සොඳුරු නිහාරිකා

විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද්‍යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි. ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි, හයිඩ්‍රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි. විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අතිදැවැන්ත වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සියගණනක විශ්කම්භයකින් යුතු වේ.

සියළුම වර්ගයන්හි තාරකාවල උපත සිදුවන්නේ නිහාරිකාවන් තුළදී ය. සාමාන්‍යයෙන් නිහාරිකාව තුළ සිදුවන ගුරුත්වජ බිඳවැටීම් (gravitational collapses) මගින් නව තරු ඇති වන බවට පිළිගැනේ. මේ අනුව නිහාරිකාවක් තුළ ගුරුත්වජ හා චුම්බක ක්ෂේත්‍රයන්හි ඇති වන වෙනස්වීම් නිසා නිහාරිකාවේ වළාකුළු කොටස් බිඳ වැටෙමින් වඩාත් කුඩා වළාකුළුවලට කැඩී වෙන් වේ. මෙම බිඳවැටීම සිදුවන විට ඒ අවට උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ නගින අතර කුඩා වළාකුළු කොටස් තම කෝණික ගම්‍යතාව ස්ථාවරව පවත්වාගැනීම සඳහා වඩාත් වේගයෙන් තමා වටා භ්‍රමණය වීම ආරම්භ කරයි. වළාකුළේ මධ්‍යය කෙල්වින් 2000 – 2500 පමණ උෂ්ණත්වයකට ළඟාවන විට එහි අඩංගු හයිඩ්‍රජන් වායුව හයිඩ්‍රජන් පරමාණු බවට බිඳී වෙන් වීම සිදු වේ. මධ්‍යය තුළ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා ඇරඹෙන්නේ උෂ්ණත්වය කෙල්වින් 10,000ක පමණ අධික අගයකට ළඟා වූ පසු ය. මේ බිළිඳු තාරකාවක උපත යි. අවසානයේදී තාරකාව සතු වන හයිඩ්‍රජන් හා හීලියම් ප්‍රමාණය මත එම තාරකාව අයත් වන්නේ කුමන කාණ්ඩයට ද යන්න තීරණය වේ.

මෙය ක්ෂණිකව සිදුවන්නක් නොව වසර දහස් ගණන්, මිලියන ගණන් ගත කරමින් සිදුවන මන්දගාමී ක්‍රියාදාමයකි. සාමාන්‍යයෙන් සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා දසදහසක් පමණ හෝ ඊටත් වඩා නිර්මාණය කිරීමට අවශ්‍ය පදාර්ථ නිහාරිකාවක් සතුව තිබේ.

තාරකාවක උපත නිහාරිකාවක් මගින් සිදුවනවාක් මෙන්ම එහි අවසානය ද නිහාරිකාවක් ලෙසම සිදුවිය හැකිය. ඒ විශේෂ තාරකා කාණ්ඩ දෙකක ජීවිත කාලයේ අවසන් අවධි ලෙසිනි. ඒ අනුව අප සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා රතු යෝධ අවස්ථාව පසු කිරීමෙන් පසු ග්‍රහ නිහාරිකා බවට පත්වන අතර වඩා විශාල තාරකා සුපර්නෝවා පිපිරුමට මුහුණ දුන් පසු ඉතිරි වන අවශේෂ කොටස්ද නිහාරිකා බවට පත් වේ.

(මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා තාරකා පරිණාමනය ලිපිය කියවන්න.)


෴Helix ග්‍රහ නිහාරිකාව෴

සියළුම නිහාරිකා ඉහත කාණ්ඩයන් දෙකද ඇතුළුව ප්‍රධාන ‍‍කාණ්ඩ තුනකට වර්ගීකරණය කළ හැක.

ග්‍රහ නිහාරිකා (Planetary Nebulae) – සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා රතු යෝධ අවස්ථාව පසු කිරීමෙන් පසු එය සතුව පැවති පිටත පෘෂ්ඨයන්හි අවශේෂ කොටස් දුමාරයක් මෙන් පිටතට මුදාහරී. මෙය ග්‍රහ නිහාරිකාවක් ලෙස හැඳින්වෙන අතර එහි ආයුකාලය වසර දහස් ගණනකට සීමා වේ.


