මුදල් විශුද්ධිකරණය – පළමු කොටස

2006 අවුරුද්දෙ මාර්තු මාසයේ 6 වෙනිදා, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ 2006 අංක 6 දරන මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනත නීතියක් වශයෙන් සම්මත වුණා. ත්‍රස්තවාදී මූල්‍ය මර්දනය පිළිබඳ සම්මුතියේ මීට කලින් භාවිතා වුණේ 2005 අගෝස්තු 25, එහෙමත් නැත්නම් 2005 අංක 25 දරන පනතයි. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සඳහා වන නීතිමය රාමුව මේ නීති තුනෙන්ම ආවරණය වෙනවා.

ඇත්තටම මොකක්ද මේ මුදල් විශුද්ධිකරණය කියන්නෙ? අද ලෝකයේ සිද්ධ වෙන ගොඩක් අපරාධ වලට මුල් වෙන්නෙ, වෙන මොකක්වත් නෙවේ. මුදල්… එතකොට මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, නීති විරෝධී අවි වෙළඳාම්, වංචා සහ දූෂණ, ව්‍යාජ මුදල් නිකුත් කිරීම්, මංකොල්ලකෑම්, Blackmail කිරීම් වගේ ගොඩාක් අපරාධ සිද්ධ වෙන්නෙ මුදල් නිසයි. ඒක අපි හැමෝම දන්න දෙයක්.

මේ වගේ නීතිවිරෝධී ක්‍රම වලින් මුදලක් උපයා ගත්ත කෙනෙක්ට, මේ මුදල උපයා ගත්ත ක්‍රමය ගැන රටට ලෝකයට කියන්න බෑ. මොකද එයා ඒ මුදල උපයාගෙන තියෙන්නෙ නීතිවිරෝධී විදිහටයි.

එහෙනං ඒ කෙනාට ඉතිරි වෙන එකම විකල්පය තමයි, එයා නීතිවිරෝධීව හම්බ කරපු පිළිගත නොහැකි මුදල්, පිළිගත හැකි තත්වයකට පත් කරන එක. එහෙම පත් කරන්න සිදු කරන ක්‍රියාවලිය තමයි මුදල් විශුද්ධිකරණය කියලා කියන්නෙ.

The Financial Action Task Force, එහෙමත් නැත්නම් FATF කියලා කෙටියෙන් හදුන්වන අන්තර්ජාතික සංවිධානයක් තියෙනවා. සිංහලෙන් කිව්වොත් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය… අපි මේ කතා කරන මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ පැවැත්මට තියෙන තර්ජන වළක්වන්න ප්‍රමිති සකස් කිරීම ඇතුළු කාරණා රාශියක් නියාමනය කිරිම සහ ප්‍රවර්ධනය කරන එක තමයි FATF එකේ අරමුණ. FATF සංවිධානය, මේ මුදල් විශුද්ධිකරණය කියන වචනය නිර්වචනය කරලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි.

“The processing of criminal proceeds to disguise their illegal origin in order to legitimize the ill-gotten gains of crime”

මේ නිර්වචනය අපි සිංහලෙන් කිව්වොත් එන්නෙ….. අපරාධ වලින් අයථා ලෙස උපයා ගන්නා ලද ධනය, නීත්‍යානුකූල කිරීම වෙනුවෙන් ඒවායේ නීති විරෝධී සම්භවය සහ කරන ලද අපරාධ සැඟවීම සඳහා උපක්‍රම සැකසීම…. කියන අදහස.

Black Money, එහෙමත් නැත්නම් මේ විදිහට කළු සල්ලි රැස් කරන අය, ඒ සල්ලි පිරිසිදු සල්ලි විදිහට පරිවර්තනය කරගන්න එක එක ක්‍රම අනුගමනය කරනවා. සමහර අය එක එක පුද්ගලයන්ව භාවිතා කරනවා. සමහර අය එක එක ආයතන භාවිතා කරනවා. ඒ අතරෙ තවත් සමහර අය පුද්ගලයන් සහ ආයතන දෙකම භාවිතා කරනවා.

