​අවාසනාවන්ත ලුසිටානියා – පළමු කොටස

අද ලිපියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ලුසිටානියා ඛේදවාචකය ගැනයි. මේ සිද්ධිය පළවන ලෝක යුද්ධය තරම් ඈත අතීතයකට යනවා.​ ​දෙවන ලෝක යුද්ධයට සාපේක්ෂව, පළවන ලෝක යුද්ධය වැඩි පිරිසකගේ අවධානයට ලක්වෙලා නැති නිසා, ලුසිටානියා ඛේදවාචකය ගැන හුග දෙනෙක් දැනුවත් වෙලා නැහැ කියන එකයි අපේ අදහස…

ලුසිටානියා නෞකාව නිර්මාණය කරන්නෙ, ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ නැව් සමාගමක් වුණු Cunard Line සමාගමෙන්. 1906 අවුරුද්දෙ වැඩ නිම කරපු මේ නෞකාව, 1907 අවුරුද්දෙදි මංගල ගමනත් ගියා. ලුසිටානියා නෞකාවේ මිනුම් ගත්තොත් ආසන්න වශයෙන් බරින් ටොන් 32 000ක්, දිගින් මිටර 240ක්, උසින් මීටර 50ක් වෙනවා. තට්ටු 9යි. මගීන් ආසන්න වශයෙන් 2200ක් ප්‍රවාහනය කරන්න පුලුවන්. පහසුකම් අතින් ටයිටැනික් නෞකාවට නොදෙවෙනි නෞකාවක් වුණු ලුසිටානියා, ඒ කාලයේ ලෝකයේ තිබුණු “විශාලතම නෞකා” වර්ගීකරණය යටතට අයත් වුණු නෞකාවක්.

1914 අවුරුද්ද වෙනකොට පළවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා. මේ යුද්ධය ගොඩබිමට වගේම මහා මුහුදටත් එක විදිහටම බලපාන්න ගන්නවා. මේ කාලයේ මිත්‍ර පාක්ෂික හමුදාවලට ලොකුම හිසරදයක් වෙලා තිබුණු දෙයක් තමයි ජර්මානුවන්ගේ U-Boat. U-Boat කියන්නෙ Underseeboot / Under Sea Boat කියන අර්ථයෙන් සබ්මැරීන හදුන්වන්න පාවිච්චි වුණු වචනයක්.

​මේ කාලයේදී මිත්‍ර පාක්ෂික රටවල්වල මුහුදු මාර්ග වැටිලා තියෙන රේඛාවල, ජර්මානු සබ්මැරීන රදවලා තිබුණා. එයාලා යුධ නැව්වලට වගේම, අහිංසක මිනිස්සු ගියපු වෙළද සහ මගී නැව්වලට ප්‍රහාර එල්ල කරන්නත් දෙපාරක් හිතුවෙ නෑ. බ්‍රිතාන්‍යය වටේ තියෙන මුහුදු මාර්ග හිටං අල්ලගෙන හිටපු ජර්මානු සබ්මැරීන, කිසිම පූර්ව දැනුම්දීමක් නැතුව තමයි සතුරු නෞකාවලට ප්‍රහාර එල්ල කළේ. මේ නිසාම ගොඩක් රටවල්වල මුහුදු මාර්ග සති, මාස ගණන් අවහිරවෙලා තිබුණා. ඒක ලෝක ආර්ථිකයටත් බලපෑවා. ​ජර්මානුවන් ක්‍රියාත්මක කරපු යුධ නොවන නෞකාවලට පහරදීමේ ප්‍රතිපත්තිය නිසා ලුසිටානියා වගේ විශාල මගී ප්‍රවාහන නෞකාවලට ලොකු රතු එළියක් දැල්වුණා. 1915 අවුරුද්ද වෙනකොට මේ තත්වය තවත් වැඩි වුණා.

​මේ කාලය වෙනකොට සමහරක් මහා පරිමාණයේ මගී ප්‍රවාහන නෞකාවල සේවය තාවකාලිකව නතර වුණා. සමහරක් මගී නෞකා, යුධ නෞකා විදිහට අරගත්තා. සමහරක් මගී නෞකා, රෝහල් නෞකා විදිහට අරගත්තා. ලුසිටානියා නෞකාව ජර්මානුවන්ගේ ඉලක්කයක් වෙලා කියලා මේ කාලයේ කතාවක් පැතිරෙන්න ගත්තා. මේ නිසාම හදුනා ගැනීමේ අපහසුවට, ලුසිටානියා නෞකාවේ ආලේප කරලා තිබ්බ වර්ණයන් පවා වෙනස් කරන්න සිද්ධ වෙනවා.

