ජේතවනාරාම විහාර සංකීර්ණය
අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අනුරාධපුර ජේතවනාරාම විහාරය ගැනයි. ජේතවනාරාමයේ ඉතිහාස කතාව ඔයාලා දැනටමත් දන්නවා.
ඒ කියන්නෙ මේ විහාරය මහසෙන් රජතුමා නිර්මාණය කළා කියලත්, එහෙම නිර්මාණය කළේ මහා විහාරය විනාශ කරපු එකට තමන්ටම දඩුවමක් වශයෙන් කියලත්, ජේතවනාරාම චෛත්‍යය පැරණි ලෝකයේ විශාලතම ගඩොල් ඉදි කිරීම කියලත්, පැරණි ලෝකයේ විශාලතම ඉදි කිරීම් වලින් 3 වන ස්ථානයේ පසු වෙනවා කියලත්, ජේතවනාරාම චෛත්‍යය ලෝකයේ විශාලතම චෛත්‍යය කියලත්, චෛත්‍යය තුළ බුදු හාමුදුරුවන්ගේ බද පටිය නිධන් කළා කියලත්, කාලයත් එක්ක අපේ රටේ ප්රමුඛ පෙළේ අධ්‍යාපනික ආයතනයක් වුණා කියලත්, විදේශයන්වලිනුත් භික්ෂූන් වැඩම කළා කියලත්, පසු කාලයක ජේතවනාරාමය කේන්ද්‍ර කරමින් “සාගලික” නිකාය නිර්මාණය වුණා කියලත් අපි අහලා තියෙනවා.
ජේතවනාරාමය කිව්වම අපි හුග දෙනෙක්ට මතක් වෙන්නෙ විශාල චෛත්‍යයක් විතරයි. ඒත් චෛත්‍යය හැරුණම, ජේතවනාරාමය කියන්නෙ සුවිශාල ආරාම සංකීර්ණයක් කියලා මතක් වෙන්නෙ බොහොම ටික දෙනෙක්ටයි.
මේකට ප්‍රධානම හේතුව වෙන්නෙ අපේ ගොඩක් අය අනුරාධපුරයේ ගියාම සම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවට විතරක් කොටු වෙලා ඉන්න එක. ඉතින් අපි තීරණය කළා ජේතවනාරාම ආරාම සංකීර්ණයේ ජේතවනාරාම චෛත්‍යය හැරුණු කොට, ජේතවනාරාම ආරාම සංකීර්ණයේ අපිට වර්තමානයේ දැක බලා ගන්න පුලුවන් අනිත් අංග සහ ස්ථාන වලින් “කිහිපයක්” ගැන තොරතුරු ගෙන එන්න. අපි එහෙනං ඒවා එකින් එක බලමු.
01. ජේතවනාරාම සන්නිපත ශාලාව
“සභා ශාලාව” කියලත් හදුන්වන මේ ශාලාව භාවිතා කරලා තියෙන්නෙ, ජේතවනාරාම විහාරයේ භික්ෂූන් වහන්සේලාගේ රැස්වීම් කටයුතු පවත්වන්න. මේ ශාලාවේ හතර පැත්තෙන්ම ඇතුල්වීමේ දොරටු තිබිලා තියෙනවා. ඒ වගේම දිගු ආසනවලිනුත් යුක්ත වෙලා තියෙනවා.
මේ සමචතුරස්‍රාකාර ශාලාව පිහිටලා තියෙන්නෙ, විහාර සංකීර්ණයේ බොහොම විවෘත ස්ථානයක. ඒකෙන් නිගමනයකට එළඹෙන්න පුලුවන්, ඕනෑම කෙනෙක්ට පහසුවෙන් පිවිසෙන්න පුලුවන්වෙන විදිහට සැලසුම නිර්මාණය කරන්න ඇති කියලා. මේ ස්ථානයේ හැම දොරටුවක් දෙපැත්තෙම අලංකාර කැටයම් සහිත කුළුණු තිබුණු බවට සාක්ෂි සාධක තියෙනවා. ගොඩක් කැටයම් අදටත් හොදින් ආරක්ෂා වෙලා තියෙනවා.