එතකොට ඕනෑම ආයතනයක් ගත්තත්, ඕනෑම පුද්ගලයෙක් ගත්තත් අපිට විධිමත් සහ අවිධිමත් කියලා කොටස් දෙකකට බෙදන්න පුලුවන්. මුදල් විශුද්ධිකරණයේ යෙදෙන අය තමන්ගේ අරමුණ සාර්ථක කරගන්න මේ විධිමත් සහ අවිධිමත් දෙකම උපකාරී කර ගන්නවා.

අවිධිමත් කියන කැටගරියට උදාහරණයක් විදිහට, මූල්‍ය නොවන ආයතන වර්ගයක් වන කැසිනෝ ව්‍යාපාර හදුන්වන්න පුලුවන්. ඒ වගේම දේපල වෙළදාම් ඒජන්සිත් හොඳ උදාහරණයක්. මේවා විශාල මුදල් පිරිවැටුම් (Cash Turnover) තියන ආයතන.

මුදල් විශුද්ධිකරණයේ යෙදෙන අය ගොඩක් වෙලාවට තනි ව්‍යාපාරිකයන්ව ඉලක්ක කරනවා. මේකට හොඳම උදාහරණයක් තමයි මැණික් වෙළදාම්වල නිරතවෙන ගණුදෙණු කරුවන්. ඊළගට ගණකාධිකාරීවරු සහ නීතිඥවරු වගේ වෘත්තීයවේදීනුත් ඉලක්ක කරනවා.

ඇයි මේ අයම?

මැණික් ගණුදෙණු කරුවන් ගණුදෙණු කරන්නෙ විශාල මුදල් තොගයක් එක්කයි. ගණකාධිකාරීවරු, නීතිඥවරු එයාලගෙ අරමුණු ඉටු කර ගන්න විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වෙන ගනුදෙණු සම්බන්ධව අවධානය යොමු කරනවා.

ඒ නිසා මුදල් විශුද්ධිකරණය වළක්වන්න නම් පුළුල් පරාසයක් ආවරණය වෙන විදිහට හැම පුද්ගලයෙක්ම සහ හැම ආයතනයක්ම කරන ගණුදෙණු පරීක්ෂා කරන්න වෙනවා.

අපි හැම තිස්සෙම මුදල් විශුද්ධිකරණය…. මුදල් විශුද්ධිකරණය…. කිව්වට තවම ඔයාලට කිව්වෙ නෑනෙ මේකෙ ඉංග්‍රීසි වචනය. මේ වචනයේ ඉංග්‍රීසි වචනය තමයි Money Laundering.

Laundering කිව්වම ඔයාලට මුලින්ම මතක් වෙන්නෙ මොකක්ද? Laundry එකක් නෙහ්?

මේ වචනය හැදුනු විදිහ ගැන මත කිහිපයක් තියෙනවා. ඒ අතරින් ගොඩක් ප්‍රචලිත මතය තමයි 1920 අවධියේ මුදල් විශුද්ධිකරණයේ යෙදුනු අය, එයාලා නීති විරෝධීව රැස් කරපු මුදල් විශුද්ධිකරණය කරන්න, එහෙමත් නැත්නම් කළු සල්ලි සුදු කරන්න,, රෙදි සෝදන වෙළඳ ව්‍යාපාර භාවිතා කළා කියන මතය.

දැන් අපි මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියේ අදියර මොනවද කියලා බලමු. මේ ක්‍රියාවලියේ අදියර 3ක් තියෙනවා.

ඒ තමයි,
01. Placement
02. Layering
03. Integration

කියන පියවර තුන…

Placement කියන්නෙ අපරාධවලින් උපයා ගත්ත කළු මුදල්, පිරිසිදු මුදල් විදිහට මූල්‍ය පද්ධතියට හඳුන්වාදීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමීම. මේක සැලසුම් අවධිය (Planning Stage).

Layering කියන්නෙ ඒ අයගේ අපරාධ සහ කළු මුදල්, යම් නීත්‍යානුකූල ව්‍යාපාරයකට, කුඩා කුඩා ගනුදෙණු විශාල සංඛ්‍යාවක් තුළින් ඇතුළු කරන ක්‍රියාවලියට.

