නස්රුදීන්ගේ කතා තුනක්

August 5, 2021

නස්රුදීන් යනු දහතුන්වන සියවසේදී තුර්කියේ ජීවත් වූ මුල්ලා කෙනෙකි.(ඉස්ලාම් සූෆි පූජකයෙක්).

මරණ දඬුවම
නස්රුදීන් කලක් රජතුමාගේ(සුල්තාන්වරයාගේ) පුරෝහිතයාව සිටියේය.

එකල සුල්තාන්වරයා වරක් “දැඩි දඬුවම් දීමෙන් රටේ සියලු වැරදි මුලිනුපුටා දැමිය යුතු යැයි” තීරණය කළේය. බොරු කීමට පවා මරණ දඬුවම දීමට රජු තීරණය කළේය. ඒ අනුව නගරයට ඇතුළු වන තැන ඇති පාලම අසළ එල්ලුම් ගසක් පිහිටුවා නගරයෙන් ඇතුළුවන පිටවන සියලු දෙනා ප්‍රශ්නකිරීමට ලක් කිරීමට රජු තීරණය කළේය. යමෙකු බොරුවක් කිව්වොත් / අනන්‍යතාව සැඟවුවහොත් ඔහුට හෝ ඇයට හිමි වුණේ මරණ දඬුවමයි.

නස්රුදීන් මේ තීරණයට විරුද්ධ වුණේය. ඔහු පැවසුවේ නීතිය සුළු වැරදි නොතකා, වරදේ පරිමාණයට අනුව දඬුවම් නියම කළ යුතු බවයි. එමෙන්ම වැරදි සහමුලින් ඉවත් කළ නොහැකි බවත් පාලනය කිරීම පමණක් කළ හැකි බවයි. තවද මිනිසුන් යහපත් වීම, “සියලු දෙනාගේ යහපත උදෙසා තම ඇතැම් හැසිරීම් පාලනය හා වෙනස් කර ගැනීමේ වැදගත්කම” ගැන ඔවුන්ගේ ආකල්පමය වර්ධනයකින් හා සදාචාරාත්මක සංස්කෘතියක් ජනිත කරගෙන පවත්වා ගැනීමෙන් පමණක් කළ හැකි බවත්, නීතිය – ආගම- අධ්‍යාපනය ආදිය ඊට මග පෙන්වීම පමණක් සිදු කළ යුතු බවත්ය.

තවද ඥානවන්ත ගුරුවරුන්ගේ මග පෙන්වීමෙන්, භාවනාව ආදී යම් ක්‍රියාපිළිවෙත් අනුගමනයෙන්, තම අන්තර්ඥානය අවධි කර ගැනීමෙන් සත්‍යය දකින මිනිසා ස්වභාවයෙන්ම යහපත් තත්වයට ලඟා වන බවත්, එසේ නොමැතිව යහපත මිනිසුන් මත බලෙන් පැටවීම කළ නොහැකි බව නස්රුදීන් පැවසුවේය.

රජතුමා ඔහුගේ උපදෙසට සවන් නොදී තම තීරණය ක්‍රියාත්මක කළේය.
දිනක් නස්රුදීන් නගරයට ඇතුළු වෙද්දී එල්ලුම් ගස අසල රාජ පුරුෂයන් ඔහුගෙන් ප්‍රශ්න කළේය..

කොහෙද තමුන් යන්නේ?
“මම එල්ලුම් ගහට යනවා.” නස්රුදීන් උත්තර දුන්නා..
“ඒක බොරුවක්.”
“එහෙනම් මාව එල්ලපල්ලා.”
“එත් තමුන්ව එල්ලුවොත් ඒ කියපු එක ඇත්තක් වෙනවා.”
“ඔහෙලාට ඇත්ත හා බොරුව කියන දෙකේ ස්වභාවය දැන් ටිකක් වැටහෙන්න ඇති.”

 

නස්රුදීන් සහ ගින්දර
නස්රුදීන් යාලුවොත් එක්ක විනෝද වෙන ගමන් පුරසාරම් කියවනවා. තමන්ට රාත්‍රියේ කාන්තාර හීතලේ, කිසිම ගින්දරක ආධාරයක් නැතුව, එළි වෙනකන් ඉන්න පුළුවන් කියලා ඔහු කියනවා. (කාන්තාරයේ රාත්‍රියට පට්ට හීතලයි. දවල් කාලේ පට්ට රස්නෙයි)

යාලුවෝ අභියෝග කරනවා එහෙම ඉන්න බැහැ කියලා. එමෙන්ම එහෙම හිටියොත් නස්රුදීන්ට උත්කෘෂ්ඨ භෝජන සංග්‍රහයක් දෙනවා කියලා. හැබැයි හීතල දරාගන්න බැරුව ගෙදර ගියොත් නස්රුදීන් යාළුවන්ට භෝජන සංග්‍රහයක් දෙන්න ඕන.

නස්රුදීන් අභියෝගය පිළිගන්නවා.