1915 අවුරුද්දෙ අප්‍රේල් 24 වෙනිදා බ්‍රිතාන්‍යයේ ඉදලා ඇමරිකාවට ආපු ලුසිටානියා නෞකාවේ ගමන යෙදිලා තිබුණේ 1915 අවුරුද්දෙ මැයි 01 ඇමරිකාවෙ ඉදලා බ්‍රිතාන්‍යයටයි. තවත් විස්තර කරලා කිව්වොත් ඇමරිකාවේ නිව්යෝක් වරායෙ ඉදලා, බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් වරායටයි. මේ කාලයේදී ජර්මානු තානාපති කාර්යාලයෙන් රතු නිවේදනයක් නිකුත් කළා. ඒ නිවේදනයේ තිබ්බෙ ලුසිටානියා නෞකාව ජර්මානු ප්‍රහාරයකට ලක්වීමේ දැඩි අවධානමක් තියෙනවා කියලයි. මේ නිවේදනය ඇමරිකාව පුරා ව්‍යාප්ත කරන්න අවශ්‍ය නිසා, පුවත්පත්වල ලුසිටානියා නෞකාවේ ගමන ගැන මුද්‍රණය කරලා තියෙන දැන්වීම, යටින්ම මේ රතු නිවේදනයත් මුද්‍රණය කළා. ​ගොඩක් අය මේ අවධානම නිසා නෞකාවේ ගමන් කරන එකෙන් වැළකුනා. ඒත් ආරක්ෂාව ගැන විශ්වාසය තියෙන ගොඩක් අය, මේ ගමනට එකතු වුණා. ඒ අතරේ අවුරුදු 3කට කලින් වුණු ටයිටැනික් ඛේදවාචකයෙන් බේරුණු කිහිප දෙනෙකුත් හිටියා.

​මේ කාලයේ ලුසිටානියා නෞකාවේ කැප්ටන්වරයා වුණෙ බොහොම පල පුරුදු සහ අත්දැකීම් සහිත කැප්ටන්වරයෙක්. ඒ තමයි විලියම් තෝමස් ටර්නර්. මේ ගමනේදී නෞකාවේ කැප්ටන්වරයා විදිහට නම් කරලා තිබුණේ ඩැනියල් ඩෝව් කියන කැප්ටන්වරයා වුණත්, හිටිහැටියෙම ඩැනියල් අසනීප වෙනවා. ඒ ජර්මානු සබ්මැරීන ගැන ඇතිවුණු මානසික ආතතියක් නිසා කියලා තමයි කියවෙන්නෙ. ඒ නිසා තමයි විලියම් තෝමස් ටර්නර්ට මේ කර්තව්‍ය භාර කරන්නෙ. ඩැනියල් ඩෝව් කැප්ටන්වරයාට කලින්, ලුසිටානියාවේ කැප්ටන්වරයා වුණෙත් විලියම් තෝමස් ටර්නර්ම තමයි.

මේ අවදානම නිසා, බ්‍රිතාන්‍යයේ නාවික බල මූලස්ථානයෙන් කැප්ටන්වරයාට උපදෙස් ලැබිලා තිබුණා, ආරක්ෂාකාරී විදිහට ගමන් කරන්න කියලා. සමහරක් මුහුදු රේඛාවලදී Zig Zag ක්‍රමයට (ඉංග්‍රීසි හෝඩියේ Z අකුරේ හැඩයට) ගමන් කරන්න කියලත් උපදෙස් දීලා තිබුණා. එතකොට සබ්මැරීනවලට ඉලක්කය ගන්න අමාරුයි. ඒ වගේම බ්‍රිතාන්‍ය කොඩිය නෞකාවෙන් ගලවන්න කියලත් නියෝග ලැබිලා තිබුණා. කොහොමින් කොහොම හරි ලුසියානියා නෞකාව ඇමරිකාවෙ ඉදලා බ්‍රිතාන්‍ය නොහොත් තමන්ගේ මව් රට බලා යන්න පටන් ගත්තා. මේ තමයි ලුසිටානියා නෞකාවේ 202 වෙනි ගමන් වාරය. ඒත් මේ කවුරුත් හිතුවෙ නෑ, ඒ තමයි ලුසිටානියාගේ අවසන් ගමන කියලා.

