මහා සමන් දේවාල පෙරහැර

ඇසළ පෙරහැර ආරම්භය හා කප් සිටුවීම
සබරගමුව මහ සමන් දේවාලයේ කාර්තික මංගල්‍යයන් අතුරින් ඇසළ මහ කාර්තිය ප්‍රධානම අංඟයවේ. ලංකාවේ ඇති සංස්කෘතික උත්සව වලින් සමන් දේවාලයේ පෙරහැර දෙවැනි වන්නේ දළදා පෙරහැරට පමණක් යැයි කීමට තරම් මෙම පෙරහැර උත්කර්ශවත් අන්දමින් සිදුවේ. අලි ඇතුන් පනහකට ආසන්න සංඛ්‍යාවක් හා නැටුම් කණඩායම් ගණනාවක් මෙම පෙරහැරට අනිවාර්යයෙන් සහභාගී වේ. මෙම ඇසළ පෙරහැර පැවැත්වීම හා එහි තේවාවන්ද රාජ සම්මත නීතීන්ට අනුව සිදු කිරීමට බස්නායකවරුන් හා රාජකාරි නිළයන් ඉමහත් වෙහෙසක් දරනු ලැබේ. තම පරම්පරාවෙන් ලැබෙන උරුමය අනුව මෙම රාජකාරි නිළයන් දේවකාරිය අකුරටම ඉටු කරීමට බැඳී සිටී.

සබරගමු වැසියන් ඇසළ පෙරහැර නැරඹීමට එක් දිනක් හෝ යෑමටද පෙරහැර නරඹා පෙරහැර ගෙටගෙවැදීමෙන් පසුව පඬුරු දමා දෙවියන්ගෙන් අශිර්වාද ලබාගැනීමටද අමතක නොකරයි. ඔවුන් විශ්වාස කරන්නේ සැපට දුකට සියල්ලටම දෙවියන් තමන් සමග සිටින වගයි. ඇසළ පෙරහැර පැවැත්වීමට මුලපුරන්නේ බස්නායක නිළමේ විසින්ය. ඔහු නැකැත්රාළත් ඇතුළු කට්ටලේ හා පිටත කට්ටලේ නිළධාරීන්ද දේවාලයට කැඳවා පෙරහැර පිළිබඳ රාජකාරි පවරයි.

මේ අතරම දේවාලය පිළිසකර කිරීම් සහ හුනු පිරියම් කිරීමද සංහාසන මණ්ඩපය හා දේවාලය ඉදිරියේ රිට්ටා තොරණ සෑදීම ආරම්භවේ. ඇතුළු කට්ටලය හා පිටත කට්ටලය ලෙස හැඳින්වෙන්නේ පාරම්පරිකව දේවාලයේ රාජකාරි උරුම වූ දෙපිරිසයි. ඇතුළු කට්ටලය සඳහා කපු, බත්තන, පළිහේකාර, කුඩ, චාමර, උඩුවියන්, ලන්ස, මුරුතැන් යන නිළ දෙක බැගින් ඇත. ඔවුන් රාජකාරි කරන්නේ දේවාලයේ ඇතුළු ගබඩාව ආශ්‍රිතවය.පිටත කට්ටලය සඳහා තණ්ඩල රාළ, දවුල්, තම්මැට්ටම්, හොරණෑ, ආලත්ති, හක්ගෙඩි යන නිළයන් හතර බැගින්ද අත්උදව්, වීකොටන, දරගෙන එන නිළ දෙක බැගින්ද වට්ටෝරු අප්පුද වේ. ඔවුන් ඇතුළු ගබඩාවෙන් පිටත රාජකාරි කරනු ලැබේ.

