මියන්මාරයේ බලය හමුදාව අතට
2021 පෙබරවාරි 01 වනදා හිමිදිරියේ මියන්මාරය දෙසින් හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නට වුණා. ජනාධිපති වින් මින්ට් මෙන්ම රජයේ ප්‍රධාන නායිකාව වන අවුන් සාන් සූ කී ඇතුලු පාලක පක්ෂ ප්‍රබලයින් රඳවා තබාගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වුණේ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් උදෑසන 4.45 ට පමණයි. එයින් පසුව පැමිණි තොරතුරු අනුව පෙනීගියේ රජයට එරෙහිව කුමන්ත්‍රණයක් දියත්වන බවයි.
අගනුවර නෙපිටෝ හි අන්තර්ජාල සේවා බරපතල ලෙස අඩපණව තිබුණු අතර රජයේ රූපවාහිනී ආදී විද්‍යුත් මාධ්‍යවල විකාශන කටයුතුවලට බාධා පැමිණියා.
මේ අතර ශ්‍රී ලංකාවේ වෙලාවෙන් උදෑසන 8 ට පමණ මියන්මාර් හමුදාව සිය රූපවාහිනිය ඔස්සේ නිවේදනය කළේ වසරක කාලයක් සඳහා රටෙහි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන බවයි. එමෙන්ම රටේ ප්‍රධාන නායකයින් රඳවා ගන්නා බව හමුදා නායකත්වය නිවේදනය කළා.
තවද හදිසි තත්ත්වය පවතින අතරතුර වැඩබලන ජනාධිපති ලෙස පළමු උප ජනාධිපති ඌ මින්ට් ස්වේ කටයුතු කරන බවත් රාජ්‍ය බලය හමුදාපති ජෙනරාල් මින් අවුන්ග් ලායිංග් විසින් දරනු ඇති බවත් යුධ හමුදාව නිවේදනය කළා.
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට ආසන්නම හේතුව ලෙස පෙනී යන්නේ 2020 නොවැම්බර් 8 වනදා පවත්වන ලද මහමැතිවරණයේදී දූෂණ සහ අක්‍රමිකතා සිදුවූ බවට යුධ හමුදාව විසින් කරන ලද චෝදනාවයි. මෙම චෝදනා මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණා. කෙසේ වෙතත් යුධ හමුදාපතිවරයා දින කිහිපයකට පෙර රජයට තර්ජනයක් ලෙස හැඟවෙන ප්‍රකාශයක් කළා. ඔහු කියා සිටියේ රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට තමන්ට සිදුවනු ඇති බවයි.
හමුදා පාලන ඉතිහාසය
මියන්මාරය 1948 ජනවාරි 4 වනදා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවා. එකළ එම රාජ්‍යය හඳුන්වන ලද්දේ බුරුමය නමින්. රටේ සුළු ජන කණ්ඩායම් අතර මධ්‍යම රජයට එරෙහි සටන් ව්‍යාපාර කිහිපයක්ම මුල් කාලයේ පටන් පැන නැගුණා. එහෙයින් බුරුමය මුල පටන් අභ්‍යන්තර දේශපාලන තර්ජනයන්ට මුහුණ දුන්නා.
බුරුමයේ යුධ හමුදාව දේශපාලනයට ඍජුවම සම්බන්ධ වුණේ 1958 දී ජෙනරාල් නේ වින් විසින් රාජ්‍ය බලය අල්ලාගත් පසුයි. එවර ඔහු වසර දෙකක් රාජ්‍ය පාලනය සිදුකර නැවත සිවිල් පාලනයට රට භාර දුන්නා. කෙසේ වෙතත් 1962 දී නේ වින් නැවතත් බලය අල්ලාගත්තා. එවර ඔහු දිගටම බලය තමන් අත තබාගත්තා.
හමුදා පාලනයට එරෙහිව 1988 දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් හටගත්තා. බුරුමයේ නිදහස් සටනේ ප්‍රධාන නායකයා වූ අවුන්ග් සාන්ගේ දියණිය අවුන්ග් සාන් සූ කී සිය මවගේ අවමංගල්‍යයට පැමිණි අවස්ථාවේ මෙම විරෝධතා ව්‍යාපාරයේ මූලිකත්වයට පත්වුණා.
හමුදා පාලනය විසින් 1990 දී මහමැතිවරණයක් කැඳවූවා. එහිදී සූ කී නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය (National League for Democracy) අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තා. නමුත් හමුදා රජය කළේ එම ප්‍රතිඵල අවලංගු කර එම පක්ෂයේ ප්‍රබලයින් අත් අඩංගුවට ගැනීමයි.
