කශෝගි ඝාතන වාර්තාව සහ ඇමරිකන් – සෞදි සබඳතා

February 27, 2021

2018 දී සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය කළ මෙහෙයුම එරට කිරුළ හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් දැන සිටි බව ඇමරිකානු බුද්ධි වාර්තාවක් පවසනවා.

මුලින් රහස්‍ය වාර්තාවක් ලෙස පැවති මෙම වාර්තාව ජනතාව වෙත මුදාහැරීමට බයිඩන් පාලනය පියවර ගැනීම ම සෞදි අරාබිය පිළිබඳ ඇමරිකන් ප්‍රතිපත්තිවල වෙනසක් සනිටුහන් කරනවා.


ජමාල් කශෝගි (AP)

සෞදි රජයේ තීරණ ගැනීමේ කටයුතුවල බින් සල්මාන් ඍජුවම සිටීම සහ එරට බුද්ධි කටයුතු ඔහුගේ අධීක්ෂණය යටතේ පැවතීමත්, ඔහුට ඍජුවම පිළිතුරු දෙන ඒකකයක සාමාජිකයන් කශෝගි ඝාතනයට සම්බන්ධ දූත පිරිසේ සිටීමත් හේතුවෙන් බින් සල්මාන් කශෝගි ඝාතනය පිළිබඳ පැහැදිලිව දැන සිටියේ යයි අදාල වාර්තාවෙන් පැවසෙනවා.

කශෝගිගේ කටයුතු සෞදි රජයට තර්ජනයක් යයි නිගමනය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව කටයුතු කිරීමට සෞදි රජය විසින් තීරණය කරන ලදැයි එම වාර්තාව තවදුරටත් පවසනවා.

කශෝගි ඝාතනය
ජමාල් කශෝගි වසර තිහක පමණ පළපුරුද්දක් සහිත වූ සෞදි අරාබියානු මාධ්‍යවේදියකු වුණා. ඔහු 2017 දී රටින් පළා ගියේ රජයෙන් තමන්ට තර්ජන ඇති බව පවසමින්. ඔහු වොෂිංටන් පෝස්ට් පුවත්පත සඳහා ද සේවය කළා.

කශෝගි ඝාතනය වූයේ 2018 ඔක්තෝබර් 2 වනදා යි. ලිපිගොනු කටයුත්තක් උදෙසා ඔහු තුර්කියේ ඉස්තාන්බුල් හි සෞදි කොන්සල් කාර්යාලයට කශෝගි පැමිණි අතර ඉන්පසු ඔහු පිටව ගියේ නැහැ. ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳ කිසිවක් නොදන්නා බව සෞදි අරාබිය පැවසූ අතර පසුව ඔවුනට කශෝගි සිය කොන්සල් කාර්යාලයේදී මරණයට පත්වූ බව පිළිගැනීමට සිදුවුණා.

මුලින්ම එය එම අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් මත සිදුවූ බව සෞදි රජය පැවසුවද පසුව එය කලින් සැලසුම් කරන ලද්දක් බවට සෞදි අරාබියේ නීතිපති විසින් පිළිගැනුණා.


කශෝගි ඉස්තාන්බුල් නගරයේ සෞදි කොන්සල් කාර්යාලය වෙත ඇතුල් වන අවස්ථාව

මෙම මරණයට තමන් වගකිව යුතු බව මොහොමඩ් බින් සල්මාන් වරෙක ප්‍රකාශ කළා. ඔහු පැවසූයේ තම පාලනය යටතේ මෙය සිදුවූයෙන් ඒ පිළිබඳ වගකීමක් තමන්‍ට ඇති බවයි. කෙසේ වෙතත්, මෙම ඝාතනය පිළිබඳ තමන් කිසිවක් නොදැන සිටි බව ඔහු පැවසුවා.

කශෝගි ඝාතනයට සම්බන්ධ බව පැවසුණ පිරිසක් අධිකරණය හමුවට පමුණවන ලව අතර ඉන් පස් දෙනකුට මරණ දඬුවම ද නියම වුණා. කෙසේ වෙතත් මෙම අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරන්නන් සඳහන් කළේ එමගින් එය පිටුපස සිටි සැබෑ පුද්ගලයන් සැඟවූ බවයි. මෙම අධිකරණ ක්‍රියාවලිය විවෘත ලෙස සිදු නොවීම ඊට සාක්ෂියක් ලෙස ඔවුන් පෙන්වා දුන්නා. පසුව වාර්තා වූයේ මරණ දඬුවමට නියම වූවන්ට කශෝගිගේ දරුවන් විසින් සමාව දුන් බවයි. මේ අතර තවත් පිරිසක් මෙම අපරාධය සම්බන්ධව සිරගත කර තිබෙනවා. ඔවුන්ට නම් සමාවක් නියම වූ බවක් වාර්තා වන්නේ නැහැ.