නැකැත්රාළ පෙරහැරට අවශ්‍ය සියළු නැකැත් සාදා බස්නායක නිළමේට භාරදේ. පෙරහැර එතැන්සිට සංවිධානය වේ.දේවාලයේ ධාතු කරඬුව, ඇත්දළ, පළිහ, මුතුකුඩ, රිදීකුඩ හා ආලවට්ටම් ආදී පූජනීය භාණ්ඩ ඇතුළු ගබඩාවේ තැන්පත් කර තිබේ.මෙම ඇතුළු ගබඩාවේ භාරකරු කහවත්ත ප්‍රදේශයේ වෙසෙන රත්නකරාළ නිළමේය. බස්නායක නිළමේ මෙම රත්නකරාළ නිළමේට නිළ පණිවුඩයකින් දැනුම් දුන් විට ඔහු දේවාලයට පැමිණ ගිය වසරේ ඇතුළු ගබඩාවේ දොරට තමා දැමූ නිළමුද්‍රාව පරීක්ෂා කර එය කඩා දොරවල්හැර ඉහත පූජා භාන්ඩ ඉවතටගෙන අදාල අයට භාරදේ.

පෙරහැර අවසන්වනතුරු රත්නකරාළ නිළමේ දේවාලයේ රැඳි සිටිය යුතු අතර පෙරහැර අවසන් වූ විට සියළු පූජා භාණ්ඩ පරීක්ෂා කර නැවත ගබඩාවේ තැම්පත්කර දොරගුළුලා මුද්‍රා තබා දේවාලයෙන් පිටවිය යුතුය. නැවත ඔහුට දේවාල භූමියට ඒමට අවසර ලැබෙන්නේ බස්නායක නිළමේ දැනුම් දීමක් කලහොත් පමණි. නැත්නම් ඔහුට දේවාලයට ඇතළුවීම තහනම්ය.

පසුව දේවාලයේ පරිත්‍රාන ධර්ම දේශනයක් හා පසුදින දානමය පිංකමක් පවත්වා සමන් දෙවියන් කෙරෙහි පින් අනුමෝදන් කෙරේ. කප් සිටුවීම සිදුවන්නේ ඊට පසුවය. ඉපැරණි චාරිත්‍ර අනුව ඇසළ මාසයේ අමාවක ගෙවී එලඹෙන පෑලවියෙන් කප් සිටුවිය යුතුය. කප් සිටුවීම භාර වන්නේ කප් සිටුවන රාළටය. ඔහු කප් සිටුවන දිනට පෙර දින රාත්‍රියේ තනිවම ගොස් කිරිගසක් කපා ගෙනවිත් රිට්ටාගෙය ලෙස හඳුන්වන සිංහාසන මණ්ඩපයේ තැම්පත්කෙරේ. පසුදින එනම් කප් සිටුවන දින එම කිරිගස සුදු පිරුවටයකින් ඔතා හේවිසි වාදනය කරමින් පෙරහැරක් ලෙස කප් සිටුවන ස්ථානයට රැගෙන ඒ.

එවිට දේවාලය තුළ සමන් දේව ආභරණත් පත්තිනි දේවියගේ දේවාභරණත් දෝලාවන්හි වඩමවා කුඩා පෙරහැරක් ආරම්භවේ. කප රැගෙන එන පෙරහැරත් මෙම පෙරහැරත් එකට එක්වී එක් පෙරහැරක් ලෙස උඩමළුවේ දෙවියන් වැඩ සිටින හඳුන්කුඩම වටා ගමන් කරයි. පත්තිනි දේවාලය ඉදිරියේදී පෙරහැරට වලං කදක් ගත් කුඹලෙක්ද එක්වේ. ඔහු පෙරහැර ඉදිරියෙන් ගමන් කරයි.

දේවාලයේ ඇති පැරණි ළිඳ අසලදී සුභ නැකතින් කප්සිටුවීම සිදුකෙරේ. දේවාභරණ රැගත් පෙරහැර දේවාලයට ගෙවැදේ. කුඹලා ගෙනආ වලං කද දේවාලයේ තබා ඔහු දේවාලයෙන් පිටවේ. එය දේවාලයේ ප්‍රයොජනයට ගැනේ. මෙම ආකාරයෙන් පෞරාණික සිරිත් විරිත් ආරක්ෂා කරමින් මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භය කුළුගැන්වීම සිදුවේ.

