ඉන්දියාවේ ජනගහනය ආශිර්වාදයක්ද​?

June 20, 2023

ඉන්දියාව මෑතකදී ලෝකයේ විශාලම ජනගහනයක් සහිත රට බවට පත් වුණා. 1949 දී මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසුව මේ දක්වා ලොව විශාලම ජනගහනය සිටියේ එම රටෙහි වුවත්, මේ වනවිට ඉන්දියාව, චීනය පසුකරගෙන ගොස් තිබෙනවා.

මීට හේතු වූයේ චීනය විසින් දශක තුනකට වැඩි කලක් තිස්සේ එක් පවුලකට එක් දරුවෙක් යන ප්‍රතිපත්තිය අනුගමනය කිරීමයි. ඉන්දියාවේ ද පවුල් සැලසුම් වැඩසටහන් යම්තාක් දුරට සිදුවූ නමුත් එය එතරම්ම තදින් ක්‍රියාත්මක වූයේ නැහැ.

චීනය සහ ඉන්දියාව අතර කලක් මුළුල්ලේ පවතින තරගය හේතුවෙන් මේ රටවල් දෙක සන්සන්දනය වීම සාමාන්‍ය දෙයක්.

ජනගහනය අතින් ඉදිරියට ගියත් ඉන්දියාවට චීනය අභිබවා යන ආර්ථිකයක් ගොඩනගාගත හැකිද​? ජනගහනය ඉන්දියාවට බරක් වේද​? එසේත් නැතිනම් ආශිර්වාදයක් වේද​? මේ සියල්ල අපට මේ අවස්ථාවේ විශ්ලේෂණය කිරීමට ඉතිරි වන ප්‍රශ්න ලෙස සැලකිය හැකියි.

තරුණ ජනගහනය
ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4 ක් ඉක්මවාගොස් තිබෙනවා. එයින් අඩක් පමණ දෙනා වයස අවුරුදු 25 ට අඩු අයයි. මෙහි අර්ථය වන්නේ ඉන්දියාවේ ශ්‍රම බලකාය වෙත වසරකට මිලියන ගණනක් දෙනා එකතු වන බවයි.

මෙවන් විශාල ශ්‍රම බලකායක් සිටීම එක්තරා අතකින් වාසියක් වුවද මේ සා විශාල පිරිසකට රැකියා සැපයීමේ අභියෝගයක් ආණ්ඩුවට තිබෙනවා.


Click on the Image

රැකියා උත්පාදනයේදී රටක් ලෙස ඉන්දියාව මුහුණදෙන අභියෝග කිහිපයක් තිබෙනවා. එකක් නම් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වීමට නම් ආර්ථිකය සැලකියයුතු වේගයකින් සංවර්ධනය වීමට අවශ්‍ය වීමයි. එමෙන්ම තවත් අභියෝගයක් වන්නේ ශ්‍රම බලකායට එකතුවන්නන් සතු දැනුම සහ කුසලතාවයි.

ඉන්දියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සැලකියයුතු දියුණුවක් මෑත කාලීනව පෙන්නුම් කර තිබුණත් බොහෝ ප්‍රදේශවල අධ්‍යාපනය පවතින්නේ දුර්වල අඩියකයි. එහෙයින් ශ්‍රම බලකායට එක්වන විශාල පිරිසක් එතරම් දැනුමින් හෝ කුසලතාවයන් අතින් සන්නද්ධ වූවන් නොවේ.


අධ්‍යාපනය ඉන්දියාව මුහුණදෙන ලොකුම අභියෝගයක්

උදාහරණයක් ලෙස ගතහොත් තවමත් ඉන්දියාවේ සාක්ෂරතාව තිබෙන්නේ සියයට 75 ක් පමණ වූ ප්‍රමාණයකයි. දකුණු ආසියානු කලාපීයව ගතහොත් පාකිස්ථානයට සහ බංග්ලාදේශයට වඩා එය හොඳ අගයක් වුණත් ආසියාව සමස්ථයක් ලෙස ගත්විට එය පහළ අගයක්.

චීනය සහ අග්නිදිග ආසියාවේ රටවල් ඊට වඩා ඉතා ඉහළ සාක්ෂරතාවයකින් යුක්ත වනවා. එහෙයින් ඒ රටවල් සමග තරග කිරීමේදී ඉන්දියාව අවාසි සහගත තත්ත්වයකට පත්වනවා.

@elearninglk

ඉන්දියාවේ සංවර්ධනයට බාධකයක් වන අනෙක් අභියෝගය වන්නේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීමයි. බලශක්තිය​, මහා මාර්ග සහ ගමනාගමන පහසුකම් අතින් ද ඉන්දියාව දියුණු වෙමින් පැවතුනත් තව යා යුතු බොහෝ දුරක් වනවා. එහෙයින් ආර්ථික සංවර්ධනය වේගවත් නොවීමට එය ද බලපානවා.

