බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති කවුද​?

October 21, 2022

බ්‍රිතාන්‍ය අගමැතිණි ලිස් ට්‍රස් ඉතා සාර්ථක ලෙස තමන් ගේ අගමැති ධුර කාලය දින 45 කට කෙටි කරගනිමින් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කෙටිම කලක් එම ධුරය දැරූ පුද්ගලයා බවට පත්වුණා. ඇය නව අගමැතිවරයකු පත්වන තෙක් තවත් දින කිහිපයක් එම ධුරයෙහි කටයුතු කරනු ඇති.

ලිස් ට්‍රස් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් සහ ඒ හේතුවෙන් අගමැති ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමග නව කොන්සර්වේටිව් පක්ෂ නායකයකු පත්කරගැනීමේ කටයුත්ත දෙස අවධානය යොමුව තිබෙනවා. එම පක්ෂයට පාර්ලිමේන්තු බහුතරයක් තිබෙන හෙයින් කොන්සර්වේටිව් නායකයා මීළඟ අගමැති ලෙස ද පත්වනු ඇති.

කොන්සර්වේටිව් නායකත්වය සඳහා නම් කිහිපයක් ම කියැවෙන නමුත් ඒ සමහරෙක් මෙතෙක් තමන් තරග කරන බව තහවුරු කිරීමක් සිදුකර නැහැ. මේ අතර කියැවෙන එක් නමක් වන්නේ ලිස් ට්‍රස්ට පෙර අගමැති ධුරය දැරූ බොරිස් ජොන්සන්ගේ නම යි.

ජොන්සන් අගමැති වෙයි ද​?​​
සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් සති කිහිපයකට පසු නැවතත් අගමැති ධුරය සඳහා තමන් යෝජනා වන තත්ත්වයක් මතුවේ යයි ජොන්සන් පවා නොසිතන්නට ඇති. ඔහු පසුගිය දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක යෙදී ඉන්පසු කැරිබියානු රටක නිවාඩුවක් ගතකිරීම උදෙසා පිටත් වූ බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, ලිස් ට්‍රස්ගේ අගමැති ධුර කාලය අවසන් වීමට ආසන්න බව පෙනී යද්දී, ඇගේ අනුප්‍රාප්තිකයා කවරකු වේදැ යි සාකච්ඡා මතු වෙද්දී, ජොන්සන්ගේ නම නැවතත් කරළියට පැමිණියා. මෑතකදී කළ YouGov සමීක්ෂණයක් මගින් ද කියැවුණේ බ්‍රිතාන්‍ය ජනතාවගෙන් සැලකියයුතු පිරිසක් නැවතත් ජොන්සන් අගමැති ලෙස පත්වීම කෙරෙහි පක්ෂ බවයි.


බොරිස් ජොන්සන්

ජොන්සන්ට හිතවත් කොන්සර්වේටිව් මන්ත්‍රීවරයකු මෑතකදී තර්ක කළේ මැතිවරණයකින් දිනූ ජනවරමක් සහිත ජොන්සන් නායකත්වයට වඩාත් සුදුස්සා බවයි. 2019 මහමැතිවරණයේදී ඔහුගේ නායකත්වය යටතේ කොන්සර්වේටිව් පක්ෂය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තා. වර්තමානයේද කොන්සර්වේටිව් පක්ෂය සතුව ඇති පාර්ලිමේන්තු බහුතරයට හේතු වී ඇත්තේ එම මැතිවරණ ප්‍රතිඵලය යි.


Click on the Image

කෙසේ වෙතත් ජොන්සන් නැවතත් නායකත්වයට පැමිණීම පිළිබඳ දැඩි විරෝධයක් දක්වන පිරිසක් ද කොන්සර්වේටිව් පක්ෂයෙහි වනවා.

මේ අතර පක්ෂයේ මතුව තිබෙන බෙදීම් හමුවේ එය එක්සත් කළ හැකි නායකයකුගේ අවශ්‍යතාවය ද දැනෙමින් පවතිනවා. ජොන්සන් එවැන්නකු නොවන බවයි ඔහුගේ විරුද්ධවාදීන් පෙන්වා දෙන්නේ.

@elearninglk

අනෙකුත් අපේක්ෂකයෝ
සති කිහිපයකට පෙර නිමාවූ කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයේදී ලිස් ට්‍රස්ගේ ප්‍රධානම අභියෝගය වූ රිෂී සුනාක් ද අගමැති ධුරය සඳහා සුදුසු යයි මත පළවෙමින් තිබෙනවා. ලිස් ට්‍රස් විසින් හඳුන්වාදීමට යෝජනා කළ බදු ප්‍රතිපත්තිය ආදී ආර්ථික පියවරයන් හේතුවෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකය අස්ථාවර වනු ඇතැයි සුනාක් නායකත්ව තරගය පවතින සමයේදී ම අනතුරු ඇඟවූ බව ඔහුගේ සහචරයින් පෙන්වා දෙනවා.

කෝවිඩ්-19 වසංගත සමයේදී ද ආර්ථිකය පරිපාලනය කිරීම පිළිබඳ ඔහු වෙත ප්‍රසාදයක් හිමිව තිබෙන අතර එහෙයින් ආර්ථිකය අර්බුදයක් කරා ගමන් කරන මෙවන් සමයක සුනාක් අගමැති ධුරය සඳහා සුදුසු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


රිෂී සුනාක්

සුනාක්ට එරෙහිව පසුගිය නායකත්ව තරගයේ දී ඉදිරිපත් වූ ඔහුගේ බිරිඳගේ බදු වංචා පිළිබඳ චෝදනාව සහ බොරිස් ජොන්සන්ට ද්‍රෝහී වීමේ චෝදනාව ද නැවත කරළියට මතුවීමට ඉඩ තිබෙනවා.

