නෙතන්යාහුගේ පාලන කාලය අවසන් කළ නව ඊශ්‍රායල රජය

June 15, 2021

වසර දොළහක් තිස්සේ අඛණ්ඩව ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය නිම කරමින් ජූනි 13 වනදා ඊශ්‍රායලයට නව රජයක් බලයට පැමිණියා. එය සාමාන්‍යයෙන් බලාපොරොත්තු නොවන ආකාරයේ පක්ෂ අටක සන්ධානයක්. නෙතන්යාහුගේ සෙවණැල්ල ඊශ්‍රායල දේශපාලනය මත කෙතරම් ප්‍රබල ලෙස වැටී ඇත්දැයි පෙන්වා දෙමින් මෙම සන්ධානය බිහිවූයේ නෙතන්යාහු බලයෙන් පහ කිරීමේ එකම අරමුණ ඇතිවයි. එම සන්ධානය එකට බැඳ තබන එකම පොදු සාධකය එයයි.

වසර දෙකක් තුළ ඊශ්‍රායලයේ පවත්වන ලද සිව්වන මහමැතිවරණය අවසානයේදී ද රජයක් පිහිටුවීමේ හැකියාවක් කිසිවකුට නොමැති බවක් දිස්වුණා. අගමැති නෙතන්යාහුට ඒ සඳහා ආරාධනා කරන ලද නමුත් නියමිත කාලය තුළ ඔහුට එය ඉටු කරගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව විපක්ෂ නායක යේර් ලපීඩ්ට රජයක් පිහිටුවන ලෙස ආරාධනා කෙරුණා.


යේර් ලපීඩ්

යේර් ලපීඩ්ට ද නව රජයක් පිහිටුවීම සඳහා බහුතරය සොයාගැනීම පහසු වූයේ නැහැ. මධ්‍යස්ථ මතධාරී නායකයකු වන ඔහු සහ අන්ත දක්ෂිණාංශික නෆ්තාලි බෙනට් අතර සාකච්ඡා ඇතිවූයේ ද ඒ අනුවයි. බෙනට් මෙම නෙතන්යාහු විරෝධී සන්ධානයට එක්වීමට තීරණය කළ අතර ඒ වෙනුවෙන් පළමු දෙවසර තුළ අගමැති ධුරය ඔහුට ලබාදෙන බවට ලපීඩ් පොරොන්දු වුණා.

රජයේ පාර්ශවයන්
නව පාලක සන්ධානයේ පක්ෂ අටක් වන අතර අන්ත දක්ෂිණාංශික සිට වාමාංශික දක්වා එම පක්ෂ විහිදෙනවා. එමෙන්ම ඊශ්‍රායල අරාබි පක්ෂයක් ද පළමු වරට මෙම සන්ධානයට එක්ව සිටිනවා.

අගමැති නෆ්තාලි බෙනට් යමීනා (දකුණු දෙසට) පක්ෂයේ නායකයායි. ඔහු නෙතන්යාහුට ද වඩා දක්ෂිණාංශික දේශපලකයකු ලෙස සැලකෙනවා. බෙනට් බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස වෙනුවෙන් පෙනී සිටින අතර පලස්තීන රාජ්‍යයක් පිළිගන්නේ නැහැ. පලස්තීන ප්‍රශ්නය පිළිබඳ අන්ත ජාතිකවාදී වුවද ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව ඔහු අන්ත ලිබරල් අදහස් දරන්නෙක්. කලක් ඊශ්‍රායක විශේෂ බලකායන් හි සේවය කළ බෙනට් පසු කලෙක ව්‍යාපාරිකයකු ලෙස සැලකියයුතු මුදලක් උපයාගත්තා. ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේ 2013 දියි. 2006-2008 සමයේ නෙතන්යාහුගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා වූ ඔහු පසුව නෙතන්යාහුට වෙතින් ඈත්වුණා.


නෆ්තාලි බෙනට්

විදේශ අමාත්‍ය ධුරය දරන යේර් ලපීඩ් මධ්‍යස්ථ දේශපාලකයකු ලෙස ප්‍රකටයි. සන්ධානයේ විශාලම තනි පක්ෂය වන යෙෂ් අටිඩ් පක්ෂයේ නායකයා වන්නේ ඔහුයි. දිගු කලක් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඔහු 2012 දී දේශපාලනයට පිවිසියා. ඔහු කලක් ඊශ්‍රායල මුදල් ඇමති ලෙස ද කටයුතු කළා.

සන්ධානයේ ආරක්ෂක ඇමතිවරයා වන්නේ හිටපු හමුදා ප්‍රධානියකු වන බෙනී ගාන්ට්ස්. ඔහුගේ නීල ධවල සන්ධානය කලකට පෙර නෙතන්යාහු බලයෙන් පහ කිරීමට හොඳම ඉඩකඩ තිබුණු පක්ෂය වුණා. නමුත් පසුව ඔහු සමග සන්ධානයකට එළඹීමෙන් එම සන්ධානයේ ඇතැම් පාර්ශව එය හැර යාම සහ ගාන්ට්ස්ගේ ජනප්‍රියත්වය පහළ වැටීම ද සිදුවුණා. නෙතන්යාහු යටතේ ද ඔහු ආරක්ෂක අමාත්‍ය ලෙස පසුගිය සමයේ කටයුතු කළා.

