පාකිස්ථානය කැබලි වෙයිද?
මීට සය මසකට පමණ පෙර හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අනතුරු ඇඟවීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ රටේ පවතින ආර්ථික අර්බුදය විසඳූයේ නැතිනම් පාකිස්ථානයේ සිවිල් යුධ තත්ත්වයක් නිර්මාණය වී රට කැබලි තුනකට කැඩීමේ අවදානමක් ඇති බවයි. එමෙන්ම එවන් අවස්ථාවක බටහිර රටවල් පාකිස්ථානයට උපකාර කිරීමට ඉදිරිපත් වනු ඇති බවත් එසේ වුවද ඒ සඳහා සිය න්‍යෂ්ටික අවි අතහරින ලෙස බලකෙරෙනු ඇති බවත් ඉම්රාන් ඛාන් සඳහන් කළා.
ඉම්රාන් මෙසේ අනතුරු ඇඟවූයේ 2022 අප්‍රේල් මාසයේදී තමන්ව විශ්වාසභංග යෝජනාවක් මගින් බලයෙන් පහ කරනු ලැබීමෙන් ස්වල්ප දිනකට පසුවයි. මෙම ප්‍රකාශය එකල ආණ්ඩුවේ දැඩි දෝෂදර්ශනයට හේතු වුණා.
පාකිස්ථානය කැබලිවලට කැඩීමේ අවකාශය කෙසේ වෙතත් රට දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරන බවට කිසිදු සැකයක් වූයේ නැහැ. එම අර්බුදයේ එක් නිමාපකයකු වූයේ ද ඉම් රාන් ඛාන් බවත් අමතක කළ හැකි කරුණක් වූයේ නැහැ. නමුත් පාකිස්ථානයේ පවතින අර්බුදය සඳහා එහි හමුදා මෙන්ම දේශපාලන නායකත්වය පොදුවේ වගකිවයුතු වන අතර වත්මන් ආණ්ඩුවට එහි බර දැරීමට සිදුව තිබෙනවා.
සන්නද්ධ ප්‍රහාර
පාකිස්ථානය මුහුණදෙන එක් අභියෝගයක් වන්නේ සන්නද්ධ කණ්ඩායම්වල වර්ධනයයි. එක් අතකින් පාකිස්ථාන තලේබාන් සංවිධානයේ (තෙහෙරීක් ඊ තලේබාන් පාකිස්ථාන්) ද අනෙක් අතින් බලුචිස්ථාන විමුක්තිකාමීන්ගේ ද තර්ජනය ආණ්ඩුවට එල්ල වෙමින් පවතිනවා.
තලේබන් තර්ජනයට සැලකිය යුතු වරදක් පැටවෙන්නේ පාකිස්ථාන ආණ්ඩුවලටම බව මෙහිදී කිව යුතු වනවා. 2001 දී තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලයෙන් එළවා දමන ලද පසු ඉන්දියාව ඇෆ්ඝනිස්ථානයේ කටයුතුවලට වැඩියෙන් මැදිහත් වීම පිළිබඳ පාකිස්ථානය තුළ වූයේ බියක්.
එසේ කටයුතු කිරීම මගින් ඉන් දියාව දෙපැත්තකින් තමන් වටලනු ඇතැයි පාකිස්ථානය බිය වුණා. එහි ප්‍රතිඵලය වූයේ පාකිස්ථානය කලින් කලට අඩු වැඩි වශයෙන් දිගටම තලේබාන්වරුන්ට සහය පළ කිරීමයි. මේ අතර පාකිස්ථානයේ ද තලේබාන් සංවිධානයක් බිහිවීම දකින්නට ලැබුණා. එය ද කාලයක් ගතවෙද්දී ශක්තිමත් සංවිධානයක් බවට පත්වුණා.
2018 දී බලයට පැමිණි ඉම්රාන් ඛාන් ඇෆ්ඝන් තලේබාන්වරුන්ට ලැදි ප්‍රතිපත්තියක් ගෙනගිය බව ප්‍රකට කරුණක්. 2021 දී තලේබාන්වරුන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත් විට පාකිස්ථානය ඒ පිළිබඳ සතුටට පත්වූ බව ද පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත් වැඩිකල් යන්නට මත්තෙන් තලේබාන්වරුන් පාකිස්ථානයට ද තර්ජනයක් වන බවක් දිස්වුණා. 2021 අගෝස්තුවේ තලේබාන්වරුන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත් පසු පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාවල වැඩිවීමක් පෙන්නුම් කෙරුණා. පාකිස්ථාන ආණ්ඩුව සහ එරට තලේබාන් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් කල් පිරීමත් සමග මෙම ප්‍රහාර තවත් උත්සන්න වුණා.
