ජනරජ දිනය දා ඉන්දියාවේ කතාබහට ලක්වූ කාලිස්ථානය
ඉන්දියාවේ ජනරජ දිනය ජනවාරි 26 වනදාට යෙදී තිබෙනවා. එදින ප්‍රධාන සමරුව සාමාන්‍යයෙන් පවත්වනු ලබන්නේ දිල්ලියේ රතු බලකොටුව අසළයි. 2021 වසරේ ද සාමාන්‍ය පරිදි රතු බලකොටුව අසළ එම සමරුව පැවැත්වීමට සූදානම්ව තිබුණා. කෙසේ වෙතත් මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ නව කෘෂිකාර්මික නීතිවලට එරෙහිව විරෝධතා දක්වමින් සිටි පන්ජාබයේ සික් ගොවීන් ද එදින දැවැන්ත විරෝධතා රැළියක් සූදානම් කර තිබුණා. 2021 ජනවාරි 26 වනදා උදෑසන මෙම රැළිය, කලින් දිල්ලි පොලිසිය හා එකඟ වී තිබුණු මාර්ගවලින් පිට පනිමින් රතු බලකොටුව කරා පැමිණියා. එහිදී ඔවුන් සිය ආගමික ධජයක් වූ “නිහාන් සහිබ්” ඔසවා විරෝධය දැක්වූවා.
කෙසේ වෙතත් මේ අවස්ථාවේ විරෝධතාකරුවන් සමහරෙක් අත තිබූ ධජයක් හේතුවෙන් ඉන්දියාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර පැතිරගිය කතාබහක් වුණේ විරෝධතාකරුවන් කාලිස්ථාන ධජය එසවූ බවයි. එම කරුණ සත්‍යයක් නොවන බව පසුව පැහැදිලි වුණා. එහෙත් විශේෂයෙන්ම භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවන් විසින් මෙම විරෝධතා මෙහෙයවන්නේ කාලිස්ථානවාදීන් බවට කලක් තිස්සේ පතුරවන්නට උත්සාහ කරන ප්‍රවාදයට එයින් නව පණක් ලැබුණා.
කාලිස්ථාන ව්‍යාපාරය පිළිබඳ නැවත කතාබහක් ඇතිවූ හෙයින් අප ද ඒ පිළිබඳ කෙටි සටහනක් තබන්නට කල්පනා කළා.
සික්වරුන්ගේ දේශය
19 වන සියවස මුල් භාගයේදී පන්ජාබය පාලනය කළේ රන්ජිත් සිං විසින්. එකල ඉන්දියාවේ ප්‍රබලම පාලකයකු වූ රන්ජිත් සිංගේ සික් අධිරාජ්‍යය වර්තමාන ඉන්දියාව සහ පාකිස්ථානය යන දෙරටටම අයත් විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබුණා. බටහිරින් ඛයිබර් දුර්ගය වෙතත්, උතුරින් කාශ්මීරය දෙසත්, නැගෙනහිරින් ටිබෙට් මායිම වෙතත් මෙය පැතිර තිබුණා. මෙම රාජ්‍යයේ අගනුවර වූයේ ලාහෝර් නගරයයි.
ඇන්ග්ලෝ-සික් යුද්ධවලින් පසු මෙම ප්‍රදේශය ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම විසින් අත්පත් කරගත්තා. ඉංග්‍රීසි පාලනය යටතේ සික්වරුන් සාමාන්‍යයෙන් හොඳ ජීවන තත්ත්වයක් අත්වින්ඳා.
ඉන්දියාවේ ජාතික ව්‍යාපාරය නැගී එන අවස්ථාවේ සික්වරුන් වෙනුවෙන් පෙනී සිටින ශිරෝමනී අකාලි දාල් පක්ෂය නිර්මාණය වුණා. 1929 දී ඉන්දියානු ජාතික කොන්ග්‍රසය විසින් පූර්ණ ස්වරාජ්‍ය අදහස ඉදිරිපත් කරන විට, මෙම අකාලිවරුන් ඊට එරෙහි වුණා.
ඊට හේතුව වුණේ ස්වාධීන ඉන්දියාවක් තුළ තම අයිතීන් පිළිබඳ බියක් පැවතීමයි. පන්ජාබයේ කිසිම ප්‍රදේශයක සික්වරුන් බහුතරය වූයේ නැහැ.
1947 දි ඉන්දියාව සහ පාකිස්ථානය නිදහස ලැබූවිට පන්ජාබය ද දෙකඩ වුණා. ලාහෝර් නගරය හිමිවුණේ පාකිස්ථානය වෙතයි. නමුත් සික්වරුන් ඉන්දියාව තෝරාගත් අතර ලක්ෂ ගණන් සික්වරුන් ඉන්දීය පන්ජාබයට පැමිණියා. ඉන්දියාව දෙකඩ වීමේදී ඇතිවූ ජාතිවාදී ඝාතනවලින් ඔවුන් ද පීඩාවට පත්වුණා.
