ජාතික ගීයේ සිංහල අනන්‍යතාවය
දුටු ගැමුණු රජ සමයේ සිංහලයාගේ ජාතික ගීතය කුමක්දැයි මා ඔබෙන් ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? සීතාවක රාජසිංහ සමයේ සිංහලයාගේ ජාතික ගීය කුමක්ද? 1815 දී ලංකාව සුද්දාගේ අතට පත්වන විට සිංහලයාගේ ජාතික ගීය කුමක්ද? 1948 දී සුද්දාගෙන් රට බාර ගන්නා විට සිංහලයාගේ ජාතික ගීය කුමක්ද?
ඉහත කිසිම පැනයකට ඔබට පිළිතුරු දිය හැකියයි මම නොසිතමි. මක් නිසාද යත් සිංහලයාට එවන් සමයන්හි ජාතික ගීයක් නොතිබුණු බැවිනි. සිංහලයාට තබා ලාංකිකයාට, සිලෝනිසයාට, තැප්රෝබෙනුවාට, සෙරන්ඩිබයාට හෝ හෙළයාට වත් එලෙස ජාතික ගීයක් තිබුණු බව අපි අසා නැත.
1930 ගණන්වල භාරතයේ සංගීතය හදාරමින් සිටි ආනන්ද සමරකෝන් මහතාට එවකට විශ්ව කීර්තියට පත්ව සිටි රවින්ද්‍රනාත් තාගෝර් මැතිතුමා තනුවක් සදා දුන්නේය. ආනන්ද සමරකෝන් මහතා ඊට “නමෝ නමෝ මාතා” ලෙසින් ඇරඹෙන ජාත්‍යානුරාගී පදවැලක් එක්ක ළේය. මෙම ගීතය පසු කාලයක ‘රේඩියෝ සිලෝන්” ගුවන් විදුලි සේවයේ බොහෝ ජනප්‍රිය විය.
1950 වනතෙක් “ගෝඩ් සේව් ද කිං” කියමින් සිටි ලාංකිකයාට සුද්දාගෙන් ස්වායත්ත ජාතික ගීතයක් වුවමනා විය. ඒ සඳහා තෝරා ගැනුණේ ඉන්දියානුවෙකුගේ තනුවට ගැයුණු ආනන්ද සමරකෝන් ගේ නමෝ නමෝ මාතා ගීතයයි. එම ගීතය, ජාතික ගීය වුයේ ශ්‍රී ලාංකිකයාගේය. එහි දෙමළ පද රචනයක්ද 1951 වන විට එකම තනුවට නිර්මාණය විය.
1959 දී බණ්ඩාරනායක මහතා වෙඩි වැදී ඝාතනය වූ විට බොහෝ දෙනෙකු පැවසුවේ එය ජාතික ගීයේ පද රචනයේ තිබූ දෝෂයක් නිසා සිදුවූ බවයි (මේ අනන්‍යතාවය නම් අපට හැමදාම තිබී ඇත). මේ නිසා “නමෝ නමෝ මාතා”, “ශ්‍රී ලංකා මාතා” ලෙස වෙනස් වුයේ එහි මුල් රචක ආනන්ද සමරකෝන් මහතාගේ දැඩි විරෝධය මතයි. දරුණු සිත් තැවුලකට පත් ඒ මහතා මේ ගැන ලිපියක් ලියා තබා සිය දිවි නසා ගත්තේය.
මෙහි යුක්තිය අයුක්තිය කෙසේ වෙතත් ලාංකිකයාට ඇත්තේ ජාතික ගීය නිසාම එහි රචකයා වස පානය කර සිය දිවි නසා ගත් ජාතික ගීයක් බව නම් කිව මනාය.
“ජාතික ගීය” නමැති සංකල්පය අපිට ලැබෙන්නේ 15 වන ශත වර්ෂයේ සිටම “දෙවියෝ අපේ රජා රැක දෙත්වා” කියමින් තුති ගී ගායනා කළ ඉංග්රීසිකාරයාගෙනි. එහි තනුව ලැබෙන්නේ ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයාගෙනි. සම්බන්ධ වූ එකම සිංහලයාත් සිය දිවි නසා ගත්තේය.
තව කී දෙනෙක් ජාතික ගීයේ සිංහල අනන්‍යතාවය වෙනුවෙන් ගිනි තබා ගනී දැයි මම නොදනිමි.