෴Spirograph ග්‍රහ නිහාරිකාව෴

සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා (Supernova Remnants) – අතිදැවැන්ත තාරකා (Blue Hyper Giants) ප්‍රබල සුපර්නෝවා පිපිරීමකට මුහුණ දුන් පසු පිටත අවකාශයට නිදහස් වන වායුමය කවච මගින් සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා නිර්මාණය වේ.


෴Menagerie සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකාව෴

අඳුරු නිහාරිකා (Dark Nebulae) – මේවා අවශෝෂක නිහාරිකා (Absorption Nebulae) ලෙසද හැඳින්වේ. ප්‍රධාන වශයෙන් දුහුවිල්ලෙන් සමන්විත වුණු මේවා මගින් වෙනත් ආකාශ වස්තූන්ගෙන් පිටවන ආලෝකය උරාගනු ලබයි.


෴Horsehead අඳුරු නිහාරිකාව෴

මේ හැර වෙනත් විකල්ප වර්ගීකරණයන්ද තිබේ. ග්‍රහ නිහාරිකා සහ සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා ඇතුළුව බොහොමයක් නිහාරිකාවන් විසාරී නිහාරිකා (Diffuse Nebulae) ලෙස හැඳින්විය හැකිය. එනම් මෙවැනි නිහාරිකා පැතිරුණු ස්වභාවයක් දක්වන අතර ඒවාට නිශ්චිත සීමාවක් නැත. විසාරී නිහාරිකාවන්ද වර්ග දෙකකි. ග්‍රහ නිහාරිකා හා සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා තමන් සතු අයනීකරණය වූ වායූන්ගෙන් ආලෝකය නිකුත් කරන නිසා විමෝචක නිහාරිකා (Emission Nebulae) ලෙසද, වෙනත් වස්තූන්ගෙන් පිට වන ආලෝකය පරාවර්තනය කරන නිහාරිකා පරාවර්තක නිහාරිකා (Reflection Nebulae) ලෙසද හැඳින්විය හැකිය.

 

කකුළු නිහාරිකාව (Crab Nebula)

* වෙනත් නම් හා වර්ගීකරණ කේත – Taurus A, M1, NGC 1952, SH2-244
* නිහාරිකා වර්ගය – සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා
* පිහිටා ඇති රාශිය – වෘෂභ
* මුල් වරට සොයාගැනීම – 1731දී ජෝන් බේවිස් විසිනි
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 6500ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 11ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි

මෙය තාරකා විද්‍යා ලෝලීන් අතර ඉතාමත් ප්‍රසිද්ධ සාමාන්‍ය ප්‍රමාණයේ සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකාවකි. දැවැන්ත තාරකාවක් සුපර්නෝවා පිපිරීමකට මුහුණ දුන් පසු පිටතට මුදා හරින ලද එහි පෘෂ්ඨයේ අවශේෂ කොටස්වලින් සෑදුණු කකුළු නිහාරිකාව මධ්‍යයේ පිපිරී ගිය තාරකාවෙන් බිහිවූ නියුට්‍රෝන තාරකාව පිහිටා ඇත. (තාරකා පරිණාමනය ලිපිය කියවන්න.) මේ වනවිට සොයාගෙන ඇති කරුණු අනුව කකුළු නිහාරිකාව තත්පරයකට කිලෝමීටර 1500ක පමණ වේගයකින් ප්‍රසාරණය වෙමින් තිබේ.

කරීනා නිහාරිකාව (Carina Nebula)

* වෙනත් නම් හා වර්ගීකරණ කේත – Great Nebula in Carina, Eta Carinae Nebula, Grand Nebula, NGC 3372
* නිහාරිකා වර්ගය – විසාරී නිහාරිකා
* පිහිටා ඇති රාශිය – කරීනා
* මුල් වරට සොයාගැනීම – 1751දී නිකොලස් ලුවිස් විසිනි.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 8000ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 920ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.

දැවැන්ත විසාරී (Diffuse Nebula) නිහාරිකාවක් වුවද, එහි ඇති මඳ අඳුරු ස්වභාවය හා දකුණුදිග අහසේ ක්ෂිතිජයට ඉතා ආසන්නයෙන් පිහිටා තිබීම නිසා කකුළු හා ඔරායන් නිහාරිකා තරම් ප්‍රසිද්ධ නොමැත. තාරකා විද්‍යාඥයන්ගේ නිරන්තර අවධානයට ලක්වන ඊටා කරීනා නම් අතිදැවැන්ත ද්විත්ව තාරකාව පිහිටා ඇත්තේද කරීනා නිහාරිකාව තුළ ය.

