දුටුගැමුණු විජයග්‍රහණය සහ කාවණ්තිස්ස රජතුමා

මාගම රාජ්‍යයේ කාවණ්තිස්ස රජතුමා පාලකයා වෙනකොට, රජරට පාලනය කළේ එළාර රජතුමා. මාගමට අමතරව කැළණි රාජ්‍යය, සෝම රාජ්‍යය, සේරු රාජ්‍යය, ගිරි රාජ්‍යය වගේ ඒ කාලෙ අපේ රටේ තවත් ප්‍රාදේශීය රාජ්‍යන් තිබිලා තියෙනවා.

එළාරගෙන් අපේ රට බේර ගන්න නම් මුලින්ම අපේ රටේ අනිත් රාජධානි එක්සේසත් වෙන්න ඕන කියලා හිතපු කාවණ්තිස්ස රජතුමා, මේ කාර්යය රෝහණයෙන්ම ආරම්භ කරනවා. මොකද දර කෝටුවක් ලේසියෙන්ම කඩා ගන්න පුලුවන් වුණාට, දර මිටියක් කඩන්න අමාරුයි. ඒ නිසා හැමෝම එකමුතු වුණොත් අපිව පරද්දන්න බෑ. මෙන්න මේ ටික කාවණ්තිස්ස රජතුමා හොදින් තේරුම් ගත්තා.

ප්‍රාදේශීය රාජ්‍යන් සමගි කර ගැනීම
කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරිය වුණු විහාර මහා දේවියත් එක්ක විවාහ ගිවිස ගැනීම අනපේක්ෂිතව සිදු වුණත්, ඒ ඔස්සේ කැළණි රාජ්‍යයේ උරුමක්කාරයෙක් වෙන්නත්, කැළණි රාජ්‍ය එක්ක සම්බන්ධතා ගොඩ නගා ගන්නත් කාවණ්තිස්ස රජ්ජුරුවන්ට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම “අභය” කියන ප්‍රාදේශීය නායකයාට තමන්ගෙ සහෝදරිය වුණු “සෝමා” දේවිය විවාහ කරලා දීලා, ගිරි රාජ්‍යයෙත් තමන්ගේ බලය පතුරවනවා.

ඊළගට කාවණ්තිස්ස රජතුමා හැරුනෙ “සේරු රාජ්‍ය” දිහාවට. මේකට කාවණ්තිස්ස රජතුමා ආගමික උපක්‍රමයක් යොදනවා.

රජතුමා, හාමුදුරු නමක්ව සේරු රාජ්‍යයට යවනවා හොදවැයින් බොරුවක් කියන්න පුරුදු කරලා. මේ හාමුදුරුවො සේරු රාජ්‍යයට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා.

“අනාගතයේ දවසක උතුම් වූ සිරි ලක්දිව, රෝහණ රාජ්‍යයේ රජකම් කරන කාවණ්තිස්ස නම් රජ කෙනෙක්, සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ලළාට ධාතු නිධන් කර, සේරු රාජ්‍යයේ මහා දාගැබක් ඉදි කරන බව, අතීතයේ සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේ, උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලදී”.

ඉතින් මේක අහන සේරු රාජ්‍යයේ පාලකයා වුණු ශිව රජතුමා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. චෛත්‍යය හදන්න දුන්නොත් කාවණ්තිස්ස රජතුමාගේ බලයට යටත් වෙනවා. චෛත්‍යය හදන්න අවසර දුන්නෙ නැත්නම් බෞද්ධ ලෝකයාගේ අප්‍රසාදයට ලක් වෙන්න පුලුවන්. ඒක නිසා ශිව, කාවණ්තිස්ස රජතුමාට සේරු රාජ්‍යයේ චෛත්‍යයක් හදන්න දීලා පැත්තකට වෙනවා. ඒකෙන් මේකෙන් සේරු රාජ්‍යයෙත්, මාගම රාජ්‍යයේ බලය පැතිරෙනවා.

මේ විදිහට මාගම වටේ තිබුණු හැම ප්‍රාදේශීය රාජ්‍යක්ම තමන්ගෙ රාජ්‍යය යටතට අරගෙන ඒ ඒ පාලකයන්ගේ පක්ෂපාතීත්වය ගන්නවා. ඒ වගේම මාගම ශක්තිමත් කරනවා. ඊළගට කාවණ්තිස්ස රජතුමාගේ අරමුණ වුණේ එළාරගෙ පාලනයෙන් අපේ රට මුදවා ගන්න එකයි. ඒ නිසා කාවණ්තිස්ස රජතුමා, එළාර පාලනයෙන් අපේ රට බේරගන්න ක්‍රියා මාර්ග ගොඩක් ගන්නවා.