මේ ගමනේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙන් ලුසිටානියා නෞකාවට ආරක්ෂාව සපයන්න තීරණය කළා. ඒ වෙනුවෙන් ප්‍රහාරක නෞකා දෙකක් ඉදිරිපත් වුණා. ඒත් ලුසිටානියා නෞකාවේ ගමන්මග ගැන ප්‍රසිද්ධ වුණොත්, ඒක නෞකාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන නිසා, ලුසිටානියා නෞකාවේ කලින් කැප්ටන්වරයා වුණු ඩැනියෙල් ඩෝව් ඒ සේවාව ප්‍රතික්ෂේප කරලා තිබුණා.

දවස් හතකට පස්සෙ ටිකෙන් ටික ලුසිටානියා නෞකාව බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් වරාය ළගට ළං වෙමින් හිටියා. මේ දවස් ගණන අතරතුරේම නෞකාවේ ගමන් කරපු මගීන්ගේ හිත්වල බයක් තිබුණේ නැතුවා නෙවේ. නෞකාවේ කැප්ටන්වරයත්, ඔහුගේ නිළධාරී සහ කාර්යය මණ්ඩලයත් ගමන පුරාවටම හොද අවධානයකින් තමයි හිටියේ. මුහුද පුරාවටම හොද නිරීක්ෂණයක් කරන ගමන්, බ්‍රිතාන්‍යයේ නාවික බල මූලස්ථානයෙන් විටින් විට එවන දැනුවත් කිරීම් ගැන අවධානය යොමු කරන්නත්, උපදෙස් පිළිපදින්නත් ඒ අය කටයුතු කළා.

නෞකාවේ වතුර කාන්දුවීමේ දොරවල් සීල් තියන්නත්, නිරීක්ෂක නිළධාරීන්ගේ ගණන වැඩි කරන්නත්, රාත්‍රී කාලයේදී නෞකාවේ විදුලි බුබුළු විශාල ප්‍රමාණයක් ක්‍රියා විරහිත කරන්නත්, ජීවිතාරක්ෂක බෝට්ටුවල අසුරන ඉවත් කරලා ඒවා ලෑස්ති පිට තබන්නත් කැප්ටන්වරයා නියෝග කරනවා.

මැයි 7 වෙනිදා දවල් 2.10 විතර වෙනකොට ලුසිටානියා නෞකාව තිබුණෙ අයර්ලන්තයේ කින්සෙල් ප්‍රදේශය පහු කරමින්. මේ වෙලාවේ ඝන මීදුමක් ප්‍රදේශය පුරාවටම තිබුණා. ඒ නිසා Zig Zag ක්‍රමයට යෑම අපහසු බව තේරුම් ගත්ත කැප්ටන්වරයා, නෞකාවේ වේගය අඩු කරලා, සරල රේඛාවක් විදිහට යන්න තීරණය කරනවා.

මේ වෙලාව වෙනකොට බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් වරාය සහ ලුසිටානියා නෞකාවේ ගමන් මාර්ගය අතරට ජර්මානු සබ්මැරීනයක් ඇවිල්ලයි තිබුණෙ. මේ සබ්මැරීනයේ අණ දෙන්නා වුණේ කපිතාන් “වෝල්දර් ස්ක්වීගර්”. මුළු ලෝකය පුරාම සබ්මැරීන් භීතිකාව පතුරවන්න, මේ කැප්ටන්වරයාගෙන් ලැබුනු දායකත්වය සුළු පටු නෑ. මේ අයත් මුල ඉදලම ලුසිටානියා නෞකාව ගැන අධ්‍යනය කරමින් තමයි හිටියෙ.

ඉතින් සබ්මැරීනය නවත්තගෙන ලුසිටානියා නෞකාව ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත්, ලුසිටානියා ගැන කිසිම දර්ශනයක් මෙයාලට ලැබුණෙ නෑ. ඒකට හේතුව වුණේ ඒ වෙලාවෙ තිබුණු ඝන මීදුම් තත්වය නිසයි. මේ වෙනකොට සබ්මැරීනයේ ටෝර්පීඩෝ ප්‍රමාණය තුනකට සීමාවෙලා තිබුණා. ඉන්ධනත් අඩුවෙමින් තිබුණා. ලුසිටානියා නෞකාව ගැන තිබ්බ බලාපොරොත්තු අතාරින්න ඔන්න මෙන්න තියෙද්දි, මෙයාලට ලුසිටානියා නෞකාව දර්ශනය වුණා.