@elearninglk

සමන් දේවාලයේ මහ පෙරහැර ආරම්භ වීම
දින දහයක් පුරාවට කුඹල් පෙරහැර හා දේවාල පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව ඇරඹෙන්නේ මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැරේ මහ පෙරහැරයි. අලි ඇතුන් පනහකට ආසන්න ප්‍රමානයක්ද උඩරට, පහතරට, සබරගමු හා ගැමි නර්තනාංඟ විශාල ප්‍රමානයක්ද මෙම පෙරහැරට සහභාගීවේ.

දේවාලය වටා පිහිටා ඇති කුඹල් වීදිය, උඩ වීදිය, ගම්පහේ වීදිය හා හුනුවල වීදිය යන සතර වීදියෙහිම මෙම පෙරහැර ගමන්කරයි. පෙරහැර පැවැත්වෙන මාසයේ පසලොස්වක පොහොය දිනයේදී මහ පෙරහැර අවසන් වන ලෙස පොහොය දිනයට දින හතරකට පෙර මහ පෙරහැර ආරම්භවේ. අති උත්කර්ශවත් ලෙස පැවැත්වෙන්නේ පස්වන දිනයේ පැවැත්වෙන මහ පෙරහැරයි. මහජනතාව වඩාත් උනන්දුවෙන් නරඹන්නේ මෙම පෙරහැරයි.


Click on the Image

සමන් දේවාලයේ මහ පෙරහැර එක් පෙරහැරක් ලෙස පෙනුනත් එය පෙරහැර පහක් එක්වී ගමන් කරන පෙරහැරකි.

1. දළදා පෙරහැර
2. පත්තිනි පෙරහැර
3. බිසෝ පෙරහැර
4. කුමාර පෙරහැර
5. සමන්දේව පෙරහැර

යනු එම පෙරහැර පහයි.

හයවන පැරකුම්භා රජුගේ හා දෙවන රාජසිංහ රජුගේ නියම කිරීම් වලට අනුව දේවාලයේ පෙරහැර මංගල්‍යය පැවැත්වේ. එයට බස්නායක නිළමේ ප්‍රමුඛ ඇතුල් කට්ටලේ හා පිටත කට්ටලේ නිළ රාජකාරිකරුවන් අනිවාර්යයෙන් සහභාගීවන අතර සැරසිලි හා අනෙක් සේවාවන් සඳහා දේවාලයෙන් මුදල් ගෙවා යම් පිරිසක් සහභාගී කරවාගනී.

එම සේවාවන් සඳහා අතීතයේ රාජකාරි පරම්පරා තිබී ඇති අතර අද වන විට එම පරපුරවල් දේවාලයෙන් ඈත්වී ගොස් තිබේ. අලි ඇතුන් සඳහා කෑම සැපයීම බලංගොඩ හුනුවල ප්‍රදේශයෙන් සිදුවේ.

පෙරහැර ආරම්භ වන නැකත සාමාන්‍යෙයන් යෙදෙන්නේ රත්‍රී නවය හෝ දහය අතර කාලයන්හිදීය. නැකත එළඹීමට පැයකට පමණ පෙර සිට නැටුම් කණ්ඩායම් තම ඇඳුම් ආයිත්තම් ඇඳ පැළඳගෙන දේවාලයේ පහත මළුවට එකතුවේ. ඒ අතර අලි ඇතුන් සියල්ලම දේවාලයේ පහත මළුවට කැඳවා ගෙනවිත් දම්වැල් දමා ගාල්කර ඔවුන්ගේ ඇඳුම් ඇන්දවීම කරනු ලබයි.