ඇමරිකාවෙන් “කශෝගි තහනම”
ඇමරිකාව වීසා සීමා කිරීමේ නව ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙනවා. “කශෝගි තහනම” ලෙස හඳුන්වා දෙන එම ක්‍රමවේදය මගින් යම් ආණ්ඩුවකට විරුද්ධව කටයුතු කරන විරුද්ධවාදීන් සහ මාධ්‍යවේදීන් ආදී පුද්ගලයන්ට තර්ජනය කිරීම, හිංසා කිරීම, ඔවුන් ගැන ඔත්තු බැලීම, ඔවුන් මර්ධනය ආදී ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කෙරෙනවා.


බ්ලින්කන් (AFP)

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ බව ප්‍රකාශ වූවන් ඇතුළු සෞදි ජාතිකයන් 76 දෙනකුට එරෙහිව මෙම වීසා තහනම පනවන බව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කියා සිටියා. අනාගතයේදී මෙම ප්‍රතිපත්තිය වෙනත් රටවල් අරභයා වුවද ක්‍රියාවට නැගිය හැකියි.

ඇමරිකා – සෞදි සබඳතා
මේ අතර, ඉහත වාර්තාව නිකුත් වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් සෞදි අරාබියේ සල්මාන් රජු හා දුරකථනයෙන් සංවාදයක නිරත වූයේ යයි සඳහන් වුණා. රජු සමග තමා කළ කතා බහේදී එරට සමග ගනුදෙනු කිරීමේ ඇමරිකානු ප්‍රතිපත්තිවල වෙනසක් සිදුවනු ඇති බව තමා පැවසූයේ යයි ජනාධිපති ජෝ බයිඩන් කියා සිටිනවා.

ඔහු පවසන්නේ මේ පිළිබඳ තවත් තීරණ ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බවයි.

ඇමරිකාව සමග යහපත් සබඳතා අවශ්‍ය නම් මානව හිමිකම් පිළිබඳ සැලකීමක් දැක්විය යුතු බවයි බයිඩන් පවසා සිටියේ.


බින් සල්මාන් (AFP)

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමයේ ඇමරිකාව සහ සෞදි අරාබිය අතර ඉතා සමීප සම්බන්ධතාවයක් තිබුණා. කශෝගි ඝාතනය පිළිබඳ චෝදනා බින් සල්මාන් දෙසට යොමු වෙද්දී ට්‍රම්ප් පාලනය ඔහුව ආරක්ෂා කළා. නමුත් බයිඩන් පාලනය ඊට වඩා තරමක් වෙනස් මග්ක් පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත් පුද්ගලිකව බින් සල්මාන්ට එරෙහිව ඇමරිකාව කිසිදු පියවරක් නොගනු ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍යවල කතාබහට ලක්ව තිබෙන කරුණක්.

එවැනි පියවරක් මගින් ඇමරිකාව සහ සෞදි අරාබිය අතර ඇති සබඳතාවයට බරපතල හානියක් සිදුවීමට ඉඩ තිබෙන බැවින් එවන් පියවරකට ඇමරිකාව නොයනු ඇති.

මේ අතර ඊශ්‍රායලය සහ මැදපෙරදිග රටවල් අතර පසුගිය සමයේ වර්ධනය වූ සම්බන්ධතාවට මෙම නව තත්ත්වය මගින් බලපෑමක් ඇති වේ යයි ඍජුවම ප්‍රකාශ කළ නොහැකියි. ට්‍රම්ප් පාලනය වෙතින් කෙතරම් පෙළඹවීම් පැමිණියද සෞදි අරාබිය ඊශ්‍රායලය සමග නිල සබඳතා ස්ථාපිත කර නොගත්තේ නව බයිඩන් පාලනය යටතේ ඇමරිකානු ප්‍රතිපත්ති කවරාකාර වේදැයි වන සැකය නිසාවෙන් බවයි එකල වාර්තා වූයේ.

බයිඩන් පාලනය සෞදි අරාබියේ අපේක්ෂාවන්ට ඍජුවම එකඟ නොවූ මුල් අවස්ථාව මෙය නොවේ. යේමන යුද්ධය නිමා විය යුතු බවට කළ ප්‍රකාශය ද ඉරානය සමග නව එකඟතාවයක් පිළිබඳ වන සංඥා ද ඇමරිකන් ප්‍රතිපත්තිවල වෙනසක් පෙන්වා දෙනවා. එම පියවරයන් හි යටි අරමුණු කවරේද යන්න ඇතැම් විට, ඉදිරියේදී අපට වඩා පැහැදිලි වනු ඇති.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.