Integration කියන පියවරෙන් අදහස් වෙන්නෙ ඒ මුදල්, ඒ අයගේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලින් ලැබුණා කියලා සගවලා, සාමාන්‍ය ගනුදෙණු හරහා අපේ මූල්‍ය පද්ධතියට ඇතුළු කිරීම. එහෙමත් නැත්නම් පරිහරණයට ගැනීම, ඒ මුදල් වලට බදු (Tax) ගෙවීම වැනි දේවල්. මේ අදියරයේ මේ අයගේ මුදල් එකතු වෙන්නෙ රටේ විධිමත් ආර්ථිකයටයි. එහෙම එකතු වුණාට පස්සෙ, මේ මුදල් වල තියෙන සාපරාධී ස්වභාවය මුළුමනින්ම නැති වෙනවා.

අපි මේ කතා කරපු මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියේ අදියර එකින් එක සිදු වෙන්නත් පුලුවන්. නැත්නම් එකවර සිද්ධ වෙන්නත් පුලුවන්.

මේ වගේ ලෝකයේ එක එක රටවල, එක එක විදිහේ මිනිස්සු සාපරාධීව උපයා ගත්ත මුදල්…. මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියට ලක් වෙලා, ලෝකය පුරාවටම විසිරිලා පැතිරිලා තියෙනවා. මුදල් විශුද්ධිකරණයේ තියෙන මූලිකම ලක්ෂණයක් තමයි රහස්‍යභාවය සහ මග හැරීම කියන්නෙ. ඒ නිසා හරියටම ලෝකයේ තියෙන ඒ වගේ කළු සල්ලි ගැන තක්සේරුවක් අරගන්න බෑ.

ඒ වුණත් දැනට අවුරුදු කිහිපයකට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ඒ කියන්නෙ අපි හැමෝම දන්න IMF එකෙන්, ලෝකය පුරා තියෙන විශුද්ධිකරණයට ලක් වුණු මුදල් ගැන තක්සේරුවක් කළා.

ඒ තක්සේරුවට අනුව ලෝකය පුරා තියෙන මුදල් විශුද්ධිකරණයට ලක් වුණු මුදල් ප්‍රමාණය, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන්, ඒ කියන්නෙ GDP එකෙන් 2%ත් 5%ත් අතරේ අගයක් අරගන්නවා. ඒ කියන්නෙ උපරිම වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.4ක් පමණ.

නොදන්න අයට දැන ගන්නත් එක්ක “ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය” කියන වචනය පැහැදිලි කරනවා නම්, ඒකෙන් කියවෙන්නෙ එක්තරා කාල සීමාවක් තුළ ලෝකයේ නිෂ්පාදනය කෙරෙන සියලුම නිමි භාණ්ඩ සහ සේවා වල මුල්‍යමය හෝ වෙළඳපල වටිනාකමයි.

ඔන්න අපි ඔබට සරලව මුදල් විශුද්ධිකරණය නොහොත් Money Laundering හදුන්වා දුන්නා. ඊළඟ කොටසෙදි අපි තවත් ටිකක් ගැඹුරුව මේ පිළිබඳව අධ්‍යනය කරමු.

මුදල් විශුද්ධිකරණය හොඳටම වෙන හැටි බලා ගන්න පුලුවන් හොඳ ටෙලි කතා මාලාවක් තියෙනවා. ඔබට අනුමාන කරන්න පුලුවන්ද?

ඒ තමයි……. Breaking Bad

දැනට ලෝකයේ බිහිවුණු හොඳම අපරාධ ටෙලි කතා මාලාව (Crime Drama).

මෙන්න මේ පහළ වීඩියෝවෙන් බලන්න, කොහොමද ඇත්තටම මුදල් විශුද්ධිකරණය වෙන්නෙ කියලා. මේකෙ හොර පෙරකදෝරුවෙකුත් ඉන්නවා. බලන්න එයාගෙ ජවනිකාවෙ මේ සම්පූර්ණ මෙහෙයුම.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.investopedia.com
* ඡායාරූපය 02 : www.fatf-gafi.org
* ඡායාරූපය 03 : www.moneymover.com
* ඡායාරූපය 04 : www.rt.com
* ඡායාරූපය 05 : www.eumcc.eu
* ඡායාරූපය 06 : www.fatf-gafi.org
* ඡායාරූපය 07 : www.newindianexpress
* වීඩියෝව : Vincenzo Cortino | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.