නින්දට නැති හීන (Oneirophobia)

“කාලෙක ඉඳන් අපේ හාමුදුරුවන්ට කතා කරන්න කියලා හිටියා. වැඩ අධිකයිනේ හාමුදුරුවනේ…“ ඇය කීවාය.

“කමක් නැ නෝනා… දැන් හරි කතා කරානේ… ඉතිං කොහොමද සැප සනීප…“ මම ඇසුවෙමි.

“ම්ම්ම්ම්…. පොඩි අසනීපයක් ගැන කියන්නත් එක්ක තමයි කතා කරේ…“ ඇය ගැටලුව කීමට අදිමදිබවක් ද පෙන්නුම් කරමින් කීවාය.

“මම නෝනා ගැන වැඩි යමක් දන්නෙත් නෑනේ… මට මුලක ඉදලම වාගේ පොඩියට, ඔබතුමියගේ වටපිටාව ගැනත් විස්තර ටිකක් කියන්නකො…“ (ඇය ඉතා ඉහළ වගකීම් සහිත රැකියාවක යෙදෙන ප්‍රභූ පන්තියේ කාන්තාවක් බව දැන සිටියත් එතරම් විස්තර දැන නොසිටි බැවින් මම කීවෙමි)

“හාමුදුරුවෙනේ… මම ගණිත අංශයෙන් ඉගෙන ගෙන, දැන් ඉහළ පඩියක් සහිත රස්සාවක්නේ කරන්නේ (ඇයගේ පෞද්ගලික විස්තර මම මෙහිදී නොකියමි. ඒ, ඔනෑම උපදේශන ලාභියෙකුගේ රහසිගතභාවය ආරක්ෂා කරන්නට අප බැඳී සිටින බැවිනි). මම විවාහ වෙලා වසර තුනකින් විතර වාගේ මගේ මහත්තයා නැති වුනා. නමුත් මට දුවෙක් ඉන්නවා. මට වයස දැන් 41. මම බොහොම ධාර්මික ජීවිතයක් ගත කරන්නේ, මහත්තයාගෙන් පස්සේ කාවවත් ඇසුරු කරලා නැ. අපේ පවුලත් ප්‍රභූ පවුලක් නිසාත් මට තියෙන වැඩ රාජකාරියේ බරපතලකම සහ දුව කියන කාරණා එව්වාට බලපෑවා කියලා මම හිතනවා. “

“ ම්ම්ම්… එතකොට අසනීපයක් ගැන කිවේ…“

“ ඒක හරියට අසනීපයක් ද දන්නෑ හාමුදුරුවෙනේ… දැන් ටික කාලෙක ඉඳලා මට මහා නරක හීන පේනවා… සහ මම හීනෙන් බය වෙනවා… ගොඩක් වෙලාවට… නයි පොලොන්ඟු වාගේ සර්පයො මාව දෂ්ටකරන්න එනවා වාගේ දකිනවා… තව නොයෙකුත් අප්‍රසන්න දේවල්. ගොඩක්ම සිද්ධ වෙන දෙයක් තමයි මට දැන් මාස 5-6ක වාගේ ඉඳන් හරියට නින්ද යන්නෑ. යකෙක් / භූතයෙක් වාගේ කෙනෙක් මගේ ඇඳේ ඉන්නවා වාගේ මට හිතෙනවා…“ ඇය කීවාය.

“ඒක දැනෙන්නේ නින්දත් නොනින්දත් අතර ඉන්න මුල් විනාඩි 2ක, 10 වාගේ අතර මැද වෙලාවක ද?“ මම ඇසුවෙමි.

“අන්න හරි හාමුදුරුවනේ… ඒ වාගේ හාමුදුරුවෙන් හරියට බය වෙලා ඇහැරෙනවා… දාඩිය දානවා…“
(හීන සහ ඒ දකින දේවල් සම්බන්ධ තවත් දේවල් කී නමුත් ඒවා මෙහිදී ප්‍රකාශ කළ නොහැක)

“මොනවද ඉතිං නෝනා ඔය කාරණය සම්බන්ධ ගත්තු ක්‍රියාමාර්ග?“

“දැන් මම නිදාගන්නේ දුවත් එක්ක. මම බය වෙන නිසාම එයා දැන් මගේ ලග ඉන්නවා. මම යන පංසලෙන් මම නින්දෙන් බය වෙනවා කීවාට පස්සේ පිරිත් නූල් සහ තියාගෙන පානය කරන්න පිරිත් පැන් දුන්නා. මම එව්වත් තියාගන්නවා. ඊට අමතරව මම අහලා තියෙනවා ඉස්සර කාලේදි කවුරු හරි කියනවා යකඩ පොල්ලක් පිහියක් වාගේ කොට්ටෙ යට තියාගන්න කියලා…“

“ඉතිං…?“

“ඉතිං හාමුදුරුවෙනේ කාටවත් කියන්නත් ලැජ්ජයි. දැන් මම යකඩ පොල්ලක් ඇඳ යට තියාගෙන පිහියක් කොට්ටයේ යට තියාගෙන නිදාගන්නේ.

