පිටසක්වල ජීවීන් යනු අනාගත මිනිසාද?

සමහර වෙලාවට එක එක දේවල් දකිනකොට, එක එක දේවල් පරිහරණය කරනකොට අපිට ගොඩක් පුදුමත් හිතෙනවා. බලන බලන තැන දකින්න තියෙන්නේ මිනිසා අතින් නිර්මාණය වුණු දේවල්. ඒ මොකද කියනවා නම් අවුරුදු මිලියන 4ක් තිස්සේ, අපි ඒ තරමටම ලොකූ දුරක් ඇවිල්ලා. අද අපි ශිෂ්ඨ සම්පන්න විදිහට ජීවත් වුණාට, අවුරුදු මිලියන 4කට විතර කලින් අපි හිටියේ ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ප්‍රාථමික මට්ටමේ.

අපි හිටියේ කොණ්ඩ, රැවුල් වවාගෙන නිර්වස්ත්‍රව. වැලි ගොඩේ, මඩ ගොඩේ, තණකොළ ගොඩේ කියලා වෙනසක් නෑ. හැම තැනම ලැග්ගා. ඒ නිසාම අපි හරිම අපිරිසිදුයි. නියපොතු වැවිලා. දත් හොදටම ගෙවිලා. ඉන්න හිටින්න හරිහමං තැනක් තිබුණේ නෑ. කාලෙන් කාලෙට ගස් බෙන, ගල් ගුහා අස්සේ හරි, ගස් යට හරි තමයි හිටියේ. පුලු පුලුවන් විදිහට සත්තු දඩයම් කරලා, සත්තුන්ගේ මස් අමුවෙන් කෑවා. අනිත් අයත් එක්ක සන්නිවේදනය කරන්න භාෂාවක් තිබුණේ නෑ. කතා කරන්නත් බෑ. සන්නිවේදනය කළේ අතින් පයින්. ගෝත්‍රයේ අනිත් අයත් එක්ක නිතරම රණ්ඩු සරුවල්. ඉර නගින හැටි, ඉර බහින හැටි, හද, ග්‍රහලෝක, තරු, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ, හිම, වැස්ස වගේ දේවල් අපිට හරිම පුදුමාකාරයි. විදුලි කොටනවට, අකුණු ගහන සද්ධෙට අපි හරිම බය වුණා. කිසිම අගක් මුලක් තේරෙන්නෙ නෑ. හිතන්න මතන්න දැනුමක් තිබුණේ නෑ.

එහෙම තත්වෙක හිටපු අපි ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරන්සිස්, හෝමෝ හැබිලිස්, හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ සේපියන් ආදී වශයෙන් අවධි ගණනාවක් පහුකරගෙන ඇවිල්ලා, අද අගහරු මත ජනාවාසයක් හදන්න ලෑස්ති වෙනවා. ඉතින් අපි අවුරුදු මිලියන ගාණක් තිස්සේ ආපු ගමන්මග ගැන පුදුම හිතෙන්නේ නැද්ද? එහෙම හිටපු අපි අද මොනතරම් දියුණුවක් ලබලා තියෙනවද? මිනිසා කියන්නේ ලෝකයේ එක්තරා ජීවීන් කොටසක් විතරයි. ඒ වුණාට අද මුළු ලෝකයම පාලනය කරන්නේ මිනිසා. ඒ වගේම අද මුළු පරිසරයම පාලනය කරන්නේ මිනිසා.

අවිද්‍යාවෙන් හිටපු මිනිසා අද විද්‍යාවෙන් ඉදිරියටම යනවා. විද්‍යාව බිහි වෙන්නේ අවිද්‍යාවේ ප්‍රතිඵලයක් විදිහටයි. අවිද්‍යාව හැරුණුකොට මේ ගමන්මගට තවත් “ප්‍රධානතම” කරුණු දෙකක් බලපෑවා. පළවෙනි එක තමයි මිනිසාගේ මහපට ඇගිල්ල, අනිත් ඇගිලිවලින් වෙන්වෙලා තිබීම. ඒ නිසා මිනිසාට ඕනෑම දෙයක් හොදින් අල්ලා ගැනීමේ හැකියාව තියෙනවා.