පාකිස්ථාන තලේබාන් සංවිධානය ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ සිය බලය දිනෙන් දින වර්ධනය කරගනු දිස්වෙමින් පවතිනවා. 2022 දෙසැම් බර් මැදදී ඔවුන් පොලිස් ස්ථානයකට කඩාවැදී එහි නිලධාරීන් ඇතුළු පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමට ද සමත් වුණා. තලේබාන්වරුන් ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ පාලනය සියතට ගෙන ඇති බවත් ආණ්ඩුවට ඒ පිළිබඳ කිසිදු අදහසක් නොමැති බවත් පාකිස්ථාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොබෝදා සඳහන් කළා.
පාකිස්ථාන තලේබාන් සංවිධානයෙන් එල්ල වන තර්ජනය පිළිබඳ නෑසුකන්ව සිටි ආණ්ඩුව නොබෝ දා සිය හඬ අවදි කරමින් මෙම තත්ත්වයට වගකිව යුත්තේ ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්ත ආණ්ඩුව බවට චෝදනා කළා. පාකිස්ථාන තලේබාන් සංවිධානයෙහි සන්නද්ධ සාමාජිකයන් 7,000 – 10,000 අතර පිරිසක් වේ යැයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පිළිගත්තා.
මේ අතර ඇෆ්ඝන් තලේබාන්වරුන් ද සිය සහෝදර පාකිස්ථාන තලේබාන්වරුන්ට සහය දක්වන බව පෙනී යනවා. එක් අතකින් ඇතැම් පාකිස්ථාන තලේබාන්වරුන් දැන් රැඳී සිටින්නේ ඇෆ්ඝනිස්ථානයේ යි. එමෙන්ම තලේබාන් සංවිධානය දේශසීමාවේ පාකිස්ථාන හමුදා මුරපළවල් වෙත පහර දීමට පටන් ගෙන තිබෙනවා.
මේ අතර බලුචිස්ථාන ප්‍රාන්තයේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් සිය ප්‍රහාර ඉහළ නංවමින් තිබෙනවා. සිය ප්‍රාන්තයේ පවතින ස්වාභාවික සම්පත් සූරාගනිමින් ජනතාව පිළිබඳ සොයා නොබලන බවයි පාකිස්ථාන ආණ්ඩුව වෙත ඔවුන් විසින් කරන ප්‍රධාන චෝදනාව වන්නේ. බලුචිස්ථාන සන්නද්ධ කණ්ඩායම් මර්ධනය කිරීම සඳහා චීනය පාකිස්ථානයෙහි කරන කටයුතු පිළිබඳව ද ඔවුන් ස්වකීය විරෝධය දක්වා සිටිනවා. චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝව අවසන් වන්නේ බලුචිස්ථානයෙහි ග්වදාර් වරායෙන් වන හෙයින් චීනයට ද එම ප්‍රාන්තයේ ස්ථාවරත්වය වැදගත් වනවා.
එමෙන්ම පසුගිය සමයේ බලුචිස්ථාන බෙදුම්වාදීන් චීන ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාර කිහිපයක්ම සිදුකළා. චීනය ද මෙම බෙදුම්වාදීන් මර්ධනය සඳහා පාකිස්ථාන රජය වෙත සහය දෙන බව පෙනීගොස් තිබෙනවා. මේ අතරවාරයේ ග්වදාර් ප්‍රදේශයෙන් චීන ජාතිකයන් ඉවත්වීම මූලික ඉල්ලීම කරගනිමින් ග්වදාර් ප්‍රදේශයේ දැවැන්ත උද්ඝෝෂණයක් නිර්මාණය වී තිබෙනවා. එම උද්ඝෝෂකයන් පසුගියදා ග්වදාර් වෙත යන මහාමාර්ගය වසාදැමූ අතර පොලිසිය සමග ද ගැටුම් ඇතිකරගත්තා.
ඉම්රාන් ඛාන් සාධකය
හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ ෂබාෂ් ෂරීෆ් ආණ්ඩුවට මෙන්ම යුධ හමුදාවට ද හිසරදයක් බවට පත්ව තිබෙනවා. බලයෙන් ඉවත් කළ දින පටන්ම ඔහු සිය ආධාරකරුවන් බළමුළු ගන්වමින්, මහජන රැළි පවත්වමින් නව ආණ්ඩුව අපහසුතාවයට පත්කරනවා. ඔහුගේ ජනප්‍රියවාදී ඉස්ලාමීය මතවාදයන් සමග ඔහුගේ අනුගාමිකයන් ඒකරාශී කරගන්නට ඔහු සමත් වී තිබෙනවා.
