යුක්‍රේන් අර්බුදය විසඳන්න චීනයෙන් යෝජනා

February 28, 2023

යුක්‍රේනයේ ගැටුම් ආරම්භ වී වසරක් ගිය තැන චීනය විසින් එම අර්බුදය විසඳීම සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කරුණු දොලහකින් සමන්විත සිය යෝජනා මාලාව ඉදිරිපත් කරමින් චීනය අවධාරණය කළේ යුධ ගැටුම් මගින් කිසිවකුට යහපතක් සිදු නොවන බවයි. සියළු පාර්ශවයන් අර්බුදය අවුලවාලීමෙන් වැළකී සිටියයුතු බවත් එය පාලනයෙන් තොරව පැතිරීමේ අවදානම කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් චීනය පවසා සිටියා.

චීනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියෙහි අඩංගු කරුණු අතර රුසියාව වෙත බටහිර රටවලින් පනවා ඇති සම් බාධක ඉවත් කිරීම​, සිවිල් වැසියන්ට සටන් පවතින ප්‍රදේශවලින් ඉවත්ව යෑමට සුරක්ෂිත මාර්ග සැකසීම​, යුක්‍රේන ධාන්‍ය අපනයන යෝජනාවලිය නිසි අයුරින් ක්‍රියාවට නැංවීම ආදී කරුණු වනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

සියළු රටවල්වල භෞමික අඛණ්ඩතාව සුරැකිය යුතුය යන චීන ස්ථාවරය මෙහිදී යළි අවධාරණය කරනු ලැබුණා. එමෙන්ම න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ තර්ජන කිරීමෙන් වැළකී සිටීම ද වැදගත් බවයි

එම යෝජනා මගින් තවදුරටත් කියා සිටින ලද්දේ. එමෙන්ම ලෝකය “සීතල යුද්ධ මානසිකත්වයෙන්” මිදිය යුතු බවත් චීනය ප්‍රකාශ කර සිටිනවා.

යුක්‍රේන ප්‍රතිචාර​
චීන යෝජනාවලිය පිළිබඳ යුක්‍රේන ජනාධිපති චොලොදිමීර් සෙලෙන්ස්කි සිය සතුට පළකර සිටියා. ඔහු කියා සිටින්නේ මෙම අර්බුදය පිළිබඳ චීනය විසින් මෙවන් යෝජනාවලියක් ඉදිරිපත් කිරීම අයහපත් දෙයක් නොවන බවයි.

එම ප්‍රකාශය තුළ සිය භෞමික අඛණ්ඩතාව සහ ආරක්ෂාව පිළිබඳ යහපත් ස්ථාවරයක් පෙන්නුම් කෙරෙන බවයි ඔහුගේ මතය වුණේ. යුක්‍රේනයේ උත්සාහය වියයුතු වන්නේ තම ස්ථාවරයට සියළු පාර්ශව හරවාගෙන විරුද්ධ පාර්ශවය හුදෙකලා කිරීම බවයි සෙලෙන්ස්කි පවසන්නේ.


සෙලෙන්ස්කි

මේ අතර යුක්‍රේන අර්බුදය පිළිබඳ ඕනෑම විසඳුමක් 1991 යුක්‍රේන දේශසීමාව මත පදනම් වියයුතු බවයි යුක්‍රේන රජය පවසන්නේ. ඒ අනුව ක්‍රිමියාව සහ දොන්බාස් ඇතුළු ප්‍රදේශ සියල්ලම යුක්‍රේනයට අයත් වියයුතු බව ඔවුන් අවධාරණය කරනවා. එනම් හුදු සටන් විරාමයකට පමණක් තමන් සූදානම් නැති බවයි යුක්‍රේනයේ මතය වන්නේ.

බටහිර නොසතුට​​
අර්බුදය විසඳීම සඳහා මැදිහත් වීමට චීනය ඉදිරිපත් වීම යහපත් සලකුණක් බව යුක්‍රේනය පවසනවා. කෙසේ වෙතත් බටහිර රටවල් වෙතින් ඒ පිළිබඳ එතරම් හොඳ ප්‍රතිචාර ලැබී නැහැ. නේටෝ මහ ලේකම් යෙන්ස් ස්ටොල්ටන්බර්ග් සඳහන් කළේ චීනය රුසියානු ආක්‍රමණය හෙළාදැක නැති බව සහ රුසියාවට හිතවත් ස්ථාවරයක් ගන්නා බවයි. එහෙයින් මෙම අර්බුදය විසඳීමට මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීම සඳහා චීනයට හැකියාවක් නොමැති බවයි ඔහු පවසන්නේ.