ඉන්දියාවට හිමි වූ පන්ජාබයේ ද සික්වරුන් මෙන්ම හින්දූන් ද සිටියා. මේ හේතුවෙන් සික්වරුන්ට වෙනම ප්‍රාන්තයක් අවශ්‍ය බවට මතයක් ජනප්‍රිය වන්නට පටන් ගත්තා. මේ සඳහා කටයුතු කළ දේශපාලන ව්‍යාපාරය හඳුන්වන ලද්දේ පන්ජාබ් සුභා ව්‍යාපාරය යනුවෙන්. මේ අතර ඉතා සුළු පිරිසක් දෙනා එතැනින් ද ඔබ්බට යමින් සික්වරුන්ගේ රාජ්‍යයක් හෙවත් කාලිස්ථානයක් පිළිබඳ සිහින මැව්වා.
පන්ජාබ් සුභා ව්‍යාපාරය සහ කාලිස්ථානය
කාලිස්ථානයේ මායිම් පිළිබඳ විවිධ මත පැවතියා. ඇතමෙක් එය ඉන්දියාවට පමණක් සීමා කළ නමුත් එහි ද මායිම් පිළිබඳ විවිධ අදහස් තිබුණා. මේ අතර තවත් සමහරෙක් ලාහෝර් නගරය කාලිස්ථානයේ අගනුවර බවට පත්විය යුතු බවට සිහින දුටුවා.
එමෙන්ම මෙම රාජ්‍යයේ පාලන තන්ත්‍රය කෙසේ වියයුතු ද යන්න පිළිබඳ ද එක මතයක් වූයේ නැහැ. ඇතමෙක් එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විය යුතු බවට පිළිගත් නමුත් තවකෙක් කියා සිටියේ එය ආගම මුල් කරගත් රාජ්‍යයක් වියයුතු බවයි.
කෙසේ වෙතත් ඉන්දියාවේ සික් ජනතාව තුළ කාලිස්ථානය සඳහා විශාල සහයක් තිබුණේ නැහැ. පන්ජාබ් සුභා ව්‍යාපාරය නම් ඉතා ජනප්‍රිය වුණා. නමුත් වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් හෝ ප්‍රායෝගිකත්වයක් හෝ බොහෝදෙනා දුටුවේ නැහැ. ඉන්දියාවෙන් පිටත ජීවත් වූ සික් ප්‍රජාව තුළ කාලිස්ථානය සඳහා ඊට වඩා කැපී පෙනෙන නැඹුරුවක් පෙනෙන්නට තිබුණා.
ඉන්දියාව නිල වශයෙන් අනාගමික රාජ්‍යයක් බැවින් ආගමික පදනමක් සහිතව ප්‍රාන්ත බෙදීමට එම රජය මුලින් අකමැත්තක් දැක්වූවා. නමුත් පසුව ඔවුන් පන්ජාබය වෙන් කිරිමට එකඟ වුණා. ඒ අනුව සික් බහුතරය සිටින ප්‍රදේශය පන්ජාබයට ඉතිරි වනවිට, හින්දු බහුතරය සිටින ප්‍රදේශය හර්යානා ප්‍රාන්තය නම් නව ප්‍රාන්තයක් බවට පත්වුණා. එමෙන්ම පැරණි පන්ජාබ් ප්‍රාන්තයේ තවත් කොටසක් හිමාචල් ප්‍රදේශ් වෙත ඈඳනු ලැබුණා. මෙය සිදුවුණේ 1966 පන්ජාබ් ප්‍රාන්ත ප්‍රතිසංවිධාන පනත මගින්.
බින්ද්‍රන්වාලේ
පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්ත දෙකටම අගනුවර ලෙස නම් කෙරුණේ චන්දිගාර් නගරයයි. එමෙන්ම මෙම ප්‍රදේශයේ ගංගාවල ජලය බෙදීම පිළිබඳ ද පන්ජාබ් ප්‍රාන්තයේ අප්‍රසාදයක් පැවතියා. 1973 දී පන්ජාබයට වඩා පුළුල් බලය බෙදීමක් අපේක්ෂාවෙන් ආනන්ද්පූර් සහිබ් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරන ලද්දේ එම පරිසරයේයි.