 

අශ්වහිස නිහාරිකාව (Horsehead Nebula)


* වෙනත් නම් හා වර්ගීකරණ කේත – Barnard 33, LDN 1630
* නිහාරිකා වර්ගය – අඳුරු නිහාරිකා
* පිහිටා ඇති රාශිය – ඔරායන්
* මුල් වරට සොයාගැනීම – 1888දී විලියෙමිනා ෆ්ලෙමිං විසිනි.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 1500ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 13ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.

හැඩයෙන් අශ්වයෙකුගේ හිසක් වැනි වූ නිසා ජනප්‍රිය වූ මෙම අඳුරු නිහාරිකාව නව තාරකා බිහිවීම බහුලව සිදූවන ස්ථානයකි. නිහාරිකාව වඩාත් පැහැදිලිව දිස්වීමට සහ වඩාත් අලංකාර වීමට හේතුවක් වන එහි පසුබිමේ ඇති දීප්තිමත් රෝස පැහැය අයනීකරණය වූ හයිඩ්‍රජන් අණු නිසා හටගනී.

 

ඔරායන් නිහාරිකාව (Orion Nebula)


* වෙනත් නම් හා වර්ගීකරණ කේත – Great Orion Nebula, M42, NGC 1976, Sharpless 281, LBN 974
* නිහාරිකා වර්ගය – විසාරී නිහාරිකා
* පිහිටා ඇති රාශිය – ඔරායන්
* මුල් වරට සොයාගැනීම – නිශ්චිත නැත.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 1350ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 24ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.

මෙයද තාරකා විද්‍යා ලෝලීන් අතර අතිශයින් ප්‍රචලිත වූ සුන්දර නිහාරිකාවකි. පෘථිවියට පෙනෙන දීප්තිමත්ම නිහාරිකා කිහිපයෙන් එකක් වන ඔරායන් නිහාරිකාව ඔරායන් (දඩයක්කාරයා) තාරකා රාශියේ කඩුවෙහි මැද නිරූපණය කරයි. උදාසීන වායු හා දුහුවිලි වළාවන්ගෙන් මෙන්ම විශාල අයනීකරණය වූ වායු වළාවන්ගෙන්ද සමන්විත මෙම නිහාරිකාව තුළ තම ජීවිත කාලයේ මුල් අවධි ගත කරමින් සිටින තාරකා 800ක් පමණ ඇති බව මේ වනවිට සොයාගෙන තිබේ.

 

හේලීක්ස් නිහාරිකාව (Helix Nebula)


* වෙනත් නම් හා වර්ගීකරණ කේත – Caldwell 63, NGC 7293
* නිහාරිකා වර්ගය – ග්‍රහ නිහාරිකා
* පිහිටා ඇති රාශිය – කුම්භ
* මුල් වරට සොයාගැනීම – 1823දී කාල් ලුඩ්විග් හාඩින් විසිනි.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 700ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 4ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.

හේලීක්ස් පෘථිවියට ආසන්නයෙන්ම පිහිටා ඇති ග්‍රහ නිහාරිකාවකි. ඇසක ස්වරූපය ගන්නා මෙම සුන්දර නිහාරිකාව එම නිසාම “දෙවියන්ගේ ඇස” (The Eye of God) ලෙසින්ද හැඳින්වෙයි. මෙවැනි නිහාරිකාවන් ඒවායේ මධ්‍යයේ පිහිටා ඇති මියගිය තාරකාවෙන් බිහි වූ කුරු තාරකාව මගින් අලංකාර ලෙස දීප්තිමත් වන අත‍ර වසර දසදහස් ගණනකදී වායුමය කොටස් වියැකී ගොස් සම්පූර්ණ සුදු කුරු තාරකාවක් බවට පත් වනු ඇත.

 

සමනළ නිහාරිකාව (Butterfly Nebula)


* වෙනත් නම් හා වර්ගීකරණ කේත – Bipolar Nebula, Bug Nebula, NGC 6302, Sharpless 6, Caldwell 69
* නිහාරිකා වර්ගය – ග්‍රහ නිහාරිකා
* පිහිටා ඇති රාශිය – වෘශ්චික
* මුල් වරට සොයාගැනීම – 1907දී එඩ්වර්ඩ් එමෙර්සන් බර්නාර්ඩ් විසිනි.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 3500ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 2ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.