“ අහ්… එකේ ලැජ්ජා වෙන්න දෙයක් නැ… ඔය හැම දෙයක්ම මනෝ මූලිකයිනේ…“

“ ඒ කිවේ හාමුදුරුවනේ…“ ඇය ඇසුවාය.

“නෝන, මොනවද මනස හා සම්බන්ධ දේවල් ගැන ඉගෙන ගෙන තියෙන්නේ. ?

“මම ඉතිං ගණිත අංශයෙන්නේ හාමුදුරුවනේ ඉගෙන ගත්තේ. වැඩි දෙයක් දන්නෑ. ඒව්වා ගැන නම්…“

“ හොදයි… මම මේ පිළිබඳ මහ ලොකු දෙයක් දන්නෑ… එත් ටිකක් දන්නවා. ඒ ටික ගැන කතා කරමු. සමහර විට ඔය ගැටලුව එකෙන්ම මිදෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔය ගැටලුව ගැන කතා කරන්න හැකි Senior කෙනෙක්ගේ අංකයක් මම දෙන්නම්.

හීන සහ ඒ සම්බන්ධ විශ්ලේෂණ ගැන අපේ දැනුම ඉතාමත් අඩුයි. ඒක අවධානය යොමු නොවන පැත්තක්. ගොඩක් වෙලාවට ඒ නිසා මිත්‍යා දෘෂ්ටික අදහස් තමයි මුලට ඇවිත් තියෙන්නේ. ඔය කළුකුමාර දිෂ්ටිය කියලත් එන්නේ ඔය වාගේ එකක්නේ. ඇත්තටම කළුකුමාර දිෂ්ටිය ගැන වෙනමම කතා කළයුතු මාතෘකාවක්. නමුත් මිත්‍යාව මඟින් එක යට ගහනවා.

අනික සමහරු හිතනවා ‘හීන‘ වැඩක් නැති දේවල් හැටියට. එහෙම හීන පේනකොට හෝ බය වෙනකොට ඉතිං… ගොඩවෙදකම් මොනවා හරි කරනවා, සමහර එව්වා හරි යනවා. සමහර එව්වා නිසා ලෙඩෙක් බරපත වෙන්නත් පුළුවන්. මනසේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. සවිඤ්ඤාණය සහ උපවිඤ්ඤාණය විදිහට. ආභිධර්මික ඉගැන්වීම අනුව නම් ඕක ටිකක් සංකීර්ණයි. අහලා තියෙනවා ද අර ප්‍රසිද්ධ Iceberg Theory එක? “

“ටිකක් විතර වාගේ…“ ඇය කීවාය.

“ඒ Iceberg Theory අනුව අපි එදිනෙදා ජිවත්වෙන මනස සහ හිතනපතන දේවල් ඔව්වා ඔක්කම තියෙන්නේ 10% වෙච්චි ඔය උඩට පෙන කොටසේ. අපේ ඇතුළේ තියෙන ටික ඊට වඩා වැඩියි සහ ගැඹුරුයි. එතකොට සරලව කතා කරනකොට භාවිත කරන ඔය උඩුහිත සහ යටිහිත කියන්නෙත් ඕකට. ඔය දෙක එකට යාවෙන තැනක් තමයි නින්ද. නින්දේ මුල් අවස්ථාව. ගැඹුරු නින්දෙ නම් සම්පූර්ණම යටිහිත තමයි වැඩ කරන්නේ.

දැන් එතකොට නෝනාගේ වයස එක්ක බැලුවාම කාන්තාවට පොදු ලක්ෂණ කීපයක් මේ වයසේදි ක්‍රියාත්මක වෙනවා. ඉස්සර මිනිස්සු, ඒ අපේ ආච්චිලාගේ කාලේට වාගේ එපිටින්, ලමයි කීයක් විතර හැඳුවාද?“

“10-15ක් වාගේ“ ඇය කීවාය.