1970 දශකයේ දෙවන භාගයේදී පන්ජාබයෙන් නව නායකයකුගේ ඉස්මතු වීම පෙන්නුම් කෙරුණා. ඔහු ජර්නේල් සිං බින්ද්‍රන්වාලේ. මුල් කාලයේ, විශේෂයෙන්ම 1970 දශකයේ දෙවන භාගයේදී ඔහුට කොන්ග්‍රස් පක්ෂය තිරය පිටුපසින් ආධාර කළ බවට චෝදනා තිබෙනවා. කොන්ග්‍රස් පක්ෂයේ අදහස වන්නට ඇත්තේ සික්වරුන් අතර තමන්ට අහිමි වූ ජනප්‍රසාදය නැවත ලබාගැනීමයි.
1980 දී ඉන්දිරා ගාන්ධි නැවත බලයට පත්වූ පසු බින්ද්‍රන්වාලේ රජයට එරෙහි කඳවුරේ ඉස්මතු වුණා. ඔහු පන්ජාබයට පුළුල් ස්වයං පාලන බලතල ඉල්ලා සිටින ආනන්ද් සහිම් ප්‍රඥප්තිය සඳහා සහය දෙන ප්‍රබලයකු බවට පත්වුණා. 1982 දී ඒ සඳහා බල කෙරෙන “ධර්ම් යුද් මෝර්චා” (සාධාරණත්වයේ ව්‍යාපාරය” ඔහු විසින් දියත් කෙරුණා. ඉන්පසු සිය සගයින් පිරිසක් සමග ඔහු අම්රිත්සාර් නගරයේ පිහිටි සික් ආගමිකයන්ගේ මුදුන් මල්කඩ බඳු වන රන් දෙවොලේ කොටසක කඳවුරු බැඳගත්තා.
ඔපරේෂන් බ්ලූ ස්ටාර්
බින්ද්‍රන්වාලේ දිගින් දිගටම ගෙනගිය ප්‍රචාරක සහ ප්‍රචණ්ඩ වැඩපිළිවෙළ නැවැත්වීමට කරන ලද උත්සාහයන් ව්‍යර්ථ වූ තැන ඔහුව රන් දෙවොලින් එළවීම සඳහා එයට පහර දීමට ඉන්දීය රජය තීරණය කළා. එය සිදුවූයේ 1984 ජූනි මාසයේයි. මෙම මෙහෙයුම “ඔපරේෂන් බ්ලූ ස්ටාර්” නමින් හැඳින්වෙනවා. මෙහිදී බින්ද්‍රන්වාලේ ද මියගියා.
පන්ජාබ් වැසියන් අතර වැඩි පිරිසක් වෙනම රාජ්‍යයක් බලාපොරොත්තු නොවූවද බින්ද්‍රන්වාලේ ඉන්දීය රජය සමග ගැටුණ ආකාරය හේතුවෙන් ඔහු නිර්භීත නායකයකු යයි හැඟීමක් වුණා. ඊටත් වඩා සික්වරුන් කෝප ගැන්වීමට හේතුවුණේ රන් දෙවොලට පහර දීමයි. මීළඟ මාස කිහිපය ඉතා උණුසුම් තත්ත්වයක් පන්ජාබයේ නිර්මාණය කළා. සියල්ල පුපුරා හැලුණේ 1984 ඔක්තෝබර් 31 වනදා උදෑසනයි.
ඉන්දිරා ගාන්ධි ඝාතනය
1984 ඔක්තෝබර් 31 වනදා උදෑසන සික් ආරක්ෂක භටයින් දෙදෙනකු වූ සත්වන්ත් සිං සහ බීන්ත් සිං විසින් ඉන්දිරා ගාන්ධි ඝාතනය කෙරුණා. මෙහි ආසන්නම ප්‍රතිඵලය වූයේ දිල්ලියේ මෙන්ම පන්ජාබයේ ද සික්වරුන් වෙත ප්‍රහාර එල්ල වීමයි. දින කිහිපයක් මෙම ප්‍රචණ්ඩත්වය පැවතියා.
කෙසේ නමුත් මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරණය කෙමෙන් පහව ගිය පසු, වඩා සන්සුන් ස්වභාවයක් ඇතිවුණා. කාලිස්ථාන ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව 1980 දශකයේ මුල් භාගය ලෙස සලකන්නට හැකියාව තිබෙනවා. අදටත් 1984 ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තන්ට එරෙහිව ප්‍රමාණවත් යමක් සිදු නොවීම සික්වරුන් තුළ යම් අප්‍රසාදයක් නිර්මාණය කරනවා. නමුත් ඉන්දියාවේ සාපේක්ෂව හොඳ ජීවන තත්ත්වයක් ඇති ප්‍රාන්තයක් බවට පන්ජාබය පත්වූ බවත් අමතක නොකළ යුතුයි.