02. ගරාදි වැට සහිත ජේතවනාරාම ගොඩනැගිල්ල
“බෞද්ධ ගල් ගරාදි වැට සහිත ගොඩනැගිල්ල” කියලා හදුන්වන මේ ශෛලමය නිර්මාණය ඉදි කරපු කාලය සහ අරමුණ තාමත් හොයාගෙන නෑ. ජේතවනාරාම විහාර සංකීර්ණයේ, ආරාම සංකීර්ණය ඉදිරියේ දකින්න තියෙන මේ ස්ථානයේ සතර දිශාවෙන් දොරටු සහිතව නිර්මාණය කරපු චතුරස්රාකාර ගොඩනැගිල්ලකුත්, ඒ ගොඩනැගිල්ල වටා නිර්මාණය කරපු ශෛලමය වැටකුත් දැක ගන්න පුලුවන්. දිගින්, පළලින් සහ උසින් මීටර 43 x 34 x 1.6ක් වෙන මේ වැටේ, සිරස් සහ තිරස් ගල් පුවරුවල සංකලනයක් දැක ගන්න පුලුවන්.
මේ ශෛලමය වැට ඇතුළතින් ප්රතිමාවල පාදම්, ශෛලමය ආසන, ප්‍රතිමා කොටස් සහ ගන්ධාර සම්ප්රදායේ ඉදිකිරීම් සාධක ආදීය හොයාගෙන තියෙනවා. ඒ නිසා මේ ස්ථානය ප්රතිමාඝරයක් විදිහට හදුනාගෙන තියෙනවා. වේදිකාවකින් වට වුණු ප්‍රදේශය බෝධිඝරයක් විදිහට හදුනාගෙන තියෙනවා.
ඒ වගේම මේ ස්ථානය දෙවෙනි අග්බෝ රාජ්‍ය සමයේ (ක්‍රි.ව 608 – 618) හරි දෙවෙනි දප්පුල රාජ්‍ය සමයේ හරි (ක්‍රි.ව 815 – 831) නිර්මාණය කරන්න ඇති කියලා ඉතිහාසඥයින් සැක කරනවා. මහා වංශයේ මේ රජවරු විසින් ජේතවනාරාම විහාරයේ බෝධිඝරයක් සහ ප්රතිමාඝරයක් කළ බවට සදහන්වීම ඊට හේතුවයි.
03. ජේතවනාරාම පොහොයගෙය
මේකට “දියසෙන් පාය” කියලත් කියනවා. මෙතන ගල් කණු 176ක් තියෙනවා. මේක 5 වන මිහිදු රජ්ජුරුවො කරවපු එකක් කියලා, සෙල් ලිපියකින් තහවුරු කරගෙන තියෙනවා. ශ්‍රී මහා බෝධිය ළග තියෙන ලෝවමහාපාය වගේම, මේකත් ගල් කණු උඩ තට්ටු කිහිපයකට හදපු ගොඩනැගිල්ලක්.
පහළ කොටසෙ උපසම්පදා කටයුතුවලට භාවිතා වුණු බවටත්, උඩ කොටස් නේවාසිකාගාර විදිහට තිබුණු බවටත් මත පලවෙලා තියෙනවා. පුරාවිද්‍යා සොයා ගැනීම් අනුව නම් අභයගිරි විහාරයේ පොහොයගෙයට සමාන සැලසුමකට අනුව තමයි මේක හදලා තියෙන්නෙ.
04. ජේතවනාරාම ධර්ම මණ්ඩපය
ජේතවනාරාම ස්තූපය අසල ඇති ජේතවනාරාම ආවාස සංකීර්ණය මධ්‍යයේ පිහිටලා තියෙන මෙම ශෛලමය මණ්ඩපය, ජේතවනාරාම විහාරයේ “ධර්ම සංගනී ගෘහය” විදිහට හදුනාගෙන තියෙනවා. මෙය පෙර රජ දවස වෘත්තාකාර වියනකින් සමන්විත වූ බවට, මණ්ඩපය වටා ඇති ගල් කණු සාක්ෂි දරනවා ඇති.
05. ජේතවනාරාම නැගෙනහිර සීමා ප්‍රාකාරය
මේ තමයි අනුරාධපුර ජේතවනාරාම විහාර සංකීර්ණයේ නැගෙනහිර සීමා ප්‍රාකාරය. ජේතවනාරාම ආරාම සංකීර්ණයේ නැගෙනහිර සීමාව, මල්වතු ඔය වෙනකංම ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා. ඒත් මේ ප්‍රාකාරය සහ මල්වතු ඔය අතරේ ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා ඉතිහාසඥයන් මතයක් පල කරනවා, මේ විදිහට පරතරයක් හිටින විදිහට නිර්මාණය කරලා තියෙන්නෙ, ඒ කාලයේ මල්වතු ඔයේ ගමන් මාර්ගයේ වෙනසක් වුණු නිසා වෙන්න ඇති කියලා.