නාගරිකත්වයේ ගැටළු
ඉන්දියාවේ දියුණුව ගැන සාකච්ඡා කරද්දී තොරතුරු තාක්ෂණය වැනි අංශ ගැන නිතර කියැවෙනවා. නාගරික ප්‍රදේශයන් හි තරුණ ජනතාව දැනුමින් සහ කුසලතාවයන් අතින් සන්නද්ධව සිටින බව ද කියැවෙනවා. නමුත් ඉන්දියාව මුහුණදෙන දැවැන්ත ප්‍රශ්නයක් වන්නේ ද නාගරිකකරණය සහ ඒ සම්බන්ධ ගැටළු යි. ග්‍රාමීයව රැකියා උත්පාදනය නොවන විට ජනතාව නගර කරා ඇදෙනවා. එහෙයින් නාගරික ජනගහනය අධිකවීම​, තදබදය ආදී ගැටළු නිර්මාණය වනවා.


නාගරික ජනගහනයෙන් සැලකියයුතු පිරිසක් මුඩුක්කු ආශ්‍රිතව ජීවත් වනවා

මුම්බායි නගරය උදාහරණයක් ලෙස සැලකුවහොත් පෙනී යන්නේ එහි ජනගහනයෙන් සියයට 40 ක් මුඩුක්කුවල ජීවත්වන බවයි. දැනට මිලියන 22 ක් පමණ වන එහි ජනගහනය පසුගිය දශක තුන තුළ සියයට 50 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

අනෙකුත් ප්‍රධාන නගරවල තත්ත්වය ද අඩු වැඩි වශයෙන් මේ ආකාරයි.


Click on the Image

කාන්තාවගේ තත්ත්වය​
ඉන්දියාවේ ආර්ථිකයට කාන්තාවගේ දායකත්වය ඇත්තේ ද සාපේක්ෂව අඩු අගයකයි. ඉන්දියාවේ සමස්ථ ආර්ථික නිෂ්පාදනයෙන් කාන්තාවගේ දායකත්වය සියයට 18 ක අගයක් ගන්නා බවයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ කාන්තාවන් රැකියා කිරීම පිළිබඳ ඇති සම්ප්‍රදායික මතයන් මෙන්ම අඩු අධ්‍යාපන තත්ත්වය​, පවුලේ වගකීම් දැරීමට සිදුවීම ආදී කරුණු හේතුවෙන් කාන්තාවන් රැකියා සඳහා යොමිවීම ඉතා අඩු මට්ටමක පවතිනවා. රැකියාවල සහ ගොවිතැන් හි නිරත වන කාන්තාවන් ද වැඩි දෙනෙකු නියුක්තව සිටින්නේ එතරම් නිපුණතාවයන් අවශ්‍ය රැකියාවල නොවේ. එහෙයින් ඔවුන්ට ලැබෙන වැටුප මෙන්ම ඔවුන්ගෙන් ලැබෙන ඵලදායීත්වය ද අවමයි.

ඉන්දියාවේ කාන්තාවන් බොහොමයක් දැඩි අපහසුතා මැද ජීවත් වන අයයි

මීට ස්වල්ප කලකට පෙර කරන ලද එක් සමීක්ෂණයකින් පෙන්වා දෙන ලද්දේ ඉන්දියාවේ රැකියා නියුක්තියට සුදුසු වයසේ කාන්තාවන් අතුරින් සියයට දහයක් පමණක් ස්ථිර රැකියාවන් හි නිරතවන අය හෝ රැකියා බලාපොරොත්තු වන අය හෝ බවයි.

ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගයට ද එය අයහපත් ලෙස බලපා තිබෙනවා. ශ්‍රම බලකායෙන් විශාල කොටසක් උපයෝගී කර නොගැනීම ඉතා අයහපත් තත්ත්වයක්. මීට සාපේක්ෂව චීනය වැනි රටවල ආර්ථිකය සඳහා කාන්තා දායකත්වය ඉතා ඉහළ තත්ත්වයක තිබෙනවා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අනාගත අභියෝග​​
ඉන්දියාවේ ජනගහනය මීළඟ දශක කිහිපයේදී ද ක්‍රමානුකූලව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව 2060 වනවිට එම ජනගහනය බිලියන 1.7 ක් පමණ වනු ඇති. තවද කාලයත් සමග ඉන්දියාවේ වැඩිහිටි ජනගහනය ඉහළ යනු ඇති.

ඒ අනුව එක් අතකින් ශ්‍රම බලකායට එකතු වන්නන් දැනුවත් පරපුරක් බවට පත් කිරීම සඳහා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම​, රැකියා උත්පාදනය වැනි අභියෝගවලට ඉන්දියානු ආණ්ඩුව මුහුණ දෙනු ඇති. එමෙන්ම අනාගතයේදී වැඩිහිටි ජනගහනය ඉහළ යාම ද එරට මුහුණ දෙන අභියෝගයක් බවට පත්වනවා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.