ඒ නිසාම තමයි නව නිර්මාණ බිහි වුණේ. අද කාලයේ නම් යන්ත්‍ර සූත්‍ර හරහා එක එක දේවල් නිර්මාණය වුණාට, ඒ කාලයේ ඔක්කොම දේවල් නිර්මාණය වුණේ අත් දෙකෙන්. අනිත් ප්‍රධාන කරුණ තමයි මිනිසාගේ බුද්ධිබල මහිමය. කාලය යනවාත් එක්කම අපේ චින්තන රටාව දියුණු වුණා. සිතීමේ, තර්ක කිරීමේ හැකියාවන් දියුණු වුණා. ඉතින් අද අපි ලබාගෙන තියෙන දියුණුව ඇවිල්ලා මහපට ඇගිල්ල වෙන්ව පිහිටීම සහ බුද්ධිබල මහිමය කියන දෙකේම එකතුවක්.

හෝමෝ සේපියන් මානවයාගෙන් පරිනාමනය වෙනවා හෝමෝ සේපියන් සේපියන්. ඒ කියන්නෙ වර්තමාන මිනිසා . ඒ මීට අවුරුදු 40 000කට කලින් කියලා තමයි කියන්නේ. ඉතින් ඔහොම ඇවිල්ලා තමයි අද අපි මේ විදිහට ඉන්නේ. ඒ කියන්නේ හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලා විදිහට…

@elearninglk

විද්‍යාඥයන්ගේ මතය අනුව ලෝක විනාශය, අපේ සූර්යයාගේ මිය යෑමෙන් සිදු වෙනවා නම්, ඒකට තවත් අවුරුදු බිලියන පහක් විතර තියෙනවා. ඉතින් ඒ අවුරුදු ගාණනාව යනකන්ම මිනිහා ජීවත්වෙලා ඉන්න එපැයි. අවුරුදු මිලියන 4ක් තිස්සේ ඇවිල්ලා මේ ලබා ගත්තු දියුණුව, තවත් අවුරුදු දහස් ගාණක් හිටියොත් කොහොමට තියේවිද? ඉතින් තාක්ෂණික උපකරණ භාවිතා කරනකොට ගොඩක් වෙලාවට ඒ ගැන හිතෙනවා. බුද්ධිමය වශයෙන් දියුණු වෙයි. ඊට සාපේක්ෂ වශයෙන් සාරධර්මවලින් පිරිහිලා, මේ යන ගමන මහා යුද්ධයකින් කෙළවරවෙයි කියලා හිතෙනවා.

ඒත් ඊටත් වඩා කල්පනා වෙන්නේ මිනිසාගේ ශාරීරික ලක්ෂණ මොන විදිහට ඉස්සරහට පරිණාමය වෙයිද කියලයි.

අද ඉතිහාසඥයන්, විද්‍යාඥයන් අධ්‍යනයේ පහසුවට මානව පරිණාමය ප්‍රධාන වශයෙන් අවධි කිහිපයකට බෙදනවා. ඒ ඒ අවධිවල මිනිසාගේ ශරීරයේ සැකැස්ම සහ ජීවන චක්‍රය විවිධාකාර ස්වරූපයන් ගත්තා. ජීවන චක්‍රය ටික ටික දියුණු වෙනකොට, ඊට සාපේක්ෂව ශරීරයේ සැකැස්මත් හැඩ ගැහුනා. මුලින්ම අපිට හම්බවෙන්නේ ඔස්ට‍්‍රලෝපිතිකස් අවධිය. ඒ කියන්නේ අවුරුදු මිලියන 4කට කලින්. ඒ අවධියේදි අපේ උස අඩි 3.5 සිට 5 විතර වුණා. වක්‍ර කොන්දක් තමයි තිබුණේ. ඔළුවේ හැඩය වානරයෙකුගේ හැඩයට සමාන වෙද්දි, ලොකු හනු සහ ලොකු දත් තිබුණා. කකුල් දෙකෙන් හිටගත්ත කාලෙ නිසා ඇවිදින්න ටිකක් විතර අමාරුයි. ඒ කාලේ අපි ශාක භක්ෂකයි.