06. ජේතවනාරාම ජන්තාගාරය
මේ, රෝගාතුර වුණු භික්ෂූන් වහන්සේලාගේ ශරීරයේ ඖෂධ වර්ග, මැටි වගේ ඒවා ගාලා, උණු වතුරෙන් සහ හුමාලයෙන් ස්නානය කරවපු ස්ථානයක්. මේ වගේ ස්ථානයකට කියන්නෙ “ජන්තාඝරයක්” කියලයි. මේ ස්ථානයේ පොළොව පුරාවටම ගල් පුවරු අතුරලා, අපිරිසිදු වතුර බහින්න කාණුවක් හදලා, බිත්ති ගඩොල්වලින් බැදලා, ඒ උඩින් වහලක් හදලා, අභ්‍යන්තර උෂ්ණත්වය ආරක්ෂා කරගන්න කවුළු සහ දොරවල් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. විශාල හිල්, ඖෂධ බදුන් රදවන්න භාවිතා කරලා තියෙනවා. මේක අනුරාධපුර යුගයේ දෙවන භාගයට අයිති නිර්මාණයක් කියලා තමයි හදුනාගෙන තියෙන්නෙ.
07. ජේතවනාරාම ධර්ම ශාලාව
ජේතවනාරාම විහාරයේ ධර්ම දේශනාමය කටයුතු වෙනුවෙන් භාවිතා කරලා තියෙන මේ ශාලාවේ, හරි මැද ලස්සන කැටයම් තියෙන උස් ආසනයක් දකින්න පුලුවන්. ආසනය වටේට තියෙන හිල්වලින් පැහැදිලි වෙනවා, ආසනය උඩ වියනක් හයි කරලා තිබුණා කියලා. පිහිටි පොළොවෙ ඉදලා ටිකක් උසට හදලා තියෙන මේ ශාලාවේ දිශා හතරෙන්ම පිවිසුම් දොරටු තිබිලා තියෙනවා. සිලාකාල රාජ්‍ය සමයේ (ක්‍රි.ව 522-535) අවුරුද්දකට සැරයක්, ඇතුළු නුවර ඉදලා ජේතවනාරාම විහාරයට ගෙනාපු ධර්ම ග්රන්ථයක් තැන්පත් කරන්න මේ ශාලාව නිර්මාණය කළා කියලත් මතයක් තියෙනවා.
08. ජේතවනාරාම පොකුණ – අංක 01
අනුරාධපුර ජේතවනාරාම ස්තූපය පිටුපසට වෙන්න (ජේතවනාරාම කෞතුකාගාරය ඉදිරිපසින්), ජේතවනාරාම විහාර සංකීර්ණයේ පොකුණ දැක ගන්න පුලුවන්. ගල් පුවරු භාවිතයෙන් චතුරස්රාකාර හැඩයට නිර්මාණය කරලා තියෙන මේ පොකුණ, ආගමික වතාවත් වෙනුවෙන් ජලය ලබා ගන්න භාවිතා කරලා තියෙනවා. කැණීම්වලින් ලක්ෂ්මි දෙවගනගේ ලෝකඩ පිළිමයක් සහ ජලාශ්‍රිතව ජීවත්වන සත්තුන්ගේ ලෝකඩ රූප සහිත ශෛලමය මංජුසාවක් හොයාගෙන තියෙනවා.
09. ජේතවනාරාම පොකුණ – අංක 02
ජේතවනාරාම නැගෙනහිර සීමා ප්‍රාකාරය ළග තමයි මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නෙ. මේ පොකුණට එහායින් තියෙන්නෙ ජේතවනාරාම දාන ශාලාව. ඒ නිසා මේක දාන ශාලාවේ භික්ෂූන්ගේ ජල අවශ්‍යතා වෙනුවෙන්ම නිර්මාණය කරපු පොකුණක් කියන එක තමයි දැනට පවතින මතය. පොකුණේ හැඩය සෘජුකෝණාශ්‍රාකාර ස්වරූපයක් ගන්නවා.
10. ජේතවනාරාම පිළිමගෙය – අංක 01
ජේතවනාරාම ස්තූපයට ඇතුළුවෙන ප්‍රධාන පිවිසුමට, ප්‍රතිවිරුද්ධ දිශාවේ තියෙන පිවිසුම පහු කරලා ටික දුරක් ඉස්සරහට යනකොට, දකුණු දිශාවෙන් මේ ස්ථානය හමු වෙනවා. මේ තමයි ජේතවනාරාම විහාර සංකීර්ණයේ ප්‍රධාන බුදු මැදුර. 9 වෙනි සියවසට හෝ ඊට පෙර කාලයට අයත් නිර්මාණයක් විදිහට සැළකෙන මේ ගොඩනැගිල්ල ගෙඩිගේ සම්ප්රදාය අනුව (ගෝලාකාර වහලක් සහිත) ඉදි කරන ලද්දක්. බුදු මැදුරේ විශාල පද්මාසනයක් තියෙනවා. ඒ අනුව ශෛලමය හිටි පිළිමයක්, මේ පද්මාසනය මත තැන්පත් කරලා තිබුණා කියලා කියන්න පුලුවන්.