​හදුනා ගැනීමේ අපහසුවට ලුසිටානියාවේ වර්ණය වෙනස් කරලා තිබුණත්, සබ්මැරීනයේ හිටපු අය නම් ඇහි පිය ගහන වේගයට නෞකාව අදුර ගත්තා. මොකද පාට වෙනස් කළාට, නෞකාවේ ආකෘතිය වෙනස් වෙන්නෙ නැති නිසා. අනිත් අතට නෞකාවේ නම, නෞකාවේ හොදට ප්‍රදර්ශනය කරලා තිබුණා. මීදුම නිසා ලුසිටානියා නෞකාවේ කැප්ටන්වරයාගේ අණ මත නෞකාවේ වේගය අඩු කරලා තිබීමත්, සරල රේඛාවක් ඔස්සෙ යමින් තිබීමත් නිසා, ජර්මානුවන්ට ලුසිටානියාව පහසු ඉලක්කයක් වෙනවා. Zig Zag ක්‍රමය ඔස්සේ වැඩි වේගයකින් ගියා නම්, ලුසිටානියා ප්‍රහාරය අසාර්ථක වෙනවා කියලා තමයි මේ අය ගණන් බලලා තිබ්බෙ.

​ඒ වෙලාවෙම ක්‍රියාත්මක වුණු “වෝල්දර් ස්ක්වීගර්”, ටෝර්පීඩෝ ඇතුළු කරලා ලෑස්ති වෙන්න කියලා සබ්මැරීනයේ අනිත් අයට නියෝග කරනවා. සබ්මැරීනයේ ටෝර්පීඩෝ ලෑස්ති කළායින් පස්සෙ, හැමෝම බලාගෙන හිටියා කපිතාන්වරයාගේ ඊළග නියෝගය එනකන්. කපිතාන්වරයත් අණ නිකුත් කරන්න සුදුසු වෙලාව එනකන් බලාගෙන හිටියා. ඊට පස්සෙ “දියත් කරන්න” කියලා අණ දුන්නා. මේ වෙලාවේ සබ්මැරීනයේ ටෝර්පිඩෝ කාමරයේ පණිවිඩකරු විදිහට හිටියේ “චාර්ල්ස් වෝගල්” කියලා නිළධාරියෙක්. මෙයා ටෝර්පිඩෝ කාමරයට පණිවිඩය දුන්නෙ නෑ. කපිතාන්වරයා නැවතත් “දියත් කරන්න” කියලා අණ කළත්, මේ නිළධාරියා පණිවිඩය යවන්නෙ නැතුව ඉන්න තීරණය කළා. ඒ වෙලාවෙදි කපිතාන්වරයා සහ “චාර්ල්ස් වෝගල්” අතරේ විවාදයක් හට ගන්නවා. “චාර්ල්ස් වෝගල්”ගේ මතය වුණේ ලුසිටානියා නෞකාවට ප්‍රහාරයක් එල්ල කරන එක සුදුසු නෑ කියලා. ඒකට හේතු විදිහට “චාර්ල්ස් වෝගල්” කිව්වෙ, ලුසිටානියා කියන්නෙ යුධ නෞකාවක් නොවන නිසාත්, ඒකේ ගමන් කරන්නේ සාමාන්‍ය අහිංසක මිනිස්සු නිසාත් තමන් මේ තීරණය ගත්තා කියලයි.

මේක අහන කපිතාන්වරයාට ගොඩක් කේන්ති යනවා. චාර්ල්ස්ගෙන් පණිවිඩ යන්ත්‍රය උදුර ගන්න කපිතාන්, ටෝර්පීඩෝ කාමරයට පණිවිඩය නිකුත් කරනවා. ඒත් එක්කම එක ටෝර්පීඩෝවක් නිකුත් කරනවා. මේ ටෝර්පීඩෝව වේගයෙන් ගිහින් ලුසිටානියා නෞකාවේ මැද්දට වැදිලා පුපුරනවා. ඒත් එක්කම වගේ එතනින්ම තවත් විශාල පිපුරුමක් වෙනවා. ඒත් එක්කම නෞකාව මුහුදු බත්වීම ආරම්භ වෙනවා.