කරඬුව වඩමවන හස්තියා පත්තිරිප්පුව අසල ඇති මණ්ඩපයට ගෙන්වා වතපුටුව බැඳ රන්සිවිගෙය සවි කරනු ලබයි. ඉන් පසුව ඇත් සැට්ටයක් නෙත්ති මාලයත් බැඳ හස්තියා සරසනු ලැබේ.

මෙම ක්‍රියාදාමය වන අතරතුර බස්නායක නිළමේ සහ මොහොට්ටාලවරුන් උඩරට මුල් ඇඳුම් කට්ටලයෙන් සැරසී උඩමළුවට ගමන් කරයි. දේවාලයේ තේවාවන් මේවනවිට ඇරඹී හමාරය. හේවිසිවාදනය වීම නොකඩවාම සිදුවේ. නිළධාරීන් සමග දේවාලයේ බුදු කුටියට පිවිසි බස්නායක නිළමේ හා කපුමහතා ප්‍රධාන පිරිසට පිරිත් නිළයේ ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කරයි.

මෙම පිරිත් දේශනාව අවසානයේ කපු මහතාට සහ බස් නායක නිළමේතුමාට පිරිත්පැන් ලබාදේ. පසුව අනෙක් සියල්ලටද පිරිත්පැන් ලබාදේ. එම කාලයතුළ හේවිසිවාදකයන් නිහඬව සිටී. පිරිත් නිළයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ සධාතුක කරඬුව රැගෙන කපු මහතාගේ හිසමත තැම්පත් කරයි. එම මොහොතේදීම හක්ගෙඩි දෙකත් බුරම්පේත්තු දෙකත් නාදකෙරේ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

එම නාදයත් සමගම හේවිසි වාදකයින් තම වාදනය ආරම්භ කෙරේ. කුඩා ළමුන් තිස්දෙනෙකු පමණ බෞද්ධ කොඩි රැගෙන කරඬුව වඩමන කපුමහතා ඉදිරියෙන් පැමිණේ. කරඬුව වඩමනවිට සිරිත් පරිදි කිරි, පොරි සහ පොල්මල් ඇට බිමට ඉසීම සිදුවේ. මෙම කුඩා පෙරහැර දේවාලයේ බුදු කුටියේ සිට හස්තිරාජයා සිටින ස්ථානයට පැමිණේ.

පෙරහැර අරඹන නැකත හරියටම එළඹිවිට කපුමහතා සධාතුක කරඬුව රන්සිවිගෙයි තැම්පත් කරයි. එම මොහොතේදීද හක්ගෙඩි දෙකත් බුරම්පේත්තු දෙකත් නාද කරයි. කළු ගඟට මුව අයා කුඹල් වීදියේ තබා ඇති ඉපැරණි කාල තුවක්කුව මෙම මොහොතේදී වෙඩිහඬ නිකුත් කරයි.

දළදා පෙරහැර ආරම්භ විය. නිළ ආරම්භය එය වූවත් තවමත් සියල්ල නිහඬය. කරඬුව රැගත් හස්තිරාජයා මණ්ඩපයෙන් ඉවතට පැමිණේ. ඉන්පසුව පිරිත් නිළයේ ස්වාමීන්වහන්සේ නමක් පන්සිල් දීම සිදුකෙරේ. පන්සිල් දීම අවසානවීමත් සමගම හේවිසිවාදනය ආරම්භවේ. පෙරහැර ගමන් කිරීම ඇරඹේ.

දළදාපෙරහැර ගමන් කිරීම ආරම්භ විමෙන් පසුව දේවාලයේ රාජකාරි හේවිසි කණ්ඩායම නැවත දේවාලයට ගමන් කරයි. පළමුව පත්තිනි දේවාලයේ දේවාභරණ රැගත් දෝලාවත් ඉන්පසුව සමන්දෙවියන්ගේ බිසෝ දේවියගේ දේවාභරණ රැගත් දෝලාවත්, සමන් දෙවියන්ගේ දේවාභරණත් අවස්ථා කීපයකදී පහත මළුවට වඩමවයි.

