභ්‍යවකාශගාමීන් කිහිපදෙනෙකු සමග එම ග්‍රහලෝක තුන පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා යාමේ මෙහෙයුමක් පැවරෙයි. (එහෙත් මෙහෙයුමේ සැබෑ අරමුණ වෙනකක් වූ බව චිත්‍රපටයේ පසුභාගයේදී හෙළි කෙරේ.)

දැන් මෙම චිත්‍රපටයේ තිබූ අපැහැදිලි සංසිද්ධීන් කිහිපය පිළිබඳව විමසා බලමු.

01. පණු කුහරය

Photo Credits : www.alphacoders.com

පණු කුහරයක් යනු කුමක්ද යන්න මීට පෙර පළ වූ ලොව කැළඹූ බර්මියුඩා ත්‍රිකෝණය ලිපියේදී පැහැදිලි කෙරිණි. අදාළ ඡේදය පහතින් උපුටා දැක්වේ.

“නවීන තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේ පවතින වැදගත්ම සංකල්පයක් ලෙස පණු කුහර (Worm Holes) හැඳින්විය හැකිය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් හෝ මෙවැන්නක් නිර්මාණය කරන ආකාරයක් සොයා ගෙන නොතිබුණද, මේවා නිර්මාණය කළ හැකි බවට බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති. සරලව පැහැදිලි කළහොත්, කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු කුහරයක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි නළයක දෙපස විවරයන් දෙක A හා B යැයි සිතමු. ඔබ A විවරයෙන් නළයට ඇතුළු වුවහොත් B විවරයෙන් පිට වන්නේ A විවරයට ආලෝක වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර විශ්වයකට විය හැකිය. නැතිනම් A විවරය තිබෙන ස්ථානයේම B විවරයද පිහිටා තිබිය හැකි අතර එවිට ඔබ B විවරයෙන් පිට වන්නේ A විවරයෙන් ඇතුළු වූ ස්ථානයේම අතීතයට හෝ අනාගතයට ය! එනම් පණු කුහරය හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය හෝ කාලය තරණය කොට ඇත.”

චිත්‍රපටයේ අඩංගු පණු කුහරය අවකාශය තරණය කිරීමට නිමවන ලද්දක් බව ඔබට වැටහෙනු ඇත. නමුත් පණු කුහරය හා කළු කුහරය එකිනෙක පටළවා නොගත යුතුය. කළු කුහරයක් යනු සැබැවින්ම පවතින ස්වභාවික ආකාශ වස්තු විශේෂයක් වන අතර පණු කුහරයක් යනු ස්වභාවික නොවන, කෘතිමව නිර්මාණය කළ හැකි වේ යැයි සිතන සංකල්පමය ආකාශ වස්තු විශේෂයකි.

02. පළමු ග්‍රහලෝකයේ කාල වෙනස සහ දැවැන්ත දිය රැළි

කූපර් හා පිරිස ගමන් කරන පළමු ග්‍රහලෝකයේ එක් පැයක් පෘථිවි වර්ෂ 7කට සමාන බව චිත්‍රපටයේ සඳහන් වේ.

කාලය යනු නිරපේක්‍ෂ වූ, සෑමතැනකදීම එක සමාන වූ දෙයක් නොවේ. එය විවිධ හේතූන් නිසා විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකිය. මෙම විවිධ හේතූන් අතර ස්කන්ධයට ප්‍රබල ස්ථානයක් හිමි වේ. අතිවිශාල ස්කන්ධයක් ඇති වස්තුවකට ඒ අවට කාල-අවකාශය (space-time) වක්‍ර කළ හැක. එමනිසා එම ස්කන්ධය අසලදී කාලය ගමන් කිරීමේ වේගය ඊට ඈතින් පිහිටි ස්ථානයකදී කාලය ගමන් කිරීමේ වේගයට වඩා අඩු වේ.

අප සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහයින් සූර්යයා වටා පරිභ්‍රමණය වන ආකාරයට කූපර් ඇතුළු කණ්ඩායම ගමන් ගන්නා ග්‍රහ පද්ධතිය පරිභ්‍රමණය වන්නේ අති දැවැන්ත කළු කුහරයක් වටා ය. (මෙම කළු කුහරය Gargantua ලෙස හැඳින්වෙන අතර එය සැබෑවටම පවතින කළු කුහරයක් නොව චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරන ලද මනඃකල්පිත වූවකි.)

