සතියකට වඩා ඇදී ගිය අල්-හසාකා ISIS ප්‍රහාරය

January 31, 2022

සිරියාවේ අල්-හසාකා නගරයේ ගෙවෙරාන් සිරගෙය වෙත 2022 ජනවාරි 20 වනදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය සමග හටගත් සටන ජනවාරි 29 වනදා තෙක්ම ඇදුණ අතර ඇතැම් වාර්තා සඳහන් කරන පරිදි ඉන් පසුවත් ගැටුම් වාර්තා වුණා.

මෙම ප්‍රහාරය පිළිබඳ විවිධ අවස්ථාවන්හිදී සටනට මැදිව සිටින ප්‍රධාන දෙපාර්ශවය වන ISIS ත්‍රස්ත සංවිධානය සහ ඇමරිකාවේ සහය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකා (SDF) විවිධාකාරයේ නිවේදන නිකුත් කළා.

බලාපොරොත්තු වියහැකි පරිදිම ISIS ත්‍රස්තයින් ප්‍රහාරයේ බරපතලකම අතිශයෝක්තියට නංවද්දී SDF සංවිධානය එහි බරපතලකම අවප්‍රමාණ කිරීමට උත්සුක වුණා. එහෙයින් කිනම් පාර්ශවය විසින්වත් සම්පූර්ණ සත්‍යය පවසන බවක් පෙනීයන්නේ නැහැ. නමුත් දින දහයකට ආසන්න කාලයක් මුළුල්ලේ සටන දිගටම පැවතීමෙන් එහි බරපතලකම පෙන්නුම් කෙරෙනවා.

සිරියාවේ ISIS පාලනයෙහි තිබුණු ප්‍රදේශ සියල්ල මුදාගත් පසු එහි සිදුවූ බරපතලම ISIS ප්‍රහාරය ලෙස මෙය සැලකිය හැකි බවයි ඇතැම් වාර්තා කියා සිටින්නේ.

අල්-හසාකා ප්‍රහාරය
ඊසානදිග සිරියාවේ පිහිටි අල්-හසාකා නගරය සිරියානු සිවිල් යුද්ධයට පෙර 200,000 ක පමණ ජනගහනයක් වාසය කළ නගරයක් වුණා. සිවිල් යුද්ධය අතරතුර මෙම ප්‍රදේශය සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායන් අතට පත්වුණා. කුර්දීන් ප්‍රමුඛ සන්ධානයක් වන එය බෂාර් අල්-අසාද්ගේ සිරියානු රජයට එරෙහිව සටන් වැදුණ එක් සංවිධානයක් වුණා. කෙසේ වෙතත් නගරය මධ්‍යයේ සිරියානු රජයට තවමත් අයත්ව පවතින කලාපයක් වනවා.

ISIS ත්‍රස්ත සංවිධානය සිය ක්‍රියාකාරකම්වලින් උපරිම ප්‍රචාරණය ලබාගන්නට වෙර දරන පිරිසක් බව අප දන්නවා. අල්-හසාකා ප්‍රහාරය පිළිබඳ ද ඔවුන් කටයුතු කළේ එම ආකාරයෙන්. එම සංවිධානය පවසන පරිදි අල්-හසාකා හි බන්ධනාගාරය වෙත ඔවුන් පහර දීම ඇරඹූයේ එහි ප්‍රධාන දොරටුවට සහ තාප්පයට එල්ල කළ මරාගෙන මැරෙන වාහන බෝම්බ ප්‍රහාර දෙකක් සමගයි. මෙම ප්‍රහාරයන් එල්ල කළ දෙදෙනා අබු අබ්දුර්‍රහමන් සහ අබු ෆාරුක් ලෙස ඔවුන් විසින් හඳුන්වාදෙන ලද අතර ඔවුන් දෙදෙනා සිරියානුවන් නොවන බවයි නිවේදනය කෙරුණේ. මෙම ප්‍රහාරය හා සමගම පාහේ, අසළ වූ තෙල් ගබඩා සහ බෙදාහැරීම් මධ්‍යස්ථානයකට ගිනි තැබීමට ද ඔවුන් කටයුතු කළා. එමගින් ඇමරිකානු හෝ වෙනත් ගුවන් ප්‍රහාර එල්ලවීමට තිබුණු හැකියාව තාවකාලිකව මගහරින්නට ඔවුන්ට පුළුවන් වුණා.


අල්-හසාකා සටන අතරතුර​

මේ අතරවාරයේ බන්ධනාගාරය වෙත දියත් වන ප්‍රහාරය ක්‍රියාත්මකව තිබුණා. තවත් ත්‍රස්ත කණ්ඩායම් දෙකක් අවට ප්‍රදේශවල රැඳෙමින් ප්‍රදේශයට එවන ලද SDF අමතර හමුදාවන්ට පහර දුන්නා.

