නැව් ගමනාගමනයට තුර්කියේ කපන අලුත් ඇළ
කාලයක් තිස්සේ යෝජනා වෙමින් පැවති ඉස්තාන්බුල් ඇළෙහි වැඩ කටයුතු 2021 ජූනි මාසයේ ආරම්භ කිරීමේ ඉඩක් ඇති බව තුර්කි ජනාධිපති රචෙප් තයෙප් එර්දොවන් මෑතකදී ප්‍රකාශ කළා. පසුගිය මාස කිහිපය තුළ එම ඇළ අරභයා විවාදයක් නිර්මාණය වී තිබෙනවා. මෙහිදී ජාත්‍යන්තර සම්මුති මෙන්ම තුර්කි ආර්ථිකය පිළිබඳ සාධක ද තුර්කි-රුසියානු සම්බන්ධතා සහ තුර්කි-ඇමරිකානු සම්බන්ධතා ද පිළිබඳ අනාගතය සැලකීමට සිදුවනවා.
ඉස්තාන්බුල් ඇල
මෙම ව්‍යාපෘතිය නම් කරනු ලැබ ඇත්තේ “කැනල් ඉස්තාන්බුල්” හෙවත් ඉස්තාන්බුල් ඇළ යනුවෙන්. මෙහි අරමුණ කළු මුහුද වෙත විකල්ප මාර්ගයක් විවෘත කිරීමයි. මෙය කිලෝමීටර් 45 ක් දිග ඇළ මාර්ගයක්.
මධ්‍යධරණී මුහුද සහ කළු මුහුද සම්බන්ධ වන්නේ ඉතා පටු සමුද්‍ර සන්ධි දෙකකින්. ඒවා ඩාර්ඩනැලිස් සහ බොස්පරස් සමුද්‍ර සන්ධි දෙකයි. මෙයින් බොස්පරස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉස්තාන්බුල් නගරය ද ඉදිවී තිබෙනවා. සාමාන්‍ය තත්ත්වය යටතේ සමුද්‍ර සන්ධිය හරහා දිනකට නෞකා 160 ක් පමණ ගමන් කරනවා.
කෙසේ වෙතත් එය ඉතා පටු ජල තීරයක් වන බැවින් එහි තදබදයක් වන අතර අනතුරු සහ අවහිරවීම් ද සාමාන්‍යයෙන් විරලම නැහැ. මීට දින කිහිපයකට පෙරත් තෙල් නෞකාවක් සිරවීමෙන් එහි පැය කිහිපයක අවහිරයක් ඇතිවුණා.
මෙම කරුණ පමණක් සැලකීමේදී ඉස්තාන්බුල් හි ඇළක් කැපීමේ අවශ්‍යතාවය සාධාරණීකරණය වනවා. නමුත් මෙහි තවත් බොහෝ කරුණු සැලකියයුතුව තිබෙනවා.
එර්දොවාන්ගේ බල අභිලාෂයන්
ඉස්තාන්බුල් හි ඇළක් කැණීමේ අදහස මෑතකාලීනව මතුවූවක් නොවේ. මෙය දහසයවන සියවසෙහි ඔටෝමන් තුර්කි සුල්තාන්වරයා වූ ශ්‍රේෂ්ඨ සුලෙයිමාන් විසින් මුලින්ම යෝජනා කරන ලද්දක්.
2023 වසරට යෙදෙන තුර්කිය ජනරජයක් බවට පත්වීමේ සියවන සංවත්සරය මුල්කරගෙන විශාල ඉදිකිරීම් වැඩසටහන් ක්‍රියාවට නැගීමේ සැලැස්මක් ජනාධිපති රචෙප් තයෙප් එර්දොවාන් සතුව තිබෙනවා. මෙය එර්දොවාන්ගේ බල අපේක්ෂාවන්ගේ එක් අංගයක්. ඔහුගේ අභිප්‍රාය වන්නේ පැරණි ඔටෝමන් යුගයේ ස්වර්ණමය යුගයෙහි මෙන් තුර්කි බලය නගාසිටුවීම බව ඔහුගේ ක්‍රියාවලින් පෙනී යනවා.