මේ පිපිරීමෙන් නෞකාවේ හිටපු මගීන් කලබල වෙලා එහාට මෙහාට දුවන්න ගත්තා. විලියම් ටර්නර් කැප්ටන්වරයා මුලදී කොහොම හරි නෞකාව බ්‍රිතාන්‍යයටම ඇදගෙන යන්න හිතුවත්, ප්‍රහාරයේ හානිය නිසා ඒක ක්‍රියාත්මක කරන්න වුණේ නෑ. කැප්ටන්වරයා තමන්ගේ කාර්යය සහ නිළධාරී මණ්ඩලයට දැනුම් දුන්නා, නැව ඉක්මනටම හිස් කරන්න කියලා. ඒත් නෞකාව හිතුවටත් වඩා වේගයෙන් මුහුද යටට යන්න ගත්තා. මේ වෙනකොට නෞකාවේ ජීවිතාරක්ෂක බෝට්ටු 50ක් විතර තිබිලා තියෙනවා. ඒත් ඒ බෝට්ටුවලින් හරියටම යවාගන්න පුලුවන් වුණේ 6ක් වගේ සංඛ්‍යාවක්.

​ටෝර්පිඩෝව වැදිලා විනාඩි 15ත් – 20ත් අතරේ සුළු කාලයකදී, නෞකාව සම්පූර්ණයෙන්ම මුහුද යටට ගියා. නෞකාවේ හිටපු අයට හැරෙන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. පළවෙනි ජීවිතාරක්ෂක බෝට්ටුව දියත් කරනකොට, ලුසිටානියා නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදු වතුරෙන් වැහෙන්න ඉතුරුවෙලා තිබිලා තියෙන්නෙ විනාඩි 8ක් වගේ සුළුම සුළු කාලයක්. නෞකාව ගිලෙන වෙලාවෙ, නෞකාවේ තිබ්බ ඔක්කොම ජනේල විවෘත කරලා තමයි තිබිලා තියෙන්නෙ. මේකත් ඒ වේගයට හේතුවක් වුණාලු. ප්‍රහාරය එල්ල වුණු හැටියෙම නෞකාවේ එන්ජින් කාමර වතුරෙන් යට වුණා කියලත්, විදුලිය සහ පණිවිඩ හුවමාරු යන්ත්‍ර විසන්දි වුණා කියලත් ලොග් පොත්වල සටහන් කරලා තියෙනවා. අයර්ලන්තයෙන් ආපු නෞකාවකින් තමයි ජීවිතාරක්ෂක බෝට්ටුවල හිටපු අය සහ මුහුදේ පාවෙමින් හිටපු අයව බේරගෙන තියෙන්නෙ.

එකම එක ටෝර්පීඩෝ ප්‍රහාරයක් දියත් කළත්, නෞකාවෙන් පිපිරීම් ශබ්ද දෙකක් ඇහුනා. ඒ වගේම මේ වගේ විශාල නෞකාවක්, එකම එක ටෝර්පීඩෝවකින් විනාශ කරන්න පුලුවන් වුණා. මේ ගැන සබ්මැරීනයේ හිටපු අය ගොඩක් පුදුම වුණා. ​ඊට පස්සෙ තමන්ගේ ජයග්‍රහණය සමරන ගමන්, මේ සබ්මැරීනය ආපහු ජර්මනියට පිටත් වෙනවා.

මේ ප්‍රහාරය නිසා ලුසිටානියා නෞකාවේ ගමන් කරපු 2000කට ආසන්න මගී සහ කාර්යය මණ්ඩලයේ අයගෙන් 1195ක් ජීවිතක්ෂයට පත්වුණා. 764ක් වගේ සුළු පිරිසකට බේරෙන්න වාසනාව තිබුණා.