මෙම වැඩමවීමට ආලත්ති අම්මාවරුන්, කොඩි, සේසත්, හක්ගෙඩි, කොම්බු, බුරම්පේත්තු ආදී තේවාවන් සම්බන්ධවේ. සමන් දෙවියන්ගේ දේවාභරණ සුදු පැහැයෙන් අන්දවන ලද අලියෙකු පිට වඩමවයි.

කුමාර රථය නම් ලී කරත්තයක කුමාර දෙවියන් වෙනුවෙන් සමන් දෙවියන්ගේ දේවාභරණ වඩමවයි. මෙම කුමාර රථය මිනිසුන් තිස්දෙනෙක් පමණ එක්ව ඇදගෙන යන අතර පෙරහැර ආරම්භයේදී එය පළමුව ඇදදෙන්නේ බස්නායක නිළමේතුමා විසිනි. එය ඉපැරණි චාරිත්‍රයකි. පෙරහැර ගමන් කිරීම මෙසේ ආරම්භවේ.දේවාලයේ නිළ රාජකාරිකරුවන් සියල්ල සුදු ඇඳුමින් සැරසී සිටීම අනිවාර්ය වේ.

මහ සමන් දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය
දවස් ගණනාවක් තිස්සේ රාත්‍රී පෙරහැරවල් වල දේවාභරණ වැඩම කරවලා, අවසාන රන්දෝලි මහ පෙරහරට පසු දවසේ තමයි දවල් පෙරහැර, ඒ කියන්න සබරගමුව මහ සමන් දේවාලේ දිය කැපීමේ මංගල චාරිත්‍රය ඉටු කරන්නේ. දිය කැපීමේ චාරිත්‍රය ගැන කියනව නම් මේ දිය කැපීමේ චාරිත්‍රය ආරම්භ වෙලා තියෙන්නේ කතරගම දෙවියන්ගෙන් කියලා තමයි කියන්නේ.

සුරාසුර යුද්ධයෙන් ජයගත් කතරගම දෙවියන් තමාගේ කඩුව සේදීම නිසා මේ දිය කැපීමේ චාරිත්‍රය ඇති උනා කියලා පිළිගැනීමක් තියෙනවා. ඒත් පස්සේ මේ සිරිත සෑම දේවාලයකම වගේ සිදු කෙරෙනවා. දිය කැපීම සිදු කරන්නේ විශේෂිත තොටුපලක. සමන් දේවාලේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරන්නේ රත්නපුර මල්වල ප්‍රදේශයේ පිහිටා තියෙන රත්මල ඇල්ල කියන තොටුපළෙන්.


Click on the Image

සමන් දේවාලේ දිය කැපීම කරන්න නියම වෙලා තියෙන මේ තොටුපලට දේවාලේ ඉඳලා ගොඩක් දුරයි. ඉතින් දේවාභරණ රැගත් දෝලාවල් නංවාගත් ඔරු එහෙමත් නැත්නම් අඟුල් කීපයකින් තමා දේවාලේ තේවාව භාර පිරිස මේ ස්ථානයට යන්නේ. කළු ගඟ දිගේ මෙහෙම ගමන් කරන මේ දිය කැපීමේ පෙරහැර තමයි ලංකාවේ තියෙන දිගම ගඟේ පෙරහැර. සමහර අවුරුදු වලදී ගඟේ වතුර පාර වැඩි උනාම අඟුල් වලට යන්නම බෑ. මොකද උදේ පාන්දර මේ අඟුල් යාත්‍රා කරන්න ඕන ඉස්සෙල්ලම ගඟේ ඉහත්තාව බලා. වතුර පාර කපාගෙන ඉහලට, කිලෝමීටර් ගානක් අඟුල පදිනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

ඒ දවස් වලට දේවාලේ කිට්ටුව තියෙන වෙනත් ස්ථානයකින් දිය කැපීම කරනවා. ඒත් පෞරාණික චාරිත්‍ර වලට අනුව හරියටම දිය කැපීම කෙරෙන්නේ රත්මල් ඇල්ලේ තමයි.

