ඉස්ලාමීය ත්‍රස්තවාදයේ අලුත්ම ඉලක්කය

ඉන්දියන් සාගරයට මායිම්ව පිහිටි අප්‍රිකානු රාජ්‍යයක් වන මොසැම්බික් යනු අපට එතරම්ම හුරුපුරුදු රටක් නොවෙයි. නමුත් ලංකාවේ කුඩා ජන කණ්ඩායමක් වන කාපිරිවරුන්ගේ මූලය එහි බවයි කියැවෙන්නේ. දිගු කලක් යුද්ධ හේතුවෙන් පීඩාවිඳි මොසැම්බික් දේශය මුහුණ දෙන නවතම තර්ජනය වන්නේ ඉස්ලාමීය අන්තවාදය යි.

මොසැම්බික් රාජ්‍යය පෘතුගාල යටත් විජිතයක්ව පැවතී, නිදහස ලැබූයේ 1975 දී. එවිට එරට බලය ලබාගත්තේ මාක්ස්වාදී සංවිධානයක් වූ මොසැම්බික් හි විමුක්තිය සඳහා වන පෙරමුණ (FRELIMO) සංවිධානය යි. කෙසේ වෙතත් වැඩි කලක් යන්නට මත්තෙන් ඊට එරෙහිව මොසැම්බික් ජාතික විරෝධතා සංවිධානය (RENAMO) ඊට එරෙහිව කැරලි ගසන්නට වුණා.

1992 දී එම සිවිල් යුධ තත්ත්වය නිමා වී බහු පක්ෂ දේශපාලන ක්‍රමයක් ඇරඹුණ නමුත් දිගටම FRELIMO සංවිධානය බලය රැකගන්නට සමත් වුණා. මොසැම්බික් රාජ්‍යය අප්‍රිකාවේ දිළිඳුම රාජ්‍යයක් වූ අතර එම තත්ත්වයෙහි විශාල වෙනසක් වූයේ ද නැහැ. මේ අතර 2013 දී නැවතත් RENAMO සංවිධානය අවි අතට ගත්තා. 2014 තාවකාලික සටන් විරාමයක් ඇතිවූ නමුත් ඉන් පසුව නැවත දෙපාර්ශවය අතර ගැටුම් හටගත්තා. මෙම ගැටුම් නිමා වූයේ 2019 දී.

කෙසේ වෙතත්, මෙම අවි ගැටුම කෙමෙන් නිමාව කරා එළඹෙද්දී රටේ ඊසානදිග ප්‍රදේශයේ අලුත් තර්ජනයක් හිස ඔසවා තිබුණා. එය ඉස්ලාමීය ත්‍රස්තවාදය යි.

කැබෝ ඩෙල්ගාඩෝ පළාත
මොසැම්බික් රාජ්‍යයේ ඉස්ලාමීය ත්‍රස්තවාදය මුල්බැසගෙන ඇත්තේ එරට ඊසානදිගින් පිහිටි කැබෝ ඩෙල්ගාඩෝ පළාතේ යි. වර්ග කිලෝමීටර් 82,625 ක් විශාල මෙම ප්‍රාන්තයේ මිලියන 2.3 ක පමණ ජනගහනයක් ජීවත් වනවා.


කැබෝ ඩෙල්ගාඩෝ පළාත (VOA)

මොසැම්බික් රාජ්‍යය සමස්ථයක් ලෙස ගත්විට ඉස්ලාම් භක්තිකයන් සිටින්නේ සියයට 15 – 20 අතර ප්‍රමාණයක්. නමුත් කැබෝ ඩෙල්ගාඩෝ පළාතේ සියයට 55 ක් පමණ ඉස්ලාම් භක්තිකයන් වනවා.

මෙම පළාතට ඔබ්බෙන් මුහුදේ තෙල් සහ ස්වාභාවික වායු නිධි පිහිටා තිබෙනවා. එහෙත් ඒවායේ ප්‍රතිලාභ පළාතේ ජනතාවට ලැබී ඇත්තේ ඉතා අවම ලෙසයි. පොදුවේ මොසැම්බික් හි දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් පාලක පැළැන්තිය සහ සමාගම් ධනය උපයද්දී ජනතාවගේ ජීවන තත්ත්වය පහළ තත්ත්වයක පවතිනවා. කාබෝ ඩෙල්ගාඩෝ හි මෙම තත්ත්වය ඉතා අයහපත් මට්ටමක ඇති හෙයින් පළාතේ දරිද්‍රතාව ඉහළ තත්ත්වයක පවතිනවා. ඉස්ලාමීය ත්‍රස්තයින් මෙම ප්‍රදේශයට රිංගාගත්තේ ජනතාව තුළ වන මෙම අසතුටුදායක තත්ත්වය උපකාර කරගෙනයි.