සන්ධානයේ මුදල් ඇමති වන්නේ ඊශ්‍රායල් බෙයිටනූ පක්ෂයේ නායක අවිග්දෝර් ලීබර්මන්. ඔහු ද අන්ත දක්ෂිණාංශික කඳවුරේ අයෙක්. නෙතන්යාහු යටතේ ද ඇතැම් අවස්ථාවල ඔහු ආරක්ෂක ඇමති ධුරය ඇතුළු අමාත්‍ය ධුරයන් දරා තිබෙනවා. සෝවියට් මොල්ඩෝවාවෙන් සංක්‍රමණය වූ අයකු වන ඔහුගේ පක්ෂයට සහය දෙන වැඩි පිරිසක් පැරණි සෝවියට් රටවලින් සංක්‍රමණය වූ යුදෙව්වන්.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

නව බලාපොරොත්තුව පක්ෂයේ ගිඩියොන් සාර් සන්ධානයේ අධිකරණ ඇමති ලෙස කටයුතු කරනවා. ඔහු කලක් ලිකුද් පක්ෂයේ නෙතන්යාහුට එරෙහිව සිටි ප්‍රබලම අභියෝගය වුණා. පක්ෂය තුළ ඔහුට නායකත්වය සඳහා අභියෝග කළ සාර් එහිදී අසාර්ථක වුණා. පසුව තමන්ගේ පක්ෂයක් ගොඩනැගූ ඔහු මුලදී විශාල උද්‍යෝගයක් ජනිත කළ ද පසුව එය පහත වැටුණා.

නව සන්ධානයට ඇතුලත් වූ අනෙක් වැදගත්ම සාමාජිකයකු වන්නේ එක්සත් අරාබි ලැයිස්තුව හෙවත් “රා’ම්” පක්ෂයයි. එහි නායක මන්සූර් අබ්බාස් සන්ධානයයේ උප අගමැතියි. මෙම පක්ෂය කලක් ඊශ්‍රායල අරාබි පක්ෂ හතරක් එක්ව නිර්මාණය වූ ඒකාබද්ධ ලැයිස්තුව නියෝජනය කළ ද පසුව ඉන් ඉවත් වුණා. මෙවර සන්ධානය නිර්මාණය කරද්දී රා’ම් පක්ෂයේ මන්ත්‍රීන් සිව් දෙනාගෙන් එක් අයකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.


මන්සූර් අබ්බාස්

මීට අමතරව කලක් ඊශ්‍රායලයේ විශාලම පක්ෂය වූ කම්කරු පක්ෂය සහ මෙරෙට්ස් පක්ෂය ද නව සන්ධානය තුළ සාමාජිකයන් වනවා.

ජූනි 13 වනදා නව රජයට විශ්වාසය පළ කිරීමේ ඡන්දයේදී මන්ත්‍රීන් 120 න් 60 දෙනකු ඊට සහය පළ කළා. මන්ත්‍රීන් 59ක් ඊට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීන් අතර යේර් ලපීඩ්ගේ යෙෂ් අටිඩ් පක්ෂයේ 17 දෙනෙක්, නීල ධවල සන්ධානයේ 8 දෙනෙක්, ඊශ්‍රායල් බෙයිටනූ මන්ත්‍රීන් 7 දෙනෙක්, කම්කරු පක්ෂ මන්ත්‍රීන් 7 දෙනෙක්, යමීනා පක්ෂයේ මන්ත්‍රීන් 6 දෙනෙක්, නව බලාපොරොත්තුව පක්ෂයේ මන්ත්‍රීන් 6 දෙනෙක්, මෙරෙට්ස් පක්ෂයේ මන්ත්‍රීන් 6 දෙනෙක් සහ රා’ම් පක්ෂයේ 3 දෙනෙක් වුණා. (රා’ම් පක්ෂයේ මන්ත්‍රීවරයකු කලින් සඳහන් කළ පරිදි ඡන්දය දීමෙන් වැළකී සිටි අතර යමීනා මන්ත්‍රීවරයෙක් රජයට එරෙහිව ඡන්දය දුන්නා).

රජයේ අනාගතය
නව රජය පලස්තීන ප්‍රශ්නය සම්බන්ධව පැහැදිලි බෙදීම් පෙන්නුම් කරන බව ප්‍රකට කරුණක්. එහෙයින් ඔවුන් රටේ ආර්ථිකය නගා සිටුවීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

එමෙන්ම නෆ්තාලි බෙනට් පවසා ඇත්තේ නෙතන්යාහුගේ දේශපාලනය හේතුවෙන් දෙපසට බෙදුණ රට නැවත එක්සත් කිරීම තම අපේක්ෂාව බවයි. අභ්‍යන්තර වාද විවාද අඩු ගැටළු පිළිබඳ අවධානය යොමු කිරීම තම රජයේ අනාගතය සඳහා වඩා වැදගත් වනු ඇති බව පෙනී යනවා.


බෙනට් සහ නෙතන්යාහු

නෙතන්යාහුගේ දේශපාලන අනාගතය ද නව රජයේ අනාගතය හා බැඳී තිබෙනවා. නෙතන්යාහු නව සන්ධානය බිහිවීම වැළැක්වීම සඳහා සියළු උත්සාහයන් ගත්ත ද එය සාර්ථක වූයේ නැහැ. එමගින් නව සන්ධාන සාමාජිකයන් ඔහුව ප්‍රතික්ෂේප කර ඇති බව පෙනී යනවා. එමෙන්ම ඔහුට එරෙහිව ඇති දූෂණ චෝදනා ද විභාගයට ගැනෙමින් පවතිනවා. කෙසේ වෙතත් එම කටයුතු නිමා වීමට තව කල් ගතවනු ඇති.

නෙතන්යාහු පවසා සිටින්නේ නව රජය වැඩි කලක් පවතිනු නැති බවයි.

කෙසේ වෙතත්, දූෂණ චෝදනා නඩු විභාග හේතුවෙන් අනාගතයේදී ඔහුට නව රජයේ අනාගතය මෙන්ම තම දේශපාලන අනාගතය පිළිබඳ විමසිලිමත් වීමට සිදුවනු ඇති.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.