යෝධ සමනළයෙකුගේ අත්තටු දෙකක් ලෙසින් දිස්වන සමනළ නිහාරිකාව ද්විධ්‍රැව ග්‍රහ නිහාරිකාවකි. ද්විධ්‍රැව නිහාරිකාවක් ඇති වන්නේ කෙසේද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති වුවද, විනාශ වී යන තාරකාව එහි අඩංගු වූ පදාර්ථයන් තම උතුරු හා දකුණු ධ්‍රැවයන්වලින් ඉවතට විදාරණය කිරීමෙන් මේවා හටගන්නා බව අනුමාන කෙරේ. සමනළ නිහාරිකාවේ පෙනුම බොහෝ දුරට කාල ගණක නිහාරිකාවේ පෙනුමට සමාන වේ.

 

මුදු නිහාරිකාව (Ring Nebula)


* වෙනත් නම් හා වර්ගීකරණ කේත – M57, NGC 6720, GC 4447
* නිහාරිකා වර්ගය – ග්‍රහ නිහාරිකා
* පිහිටා ඇති රාශිය – ලයිරා
* මුල් වරට සොයාගැනීම – 1779දී ඇන්ටන් ඩාක්වයර් විසිනි.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 2400ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 3ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.

අලංකාර, වර්ණවත් මුදුවක හැඩය ගන්නා මුදු නිහාරිකාව ලයිරා රාශියේ ඇති දීප්තිමත්ම තාරකාවක් වන වේගා තාරකාවට දකුණු දෙසින් පිහිටා ඇත. මෙම ග්‍රහ නිහාරිකාව තුළ අයනීකරණය වූ ඔක්සිජන් බහුල වශයෙන් පවතින අතර, එමනිසාම නිහාරිකාවේ මධ්‍ය කොටස තද නිල් පැහැයක් ගනී.

 

කළපු නිහාරිකාව (Lagoon Nebula)


* වෙනත් නම් හා වර්ගීකරණ කේත – M8, NGC 6530 and 6523, Sharpless 25
* නිහාරිකා වර්ගය – විමෝචක නිහාරිකා
* පිහිටා ඇති රාශිය – සැගිටාරියස්
* මුල් වරට සොයාගැනීම – 1654දී ජියොවානි හෝඩීනා විසිනි.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 4100ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 110ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.

දැවැන්ත විමෝචක නිහාරිකාවක් වන කළපු නිහාරිකාව පෘථිවියේ සිට පියෙවි ඇසින් දැකගත හැකි වන තාරකා බිහිවීම බහුලව සිදුවන නිහාරිකාවන් දෙකෙන් එකකි. (අනෙක ඔරායන් ය.) අධි තාක්ෂණික කැමරාවලට රෝස පැහැයෙන් දිස් වුවද, ආලෝක සංවේදීතාවයෙන් අඩු මිනිස් ඇසට තද අළු පැහැයකින් දර්ශනය වේ.

 

රොසෙටා නිහාරිකාව (Rosette Nebula)


* වෙනත් නම් හා වර්ගීකරණ කේත – Caldwell 49
* නිහාරිකා වර්ගය – විසාරී නිහාරිකා
* පිහිටා ඇති රාශිය – මොනොසෙරස්
* මුල් වරට සොයාගැනීම – 1840දී ජෝන් හර්ෂල් විසිනි.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 5300ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 130ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.

සූර්යයාගේ ස්කන්ධය මෙන් 11,000 ගුණයක පමණ ස්කන්ධයකින් යුතු රොසෙටා නිහාරිකාව තවත් තාරකා බිහිවීම බහුලව සිදු වන නිහාරිකාවකි. මෙම නිහාරිකාව තුල තම ජීවිත කාලයේ මුල් අවධි පසු කරමින් සිටින ප්‍රාථමික තාරකා 2500ක් පමණ ඇති බව සොයාගෙන ඇත. රොසෙටාවේ මධ්‍ය කොටසට ආසන්නයෙන්ම Caldwell 50 නමැති තාරකා පොකුර පිහිටා ඇති අතර එයද රොසෙටා නිහාරිකාවෙන් බිහි වූවක් යයි සැලකේ.

 

කේතු නිහාරිකාව (Cone Nebula)


* වෙනත් නම් හා වර්ගීකරණ කේත – NGC 2264
* නිහාරිකා වර්ගය – විසාරී නිහාරිකා
* පිහිටා ඇති රාශිය – මොනොසෙරස්
* මුල් වරට සොයාගැනීම – 1785දී විලියම් හර්ෂල් විසිනි.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 2700ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 8ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.