ඊට පස්සේ උදා වුණේ හෝමෝ හැබිලිස් අවධිය. ඒ කියන්නේ අවුරුදු මිලියන 2කට කලින්. එදා ඉදලා අපි සර්ව භක්ෂකයි. ඒ කාලේ මිනිසාගේ උස මීටර් 1.5ක් විතර. ඔන්න දැන් මිනිසාගේ කොන්ද සෘජුයි. හොදට ඇවිදින්නත් පුලුවන්. නළල හිස පසුපසට ආනතව පිහිටලා, ඇස් පෙනීමත් ටිකක් තියුණු වෙලා. කලින් හිටියට වඩා ලස්සනත් වෙලා.

ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටෙස් අවධිය ආවා. ඒ කියන්නේ අවුරුදු මිලියන 1.5කට විතර කලින්. දැන් ඉතින් අපේ උස අඩි 4 – 6 අතර. මොළය, හෝමෝ හැබිලිස්ගේ මොළයට වඩා, ලොකු වෙලා. ඒ මදිවට අත් කකුල්, කොන්ද කලින්ටත් වඩා හොදට වැඩ කරනවා. යටි හනුව ටිකක් ලොකු වෙලා. නහය පළල් වෙලා. නිකට පොඩි වෙලා. ඔළුවේ අස්ථි ඝනවෙලා.

ඊළගට එනවා හෝමෝ සේපියන්ස් අවධිය. ඒ කියන්නේ අවුරුදු 200 000කට කලින්. මොළය තවත් ලොකුයි. හරියට අද ඉන්න මිනිසාගේ මොළයේ ප්‍රමාණයටම වගේ. ශරීරය ශක්තිමත්ව වැඩිලා. ලොම්වලින් ටිකක් වැහිලා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

දැන් අදහසක් ආවද පරිනාමණයේදී ඒ ඒ වෙනස්කම් වුණු විදිහ ගැන? චුට්ට චුට්ට දෙපයින් හිටගෙන, චුට්ට චුට්ට ඇවිදින්න පටන්ගෙන, චුට්ට චුට්ට කොණ්ද කෙලින් කරගෙන ආපු මේ ගමනේදී, මිනිසාගේ චර්යා රටා නිසා ශරීරයේ හැඩගැසීම් සිද්ධ වුණා. ඒ ඒ අවධිවල මිනිසාගේ ශරීරයේ සිදු වෙන නව වෙනස්කම් තීරණය වුණේ, ඊට කලින් අවධිවල මිනිසා විසින් ගත කරපු චර්යා සහ ජීවන රටා අනුව.

කකුල් දෙකෙන් ටික ටික ඇවිද්ද නිසා, ඊළග අවධියේදි කකුල් දෙකෙන් හොදට ඇවිදින්න පුලුවන් වුණා. ඒ නිසාම වකුටු කොණ්ද ඊළග අවධිවලදි සෘජු වුණා. දුවලා පැනලා ක්‍රියාකාරී විදිහට හිටපු නිසා, ඊළග අවධියේදී මාංශපේශී වර්ධනය වුණා. විචාර පූර්වකව කල්පනා කරන්න පටන් ගත්ත නිසා ඊළග අවධියේදී මොළය දියුණු වුණා. කකුල් දෙකෙන් හිටගත්ත නිසා, ඊළග අවධියේදි අත් දෙක, කකුල් දෙකට සාපේක්ෂව කොට වුණා. සෘජු කොණ්ද නිසා, ඊළග අවධියේදී හිස පසුපසට ආනත වුණා. ඉතින් වර්තමානයේ අපි ගත කරන ජීවිත රටාවන් අනුව අනාගතයේදී මොනවා වෙයිද?