අවසාන රන්දෝලි මහ පෙරහැර අවසන් වෙලා ගෙට ගෙවදින්නේ සාමාන්‍යයෙන් පසළොස්වක පොහොය දවසට පහුවෙනිදා පාන්දර 1ට 2ට වගේ වේලාවට. ගෙට ගෙවදුනාට පස්සේ ආලත්ති තේවාව ඉවර වෙලා තේවාව භාර පිරිස තම තමන්ගේ ගෙවල් වලට යනවා. ගිහින් ආයෙත් පාන්දර 4.00ට වගේ දේවාලෙට එනවා. ඒ එන්නේ අලුත් සුදු ඇඳුම් ඇඳගෙන. පාන්දර 5ට වගේ වෙලාවට තමා ගඟේ පෙරහැර යන්න දෙවාලෙන් එලියට එන්නේ .

මේකට නැටුම් ගැයුම් සහභාගී වෙන්නේ නෑ. දේවාලේ තේවාව කරන අය විතරයි අදාළ වෙන්නේ. එයාලා දේවාභරණ රැගත් දෝලාවල් දෙක ඒ කියන්නේ සමන් දේවාලේ සහ පත්තිනි දේවාලේ දෝලාවල් දෙක සහ කුමාර රථය මේ සඳහා යොදාගන්නවා.

දේවාභරණ නංවාගත් දෝලාවල් සහ කුමාර රථය පෙරටු කරගත් තේවාව භාර පිරිස හේවිසි වාදනය කරමින් දේවාලේ වටා ගමන් කරලා සිංහාසන මණ්ඩපයට පිවිසෙනවා. සිංහාසන මණ්ඩපේ ඇතුලට යන ප්‍රධාන කපු මහත්මයා නැවත එලියට ඇවිත් අලියා පිටේ නැගලා සමන් දෙවියන්ගේ හීය නමැති දෙවාභාරණය තමාගේ කරමත හොවාගෙන දේවාලේ අසල තියෙන කොටාඹේ කියන තොටුපල වෙත ගමන් කරනවා. මෙහෙම ගමන් කරලා අවසානේ මේ අය තම තමන්ට අදාළ අඟුල් වලට ගොඩ වෙනවා. දේවාලේ අඟුල් හතරක් මේ සඳහා සහභාගී වෙනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

1. පත්තිනි අඟුල
2. සමන් දේව අඟුල
3. හේවිසි අඟුල
4. නිළමේ අඟුල තමයි

පත්තිනි අඟුලේ පත්තිනි දෙවියන්ගේ දේවාභරණ රැගත් දෝලාව තැම්පත් කරලා පත්තිනි දේවාලේ කපු මහත්මයා ඇතුළු රාජකාරි කණ්ඩායම් ගමන් කරනවා. සමන් දේව අඟුලේ සමන් දේවාලේ දෝලාව තැම්පත් කරලා සමන් දේවාලේ කපු මහත්වරු ගමන් කරනවා. හේවිසි අඟුලේ ඉන්නේ හේවිසි වාදනය කරන අය. නිළමේ අඟුලේ ඉන්නේ බස්නායක මහත්මයා නියෝජනය කරන නිළමේවරු.

සැතපුම් හතරක් හෝ පහක් පමණ වන දුරක් ගෙවාගෙන මේ අඟුල් කළු ගඟේ ඉහත්තාව බලා ගමන් කරනවා. මේ පෙරහරට ගමේ අයත් ඔරු අරගෙන සහභාගී වෙනවා. ඒ වගේම සමහර අය මේ පෙරහරත් එක්ක ටයර් ටියුබ් ආධාරයෙන් පීනාගෙන රත්මල් අල්ලට ගමන් කරනවා. හේවිසි ගහගෙනම තමයි පෙරහැර ගමන් කරන්නේ.