ස්ටොල්ටන්බර්ග්

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා ෆොන් ඩෙයර් ලෙයිඩන් ද ඊට කිට්ටු අදහසක් පළ කරමින් කියා සිටියේ යුක්‍රේන ගැටුම් ඇරඹීමට ඉතා ආසන්නයේ දිනෙක චීනය රුසියාව සමග මිත්‍ර ගිවිසුමක් අත්සන් කිරීම මගින් තමන් සිටින ස්ථාවරය පෙන්නුම් කර ඇති බවයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද කියා සිටියේ චීනය මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීම තාර්කික කටයුත්තක් නොවන බවයි.

මේ අතර චීන යෝජනාවලිය තුළ රුසියානු හමුදා ඉවත් කරගැනීම පිළිබඳ සඳහන් නොවන බව ද එය විවේචනය කරන්නන් පෙන්වාදී තිබුණා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මෙවන් කරුණු හේතුවෙන් මෙය සත්‍ය වශයෙන්ම යෝජනාවලියක් නොව චීනය විසින් සිය ස්ථාවරය පැහැදිලි කිරීමේ ලියවිල්ලක් ලෙස සැලකිය යුතු බවයි ඇතැම් විචාරකයන් කියා සිටින්නේ. චීනය පාර්ශවයෙන් සලකන විට​, එය දෙලොවක් අතර සිරවී සිටින සෙයක් පෙන්නුම් කෙරෙන බව මෙම විචාරකයන් සඳහන් කරනවා.

එක් පාර්ශවයකින් චීනයට මේ අවස්ථාවේ බටහිර සමග අනවශ්‍ය ගැටුමක් ඇතිකරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. යුද්ධය හේතුවෙන් චීනය සහ බටහිර අතර ගනුදෙනු කිසියම් සංකීර්ණත්වයකට පත්ව තිබෙනවා. එහෙත් චීනයට සිය ප්‍රබල මිතුරකු වන රුසියාව අතහැරීමට හෝ එහි පරාජය දැකීමට හෝ නොහැකියි.

ඊට හේතුව නම්, විශේෂයෙන්ම තායිවාන අර්බුදය අරභයා, අනාගතයේ දිනෙක බටහිර සමග හැප්පීමට තමන්ට ද සිදුවන බව චීනය දැන සිටීමයි. මේ නිසාමදෝ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවී දින කිහිපයක් ඇතුලත චීන විදේශ අමාත්‍ය වෑංග් යී මොස්කව් වෙත සංචාරය කරමින් ජනාධිපති ව්ලදිමීර් පුටින් ද මුණගැසුණා. එමෙන්ම ජනාධිපති ෂී ජින්පිං රුසියාවේ සංචාරය කරන බවට ද රාවයන් මතුව තිබෙනවා.


ජනාධිපති ෂී සහ ජනාධිපති පුටින්

කෙසේ වෙතත් රුසියාව හුදෙකලා කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් බටහිර රටවල් ද එකවරම චීනය සහ ඉන්දියාව වැනි රටවල් සමග විශාල ගැටුම් ඇතිකරගැනීමෙන් වැළකී සිටින්නට උත්සාහ කරන බවක් පෙනී යනවා.

චීන යෝජනාවලිය නිකුත් වීමෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සඳහන් කර තිබුණේ යුක්‍රේන අර්බුදය විසඳීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමන් චීනයේ සංචාරය කිරීමට අදහස් කරන බවයි.

@elearninglk

කෙසේ වෙතත් මෙම සංචාරය සඳහා විශේෂ කලබලයක් ද ඔහු පෙන්නුම් කළේ නැහැ. ඒ අනුව එය සිදුවනු ඇතැයි සඳහන් වූයේ අප්‍රේල් මාසයේ යි.

මේ අතර යුක්‍රේන යුද්ධය නවතා සාමය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින උද්ඝෝෂණ නොබෝදා පැරිස් සහ බර්ලින් නගරවලදී පවත්වනු ලැබුණා. එම උද්ඝෝෂණවලට සැලකියයුතු පිරිසක් සහභාගී වූ බව ද දකින්නට ලැබුණා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.