ඉම්රාන් ඛාන් විසින් එල්ල කරන වාග් ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇත්තේ යුධ හමුදාවයි. 2018 දී ඉම් රාන් බලයට ගෙන ඒම සඳහා ද යුධ හමුදාව සැලකිය යුතු කාර්යයභාරයක් සිදුකළා. නමුත් පසුව ඉම්රාන් සහ හමුදා බලධාරීන් අතර බෙදීමක් නිර්මාණය වුණා. ඔහුව බලයෙන් ඉවත් කළ විශ්වාසභංග යෝජනාවට ද හමුදා පාලනාධිකාරියේ සහය හිමිවූ බව රහසක් නොවෙයි.
@elearninglk
කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් විසින් එල්ල කරන දැඩි වාග් ප්‍රහාර හමුදාව අපහසුතාවයට පත්කරන බවක් පෙනී යනවා. යුධ හමුදාව ඉම්රාන්ට එරෙහිව කුමක් කරන්නේදැ යි ව්‍යාකූලව සිටින බවක් පෙනී යනවා. ඔහුගේ ඉස්ලාමීය මතවාදයන් සමග එකඟ වන පිරිසක් හමුදාව තුළම සිටීම ඊට හේතුව වේ යයි විශ්වාස කෙරෙනවා.
ඉම්රාන් ඛාන් ඝාතනය සඳහා නොවැම්බර් මුලදී කරන ලද උත්සාහය මෙහි ප්‍රතිඵලයක් ලෙසයි විශ්වාස කෙරෙන්නේ. එම උත්සාහය පිටුපස සිටි සැබෑ බලවේගය කවරෙක්දැ යි පැහැදිලිව නැහැ. නමුත් පාකිස්ථානයේදී එය අරුමයක් ද නොවෙයි. 2007 දී සිදුවූ බෙනාසීර් භූතෝ ඝාතනය ද අද වනතෙක් විසඳී නැහැ. නමුත් ඉම්රාන් ඝාතන උත්සාහය අසාර්ථක වීමත් සමග සිදුවූයේ ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යාමයි.
මේ අතර වසර හයක් හමුදාපති ලෙස කටයුතු කළ ජෙනරාල් කමාර් ජාවෙඩ් බාජ්වා විශ්‍රාම ගිය පසු නව හමුදාපති ලෙස පත් කරන ලද්දේ ඉම්රාන්ට විරුද්ධ නිලධාරියෙකුයි. ඔහු ජෙනරාල් ආසිම් මුනීර්. මෙම හමුදාපතිවරයා අනාගතයේදී ඉම්රාන් ඛාන් බලයට පත්වීම වැළැක්වීම සඳහා කළහැකි සියළු දේ කරනු ඇති බව විශ්වාස කළ හැකියි.
ස්වාභාවික ව්‍යසනයන්
2022 අගභාගයේදී පාකිස්ථානය ඉතිහාසයේ නුදුටු විරූ දැවැන්ත ජලගැලීමකට මුහුණ දුන්නා. මෙහිදී ජීවිත 1300 කට අධික ප්‍රමාණයක් අහිමි වූ අතර නිවාස මිලියනයක් පමණ විනාශ වූ බව විශ්වාස කෙරෙනවා. මිලියන ගණනක් ජනතාව අවතැන් වූ අතර රටේ බිම් ප්‍රදේශයෙන් තුනෙන් එකකට පමණ ද වගාබිම්වලින් සියයට 45 කට පමණ ද මෙම ජලගැලීම් බලපෑවා. මෙමගින් සිදුවූ පාඩුව ඩොලර් බිලියන 10 ක් පමණ වේ යැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
පාකිස්ථානය කලක් තිස්සේ ජනතාවට ලබාදුන් විශාල ඉන්ධන සහනාධාරය 2022 මැදදී කපාහැරියා. ඒ සමගම ඉන්ධන මිල වේගයෙන් ඉහළ යාම හේතුවෙන් උද්ධමනය සහ ආර්ථික ගැටළු ඉහළ ගියා.
රටේ විදෙස් සංචිත ද සිඳීගොස් තිබෙනවා. විශාල වශයෙන් ලබාගත් විදේශ ණය අපතේගොස් තිබෙන අතර එයින් රටට වූ ප්‍රතිලාභය ඉතා අවමයි. එවන් තත්ත්වයක් යටතේ රටට බලපෑ ස්වාභාවික ව්‍යසනයන් විසින් පාකිස්ථානය දැඩි අසරණභාවයකට පත්කර තිබෙනවා.
ඉස්ලාමාබාද් හි බල අරගල, ඉම්රාන්ගේ වීදි සටන්, ත්‍රස්ත ප්‍රහාර සහ දේශසීමා ගැටුම් සමග එක්වූ කඩාවැටුණ ආර්ථිකය පාකිස්ථානය වෙත ගෙනෙන්නේ සුබවාදී අනාගතයක් නම් නොවෙයි.