මට හිතෙන්නෙ මෙහෙම දෙයක්…

බලන්න දැන් අපි ගත කරන ජීවන ක්‍රමය දිහා. ලෝකයේ ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් ව්‍යායාමවල යෙදෙන්නේ නෑ. ගොඩාක් දෙනෙක් තෙල් කෑමවලට, ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වෙලා තියෙනවා. පෝෂ්‍යදායි ආහාර ගන්නවා අඩුයි. හැම තිස්සෙම එක තැන ඉන්න තමයි ප්‍රිය කරන්නේ. එක්කො Phone එකක් ඔබ ඔබ ඉදිවී. නැත්නම් Tv එක බල බල ඉදීවි. එහෙමත් නැත්නම් Computer / Laptop / Tab පාවිච්චි කර කර ඉදීවි. ගමනක් ගියත් යන්නේ යාන වාහනවල. තට්ටු දෙකක් නගින්නත් පඩිපෙළ නැතුව, Lift එක පාවිච්චි කරනවා. ඔය වගේ දේවල් නිසා ඉස්සරට වඩා මිනිසා මහත්වෙමින් (තරබාරු වෙමින්) යනවා. ඒ නිසා අනාගතේදී මිනිසා ගොඩාක් මහත් වෙයි.


Click on the Image

මේ වෙනකොටත් මිනිසා අත පය පාවිච්චි කරන අවස්ථා අඩුවෙමින් යනවා. ඇවිදින්නේ නෑ. එක තැනකට වෙලා මොකක් හරි තාක්ෂණික උපකරණයක් අතේ තියාගෙන හරි, ඔබ ඔබ හරි තමයි වැඩිහරියක් ඉන්නේ. මොනවා හරි කරගන්න ඕන වුණත්, එක බොත්තමක් හෝ ස්විච් එකක් එබුවා නම් ඇති. ඒ නිසා මම පුද්ගලිකව විශ්වාස කරනවා අනාගත මිනිසාගේ අත්, කකුල් කොටවෙයි කියලා. මොකද අත් සහ කකුල්වල භාවිතය සෘණ මට්ටමකට යන නිසා. ශරීර ප්‍රමාණයෙන් අනාගත මිනිසා, නූතන මිනිසාට වඩා කොටවෙයි.

අනාගත මිනිසාගේ අත් කොට වුණාට, අත්වල ඇගිලි මීට වඩා දිගවෙයි. මොකද තාක්ෂණික දියුණුවත් එක්ක වර්තමාන මිනිසා ඇගිලි පාවිච්චි කරන ප්‍රතිශතය වැඩියි. අද කාලේ කොයි වෙලාවේ බැලුවත්, මොකක් හරි දෙයක් ඔබ ඔබනේ ඉන්නේ. ඒ නිසා පරිණාමයේදී දෙඅත් කොට වුණාට, ඇගිලි ටිකක් දික්වෙයි.

අනාගත මිනිසා මීටත් වඩා කාර්යබහුල වෙයි. ඒ නිසා එයාලට, දැන් තරම්වත් වටේ පිටේ ඉන්න අයත් එක්ක කතා කරන්න වෙලාවක් නැතුව යාවි. ඒ කියන්නේ භාෂාව පාවිච්චි කිරීම සහ කතා කිරීම සෘණ පැත්තට යනවා. ඒ නිසා අනාගත මිනිසාගේ මුඛය තවත් පොඩි වේවි.

ඊට සාපේක්ෂව මිනිසාගේ බුද්ධි මට්ටමත් ටික ටික වර්ධනය වෙනවා. බුද්ධි බල මහිමය නිසා, මිනිස් මොළය මීට වඩා විශාල වෙයි. ඒ නිසා ඊට සාපේක්ෂව මිනිස් හිස්කබලත් ලොකු වෙයි.

හැබැයි අධි තාක්ෂණයන් කරා මේ යන ගමනේදී, නිතරම මිනිසාට දැනුම එක්රැස් කරගන්න කියවන්න ඕන වෙනවා. නිතරම පරිගණක තිරත් එක්ක ගණුදෙනු කරන්න වෙනවා. ඒ නිසා අනාගත මිනිසාගේ ඇස්, මීට වඩා ටිකක් විශාල වෙයි.

