බෝෆෝර් සිද්ධිය හෙවත් මෝඩයන් ඇමතීමේ යාන්ත්‍රණය

දශක ගණනාවක් ඉන්දියාව ආණ්ඩු කල, කිසිවෙකුටත් සෙලවිය නොහැකි පර්වතයක් ලෙස හැඳුන්වුන කොංග්‍රස් පක්ෂය 1989 දී භාරතීය ජනතා පක්ෂයට පරාජය විය. දශක දෙක හමාරකට පසු සිදුවුණ නරේන්ද්‍ර මෝඩිගේ සම්ප්‍රප්තියට මග සැකසෙන්නේ මේ මැතිවරණය හරහාය.

ඊට පාදක වූ “මෝඩයන් ඇමතීමේ යාන්ත්‍රණය” ලෙස පසු කලෙක ලෝක දේශපාලනයේ කතාබහට ලක් වූ අප්‍රකට ක්‍රමවේදය, ඇමරිකානු දේශපාලනයේ පවා අදටත් යොදා ගැනෙන බව නොරහසකි.

වසර 1986 දී රජීව් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය රජය හොවිට්සාර් තුවක්කු 410 මිළදී ගැනීම සඳහා ඩොලර් බිලියන 1.4ක මුදලක කොන්ත්‍රාත්තුවකට ස්වීඩනයේ බෝෆෝර් සමාගම සමග ගිවිසුම්ගත විය. මේ ගනුදෙනුවේදී රජීව් ගාන්ධි ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙක් ඩොලර් මිළියන 500ක පමණ කොමිස් මුදලක් බෝෆෝර් සමාගමෙන් ගෙන ඇති බවට ස්වීඩන් සහ ඉන්දීය මාධ්‍ය වාර්තා පළවිය. මේ සමගම රජීව් ගාන්ධිගේ “Clean Suit” ප්‍රතිරූපය බිඳ වැටෙන්න විය.

විපක්ෂය මෙහිදී ඉතා සුක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කළේය. ඩොලර් මිලියන ගණන්, කොමිස් මුදල් ආදිය පිළිබඳව බහුතරයක් වූ ග්‍රාමීය නූගත් ඉන්දීය ජනතාවට වැටහීමක් නැති බව ඔවුන්ට අවබෝධ විය.

ඉන්දියාවේ ඕනෑම ප්‍රදේශයක පාරම්පරික සිටුවරුන් වන මහරජා හෝ ශාමින්දාර් වරුන්ගේ අති විශාල සුඛෝපභෝගී මන්දීර ඇත.

විපක්ෂය ප්‍රාදේශීය මට්ටමින් රැස්වීම් පවත්වා ජනතාවට අපූරු ගණිත ක්‍රමවේදයක් ඉදිරිපත් කළේය. ඔවුන් ඩොලර් මිලියන 500ය ඉන්දියානු රුපියල්වලට හරවා එය එම ප්‍රදේශයේ සිටින පවුල් ගණනින් බෙදීය.

එවිට පිළිතුර ඉන්දියානු රුපියල් කෝටි ගණනක් විය. විපක්ෂය කියා සිටියේ රජීව් ගාන්ධි මෙම දුෂණය නොකළේ නම් එම ප්‍රදේශයේ සෑම පවුලකටම ලැබෙන්න තිබූ මේ මුදලින් ඒ සැමටම මහරාජා මන්දිරයක් මිළදී ගත හැකිව තිබුණු බවයි.

මෙය මිනිසුන්ගේ අභ්‍යන්තරයටම වදින්න විය. තමාට හිමිවීමට තිබු මහරාජා මන්දිරය රජීව් ගාන්ධි විසින් මංකොල්ල කා ඇති බව ඔවුන්ට දැනෙන්න විය.

1989 මැතිවරණයේදී එතෙක් දැවැත්ත පර්වතයක් සේ තිබූ ඉන්දීය කොංග්‍රස් පක්ෂය පරාජයට පත්විය. එය ඉන්දියාවේ එක් යුගයක නිමාවක් සනිටුහන් කළේය.

මැතිවරණයකදී මෝඩයන් ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම වටහා නොගෙන එය ජයග්‍රහණය කිරීම අසීරුය, විශේෂයෙන්ම ලංකාව වැනි රටක.


මහාචාර්ය චන්දිම ගෝමස් මහතාගේ සියලුම ලිපි මෙතනින් කියවමු >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.