“අන්න හරි… ඔන්න ඔය ජීවිවිද්‍යාත්මක ක්‍රියාවලිය සිද්ධ වෙන්න අවශ්‍ය හෝමෝන පහසුකමක් තියෙනවානේ මොළයේ… අන්න ඒ හෝමෝන බලපෑමට අධිකව ලක්වෙනවා නෝනව මේ වයසදී. නමුත් ඒ දේවල් ධාර්මික , වගකීම් සහිත අම්මා කියන චරිතය මඟින් අර හෝමෝන බලපෑම යටපත් කරනවා. නමුත් ඒක කන්දක් උඩ එකතුවෙන වතුර වාගේ. කොයි වෙලාවක හෝ පුපුරා යනවා “

(මෙහිදි කතා කරන ලද කාරණාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සුවිශේෂි වෙන බැවින් පොදුවේ කීමෙන් පලක් නැත. එබැවින් නොකියා සිටිමි.)

“ඉතිං… අපි නොයෙකුත් සංඛේත භාවිතා කරලා අපට නැති ආරක්ෂාව වාගේ දේවල් වලට තමයි ඔය කඩු පොලු මානසිකව නිදහස් වෙන්න යොදාගන්නේ. නෝනට කාලයක් තිස්සේ තිබූ අනාරක්ෂිත බව, ස්වාමියෙක් නොමැති කම, වැඩ අධිකම ඕකට හේතුවක්. ඇත්තටම කීවොත් නිරෝගී ස්වභාවික කෙනෙකුගේ හැසිරීමක් මිසක් ඕක රෝගී කෙනෙකුගේම නෙවෙයි කියන්නත් පුළුවන් මගේ දැක්ම අනුව…

නින්ද හරිම වැදගත්, විශේෂයෙන්ම නොකඩවා පැය 6කවත් නින්දක්. නැත්තං ඒක නොයෙකුත් වකුගඩු වාගේ ඉන්ද්‍රියන්වලට නරකට බලපානවා. මම කියලා දෙන්නම් නින්දට කලින් කරන්න ඕනි Relaxation (භාවනා ක්‍රමයක්) එකක්. ගන්නකො කොලයක් පෑනක්…. ☸️


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න


Oneirophobia – ස්වප්නභීතිකාව

01. ඒ ඒ වයස්වල සිටින කාන්තා සහ පිරිමි පුද්ගලයන්ගේ හීන සහ එහි අර්ථය වෙන්-වෙන් බව මෙහදී ප්‍රකාශ කළ යුතුයමය.
* නානත්ථ කායා නානත්ථ සඤ්ඤා – නොයෙක් නොයෙක් ශරීර / නොයෙක් නොයෙක් අදහස්.
* වාත – පිත- සෙම අනුව ද විවිධය.
* රාග/ දෝස/ මෝහ/ විතක්ක / සද්ධා ආදී චරිත අනුවද විවිධය.

02.මෙය පොදු මාතෘකාවක් නොවේ.
* පුද්ගලානු බද්ධව හීන විවිධය. අර්ථකථන ද විවිධය. එබැවින් ප්‍රබල ගැටලුවක් ඇති කෙනෙක් වෙතොත්, පෞද්ගලිකව කතා කිරීම උචිතය.

03. සාර්ථක නින්දකට අවශ්‍ය මූලික කරුණු පිළිබඳව ඇයව දැනුවත් කරමින්, උපදේශකවරයෙකු හෝ මනෝ වෛද්‍යවරයෙකුගේ හමුවීමෙහි ඇති වැදගත් කම ඇයට පැහැදිලි කෙලෙමි. ඒ බොහෝ දෙනෙකු මේ වාගේ දෙයකට වෛද්‍යවරුවන් හමුවීම අවශ්‍ය නැතැයි සිතන නිසාය. ඔබට ගැටලුවක් ඇතිවිට, කේන්දරය, දේවාල, බෝධිපූජා වලට පෙර වෘත්තීයමය මනෝ උපදේශකයකු හමුවන්න.

04. හීන සහ නින්ද අහිවීම ඉතා සරල සිද්ධියක් ලෙස ඔනෑම කෙනෙකු විසින් සිතනු ලැබේ.
* නමුත් එම නිසා ඔබේ පැය 6ක නින්දට කාලයක් තිස්සේ බාධා වේනම්, ඔය පසුවදා ඔබේ මානසික නිරවුල් බවට බාධාවක් සේම,
* දීර්ඝකාලීන ශරීරික අබාධ ඇතුවීමටත් හේතුවක් වේ. (උදා. වකුගඩු ආබාධ සහ ඒ හරහා ලේ විෂවීම් සහ හමේ ආබාධ). එබැවින් නින්ද සම්බන්ධ මූලික කරගත් Relaxations ගැන වෙනම දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.


කල්පිතයක්

සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.