බොරිස් ජොන්සන්ට ඉල්ලා අස්වීමට සිදුවූ සිදුවීම් මාලාව සඳහා මුල්ම ගිනිපුපුර දැල්වූයේ සුනාක් සහ සජීඩ් ජාවෙඩ් බව ජොන්සන්ගේ සහචරයින් පෙන්වා දෙනවා. එහෙයින් ජොන්සන් පාර්ශවයෙන් සුනාක්ට කිසිදු සහයක් නොලැබෙන බව පැහැදිලියි. මේ අනුව සුනාක්ට ද පක්ෂය එක්සත් කිරීමට හැකිදැයි සැකයක් පවතිනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කොන්සර්වේටිව් පක්ෂය එක්සත් කිරීම සඳහා ඉඩකඩ ඇති අපේක්ෂකයන් දෙදෙනකු පිළිබඳ ද බ්‍රිතාන්‍ය මාධ්‍ය සහ විචාරකයන් සාකච්ඡා කරමු දකින්නට ලැබෙනවා. ආරක්ෂක ලේකම් බෙන් වොලස් සහ සභානායක පෙනී මෝර්ඩෝන් මේ දෙදෙනායි.

බෙන් වොලස් යුක්‍රේනයට ප්‍රබල ලෙස සහය දැක්වීම හේතුවෙන් ප්‍රකටව සිටින අතර ජොන්සන් සහ ට්‍රස් දෙදෙනාම යටතේ ආරක්ෂක ලේකම් ධුරය දැරුවා. ඔහු පසුගිය සමයේ මතුවූ පක්ෂ අභ්‍යන්තර අර්බුදවලින් හැකිතරම් ඈත්ව සිටින්නට ද සමත් වුණා. මේ කාරණා මත ඔහුට පක්ෂය එක්සත් කිරීමට හැකියාවක් වේ යයි විචාරකයන් පෙන්වා දෙනවා.


බෙන් වොලස්

කෙසේ වෙතත් බෙන් වොලස් පසුගිය නායකත්ව සටනට ද ඉදිරිපත් වූයේ නැහැ. පෙනී මෝර්ඩෝන් එම තරගයට ඉදිරිපත්ව තුන්වන ස්ථානය දිනාගත්තා. එමෙන්ම ඇය බොහෝ කොන්සර්වේටිව් මන්ත්‍රීන් ගේ ගෞරවය දිනාගත් අයකු වනවා. එහෙයින් පක්ෂය ඒකරාශී කිරීමේ හැකියාව පිළිබඳ සැලකූ විට පෙනී මෝර්ඩෝන් නායකත්වයට සුදුසු යයි මතයක් ඇතැම් මන්ත්‍රීන් අතර පවතිනවා.


පෙනී මෝර්ඩෝන්

මීට අමතරව අන් අපේක්ෂකයන් ද නායකත්ව සටනට ඉදිරිපත් වීමේ ඉඩක් පවතිනවා. හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සුවෙල්ලා බ්‍රවර්මන් වැනි අයගේ නම් තැනින් තැනින් යෝජනා වනු දකින්නට ලැබෙනවා. කෙසේ වෙතත් බ්‍රවර්මන් වැනි ඇතැම් තැනැත්තන්ට පක්ෂය එක්සත් කිරීම කළ හැකි වේ යයි සිතිය නොහැකියි.

නැවතත් මහමැතිවරණයක්?
මේ අතර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂය හදිසි මහමැතිවරණයක් ඉල්ලා සිටිනවා. එම පක්ෂය පවසා සිටින්නේ කොන්සර්වේටිව් පක්ෂයේ කුළල් කාගැනීම් මේ වනවිට විගඩමක් බවට පත්ව ඇති බවයි.

රටේ ආර්ථික අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දී කොන්සර්වේටිව් පක්ෂය තම තමන් අතර ගැටුම්වලට කල් ගතකිරීම ලේබර් පක්ෂයේ විවේචනයට ලක්ව තිබෙනවා. කොන්සර්වේටිව් පක්ෂයට රට මෙහෙයවිය නොහැකි බව පෙනීයන හෙයින් නව මැතිවරණයක් කැඳවිය යුතු බවයි ලේබර් පක්ෂය පවසන්නේ.


Click on the Image

ලේබර් පක්ෂය මෙසේ තර්ක කිරීමේ හේතුව ඉතා පැහැදිලියි. මේ වනවිට ජනමත සමීක්ෂණ පෙන්වා දෙන පරිදි එම පක්ෂය කොන්සර්වේටිව් පක්ෂයට වඩා සියයට තිහක පමණ ජනප්‍රියත්වයක් ලබාගෙන සිටිනවා. එනම්, මේ අවස්ථාවේ මහමැතිවරණයක් කැඳවුවහොත් ලේබර් පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබාගන්නා බව නියත වශයෙන්ම කිව හැකියි. එහෙයින් ලේබර් පක්ෂය මැතිවරණයක් කැඳවීම වෙනුවෙන් පෙනී සිටිනවා.

රුසියාවට එරෙහි සම් බාධක හේතුවෙන් ඇතිවූ බලශක්ති අර්බුදය ද සමග බ්‍රිතාන්‍ය ආර්ථිකය ඉතා අපහසු කාලයක් කරා ගමන් කරමින් තිබෙන පසුබිමක ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ඉතා වැදගත් වනවා. මීළඟ කොන්සර්වේටිව් නායකයාට ද පක්ෂය තුළ හැලහැප්පීම්වලට මුහුණදීමට සිදුවුවහොත් එය එතරම් සුබදායක වන්නේ නැහැ. පක්ෂය එක්සත් කළ හැකි නායකයකු පත්විය යුත්තේ එනිසායි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.