ඔහොම ගිහිල්ලා නැකත එළඹෙන මොහොතේ දේවාලේ තේවාව භාර නිල වලට අදාළ අය කඩුවෙන් දිය කපලා කෙන්ඩියට පුරවා ගන්නවා. මේ අවස්ථාව කිසි කෙනෙක්ට බලන්න දෙන්නේ නෑ. සුදු රෙදිවලින් ආවරණය කරලා තමයි දිය කපන්නේ. දිය කපපු මොහොතේ නැකතට දේවාලයේ කාල තුවක්කුව පත්තු කරනවා. ඒ එක්කම ගොඩක් දෙනෙක් දෙවියන්ගේ අනුහස මිශ්‍රවෙලා ගලන ගඟේ වතුරේ කිමිදිලා ස්නානය කරනවා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. දේව අඟුල් වලට පූජාවල් තියනවා පඩුරු දානවා වගේ දේවල් පවා මිනිස්සු කරන්න පුරුදුවෙලා ඉන්නවා.

ඊට පස්සේ තමයි දේව අඟුල් ඇතුළු අනෙක් අඟුල් ආයෙත් සමන් දේවාලය බලා එන්න පිටත් වෙන්නේ. මේ එන අතරතුරේ අතරමග තියෙන තොටුපුලවල් කීපයකම දේව අඟුල් නවත්වනවා. සමහරවිට අඟුල් පදින අයගේ විඩාව නිවන්න එහෙම නවතින්න පුරුදුවෙලා ඇති. ඒ කෙසේ වෙතත් දේව අඟුල් වලට මේ ස්ථාන වලදී පූජාවල් තැබීම, පඳුරු දැමීම වගේ දේවල් කෙරෙනවා

මේ එක් එක් තොටුපොළවල් වලින් පෙරහැර පිටත්වෙන වාරයක් ගානෙම කාලතුවක්කුවෙන් වෙඩිල්ල පත්තු කරනවා. තව විශේෂ දෙයක් කියන්න ඕන. සමන් දේවාලේ මේ ගඟේ පෙරහරේ ගමන් කරන අයට කැවුම් කිරිබත් වගේ දේවල් වලින් සංග්‍රහ කරන්න ගොඩක් දෙනක් පුරුදුවෙලා තියෙනවා.

ඔහොම ඔහොම ඉතින් දේව අඟුල් ආයෙත් සමන්දෙවාලය අසල තියෙන කොටාඹේ කියන තොටුපොළ ගාවට කිට්ටු වෙනවා. රාහු කාලේ පන්නලා හදලා තියෙන නැකතකට අනුව මේ පෙරහැර ගඟෙන් ගොඩබහිනවා. මේ අතරවාරයේ දේවාලයේ අලි ඇත්තු නැටුම් කණ්ඩායම් බස්නායක නිලමේ ඇතුළු අනෙක් නිලමේවරු ඔක්කොම පෙරහැර සූදානම් කරගෙන ඉන්නවා දේවාභරණ නැවතත් දේවාලයට වැඩම කරවන්න සූදානමින්.

දේවාභරණ වැඩම කරවලා පෙරහැර ගඟෙන් ගොඩ බැස්සම නැකතට නැවතත් වෙඩිල්ල පත්තු කරනවා. මේ වෙඩිල්ලෙන් සිහිගන්වන්නේ ඔන්න සමන් දේවාලේ දවල් පෙරහැර ආරම්භ උනා කියලා. වෙඩිල්ල තියලා හැමෝම පන්සිල් ගන්නවා. එතනදී පන්සිල් දෙන්න තේවාව භාර පිරිත් නිලයේ හාමුදුරුවරු සැදී පැහැදී වැඩ ඉන්නවා. පන්සිල් දීලා අවසන් උනාම කස හේවිසි හොරණෑ නාද කරමින් දවල් පෙරහැර ආරම්භ වෙනවා.

