කාශ්මීරයේදී මෝදි අඩියක් පසුපසට ගනී

June 25, 2021

ජම්මු සහ කාශ්මීරයේ දේශපාලන පක්ෂ අටක ප්‍රබලයින් 14 දෙනකු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග 2021 ජූනි 24 වන දා සාකච්ඡාවක් පැවැත්වූවා.

කාශ්මීරයේ හිටපු මහ ඇමතිවරුන් සිව් දෙනා ද ඇතුළුව ගුප්කාර් සන්ධානයේ සාමාජික පක්ෂ ද අනෙකුත් ප්‍රධාන පෙළේ කාශ්මීර් දේශපාලන පක්ෂ ද සියල්ල මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියා.

මෙහි අරමුණ වූයේ කාශ්මීරයේ අනාගතය කවරාකාර වේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමයි. එහි ප්‍රාන්ත තත්ත්වය පහළ දැමීමෙන් අනතුරුව මෝදි රජය කාශ්මීර දේශපාලන නායකත්වය වෙත මේ අයුරින් සංවාදයක් සඳහා ආරාධනා කළ පළමු අවස්ථාව මෙයයි. එහෙයින් මෙය මධ්‍යම රජය පියවරක් පසුපසට ගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

ගුප්කාර් සන්ධානය
ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයට ඉන්දියාවේ ව්‍යවස්ථාව අනුව සුවිශේෂ ස්ථානයක් හිමිව තිබුණා. මෙම කොන්දේසි ඇතුලත් වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තියේ යි. ඒ අනුව අන් ප්‍රාන්තවල පුද්ගලයන්ට එහි ඉඩම් මිලදී ගැනීමට නොහැකි වීම ආදී කොන්දේසි තිබුණා. එය කාශ්මීරය ඉන්දියාව සමග සම්බන්ධ වීමෙන් පසු මුල්කාලීනව ඇතිවූ එකඟතා මත නිර්මාණය වූ තත්ත්වයක්.

මෙම තත්ත්වය 2019 දී හදිසියේම වෙනස් කරන ලද්දේ කාශ්මීරයේ ප්‍රාන්ත තත්ත්වය අහෝසි කරමින්. එහිදී කාශ්මීරය කොටස් දෙකකට බෙදා ඒවා මධ්‍යම රජයේ පාලනය යටතේ වන ප්‍රදේශයන් දෙකක් ලෙස වෙන්කරනු ලැබුණා. එම ප්‍රදේශ දෙක වූයේ ජම්මු හා කාශ්මීරය සහ ලදාක් ප්‍රදේශයයි.


කාශ්මීරයේ බෙදීම්

ගුප්කාර් ප්‍රකාශනය සඳහා වන ජනතා සන්ධානය යනු මෙසේ ප්‍රාන්ත තත්ත්වය ඉවත් කිරීමට එරෙහිවූ විරුද්ධවාදී දේශපාලන පක්ෂ නැවත ප්‍රාන්ත තත්ත්වය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පිහිටුවාගන්නා ලද සන්ධානයයි. මෙහි සභාපති වන්නේ ෆාරුක් අබ්දුල්ලා යි.

උප සභාපතිනිය මෙහ්බූබා මුෆ්ති යි. මෙම සන්ධානය කාශ්මීරයේ විශේෂ තත්ත්වය නැවත ස්ථාපිත කිරීම පිළිබඳ පෙනී සිටින බව පැවසුණ ද ඇතැම් පක්ෂ රජය විසින් එය ලබා නොදෙනු ඇතැයි යන යථාර්ථයට මුහුණ දීමට සූදානම් බවක් පෙනී යනවා.

කාශ්මීරය මධ්‍යම රජයේ පාලනය යටතට ගන්නාලද පසුව බලාපොරොත්තු වූ තරමින් එහි තම පාලනය ස්ථාපිත කරගන්නට භාරතීය ජනතා පක්ෂයට හැකිවූයේ නැහැ. තවද දැනට ස්වල්ප කලකා පෙර පවත්වන ලද දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී පැහැදිලි වූයේ ජනතාව දේශපාලන ක්‍රියාවලියට සහභාගී වීමේ අභිලාශයෙන් සිටින බවයි.

මේ අතර, කලාපීය වශයෙන් ද ස්ථාවරත්වය බලාපොරොත්තු වන ඉන්දියාවට කාශ්මීරය තරමක් ස්ථාවරව තබාගැනීම වැදගත් වනවා. මේ හේතු මත මෝදි රජය නැවත කාශ්මීරයට ප්‍රාන්ත තත්ත්වය ලබාදීම පිළිබඳ ඉඟි පළකිරීමට වුණා.

