ඉන්දුනීසියාවට අලුත්ම අගනුවරක්

January 19, 2022

ඉන්දුනීසියාවේ අලුතින් ඉදි කිරීමට සැලසුම් කරන සිය අගනුවර නුසන්තරා යයි නම් කෙරෙන බව එරට රජය 2022 ජනවාරි 17 වනදා නිවේදනය කළා.

මෙම ප්‍රකාශය කරන ලද්දේ ජකර්තාවේ සිට එරට අගනුවර නැගෙනහිර කලිමන්තාන් ප්‍රදේශය වෙත ගෙනයන බවට නිවේදනය කර වසර දෙකහමාරක් පමණ ගතවූ පසුයි.

නව අගනුවර ඉදිකිරීමට අදාල පනතක් පාර්ලිමේන්තුවේදී සම්මතව තිබෙන අතර ඒ අනුව මෙම ඉදිකිරීම් මෙහෙයවීමට අධිකාරියක් පිහිටවනු ඇති.

තදබද ජකර්තාවෙන් ඉවතට
ඉන්දුනීසියාවේ අගනුවර ජකර්තා නගරය මිලියන දහයක පමණ ජනකායක් වාසය කරන නගරයක්. එය දැඩි තදබදය, ජල ගැලීම්, අපිරිසිදුකම සහ පරිසර දූෂණය මෙන්ම ගිලාබැසීම්වලින් ද පීඩා විඳිනවා.

රටෙහි අගනුවර වෙනත් ප්‍රදේශයකට මාරු කිරීමේ යෝජනාව අලුත් එකක්ද නොවෙයි. එහෙත් මීට පෙර පාලන සමයන් හි මේ යෝජනාව හුදෙක් යෝජනාවක් පමණක් වූ අතර වැඩි යමක් ඒ පිළිබඳ සිදුවූයේ නැහැ. වත්මන් ජනාධිපති ජෝකෝ විදෝදෝ රටෙහි අගනුවර නැගෙනහිර කලිමන්තාන් වෙත ගෙනයන බව නිවේදනය කළේ 2019 අගෝස්තුවේයි. කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් ඒ සඳහා කටයුතු කිරීමේ ප්‍රමාදයක් සිදුවුණා.


ජකර්තාව සහ නව අගනුවර පිහිටන ස්ථාන​ (researchgate.net)

නව අගනුවර සඳහා යොදාගෙන ඇති නුසන්තරා යන නම ජාවා බසින් ඉන්දුනීසියානු කොදෙව් සඳහා භාවිතා වන නමක්. එහෙයින් ඇතැම් පිරිස් එම නම මගින් යම් ව්‍යාකූලත්වයක් හටගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. මේ නගරය ඉදි කෙරෙන්නේ රටේ භූගෝලීයව හරිමැද ආසන්නයේයි. එමෙන්ම එම ප්‍රදේශය ස්වාභාවික විපත් අඩු ප්‍රදේශයක්. මෙම නගරය රටේ අනන්‍යතාව පිළිබඳ සංකේතයක් ද ආර්ථික මර්මස්ථානයක් ද වනු ඇතැයි සැලසුම් සහ සංවර්ධන අමාත්‍යවරයා පැවසුවා.

ඩොලර් බිලියන 33 ක්
නැගෙනහිර කලිමන්තාන් හි මෙම අගනුවර ඉදිකිරීම උදෙසා රජය හෙක්ටෙයාර 180,000 ක භූමියක් වෙන්කර තිබෙනවා. සමස්ථ ව්‍යාපෘතියේ වියදම ඩොලර් බිලියන 32.79 ක් පමණ වේ යයි අපේක්ෂා කෙරෙනවා. එයින් සියයට 19 ක් රජය විසින් දැරීමට ද ඉතිරිය රාජ්‍ය සහ පුද්ගලික අංශ ඒකාබද්ධ ආයෝජන සහ පුද්ගලික ආයෝජන ලෙස ලබාගැනීමට ද අපේක්ෂා කෙරෙනවා.

මෙය බැලූ බැල්මට විශාල වියදමක් බව සත්‍යයක්. නමුත් වර්තමානය වනවිට ජකර්තාවේ තිබෙන ගැටළු සහ ඒවා හේතුවෙන් රජයට දැරීමට වන වියදම් සමග සැසඳීමේදී මනාව සැලසුම් කළ නව නගරයකට අගනුවර ගෙනයාම දිගුකාලීනව වාසිදායක වියහැකියි. ජකර්තාවේ අපජලයෙන් පිරිසිදු කෙරෙන්නේ සියයට හතරක් පමණයි.