කළු කුහර යනු සිතා ගැනීමටවත් නොහැකි තරම් අතිවිශාල වූ ස්කන්ධයක් සහිත, ඒ නිසාම ඉතා අධික ගුරුත්වාකර්ෂණ බලයකින් යුතු වූ ආකාශ වස්තු විශේෂයක් වේ. (කළු කුහර හා කාල-අවකාශ වක්‍ර වීම පිළිබඳව ‘තාරකා පරිණාමනය’ ලිපි පෙළ හරහා ඉදිරියේදී සාකච්ඡා කෙරේ.) මෙම නිසා කළු කුහරයට වඩාත් ආසන්නයෙන් පිහිටි ග්‍රහලෝකයක් මතදී කාලය සාපේක්‍ෂව සෙමෙන් ගමන් කරන බවත්, වඩාත් ඈතින් පිහිටි ග්‍රහලෝකයක් මතදී කාලය සාපේක්‍ෂව වේගයෙන් ගමන් කරන බවත් ඔබට දැන් වැටහෙනු ඇත.

කූපර් මුලින්ම ගමන් කරන්නේ කළු කුහරයට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහලෝකය වෙතය. ඔවුන්ට පෙර අදාළ ග්‍රහලෝකයට පැමිණි මිලර් නම් වූ අභ්‍යවකාශගාමිනිය එය ජීවයට හිතකර බවට සංඥා නිකුත් කළද, එම ග්‍රහලෝකය මතට ගොඩබසින කූපර් ඇතුළු පිරිස එය ඉතා අනතුරුදායක ස්ථානයක් බව වටහා ගනී. මුළු ග්‍රහලෝකයම නොගැඹුරු ජල කඳකින් වැසී තිබෙන අතර කළු කුහරයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ අධික බලපෑම නිසා ඇති වන අති දැවැන්ත දියරැළි විටින්විට ලොව වටා ගමන් කරයි.

පෘථිවියේ කාලය මේ ග්‍රහලෝකයේ කාලයට වඩා ඉතා වේගයෙන් ගමන් ගන්නා නිසා මිලර් වසර ගණනාවක් තිස්සේ සංඥා එවමින් සිටින්නේ යැයි නාසා ආයතනය වරදවා වටහා ගත්තද, සැබැවින්ම ඇය සංඥා උපකරණය සවි කර ඇත්තේ කූපර්ලා පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර ය. ඉන් තත්පර කිහිපයකට පසු ඇයද දිය රළකට හසු වී මියගොස් තිබේ.

කූපර්ගේ කණ්ඩායම දිය රළකට හසු වීමෙන් පසු එම ලෝකය මත පැය කිහිපයක් ගත කිරීමට සිදුවන අතර ඔවුන් නැවත කළු කුහරයට වඩාත් ඈතින් ස්ථානගත වූ Endurance මව් යානය වෙත පැමිණෙන විට එම යානය තුළ ගත වී ඇති කාලය වසර 23 කි. පෘථිවියේ කාලය අනිවාර්යයෙන්ම ඊටත් වඩා වේගයෙන් ගමන් කළ යුතු නිසා පෘථිවිය මත වසර 23කටද වඩා කාලය ගත වී ඇති බව අප අවබෝධ කරගත යුතුය.

03. ‘ඔවුන්’ කවුරුන්ද?

‘ඔවුන්’ යනු බුද්ධිමත් පිටසක්වළ ජීව විශේෂයකැයි මහාචාර්ය බ්‍රෑන්ඩ් සිතුවද, චිත්‍රපටයේ අගභාගයේදී ඔවුන් යනු වෙන කවරෙක්වත් නොව අනාගතයේ වෙසෙන මිනිසුන්ම බව හෙළි වේ. අනාගතයේදී අතිශය දියුණු, පංචමාන (5 dimensional) ජීවියෙකු බවට පත්වන මිනිසා කාලය හරහා අතීතයට ගමන් කර පණු කුහරයක් නිර්මාණය කරමින් තමන්ගේ මුතුන්මිත්තන්ට (කූපර්ගේ යුගයේ ජීවත් වන්නන්) විනාශයෙන් ගැළවීමට මගපෙන්වා දී තිබේ. නමුත් මෙම මගපෙන්වීම නාසා ආයතනය සැලසුම් කළ පරිදි සියළුම මිනිසුන් පණු කුහරය හරහා වෙනත් ලෝකයකට ගෙනයාමට නම් නොවේ. අනාගත මිනිසාගේ අරමුණ වන්නේ පණු කුහරය හරහා කූපර්ව Gargantua වෙත ගෙන්වාගෙන ඔහු ලවා මිනිසාට එතෙක් අභිරහසක් වූ කළු කුහර පිළිබඳ දත්ත ඔහුගේ දියණිය මර්ෆිට යවා ඇගේ ගණනය කිරීම් මගින් මිනිස් වර්ගයා ගළවා ගැනීම යි.