ISIS සාමාජික රැඳවියන් මුදවාගැනීම උදෙසා එල්ල වූයේ යයි සිතිය හැකි මෙම ප්‍රහාරයෙන් බන්ධනාගාරය සහ අවට ප්‍රදේශය ත්‍රස්තයින් අතට පත්වුණා. ජනවාරි 22 වනදා ඔවුන් මියගිය සහ අල්ලාගන්නා ලද SDF සාමාජිකයන්ගේ ඡායාරූප ප්‍රචාරය කරමින් තම ප්‍රහාරයේ සාර්ථකත්වය පිළිබඳ කියා සිටියා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

SDF සංවිධානය ජනවාරි 26 වනදා නිවේදනය කළේ තමන් බන්ධනාගාරයට පහර දුන් ISIS ත්‍රස්තයන් පරාජය කළ බවයි. කෙසේ වෙතත් එය ප්‍රචාරය සඳහා ගෙතූ කතාවක් බව සැක කළ හැකියි. ඉන් පසුව ද ප්‍රදේශයේ සටන් පවතින බවට තොරතුරු වාර්තා වීම ඊට හේතුවයි.

ප්‍රහාරයෙන් මියගිය පිරිස සහ බන්ධනාගාරයෙන් පළාගිය සිරකරුවන් සංඛ්‍යාව පිළිබඳ විවිධ සංඛ්‍යා ඉදිරිපත් වනවා. සිරකරුවන් 4,000 ක් පමණ එහි සිටි බවට වාර්තාවන අතර ඉන් 1,600 ක් දෙනා SDF භටයන් අතට හසුව ඇති බව සඳහන්. ඉතිරි පිරිසට සිදුවූයේ කුමක්දැයි නිවැරදිව පැහැදිලිව තිබුණේ නැහැ. ISIS සංවිධානය පවසන්නේ විශාල පිරිසක් සිරගෙයින් පළාගිය බවයි.

ISIS නැගිටීම
සිරියාවේ සහ ඉරාකයේ ISIS ත්‍රස්තවාදීන්ට අයත් ප්‍රදේශ මුදාගැනීමට විවිධ පාර්ශව එක්ව කරන ලද යුධ ව්‍යාපාර සාර්ථක ලෙස අවසන් වූයේ 2019 මැදදී ඔවුන් සතුව පැවති අවසන් ප්‍රදේශය වූ බගූස් අල්ලාගැනීමත් සමගයි. නමුත් එම සංවිධානයේ පරාජය මෙයින් සිදුවූයේ නැහැ. විරුද්ධවාදීන්ගෙන් ගැලවුණු ත්‍රස්තවාදීන් ග්‍රාමීය සහ කාන්තාර ප්‍රදේශවල සැඟවගත්තා.


ISIS ත්‍රස්ත සෙබළුන් පිරිසක් කලකට පෙර​

ඉරාකයේදී මෙන්ම විශේෂයෙන්ම සිරියාවේදී ඔවුන් නිරන්තරයෙන් ත්‍රස්ත ප්‍රහාරවල නිරත වන්නට වැඩි කලක් ගතවුණේ නැහැ. මේ පිළිබඳ විදෙස් මාධ්‍ය බොහොමයක් එතරම් තොරතුරු වාර්තා නොකළ ද දිගින් දිගටම මෙවන් ප්‍රහාර එල්ල වුණා. සිරියාවේදී රජයේ හමුදාවන්ට, ඔවුන්ට සහය දෙන මිලීෂියා කණ්ඩායම්වලට, SDF හමුදාවන්ට යනාදී කුමන හෝ පාර්ශවයකට ප්‍රහාරයක් එල්ල නොවූ දිනක් පසුගිය වසර දෙකක පමණ කාලය තුළ නොමැති තරම් වුණා.

කලින් මෙන් කලිෆාතයක් ප්‍රකාශ කරගෙන පාලන ප්‍රදේශ පවත්වාගනිමින් කටයුතු කරන්නට නොහැකි වුණත්, ගරිල්ලා ක්‍රමයේ සටන් මගින් ඔවුන් එල්ල කරන තර්ජනය සුළුපටු වූයේ නැහැ.

මේ තත්ත්වය මත සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයන් මෙන්ම ඉරාකයේ බටහිර සහ උතුරුදිග ඇතැම් ප්‍රදේශයන් සාමකාමී තත්ත්වයට පත්ව නැති අතර ඒ සඳහා තව කලක් ගතවන බවක් ද පෙනී යනවා. අල්-හසාකා ප්‍රහාරයෙන් ISIS සැකකරුවන් විශාල පිරිසක් පළායාම තත්ත්වය තවත් නරක අතට හරවන බව නිසැකයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.