නත්තලේ ගීතය

December 22, 2019

We wish you a merry Christmas….
We wish you a merry Christmas….
We wish you a merry Christmas….
And a happy New Year….

නත්තල් කාලයේ ඔයාලට නිතරම ඇහෙන ගීතයක් තමයි ඒ. මේ ගීතය තමයි ලෝකයේ ජනප්‍රියතම සහ ප්‍රසිද්ධම නත්තල් ගීතය. We wish you a merry Christmas ගීතය නත්තල් ගීතයක් විදිහට සැළකුවත්, නත්තල උදාවෙලා දවස් හයක් වගේ කෙටි කාලෙකින් එළඹෙන අලුත් අවුරුද්ද ගැනත් මේ ගීතයේ සඳහනක් තියෙනවා. කෙසේ නමුත් නත්තලේ සහ අලුත් අවුරුද්දේ සාමය, සතුට, සෞභාග්‍ය සපිරි උත්සව සමය ගැනයි මේ ගීතයෙන් අර්ථවත් වෙන්නෙ.

මේ ගීතය ඈත අතීතයේ නිර්මාණය වුණු ගීතයක් වුණත්, ගීතය ජනප්‍රිය වෙලා තියෙන්නෙ 1935 අවුරුද්දෙන් පස්සෙ. ඒ, “ආතර් සිඩ්නි වොරල්” කියන බ්‍රිතාන්‍ය ජාතික සංගීතඥයා, මේ ගීතයට අලුත් තනුවක් එකතු කරලා, වචන සංස්කරණය කරලා 1935 අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ 06 වෙනිදා එක්තරා ප්‍රසංගයකදි ඉදිරිපත් කිරීමත් සමඟයි.

අද වෙනකොට අපි මේ ගීතය We wish you a merry Christmas කියලා ගායනා කළත්, ඒ ප්‍රසංගයේදී ගායනා කරලා තියෙන්නෙ I wish you a merry Christmas කියලයි.

මේ ගීතයේ මූලාරම්භය ගැන නිශ්චිත ඉතිහාසයක් නැතත්, 16ත් 18ත් සියවස් අතරේ නිර්මාණය වෙලා, කාලෙන් කාලෙට එක එක වචන වෙනස් කිරීම් හරහා ක්‍රමිකව විකාශය වුණු ගීතයක් විදිහට සැළකෙනවා.

විශේෂයෙන්ම ගීතයේ කියවෙන Figgy Pudding කියන ආහාරයේ උපත සහ ජනප්‍රියත්වය මේ ශත වර්ෂවල කාල පරාසය තුළ ඇතිවුණු සහ පැවතුනු එකක්. අද වෙනකොට මේ Figgy Pudding කියන ආහාරය වෙනුවට වැඩි පිරිසක් පෙළඹිලා ඉන්නෙ Christmas Pudding (නත්තල් පුඩිං) හදන්නයි.

ගීතය විකාශයේදී, ඒ ඒ කාලයේ තිබුණු සමාජීය පරිසරයන් අනුව තමයි වචන වෙනස් වීම සිද්ධවෙලා තියෙන්නෙ. දැනට හොයාගෙන තියෙන අනුවාදය (Version) 1830 තරම් ඈත අතීතයකට යනවා.

ඒ වගේම අතීතයේ හිටපු පුංචි ළමයි මේ ගීත, යමක් කමක් තියෙන මිනිසුන් ඉන්න ගෙයින් ගෙට ගිහින් කැරොල් ගීත විදිහට ගායනා කරලා තියෙනවා. ඒවා අහලා සතුටුවෙන යමක් කමක් තියෙන අය, ගීතය ගායනා කරපු ළමයින්ට ආහාර පානවලින් සංග්‍රහ කරලා තියෙනවා.

මුල් ගීතයේ තියෙන වචන අනුව එන්ගලන්තයේ නිරිත දිග ප්‍රදේශයෙන් නිර්මාණය වුණු ගීතයක් කියලා මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඒත් බ්‍රිතාන්‍යයේ අතීත කැරොල් ගීත ගැන ගවේෂණ, පරීක්ෂණ, නිරීක්ෂණ කරපු කිසිම කෙනෙක්ට මේ ගීතයේ මූලාරම්භය ගැන තවමත් හොයා ගන්න බැරි වෙලා තියෙන නිසා, මේ ගීතයේ නිර්මාතෘ, මේ ගීතය ජනප්‍රිය කරපු “ආතර් සිඩ්නි වොරල්” කියන බ්‍රිතාන්‍ය ජාතික සංගීතඥයාම තමයි කියලත් සමහරක් උගතුන් මතයක් ගොඩ නගලා තියෙනවා.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.gominno.com
* වීඩියෝව : Christmas Songs and Carols – Love to Sing | YouTube Channel
* ඡායාරූපය 02 : www.amazon.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.