හැබැයි ඔන්න රෑ ඉද්දි ඉන්න බැහැ. හීතලට ගල් වෙනවා වගේ. හැබැයි නස්රුදීන් දකිනවා පැලක ඉටි පන්දම් එළියක්. . ඔහු ඒ ගින්න ගැන පූර්ණ අවධානය යොමු කරමින් භාවනා කරනවා. (බෞද්ධ අර්ථයෙන් තේජෝ කසිණ භාවනාව වඩනවා වගේ වැඩක්) ඒ භාවනාව හේතුවෙන් ඔහුට නිරුපද්‍රිතව රැය පහන් කරන්නට හැකි වෙනවා.

පසුවෙනිදා හිරු නැගෙන කොටම යාලුවෝ එනවා. නස්රුදීන් අභියෝගය ජය අරන්. ඔවුන්ට හරි පුදුමයි. කොහොමද ඒක කළේ කියලා ඔවුන් අහනවා. නස්රුදීන් ඇත්තම කියනවා. එතකොට යාලුවෝ තර්ක කරන්න පටන් ගන්නවා.

“ආ.. ඔයා ඉටි පන්දම් එළියක් දැක්කනේ.. ඒකත් ගින්නක් තමයි. ඒක නිසා ඔයා අභියෝගය පරාදයි.” මේ තර්ක කිරිල්ලට නස්රුදීන්ට කට උත්තර නැති වෙනවා. ඒක නිසා භෝජන සංග්‍රහයට යාළුවන්ට එන්න කියනවා.

යාලුවෝ ආවහම නස්රුදීන් කියනවා ආ පොඩ්ඩක් ඉන්න.. භෝජන හදන්න කලින් මම ඔයාලට සුප් එකක් දෙනවා.. ඒක තවම ලිපේ කියලා..

ඉතින් යාලුවෝ බලන් ඉන්නවා.. ඉන්නවා.. ඉන්නවා..ඒත් සුප් එකවත් නැහැ. බඩත් ගිනියි. බැරිම තැන උන්දලා කුස්සියට ඔලුව දාලා බලනවා.. හප්පට.. ලොකු සුප් හැලියක් එල්ලාලා තියල නස්රුදීන් වෙද පප්පා වගේ වාඩි වෙලා බලන් ඉන්නවා. එත් ගින්දර දානවා වෙනුවට යටින් ගහලා තියෙන්නේ පත්තු කරාපු ඉටි පන්දමක් විතරයි.

යාලුවෝ නස්රුදීන් ගෙන් මෙහෙම අහනවා..
මොකක්ද බන් ඔය කරන විකාරේ?

නස්රුදීන් මෙහෙම උත්තර දෙනවා.. “ඇයි මචන්ලා උඹල තර්ක කළේ, අර මං හීතල දුරු කරගන්න ඈත ඉටි පන්දම් එළියක් දිහා බලන් හිටපු එක ගින්නක් දිහා බලන් සිටීමක් කියලා. ඉතින් මේ ගහල තියෙන්නෙත් එහෙම ගින්නක් තමයි. ඉක්මනට මේක හැදෙයි ආ.. පොඩ්ඩක් ඉවසන් හිටපල්ලා..”


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

දන්සැල
නසරුදින් ලයි ගමේ ඉන්න නැහැදිච්ච කොලු කුරුට්ටන්ගෙන් මිනිහට මාර වදේ. පාරක දැක්කොත් උන් අඩන්තේට්ටම් කරනවා නසුරුදීන්ට. එක දවසක් ගමනක් යද්දි මිනිහ මේ නසරාණී කොලු කුරුට්ටන් කල්ලියකට අහු වුනා. මුන් නසුරුදින්ට කල හිරිහැර කියන්නෙ පොර බිමත් ඇදගෙන වැටිල. මෙ මල කරච්චලය අස්සෙ හිටාල්ල දෙන්න වැඩක් කියල හිතාපු නසුරුදින් කොලු කුරුට්ටන්ට කියනව මේම.

“තොපි මෙතන මාත් එක්ක නටන්නෙ තොපි දන්නෙ නැද්ද සුල්තාන් තුමාගෙ ගෙදර අද රස කැවිලි දන්සැලක් කියල”

කොල්ලො ටික ෆුල් හොල්මන් වෙලා නසුරුදින් දිහ බලා ඉන්නව.

“ඉක්මනට නොගියොත් ඉවර වෙයි”

ඊ ගාව තප්පරේදි එතන එකෙක්වත් නැහැ මුන් එක පිම්මෙ දුවන්න ගත්ත සුල්තාන්ලයි දිහාට.

නසුරුදින් නැගිට්ට වැලි පිහ ගත්ත. ටිකක් කල්පනා කලා, ඊට පස්සෙ මිනිහත් ඒ දිහාටම දුවන්න ගත්ත.

“බැරිවෙලාවත් ඇත්තටම රස කැවිලි දන්සැලක් තිබ්බොත්…”

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.