භූගත ජල ප්‍රභව මේ හේතුවෙන් අපිරිසිදු වන අතරම එම ජල ප්‍රභව අධික ලෙස භාවිතා කිරීමේ ප්‍රතිඵලය ලෙස නිතර නගරයේ ජලගැලීම් සහ ගිලාබැසීම් වාර්තා වනවා. 2019 දී පළවූ මාධ්‍ය වාර්තා කියා සිටියේ තදබදය හේතුවෙන් ඇතිවන ගැටළු නිසා රජයට වසරක් තුළ ඩොලර් බිලියන 6.5 ක වියදමක් සිදුවන්නේ යයි ඇස්තමේන්තුගත කර ඇති බවයි.


ජකර්තාව

ජොකෝ විදෝදෝගේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නුසන්තරා නගරය කාබන් විමෝචනය අඩු නවීන නගරයක් ලෙස ඉදිකිරීමයි. සැලසුමට අනුව සිවිල් සේවකයන් මිලියන 1.5 ක පමණ පිරිසකට නිවාස ද මෙහි ඉදිවනු ඇති. එමෙන්ම ඖෂධ සහ සෞඛ්‍යය, තාක්ෂණය ආදී අංශවල ආයෝජන එහි ගෙන ඒමට අපේක්ෂා කෙරෙනවා.

ජාවා දූපතෙන් ඔබ්බට සංවර්ධන කටයුතු ගෙනයෑම ද මෙහි අරමුණක්. වර්තමානයේ ද ඉන්දුනීසියාවේ මිලියන 270 ක් පමණ වන ජනගහනයෙන් සියයට 54 ක් වාසය කරන්නේ ජාවා දූපතේයි. නැගෙනහිර කලිමන්තාන් ප්‍රදේශය මෙන්ම පොදුවේ බෝර්නියෝ දූපතම ජන ඝනත්වය අඩු ප්‍රදේශයක්.

පාරිසරික ප්‍රශ්න
කෙසේ නමුත් බෝර්නියෝ දූපත පාරිසරික වැදගත්කමක් සහිත ප්‍රදේශයක් බැවින් මෙසේ අගනුවර එහි ගෙනයාමේ වැඩපිළිවෙළ හේතුවෙන් විශාල පාරිසරික ප්‍රශ්න මතුවේ යයි පරිසරවේදීන් සැක පහළ කරනවා.

බෝර්නියෝව ඔරංඋටන් වැනි ආවේණික ජීවීන් සහ ශාක දක්නට ලැබෙන ප්‍රදේශයක් වන හෙයින් මෙවන් විශාල ව්‍යාපෘතියකින් එම ස්වාභාවික පරිසර පද්ධතියට හානි සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දැනට ද බෝර්නියෝවේ ගල් අඟුරු ආකර හේතුවෙන් සැලකියයුතු පරිසර හානියක් සිදුව ඇතැයි ද එම තත්ත්වය ඉදිරියේදී තවත් බරපතල වෙයි ද යනුවෙන් ඔවුන් අදහස් දක්වනවා.

මේ අතර ඇතැම් කණ්ඩායම් තර්ක කරන්නේ නව අගනුවර ඉදිකිරීම පිළිබඳ මහජන අදහස් ප්‍රමාණවත් ලෙස සැලකිල්ලට ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් යාබද මැලේසියාව මේ කටයුත්ත පිළිබඳ සිය සතුට පළ කරනවා. මැලේසියාවේ ප්‍රාන්ත දෙකක්, එනම් සරාවක් සහ සාබා ප්‍රාන්ත, පිහිටා ඇත්තේ බෝර්නියෝ දූපතේයි.

එමෙන්ම දශක හයකට පමණ පෙර මෙම ප්‍රදේශ අරභයා දෙරට අතර ගැටුම් ද ඇතිවුණා. නමුත් මැලේසියාව පවසන්නේ මෙවැනි විශාල ව්‍යාපෘතියක් මගින් ඇතිවන ආර්ථික වාසි වක්‍රාකාරයෙන් තමන්ට ද බලපාන බවයි.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.