​ජීවිතක්ෂයට පත් වුණු අයගෙන් ලෝකය වෙනස් කළ හැකි මට්ටමේ හිටපු අයගේ සංඛ්‍යාව 50කට ආසන්නයි. ඒ අතරේ අතිදක්ෂ සංගීතඥයන්, රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්, ක්‍රීඩකයො, ව්‍යවසායකයො, ව්‍යාපාරිකයො, ලේඛකයො, හමුදා නිළධාරීන්, වෛද්‍යවරු, දාර්ශනිකයො, විලාසිතා නිර්මාණ ශිල්පීන්, පූජකයො, ඉංජිනේරුවො, මහාචාර්යවරු, විද්‍යාඥයො, මිලියනපතියො, නාට්‍යකරුවො එහෙමත් ගොඩක් ඉන්නවා.

සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවා නැවක් මුහුදු බත් වෙනකොට, නැවේ කැප්ටන්වරයත් නැවත් එක්කම ගිලෙන්න ඕන කියලා. මේ පිළිගැනීම ගොඩක්ම කරලියට ආවේ 1912දි වුණු ටයිටැනික් ඛේදවාචකයේදී ජෝන් ස්මිත් කැප්ටන්වරයා, නිර්භයව ගිලෙමින් තිබුණු ටයිටැනික් නෞකාවේම අවසන් ගමන්යෑම නිසයි. ඒකෙන් අදහස් වෙන්නෙ නැව ගිලෙනකන්ම, මගීන්ව නැවෙන් ඉවත් කරන වගකීම, කැප්ටන්වරයා ඉෂ්ඨ කරන්න ඕන කියන එකයි.

​ඉතින් ලුසිටානියා නෞකාවේ කැප්ටන්වරයා වුණු විලියම් තෝමස් ටර්නත් ලුසිටානියා නෞකාව ගිලෙනකන්ම, නතරවෙලා මගීන්ව නෞකාවෙන් පිට කිරීමේ වැඩවලම හිටියා. ලුසිටානියා නෞකාවේ අවසාන වතාවට රැදිලා හිටපු පණ තියෙන කෙනා වුණේ විලියම් තෝමස් ටර්නයි. නෞකාව ගිලෙනකොට, නෞකාවේ කොඩි කණුව අල්ලගෙන හිටපු නිසා කැප්ටන්වරයාට ජීවත් වෙන්න වාසනාව තිබුණා. ඊට පස්සෙ කොඩි කණුවත් බදාගෙන පැය ගාණක් මුහුදෙ පාවෙවී හිටපු කැප්ටන්වරයව බේර ගන්න පුලුවන් වෙනවා. හැබැයි කැප්ටන්වරයාව බේරගන්න වෙලාවෙදි, එයාට සිහිය තිබිලා නෑ.

ලුසිටානියා නෞකාවේ මිය ගියපු මගීන් සහ තමන්ගේ කාර්යය මණ්ඩලයේ අය නිසා කැප්ටන්වරයා ගොඩක් කම්පා වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සහායකයා වුණු කැප්ටන් ඇන්ඩර්සන්ගේ මරණය නිසා. ලුසිටානියා නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදු බත් වෙනකන් නෞකාවේ රැදී හිටියත්, තාමත් ජීවත්වෙලා ඉන්න නිසා හුග දෙනෙක් හිතුවේ කැප්ටන්වරයා බේරිලා පැනලා ඇවිල්ලා කියලයි.

ඊට පස්සෙ Curnard Line සමාගමටත්, ලුසිටානියා නෞකාවේ කැප්ටන්වරයාටත්, ලුසිටානියා නෞකාවේ කාර්යය මණ්ඩලයටත් විරුද්ධව බ්‍රිතාන්‍ය නාවික බල මූලස්ථානයෙන් නඩු පවරනවා. ඉතින් ඒ නඩුවේදී මොකද වුණේ කියලා අපි මීළග ලිපියේදී බලමු >> දෙවන කොටස


උපුටා ගැනීම් : 
* කවරයේ ඡායාරූපය : Patrick O’Sullivian
* ඡායාරූපය 01 : RMS Lusitania | www.wikipedia.com
* ඡායාරූපය 02 : RMS Lusitania | www.wikipedia.com
* ඡායාරූපය 03 : RMS Lusitania | www.wikipedia.com
* ඡායාරූපය 04 : RMS Lusitania | www.wikipedia.com
* ඡායාරූපය 05 : Unknown
* ඡායාරූපය 06 : www.navsource org
* ඡායාරූපය 07 : www.greanvillepost.com
* ඡායාරූපය 08 : Patrick O’Sullivian
* ඡායාරූපය 09 : www.moddb.com
* වීඩියෝව : Scorpio delinquent | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.