ටැන්සානියාවේ ඉස්ලාමීය බලපෑම
ටැන්සානියාව තුළ කලක පටන්ම ඉස්ලාමීය අන්තවාදීන්ගේ බලපෑම පවතිනවා. මීට වසර කිහිපයකට පෙර ටැන්සානියානු ඉමාම්වරුන් සිය ආගමික ප්‍රචාරයන් කැබෝ ඩෙල්ගාඩෝ පළාත වෙත ද පැතිරවීමට වුණා. දරිද්‍රතාවයෙන් පෙළෙන මුස්ලිම් තරුණයන් ඔවුන්ට සිය අන්තවාදී අදහස් පැතිරවීමට ඉතා සුදුසු පරිසරයක් සකසා දුන්නා.


ත්‍රස්තයන් විසින් ගිනි තැබූ නිවසක සුන්බුන් අසළ සිටින කාන්තාවක් (AFP/Getty Images)

2015 දී පමණ අන්තවාදී කෙන්යානු ඉමාම්වරයකුගේ අනුගාමිකයන් විසින් පිහිටුවාගන්නා ලද බව කියන සංවිධානයක් තුළින් බිහි වූ අන්සාර් අල්-සුන්නා සංවිධානය කැබෝ ඩෙල්ගාඩෝ හි ප්‍රධානම ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය යි. එය අල්-ශබාබ් යයිද හඳුන්වන නමුත් එය සෝමාලියාවේ අල්-ශබාබ් සංවිධානයේ කොටසක් නොවේ. මෙය 2017 සිට ත්‍රස්ත ප්‍රහාරයන් හි නිරත වන අතර ඇතැම් සටන්කාමීන් බඳවාගෙන ඇත්තේ ටැන්සානියාවේදී බවයි කියැවෙන්නේ.

2019 දී මෙම සංවිධානය ISIS සංවිධානයට සහය පළ කළ අතර ISIS මධ්‍යම අප්‍රිකා පළාතට අයත් සංවිධානයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත් අන්සාර් අල්-සුන්නා සංවිධානය මෙම සාමාජිකත්වය එතරම් උලුප්පා දක්වන්නේ නැති බවයි පෙනෙන්නට ඇත්තේ.

ත්‍රස්ත ප්‍රහාර
ඉස්ලාමීය ත්‍රස්තයන් 2017 සිටම පළාතේ විවිධ ප්‍රදේශයන්ට නිරන්තරයෙන් පහර දෙනවා. මොසැම්බික් හි ගිණිකොණදිග ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන නගරයක් වන මසිම්බොවා ද ප්‍රයියා මොවුන්ගේ ප්‍රධානම ඉලක්කය වුණා. 2017 දී ද ත්‍රස්තවාදීන් මුලින්ම පහර දුන් ප්‍රදේශය වූයේ එය යි. 2020 මාර්තු මාසයේ එල්ල වූ දරුණු ප්‍රහාරයකදී ස්වල්‍ප කලකට නගරය ත්‍රස්තයින් අතට පත් වුණා. නමුත් මොසැම්බික් හමුදා විසින් එවර නගරය මුදාගනු ලැබුණා.


ඉස්ලාමීය ත්‍රස්තයන් පිරිසක් (AFP/Getty Images)

2020 අගෝස්තු 6 වනදා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පසු ත්‍රස්තයින් විසින් එය අල්ලාගනු ලැබුණා. මොසැම්බික් මැරීන් භටයන් වරායේ සිට දිගටම සටන් කළ ද ඔවුන්ට ආධාර එවීමට ගත් උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. අවසානයේදී අගෝස්තු 11 වනදා ඔවුන් සටන අතැර දැමුවේ තමන් සතු වෙඩි උණ්ඩ අවසන් වීමත් සමගයි.

මොසැම්බික් හි පවතින ඉස්ලාමීය ත්‍රස්ත තර්ජනය පිළිබඳ ලෝක අවධානය වැඩි වශයෙන් යොමු වීමට හේතු වූයේ 2020 නොවැම්බර් මුලදී මුටහිඩ් නම් ප්‍රදේශයේදී ගම්වැසියන් 50 දෙනකු හිසගසා දැමීමේ සිද්ධිය යි. එම ගම්මානයේ පාපන්දු පිටියට මෙම පිරිස රැගෙනවිත් එම සමූලඝාතනය සිදුකර තිබුණා. මෙම ප්‍රදේශය මොසැම්බික් හමුදා විසින් ඉන් සතියකට පමණ පසු අල්ලාගනු ලැබුණා.


පුහුණුව ලබන මොසැම්බික් සෙබළ පිරිසක්

පසුගිය වසර තුනක පමණ කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 430,000 ක් පමණ අවතැන් වී තිබෙනවා. මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 2000 ඉක්මවන බවයි අනුමාන කෙරෙන්නේ. එමෙන්ම 2021 ජනවාරියේ මෙම ප්‍රදේශයට බලපෑ කුණාටු තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට ද සහන සැලසීම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ඇණහිට තිබෙනවා. ජනවාරි සහ පෙබරවාරි මාසවලද ප්‍රහාර කිහිපයක්ම එල්ල වූ බවයි මොසැම්බික් රටෙන් වාර්තා වන්නේ.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.