අප ත්‍රිමාන පරිසරයක වාසය කරන ජීවීන් වෙමු. ත්‍රිමානය හෙවත් මාන තුන නම් දිග, පළල හා උස යි. ත්‍රිමාන ජීවීන් වූ අපට මෙම මානයන් තුන පාලනය කළ හැකිය. නූතන විද්‍යාවට අනුව හතරවන මානය වන්නේ කාලය යි. ත්‍රිමාන වූ අපට සිව්වන මානය වූ කාලය පාලනය කළ නොහැක. නමුත් පංචමාන ජීවියෙකුට කාලයද ඇතුළුව මාන පහක් පාලනය කළ හැකිය. (මේ පස්වන මානය කුමක්දැයි චිත්‍රපටයේ සඳහන් වන්නේ නැත.) එනම් අප මාර්ගයක ඒ මේ අත ගමන් කරන්නාක් මෙන් මේ අනාගත මිනිසුන්ට කාලය හරහා ඒ මේ අත ගමන් කළ හැක.

කූපර් හා TARS රොබෝවරයා කළු කුහරය තුළට ගමන් කළ පසු ඇතුළු වන්නේ අස්වාභාවික පොත් රාක්ක වැනි බිත්ති වලින් වටවූ ස්ථානයකට ය. Tesseract නමින් හැඳින්වෙන මෙය කූපර්ට කාලය හරහා අතීතයට ගමන් කර කුඩා මර්ෆි සමග සම්බන්ධ වීම සඳහා අනාගත මිනිසුන් තැනූ පංචමාන ව්‍යුහයකි. ඔහු ඒ හරහා මර්ෆිගේ ජීවිතයේ විවිධ අවස්ථා සමග සම්බන්ධ වෙමින් මෝස් කේත මගින් ඇයට කළු කුහරයේ විද්‍යාත්මක දත්ත යවයි. (අතීතයේදී කූපර්ට දුහුවිලි වලින් නාසා ආයතනයේ අක්ෂාංශ-දේශාංශ ලබා දුන්නේද දැන් Gargantua තුළ සිටින වර්තමාන කූපර්ම බව මෙහිදී හෙළි වේ.)

කෙසේ හෝ මේ අයුරින් අනාගත මිනිසාගේ සැලැස්ම සාර්ථක වන අතර කූපර් ලබාදුන් දත්ත උපයෝගී කරගෙන මර්ෆි මිනිස් ශිෂ්ඨාචාරය ගලවා ගනී. පෘථිවියෙන් පිටත් වී වසර සියගණනකට පසු නැවත පැමිණෙන කූපර් මහළු වී මරණාසන්නව සිටින තම දියණිය හමු වී, නැවතත් පිටත් වන්නේ Gargantua කළු කුහරය අසල තුන්වැනි ග්‍රහලෝකය වෙත ගොස් සිටින අමේලියා බ්‍රෑන්ඩ් සමග එක් වීමට ය. (‘ඔවුන්’ යනු කූපර් නැවත පැමිණෙන විට ජීවත්ව සිටින මිනිසුන් නොව ඊට වඩා බොහෝ ඉදිරි අනාගතයේ වෙසෙන මිනිස් ශිෂ්ඨාචාරයකි.)

“අනාගතයේ ඉන්න මිනිස්සු වර්තමාන මිනිස්සුන්ට බේරෙන්න උදව් කරනවා කියන්නෙ අනාගතයෙ අය කොහොමහරි විනාශයෙන් බේරිලා තියෙනව කියන එකනෙ. එහෙනම් එයාල කොහොමද මර්ෆිගේ ගණනය කිරීම් නැතුව බේරුණේ?”

මේ චිත්‍රපටය නැරඹූ බොහෝදෙනෙකුට මතු වූ ගැටළුවකි. මෙය සාපේක්ෂතාවාදයට සම්බන්ධ ඉතා සංකීර්ණ සංසිද්ධියක් වන අතර පැහැදිලි කිරීම තරමක් අපහසු ය. Bootstrap Paradox නමින් හැඳින්වෙන මින් සරලව අදහස් වන්නේ තමන් අතීතයට ගොස් තමා විසින් තමන්වම නිර්මාණය කරගැනීම යි. (තමා යන්නට මිනිසෙකු හෝ යම් සිද්ධියක් වුවද ආදේශ කළ හැක.)

සටහන: මෙය මා Interstellar චිත්‍රපටය වටහාගත් ආකාරය වේ. ඔබට Interstellar පිළිබඳව වෙනස්ම කියැවීමක් තිබිය හැක. ලිපිය සංවාදයට විවෘත ය.

තවත් තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ ලිපි සඳහා : මණ්දාකිනියෙන් ඔබ්බට – www.beyond-the-galaxy.blogspot.com

2013 වසරේ සිට "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොග් අඩවිය ලියූ අශාන් ද කොස්තා මහතා, සම්මානිත තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා බ්ලොග් රචකයෙකි. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන ඔහු චක්‍රායුධ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා සහ පද රචකයා වශයෙන්ද කටයුතු කරයි.