සේනා සoවිධානය කිරීම
පළවෙනි එක සේනා සංවිධානය කිරීම. හැම පවුලකින්ම එක්කෙනෙක් හමුදාවට බැදෙන්න ඕන කියලා එතුමා අණක් පනවනවා. හමුදා සාමාජිකයන්ට අවශ්‍යය නායකත්වය සහ පුහුණුව ලබා දෙනවා. මේ හමුදාවට දස මහා යෝධයන්ව එකතු කරනවා. ආයුධ නිෂ්පාදනය කරන්න, හැම ගමකම ආයුධ කම්හල් ස්ථාපිත කරනවා. යුද්ධයට ඕන කරන සැලසුම් නිර්මාණය කරනවා. දේශ සීමා ලකුණු කරලා එළාරගේ බල ව්‍යාප්තිය සීමා කරනවා.

ආහාර ගබඩා කිරීම
මීළගට කාවණ්තිස්ස රජතුමා ආහාර එක්රැස් කිරීමටත් අවධානය යොමු කරනවා. මොකද බඩගින්නෙ යුද්ධයක් කරන්න බෑ. ඒ වගේම යුද්ධයක් ඇති වෙනවා කියන්නෙ අනිවාර්යෙන්ම සෙබළුන්ට වගේම රටවැසියන්ටත් අතිරික්ත ආහාර සැපයුමක් අවශ්‍ය වෙනවා කියන එකයි. මේ නිසා රජතුමා සද්ධාතිස්ස කුමාරයාව යවලා දිගාමඩුල්ලෙ කුඹුරු අස්වද්දනවා. රුහුණෙ ඉදලා අනුරාධපුරයට යන්න තියෙන ගමන් මාර්ගවල හමුදාවට ප්‍රයෝජනයට ගන්න ආහාර ගබඩා ඉදි කරනවා.

දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඒ තමයි, එළාරගේ පාලනයෙන් අපේ රට මුදව ගන්න මේ හැම දෙයක්ම සංවිධානය කරලත්, යුද්ධයකට අවශ්‍ය හැම පසුබිමක්ම සංවිධානය කරලත් “එළාර එක්ක යුද්ධ කළේ නැත්තෙ ඇයි..????” කියන ප්‍රශ්නය.

එළාර සමඟ යුද්ධ නොකළෙ ඇයි?
අපේ රටේ ඉතිහාසඥයන් මේකට හේතු 3ක් දක්වනවා.

පළවෙනි කාරණාව තමයි එළාරගේ ජනප්‍රියත්වය. වංශ කතා වලට අනුව නම් එළාර කියන්නෙ බොහොම කරුණාවන්ත රජ කෙනෙක්. ඒත් තමන්ගෙ රට වගේ 60 ගුණයක් පුංචි රටක් ආක්‍රමණය කරපු ආක්‍රමණිකයෙක්, කරුණාවන්ත කෙනෙක් වෙන්නෙ කොහොමද කියලත් අපිට මෙතනදි ප්‍රශ්නයක් මතු වෙනවා. කොහොම හරි වංශ කතා වල තියෙන විදිහට නම් එළාර යුක්තිය සහ සාධාරණත්වය අගය කළා. මේ නිසා අපේ රටේ සමහරක් මිනිස්සු අතර එළාර ජනප්‍රිය වෙන්න ගන්නවා. මිනිස්සු ආදරය කරන්න, පක්ෂපාතීත්වය දක්වන්න පටන් ගන්නවා. එළාර එක්ක යුද්ධ කරලා එළාරව මැරුවොත්, එළාර ලබා ගෙන තිබුණු ජනප්‍රියත්වය නිසා කාවණ්තිස්ස රජතුමාට විරුද්ධව ලොකු ජනතා බලවේගයක් ගොඩ නැගෙන්න පුලුවන්. ඒ වගේම එළාර එක්ක යුද්ධ කරනකොට ජනතා සහාය එළාරට ලැබිලා, එළාර ජයග්‍රහණය කරන්නත් ඉඩ තියෙනවා.

දෙවෙනි කාරණාව ඇවිල්ලා වයස් පරතරය. කාවණ්තිස්ස රජතුමා ගොඩක් මහළුයි. එළාර, කාවණ්තිස්ස රජතුමාට වඩා ගොඩක් බාලයි. කායික හෝ මානසික ශක්තියක් නෑ කියලා කියන්නෙ, මානව ලක්ෂණ අනුව කොහොමත් කාර්යශූර වෙන්න බෑ කියන එකනෙ. ඒ නිසා එළාර එක්ක යුද්ධ කළොත් අනිවාර්යෙන්ම කාවණ්තිස්ස රජතුමාට යුද්ධයෙන් පරදින්න වෙනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඒ වගේම එළාර අපේ රට පාලනය කරනකොට දකුණු ඉන්දියාව සහ උතුරු ඉන්දියාව අපේ රට දිහාවට ඇහැ ගහගෙන හිටියා. බැරිවෙලාවත් එළාර එක්ක යුද්ධ කරනකොට, එළාර ඉන්දියාවේ රාජ්‍යන්වලින් උදව් ඉල්ලුවොත්, අනිවාර්යෙන්ම එහෙන් හමුදාව එවනවා එළාරගේ උදව්වට. ඒක නිසා උතුරු සහ දකුණු ඉන්දීය අධිරාජ්‍යන්, එළාර ගැන හොයල බලන්න බැරි තරමට දුර්වල වෙනකන් කාවණ්තිස්ස රජතුමා බලා ගෙන හිටියා.