නත්තල් ගස යනුවෙන් හැඳින්වෙන තාරකා හා අන්තර් තාරීය වළා (interstellar clouds) සමූහයේ (Christmas Tree Cluster) පහත, දකුණුදිග කොටසේ පිහිටා ඇති කේතු නිහාරිකාව අණුක හයිඩ්‍රජන් සහ දුහුවිල්ලෙන් පිරුණු විසාරී නිහාරිකාවකි. කේතු නිහාරිකාවේ ඇති අඳුරු ස්වභාවය නිසා බොහෝ දෙනා මෙය අඳුරු නිහාරිකාවක් ලෙස වරදවා වටහා ගනිති.

 

කාල ගණක නිහාරිකාව (Hour Glass Nebula)


* වෙනත් නම් හා වර්ගීකරණ කේත – Etched Hourglass Nebula, PN MyCn 18
* නිහාරිකා වර්ගය – ග්‍රහ නිහාරිකා
* පිහිටා ඇති රාශිය – මූස්කා
* මුල් වරට සොයාගැනීම – 1918 – 1924 කාලයේදී ඇනී ජම්ප් කැනොන් සහ මාග්‍රට් මේයල් විසිනි.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 8000ක් පමණ
* විශාලත්වය – ආලෝක වර්ෂ 1ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.

ඉතාමත් ළාබාල ද්විධ්‍රැව ග්‍රහ නිහාරිකාවකි. මෙය 1920 දශකය තරම් ඈත අතීතයකදී සොයා ගැනුණද, එහි ඇති කාල ගණකයක ආකාරයේ හැඩය හඳුනාගනු ලැබුවේ 1996දීය.

 

හංස පුඩුව (Cygnus Loop)


* වෙනත් නම් හා වර්ගීකරණ කේත – Veil Nebula, Cirrus Nebula, Filamentary Nebula
* නිහාරිකා වර්ගය – සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා
* පිහිටා ඇති රාශිය – හංස
* මුල් වරට සොයාගැනීම – 1784දී විලියම් හර්ෂල් විසිනි.
* පෘථිවියේ සිට ඇති දුර – ආලෝක වර්ෂ 2500ක් පමණ
* විශාලත්වය – නිශ්චිතව ගණනය කර නොමැත.

අතිදැවැන්ත සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකාවකි. වසර 15,000කට පමණ පෙර පුපුරා ගිය දැවැන්ත තාරකාවකින් නිර්මාණය වුණු මෙහි විවිධ කොටස්වලට විද්‍යාඥයන් විසින් විවිධ නම් ලබා දී ඇති අතර දුරේක්ෂයන්ට හසු වන කොටස Veil Nebula, Cirrus Nebula, Filamentary Nebula ආදී නම්වලින් හැඳින්වේ. හංස පුඩුවේ දෘශ්‍ය ප්‍රදේශයේ කුඩා කොටස් තවදුරටත් බටහිර වේලය (Western Veil), නැගෙනහිර වේලය(Eastern Veil) සහ මායාකාරියගේ කොස්ස (Witch’s Broom)වැනි නම්වලින් හඳුන්වනු ලැබේ.

 

විශේෂ කරුණු:

බොහෝ නිහාරිකාවන්හි සැබෑ වර්ණය අප ඡායාරූප වලින් දකිනවාට වඩා ඉතා අඩු ය. ඒවායේ සමහර වර්ණ තීව්‍රතාවයන් මිනිස් ඇසට පවා සංවේදී නොවේ. විද්‍යාඥයන් විසින් අධ්‍යයන කටයුතුවල පහසුව සඳහා මෙවැනි ඡායාරූපවල සැබෑ වර්ණයන් යම්තාක් දුරට වැඩිදියුණු (colour enhancing) කරනු ලැබේ.

තවත් තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ ලිපි සඳහා : මණ්දාකිනියෙන් ඔබ්බට – www.beyond-the-galaxy.blogspot.com

2013 වසරේ සිට "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොග් අඩවිය ලියූ අශාන් ද කොස්තා මහතා, සම්මානිත තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා බ්ලොග් රචකයෙකි. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන ඔහු චක්‍රායුධ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා සහ පද රචකයා වශයෙන්ද කටයුතු කරයි.