දවල් පෙරහැරේ, රෑ පෙරහැරවල් වල තරම් නැටුම් කණ්ඩායම් ගමන් කරන්නේ නෑ. හැබැයි අංග සම්පූර්ණව පෙරහැරක් ගමන් කරනවා. මේ පෙරහැරේ ධාතු කරඬුව වැඩම කරවන්නේ නෑ. සමන් දෙවියන්ගේ දෙවාභාරණයක් වන ඊතලයක් සුදු අන්දපු අලියෙක් පිටේ වැඩම කරවනවා. මේ ඊතලය රෑ පෙරහැරවල්වල වැඩම කරවන්නේ සුදු රෙදි කැරලි ඔතලා. ඒත් දවල් පෙරහරේ වැඩම කරවන්නේ හැමෝටම පේන විදියට මල් වැල් කීපයක් විතරක් ඔතලා. ඒනිසා එදාට තමයි දෙවියන්ගේ දේවාභරණ අපිට සියැසින් දැකගන්න ලැබෙන්නේ.

මෙහෙම සියැසින් දකින්න ලැබෙන නිසාම ඒ දෙවාභාරණය වැඩම කරවන අලියටයි දකින අපිටයි වස් වදිනවා කියලා කියනවා. ඒ වස් දුරු කරන්න ගරා යක් නැටුමක් මේ අලියා ඉදිරියේ නටාගෙන ගමන් කරනවා. ගුරුල්ල කොළ අතු වනමින් මේ අය නර්තනයේ යෙදෙනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

පෙරහැර මෙහෙම ගමන් කරලා සිංහාසන මණ්ඩපයේ නතර වෙලා ගිමන් නිවලා සුපුරුදු පරිදිම ගෙට ගෙවදිනවා. දිය කපලා වැඩම කරන පැන් කෙන්ඩිය දේවාලයේ ඉහල මාලයේ තැම්පත් කරනවා ආයෙත් ඊළඟ අවුරුද්දේ දිය කපන්න එලියට ගන්නතුරුම. සාමාන්‍යයෙන් දවල් පෙරහැර ගෙට ගෙවදිනකොට රාත්‍රී 7 විතර වෙනවා. මොකද තේවාවල් කරලා ඔක්කොම ඉවර කරන්න ඕනනේ.

ඒත් එක්ක ඇසල මංගල්‍යය අවසන් වෙනවා. දවල් පෙරහැර දවසේ රාත්‍රියේ දේවාලයේ ගරායක් ශාන්තිකර්මයක් කරනවා. එහෙම කරන්නේ දේවාභරණ වැඩම කරවපු අලියටයි නිලමේවරු සහ අනිත් තේවාව භාර නිළයන්ට වස් වැදිලා තියෙනව නම් ඒවා දුරු කරන්න.

තව කියනන් තියෙනවා පෙරහරට පස්සේ තියෙන දැන් අභාවයට ගිහින් තියෙන දික්ගෙයි නැටුම කියන නැටුම ගැන. ඊළඟ Post එකෙන් කියන්නම් දික්ගෙයි නැටුම ගැන.

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

eLearning.lk නිවේදනය
මෙම ලිපිය පල කිරීමේ මූලික සහ එකම අරමුණ වන්නේ මෙම විශ්වාසයන්, ඉතිහාසයන්, මෙම ස්ථානය හා බැදුනු ඓතිහාසික කතා පුවත් සහ සංස්කෘතික කාරණාවන් පිළිබඳව ඔබ වෙත දැනුමක් ලබා දීම පමණි. මෙහි ඇති සංස්කෘතික කරුණු සහ චාරිත්‍රයන් සත්‍යයක් සහ අර්ථාන්විත යැයි අප කිසි විටෙකත් අවධාරණය කරන්නේ නැත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.