තුර්කිය බොහෝ දෙනෙක් දකිනවාට වඩා විශාල රාජ්‍යයක්. නේටෝ සංවිධානයේ දෙවන විශාලම යුධ හමුදාව හිමිව ඇත්තේ එරටටයි. තුර්කි ගුවන් සේවය ලොව විශාලම ගුවන් සේවාවන්ගෙන් එකක්. තුර්කියේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආර්ථිකයෙහි ඉතා විශාල පංගුවක් නියෝජනය කරනවා. එය කෙතෙක්ද කිවහොත් ලෝකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියතු ප්‍රමුඛ රටවල් කිහිපයෙන් එකක් ලෙස තුර්කිය සැලකිය හැකියි. තුර්කියේ ආර්ථික පුනරුත්පත්ති වැඩසටහන යටතේ වැදගත් කොටසක් ලබාදී ඇත්තේ ඉදිකිරීමේ ක්ෂේත්‍රයටයි. එම ක්ෂේත්‍රය පුළුල් කිරීම තුළින් ආර්ථිකය සවිමත් කළ හැකි යයි එර්දොවාන් විශ්වාසය පළ කරනවා.
ඉස්තාන්බුල් ඇළ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල වන්නේ ඩොලර් බිලියන 9.2 ක්. කෙසේ වෙතත් මෙම වියදම ඊට වඩා වැඩි වේ යයි විශ්වාස කෙරෙනවා. අනෙක් අතට පසුගිය සමයේ තුර්කියේ ආර්ථිකය දුර්වල වීම සහ කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවූ තත්ත්වය මත මෙම කටයුතු මෙම අවස්ථාවේ ආරම්භ කිරීම කෙතරම් යෝග්‍යද යන ගැටළුව මතු වනවා.
මොන්ට්‍රෝ සම්මුතිය
කෙසේ වෙතත් මෙම ඇළ කැපීම සමග මොන්ට්‍රෝ සම්මුතිය පිළිබඳ ගැටළුවක් නිර්මාණය වේ යයි මීට විරුද්ධ කණ්ඩායම් පවසනවා.
මොන්ට්‍රෝ සම්මුතිය ලෝක යුද්ධ දෙක අතර තුර්කි ජාතික රාජ්‍යයේ පුනර්ජීවය තුළ සිදුවූ වැදගත් සම්මුතියක්. එහිදී බොස්පරස් සහ ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධිවල නෞකා ගමනාගමනය නියාමනය කෙරෙනවා. 1936 දී අත්සන් කරන ලද මෙම සම්මුතිය අනුව තුර්කියට එම සමුද්‍ර සන්ධිවල හමුදා රැඳවීමේ අවස්ථාව ලැබුණා. යුද්ධ කාලයේ හෝ සාමය පවතිද්දී හෝ යුධ නෞකා නොවන ඕනෑම නැවකට මෙය හරහා ගමන් කිරීමේ අවසරය ලැබෙනවා.
සාමය පවතින සමයක වුවද යුධ නෞකා සඳහා අවසර ලැබීම තීරණය වන්නේ එම නෞකා අයත් රාජ්‍යයන් කළු මුහුදේ වෙරළබඩ රාජ්‍යයන් වන්නේද නැද්ද යන කරුණ මතයි. කළු මුහුදේ නොවන රාජ්‍යයක යුධ නැවක් මෙය හරහා කළු මුහුද වෙත යන්නේ නම් එයට පෙර තුර්කියට දැනුම්දීම අත්‍යවශ්‍යයි. තවද කළු මුහුදේ එම නෞකා රැඳී සිටිය හැක්කේ පරිමිත කාලසීමාවක් පමණයි. එමෙන්ම සමුද්‍ර සන්ධි හරහා ගමන් කළ හැකි නෞකාවල බර පිළිබඳ ද සියළු රටවලට බලපාන සීමා පවතිනවා.