සාකච්ඡා වූ කරුණු
ජූනි 24 වනදා සාකච්ඡාවේදී මතුවූ ප්‍රධානම කාරණාවක් වූයේ ද මෙසේ ප්‍රාන්ත තත්ත්වය නැවත ලබාදීමයි. මෙහිදී මෝදි පවසා තිබෙන්නේ සුදුසු අවස්ථාවේදී එය සිදුවනු ඇති බවයි. නමුත් මෙහිදී මතුවූ තවත් කරුණක් පවතිනවා. එය සීමා නීර්ණයයි.

සීමා නීර්ණය මීළඟට සිදුකිරීමට නියමිතව ඇත්තේ 2026 දී වුවද කාශ්මීරයේ එය කඩිනම් වියයුතු බව මෝදි රජයේ මතයයි. විශේෂයෙන්ම ප්‍රදේශයේ භූමි ප්‍රදේශයේ වූ වෙනස්කම් මත එය අත්‍යවශ්‍ය බවයි ඔවුන් පවසන්නේ.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මේ පිළිබඳ අදහස් දක්වන මෝදි පැවසූයේ සිය අභිප්‍රාය බිම් මට්ටමේ දේශපාලනය ශක්තිමත් කිරීම බවයි. ඒ සඳහා කඩිනමින් මැතිවරණ පැවැත්වීම උදෙසා සීමා නිර්ණය කඩිනම් කළයුතු බවයි මෝදි පවසන්නේ. සීමා නීර්ණය සහ සාමකාමී මැතිවරණ පැවැත්වීම නැවත ප්‍රාන්ත තත්ත්වය ප්‍රදානය කිරීමට වැදගත් අවශ්‍යතා බව අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබුණා.

කෙසේ වෙතත් මෙම කරුණ පිළිබඳ විපක්ෂ කණ්ඩායම් වෙතින් මතුවන්නේ එතරම් සුබදායී ආකල්පයක් නොවෙයි. ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ අන් ප්‍රදේශයන් හි 2026 දී සිදුකළයුතු ක්‍රියාවලියක් මෙතරම් කඩිනමින් කාශ්මීරයේ සිදුකරන්නට උත්සාහ දරන්නේ කවර කරුණක් නිසාද යන්නයි. විශේෂයෙන්ම එමගින් භාරතීය ජනතා පක්ෂයට වාසිදායක ලෙස ඡන්ද කොට්ඨාශ බෙදීමක් සිදුවනු ඇතැයි බියක් එම කණ්ඩායම් තුළ තිබෙනවා.


කාශ්මීරයේ ඉන්දීය හමුදා

කරුණු එසේ වුවද සාකච්ඡාව සතුටුදායක ලෙස පැවති බව ජම්මු සහ කාශ්මීර් මහජන සම්මේලනයේ නායක මුසාෆර් හුසේන් බෙග් කියා සිටියා. ප්‍රාන්ත දේශපාලන පක්ෂ සිය ගැටළු සහ ඉල්ලීම් ඉදිරිපත් කළ බවත් ඊට සතුටුදායක පිළිතුරු ලැබුණු බවත් ඔහු පෙන්වා දෙනවා.

පවතින තත්‍ත්වය යටතේ අනාගතය දෙස බලන කළ පෙනී යන්නේ ලදාක් ප්‍රදේශය යළි ජම්මු සහ කාශ්මීරය සමග එක්කිරීමේ හෝ 370 වන වගන්තිය නැවත බලාත්මක කිරීමේ හෝ ඉඩකඩ ඉතා අවම බවයි. එහෙත් ප්‍රාන්ත තත්ත්වය යළි පිහිටුවීම ඉන්දීය රජයට ද වාසිදායක තත්‍ත්වයක් වන බව පෙනෙන්නට තිබෙනවා. එහිදී විසඳාගත යුතු අනිවාර්ය ගැටළු මතුවනු ඇති.

විශේෂයෙන්ම කාශ්මීර ප්‍රාන්ත පොලිසිය කෙසේ වියයුතු ද යන කරුණ මතභේද නිර්මාණය කළ හැකි ස්ථානයක් වනවා. කෙසේ වෙතත් දීර්ඝ කාලීනව කල්පනා කිරීමේදී එම ගැටළු නිරාකරණය කරගෙන ප්‍රාන්ත තත්ත්වය නැවත කාශ්මීරය වෙත ලබාදීම වඩා නුවණැති ක්‍රමය බවයි පෙනෙන්නට තිබෙන්නේ.

මූලාශ්‍ර
1. The Indian Express: J&K leaders-Modi meeting Highlights: Delimitation has to happen at quick pace so that polls can happen, says PM Modi

2. Al Jazeera: Modi meets Kashmir leaders for first time since autonomy revoked

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.