දුටුගැමුණු රජතුමා එළාර එක්ක යුද්ධ කරනකොට, එළාරගෙ උදව්වට ඉන්දියාවෙන් හමුදාවක් එවපු බවක් සදහන් වෙනවා. මේක තමයි සැබෑ පාලකයෙක්ට තියෙන්න ඕනම කරන දේ. ඒ වගේම අද අපේ පාලකයන්ට නැති දේ. “දුර දිග සිතා බැලීමේ හැකියාව”. බලන්න කාවණ්තිස්ස රජතුමා කොච්චර දුරට මේක ගැන හිතුවද කියලා? හොදට විචාරපූර්වකව කල්පනා කරලා තමයි පාලන කටයුතු කරලා තියෙන්නෙ.

මහා වංශය, මහා විහාරය සහ මහානාම හිමි
ඒත් එළාර එක්ක යුද්ධ නොකළට අපිට කාවණ්තිස්ස රජතුමාගේ කාර්යය සාඵල්‍ය කොහොමටවත් අවතක්සේරු කරන්න බෑ.

මහා වංශය රචනා කරන මහානාම හාමුදුරුවන්, කාවන්තිස්ස රජතුමා දුර්වල පාලකයෙක් කියලත්, දුටුගැමුණු කුමාරයා කාන්තා වස්ත්‍ර සහ ආභරණ යැව්වා කියලත් සදහන් කරලා තියෙනවා. මහානාම හාමුදුරුවන්ට ලොකු උවමනාවක් තිබිලා තියෙනවා දුටුගැමුණු චරිතය ප්‍රධාන තැනකට ගේන්න. මොකද දුටුගැමුණු රජතුමා, මහා විහාරයට ගොඩක් අනුග්‍රහය දක්වපු රජ කෙනෙක්. මහා වංශය ලියන මහානාම හාමුදුරුවොත්, මහා විහාරයේ හිමි නමක්.

ඒ නිසා උන්වහන්සේ මහා වංශය රචනා කරනකොට, මහා විහාරයට අනුග්‍රහය දක්වපු රජවරුන්ට වැඩි ඉඩකඩක් වෙන් කරලා තියෙනවා. මහා විහාරයට අනුග්‍රහය නොදක්වපු සහ විශේෂයෙන්ම මහා විහාරයත් එක්ක ප්‍රශ්න ඇති කරගත්ත රජවරු ගැන උන්වහන්සේ රචනා කරලා තියෙන්නෙ බොහොම කෙටියෙන්.

දුටුගැමුණු විජයග්‍රහණයේ වැඩි ගෞරවය
කාවණ්තිස්ස රජ්ජුරුවෝ, එළාර එක්ක යුද්ධ කරන්න සුදුසු කාලය මේක නෙවේ කියලා නිකන් හිටියෙ නෑ. ප්‍රාදේශීය රාජ්‍ය ඈදා ගෙන රුහුණේ බලය වර්ධනය කළා. හමුදා සංවිධානය, ආහාර නිෂ්පාදනය, ආයුධ නිෂ්පාදනය, ආයුධ පුහුණුව ලබා දීම, සැලසුම් සකස් කිරීම, දේශ සීමා ලකුණු කිරීම…… මේ හැම දෙයක්ම කරලා ලොකු දායකත්වයක් දුන්නා.

ඉතිහාසයේ වළගම්බා, මහා පරාක්‍රමබාහු, මහා විජයබාහු වගේ කුමාරවරු / රජවරු රජකම වෙනුවෙන් සහ රට බේරා ගැනීම වෙනුවෙන් යුද්ධ කරනකොට, ඒ අයට මේ වගේ වාසනාවක් තිබුණේ නෑ. උදාහරණයක් විදිහට වළගම්බා රජතුමාට ආසන්න වශයෙන් අවුරුදු 15ක් බලාගෙන ඉන්න වුණා.

ඒත් කාවණ්තිස්ස රජතුමා යුද්ධයට අවශ්‍ය පසුබිම, කිසිම අඩුපාඩුවක් නැතුව සකස් කරලා තිබුණු නිසා, දුටුගැමුණු රජ්ජුරුවන්ට තිබ්බෙ මේ ඔක්කොම ටික ක්‍රියාත්මක කරන්න විතරයි. ඉතින් කාවණ්තිස්ස රජතුමා නොහිටින්න දුටුගැමුණු රජ්ජුරුවන්ට පරිච්ඡේද 32න් 11කම පෙනී ඉදලා, මහා වංශයේ වීරයා වෙන්න ලැබෙන එකක් නෑ.

මේ නිසා අද වෙනකොට බහුතරයක් ඉතිහාසඥයන්ගේ මතය තමයි, දුටුගැමුණු විජයග්‍රහණයේ අයිතියෙන් 60%කටත් වඩා වැඩි ප්‍රමාණයක් කාවණ්තිස්ස රජතුමාට හිමි විය යුතුයි සහ මේ විජයග්‍රහණයේ සැබෑ නියමුවා කාවණ්තිස්ස රජතුමා කියන මතය.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.