ඉස්තාන්බුල් ඇල මොන්ට්‍රෝ සම්මුතියට අයත් නොවන බවයි තුර්කි රජය් පවසන්නේ. ඒ අනුව එය තුර්කි පාලනය යටතේ පවතිනු ඇති. ඒ හරහා නෞකා ගමනාගමනය තීරණය කෙරෙන්නේ තුර්කිය විසින්.
මෙම කරුණ පිළිබඳ හිටපු තානාපති නිලධාරීන් 120 කට වැඩි පිරිසක් අප්‍රේල් මුලදී සිය විරෝධය දැක්වූවා. ඔවුන් ලිපියක් මගින් පෙන්වා දුන්නේ මෙම තත්ත්වය මොන්ට්‍රෝ සම්මුතිය පිළිබඳ අනවශ්‍ය කතාබහක් නිර්මාණය වියහැකි බවයි. එම ලිපිය නිකුත්වී දිනකට පසු හිටපු අද්මිරාල්වරුන් 104 දෙනකු විසින් ද මෙම ව්‍යාපෘතිය විවේචනය කරන ලිපියක් පළ කළා. එර්දොවාන් කළේ එම ලිපියට අත්සන් තැබූ අද්මිරල්වරුන් දස දෙනකු අත් අඩංගුවට ගැනීමයි.
විශේෂයෙන්ම රුසියාව මධ්‍යධරණී මුහුද දෙසට සිය ව්‍යාප්තිය පිළිබඳ අවධානයෙන් සිටිනු ඇතැයි ද එහෙයින් මෙම නව ඇළ මාර්ගය පිළිබඳ ඔවුන් එතරම් සතුටු නොවනු ඇතැයි ද යන අදහස් පළ වනවා.
කෙසේ වෙතත්, මෙම ඇළමාර්ගය පිළිබඳ ඊට වඩා විමසිලිමත් වනු ඇත්තේ කළු මුහුදේ බලවතකු නොවන ඇමරිකා එක්සත් ජනපදයයි. මේ වනවිට තුර්කිය ද සිය නාවික බලය ව්‍යාප්ත කිරීමේ කටයුතු අරඹා තිබෙනවා. එහෙයින් අනාගතයේදී කළු මුහුදට එපිටින් තිබෙන රටවල් එදෙසට නෞකා එවීම පිළිබඳ තුර්කිය සිය නොකැමැත්ත පළ කිරීමේ අවකාශයක් තිබෙනවා. එවන් මොහොතක එය රුසියාවට වක්‍රාකාරව වාසිදායක වනු ඇති.
කෙසේ වෙතත්, මෙම ඇළ මාර්ගය මෙන්ම ඒ හා සම්බන්ධ අනෙක් කරුණු නිගමනය වන්නේ මීළඟ වසර කිහිපයේ තුර්කියේ ආර්ථික සහ දේශපාලනික තත්ත්වයන් මත බව පැහැදිලියි. ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්ධනය කිරීමෙන් කඩාවැටුණ ආර්ථිකය නගා සිටුවන්නට එර්දොවාන් උත්සාහ කළත්, ඔහුගේ විවේචකයන් පවසන්නේ එහි වාසිය ඉදිකිරීම් සමාගම් කිහිපයක් අතර පමණක් රැඳෙනු ඇති බවයි.
අනෙක් අතට බොස්පරස් සමුද්‍ර සන්ධිය හරහා නොමිලේ ගමන් කරන්නට අවසර තිබියදී මුදල් ගෙවා ඉස්තාන්බුල් ඇළ හරහා නෞකා ගමන් කරනු ඇතිදැයි ඔවුන් විමසනවා. එහෙයින් එම ඇළ මගින් බලාපොරොත්තු වන සමෘද්ධිය තුර්කියට නොලැබෙනු ඇති බවත් ඔවුන් විශ්වාසය පළ කරනවා.