එයින් අනතුරුව නැවතත් ප්‍රතිසංස්කරණවාදී මාවතකට හමුදාව අවතීර්ණ වූයේ 2010 දී පමණයි. එම වසරේදී එරට මහමැතිවරණයක් පවත්වනු ලැබුණා. එයට තරග කිරීමට NLD පක්ෂයට අවසර ලැබුණේ නැහැ. හමුදාවේ සහය ලබන සහයෝගීතා සහ සංවර්ධන පක්ෂය (Union Solidarity and Development Party) මෙහිදී ජයගත්තා.
එයින් අනතුරුව NLD පක්ෂයට පනවා තිබූ තහනම ද ඉවත් කෙරුණා. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් රටේ හඳුන්වා දෙනු ලැබුණා. කෙසේවෙතත් යුධ හමුදාවට රටේ තිබුණු බලය සම්පූර්ණයෙන් ඉවත් කෙරුණේ නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකෙහිම ආසනවලින් හතරෙන් එකක් යුධ හමුදාවට හිමිවුණා. කෙසේ වෙතත් 2015 මහමැතිවරණයේදී NLD පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවුන්ග් සාන් සූ කීට ජනාධිපති ධුරයට පත්විය නොහැකි වූ හෙයින් විශේෂ රාජ්‍ය නිලධාරී නමින් තනතුරක් නිර්මාණය කෙරුණා. එය අගමැති ධුරයට සමාන වූ තනතුරක්.
මේ අතර රොහින්‍යා ජනතාව පිළිබඳ අර්බුදයේදී අවුන්ග් සාන් සූ කී රජය ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ ජාත්‍යන්තර අප්‍රසාදය ද එල්ල වුණා. එහිදී ආණ්ඩුව සහ යුධ හමුදාව සිටියේ එකම පාර්ශවයේයි.
2020 මැතිවරණය
2020 මැතිවරණය පවත්වන ලද අවස්ථාවේ ඇතැම් ප්‍රදේශවල මැතිවරණය පැවැත්වීමට හැකි වූයේ නැහැ. ඊට හේතුව ලෙස කියවුණේ එම ප්‍රදේශවල පවතින අස්ථාවර ආරක්ෂක තත්ත්වයයි. මේ අනුව පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීන් සිටින ආසන 330 න් 15 ක සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දයෙන් පත්වන ආසන 168 න් 7 ක මැතිවරණය පැවැත්වීමට හැකිවූයේ නැහැ.
2020 වනවිටත් ජාතික මට්ටමෙන් NLD පක්ෂය හා යම් තරගයක් දියහැකි එකම පක්ෂය වන්නේ USDP පක්ෂය පමණයි. අනෙකුත් සියළු දේශපාලන පක්ෂ සුළු ජාතික පදනමෙන් නිර්මාණය වූ පක්ෂ යි. එහෙයින් NLD පක්ෂය නැවතත් පහසුවෙන්ම මැතිවරණය ජයග්‍රහණය කළා. එයට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 138 ක් සහ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 256 ක් හිමිවුණා.
දේශපාලනය තුළ හමුදාවට ඇති බලය අඩු කිරීමට ගෙනෙන ලද යෝජනා සියල්ල හමුදාවේ මන්ත්‍රීන් සහ USDP මන්ත්‍රීන් එක්ව පරාජය කිරීම ස්වාභාවික කරුණක් වුණා. නිතරගයෙන්
පත්වන හමුදා සාමජිකයන් වන මන්ත්‍රීන් හේතුවෙන් ව්‍යවස්ථා වෙනසක් සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබාගත නොහැකි වුණා.
හමුදා කුමන්ත්‍රණයේ ප්‍රතිඵල
මියන්මාර් හමුදා කුමන්ත්‍රණයේ ආසන්නම ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය ආදී රටවල් මෙම කුමන්ත්‍රණය හෙළා දැකීමයි. එහෙයින් 2010 ට පෙර තිබුණු අයුරින් මියන්මාරය චීනය දෙසට නැඹුරු වීමේ ඉඩක් තිබෙනවා.
මේ අතර, කෙටි කාලීනව ගතහොත් මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විය හැක්කේ ලෝක මට්ටමෙන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටින අයකු ලෙස අවුන්ග් සාන් සූ කී සතුව තිබූ කීර්ති නාමය නැවත ඉස්මතු වීමයි. පසුගිය සමයේ රොහින්‍යා ජනතාව කෙරෙහි දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් ඇය වෙත ජාත්‍යන්තර මට්ටමෙන් බොහෝ දෝෂාරෝපණයන් එල්ල වුණා. නමුත් නව තත්ත්වය හේතුවෙන් එය යටපත්ව නැවතත් ඇය ප්‍රජාතන්ත්‍රවාදයේ දේව දූතිකාවක් බවට පත් වුවද එය පුදුමයට කරුණක් නොවනු ඇති.