අදටත් මේ ගොඩනැගිල්ලේ ජනේල සහ ජනේල රාමු සුරක්ෂිතව තියෙනවා. බුදු මැදුර වටා ප්රදක්ෂිණා පථයකුත් දැක ගන්න පුලුවන්. ඉතිහාසඥයන්ගේ මතය අනුව මේ පිළිමගෙය ගින්නකින් විනාශ වෙලා තියෙනවා. මේ පිළිමගෙයට ඇතුළුවන ස්ථානයේ තියෙන ද්වාරය අඩි 27ක් උසයි. අද ඉතුරුවෙලා තියෙන්නේ දොරටුව දෙපස තිබුණු ශෛලමය කණු ද්විත්වය විතරයි. ඒ අනුව ඉතිහාසඥයන් මතයක් එළි දක්වනවා, අතීතයේ මේ ද්වාරය අඩි 27ක් තරම් උසට නිර්මාණය කරන්න ඇත්තේ, ජේතවනාරාම විහාරයෙන් පෙරහැරක් පවත්වපු නිසා කියලා.
කරඩුව මේ බුදු මැදුරේ තැන්පත් කරලා තියෙන්න ඇති කියලත්, කරඩුව පෙරහැරේ ගෙනියන්න අවශ්‍ය නිසා ඇතාව බුදු මැදුර ඇතුළට ගන්න ඇති කියලත් ඉතිහාසඥයන් ඒ මතය දීර්ඝව විස්තර කරනවා. මේ ගොඩනැගිල්ල ඉස්සරහත් කුඩා ප්‍රමාණයේ ගොඩනැගිලි දෙකක ශේෂ කොටස් තියෙනවා. මේ ගොඩනැගිලි, පරිවාර පිළිමගෙවල් විදිහට හදුනාගෙන තියෙනවා.
11. ජේතවනාරාම පිළිමගෙය – අංක 02
ජේතවනාරාම විහාර සංකීර්ණයේ නැගෙනහිර දිශාවට වෙන්න පිහිටලා තියෙන මේ පිළිමගෙය තමයි, ජේතවනාරාම විහාර සංකීර්ණයේ තියෙන පිළිමගෙවල් අතරින් පැරණිතම පිළිමගෙය. මේ ස්ථානයේදී ප්‍රධාන පිළිමගෙය දෙපැත්තෙන් පරිවාර පිළිමගෙවල් දෙකක නටබුන් දැක ගන්න පුලුවන්. මේ පිළිමගෙවල් දෙක නම් පස්සෙ කාලෙක නිර්මාණ කරපු ගොඩනැගිලි. පොළොවෙ යටට කරපු කැණීම්වලදි, ඊටත් කලින් යුගවලට අයිති ඉදිකිරීම්වල සාධක හොයාගෙන තියෙනවා.
ඒ නිසා මෙතන කාලෙන් කාලෙට, එක එක වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් නිර්මාණය වුණු බවට හොයාගෙන තියෙනවා. අද වෙනකොට නම් ලදු කැළෑවකින් වටවෙලා තියෙන මේ ස්ථානයේ ගොඩනැගිලිවල අත්තිවාරම්, ගල් කණු, ප්‍රතිමා තැන්පත් කරපු ආසන කිහිපයක්ම විසිරිලා පැතිරිලා තියෙනවා.
මේ පිළිමගෙය තමයි ජේතවනාරාම විහාර සංකීර්ණයේ පොළෝ මට්ටමේ ඉදලා, වැඩිම උසකින් ඔසවලා තියෙන ගොඩනැගිල්ල. මේ ස්ථානය වටේට විශාල ප්රාකාරයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ප්‍රාකාරය ඇතුළට පස් පුරවලා තමයි, මේ ස්ථානය පොළෝ මට්ටමෙන් ඔසවලා තියෙන්නෙ.
12. ජේතවනාරාම කැසිකිළිය
ජේතවනාරාම විහාර සංකීර්ණයේ කැසිකිළිය පිහිටලා තියෙන්නේ, ජේතවනාරාම ස්තූපය ඉදිරිපස තියෙන, ජේතවනාරාම ආරාම සංකීර්ණය කෙළවරට වෙන්න. මේ කැසිකිළියට එකතු වෙන මුත්‍රා, පරිසරයට හානියක් නොවන විදිහට බැහැර කරන්න පැරැන්නෝ සමත් වෙලා තියෙනවා.
මුත්‍රා ගලේ සිදුරට යටින් අගුරු, හුණු, අළු, වැලි වගේ ද්‍රව්‍ය පුරවපු, පතුල සිදුරු කරපු මුට්ටි කිහිපයක් එක යට එක තියලා තියෙනවා. ඒ නිසා ඒවා හරහා ගමන් කරන මුත්‍රා පිරිසිදු වෙලා අවසානයේ නැවතත් පොළවට එකතු වෙලා, උරා ගන්නවා.
13. ජේතවනාරාම ළිං
ජේතවනාරාම විහාර සංකීර්ණයේ, ආවාස සංකීර්ණය ඇතුළත සහ කැසිකිලි ඉදිරිපස දකින්න තියෙන මේ ළිං, නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් සහ ගල්වලින්. විශාල ප්‍රමාණයේ ළිංවල, පතුලට බහින්න හදපු පාෂාණමය පියගැට පෙළක් දැක ගන්න පුලුවන්. විශාල ප්‍රමාණයේ ළිං වෘත්තාකාර හැඩයක් ගන්නා අතරේ, කුඩා ප්‍රමාණයේ ළිං සමචතුරස්‍රාකාර හැඩයක් ගන්නවා.
මේවා ජේතවනාරාම බෝධිඝර සදහා ජලය ලබා ගන්න නිර්මාණය කරන්න ඇති කියලා තමයි ඉතිහාසඥයන්ගේ මතය. දෙවන අග්ගබෝධි රජතුමාත් ජේතවනාරාමයේ බෝධිඝරවල පූජාමය අවශ්‍යතා සදහා ළිදක් හැදුවා කියලා මහා වංශයේ සදහන් වෙනවා. ඒ ළිද “යතුරක් හැඩයට” තියෙන විශාල වෘත්තාකාර ළිද වෙන්න පුලුවන් කියලා, ඉතිහාසඥයන් අනුමාන කරනවා.
14. ජේතවනාරාම දාන ශාලාව
ජේතවනාරාම විහාර සංකීර්ණයේ “පොකුණ අංක 02” ළගින් නිර්මාණය කරලා තියෙන මේ දාන ශාලාව, ජේතවනාරාම විහාර සංකීර්ණයේ අංගයන් අතරින් විශේෂ ස්ථානයක් ගන්නවා. ජේතවනාරාම භික්ෂූන් වහන්සේලාගේ දන් අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන මේ ශාලාවට, වතුර අරගෙන තියෙන්නෙ “පොකුණ අංක 02″න්.
මේ දාන ශාලාවේ විශාල ප්‍රමාණයේ බත් ඔරු කිහිපයක්ම දැක ගන්න තියෙනවා. ඊට අමතරව ගල් කණු, කාණු පද්ධති, අත්තිවාරම් කොටස්, මුරගල්, කොරවක්ගල්, පඩිපෙල් වගේ අංග රාශියක් තියෙනවා. හිල් විදලා තියෙන ගල්වල, ආහාර බදුන් රදවන්න ඇති කියලා මතයක් ගොඩ නගන්න පුලුවන්.
15. ජේතවනාරාම ආවාස සංකීර්ණය
ජේතවනාරාම විහාරයේ පිළිමගෙයට වම්පසින්, ජේතවනාරාම ආවාස සංකීර්ණය දැක ගන්න පුලුවන්. මේ ආවාස සංකීර්ණය මැද ප්‍රධාන ගොඩනැගිල්ලකුත්, ඒ ගොඩනැගිල්ලට සතර දිශාවෙන් තවත් කුඩා ගොඩනැගිලි හතරකුත් තියෙනවා. මේ ගොඩනැගිලි පහ වට කරපු දොරටුවක් සහිත ප්‍රාකාරය, අදටත් ඉතුරුවෙලා තියෙනවා. මේ තමයි මහා විහාරයක ආවාස සංකීර්ණයේ ආකෘතිය.
ඉතින් පේනවා නේද ජේතවනාරාමය කියන්නේ චෛත්‍යයකට සහ නමකට සීමා නොවුණු දැවැන්ත ආරාම සංකීර්ණයක් කියලා?