ඉතින් ඔය කියන අංග ලක්ෂණ ඔක්කොම ටික එකතු කරලා බැලුවම, නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ව…

දැකලා පුරුදුයිද? ඔව්, මේ ඉන්නෙ පිටසක්වල ජීවියෙක්. පිටසක්වල ජීවීන්ව දැක්කාය කියන ලෝකයේ 99%ම කියන්නෙ එයාලා දැකපු පිටසක්වල ජීවීන්, මෙන්න මේ වගේ ශරීරයක් තිබ්බ ජීවීන් කියලයි.

එයාලා අති විශ්වාල දියුණුවක් අත්පත් කරගෙන තමයි ඉන්නේ. පෘතුවියේ ඉදලා ආලෝක වර්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් ඈත ඉදලා තමයි, එයාලා පෘතුවියට එන්නේ. අපි අපේ සෞරග්‍රහ මණ්ඩලේ ප්ලූටෝව පහු කළෙත් 2015දි. ඒත් එයාලට මන්දාකිණි, ක්ෂීරපථ, සෞරග්‍රහ මණ්ඩල දහස් සංඛ්‍යාවක් පහුකරගෙන ඒමේ හැකියාව තියෙනවා. ඒකෙන්ම ඔප්පු වෙනවා එයාලගේ තාක්ෂණයේ ශක්තිය. පෘතුවියට එන ගොඩක් හදුනා නොගත් යානා, කොච්චර පහළින් ගමන් කළත් රේඩාර් තිරවලට අහු වෙන්නේ නෑ.

ඒ වගේම ලෝකය පුරාම පිටසක්වල ජීවීන් කරපු පැහැර ගැනීම් ගැනත් වාර්තා වෙනවා. ඒ වාර්තා ඔක්කොම නැතත්,සමහරක් සිදුවීම් සත්‍ය සිදුවීම් විදිහට තමයි විද්‍යාඥයන් හදුනාගෙන තියෙන්නේ. සමහර ඒවා ඇත්ත කියන්න බැරි වුණත්, අනිත් අතට බොරු කියලා නිගමනය කරන්නත් බැරි සිදුවීම්. ඒ කියන්නේ කවදාවත් දැකලා නැති ග්‍රහලෝකයක ජීවියෙක්ව අල්ලගෙන, ඒ ජීවියා ගැන පරීක්ෂණ කරන්න තරම් එයාලා සංවිධානය වෙලා. මේ හැම කරුණකින්ම අපිට පැහැදිලි වෙනවා එයාලා විද්‍යාව සහ තාක්ෂණය අතින් අපටත් වඩා සිය දහස් ගුණයක් ඉදිරියෙන් ඉන්නවාය කියලා.

එහෙනං එයාලගේ ග්‍රහලෝකවල ඉතිහාස කතාව, අපේ පෘතුවියටත් වඩා එහා ගිය එකක් වෙන්න ඕන. මොකද ඒ තරම් ලොකු දියුණුවක් පොඩි කාලයක් ඇතුළත ලබා ගන්න බෑ. ඉතින් අවුරුදු දහස් ගණනකට කලින් එයාලත්, පෘතුවියේ ඉන්න අපි වගේම හිටියා වෙන්න බැරිද? එයාලාගේ ඇති වුණු දියුණුව සහ නව ජීවන රටාවන් නිසා, එයාලා දැන් ඉන්න තත්වයට පරිණාමය වුණා වෙන්න බැරිද? අපි මේ ගත කරන්නේ, අවුරුදු දහස් ගණනකට පෙර එයාලා ගත කරපු අවධිය වෙන්න බැරිද? එහෙනං අපේ පරිණාමයෙත් ඉදිරි අවධියක, පිටසක්වල ජීවියෙක්ගේ ස්වරූපයක් මතු වෙන්න බැරිද?

මේ මිනිසාගේ අනාගත පරිණාමය ගැන මට හිතුනු දේ… මේක අනාගතයේ මතු යම් දවසක ඇත්තක් වෙන්නත් පුලුවන්. ඒ වගේම පට්ටපල් බොරුවක් වෙන්නත් පුලුවන්. සමහරවිට ඔයාලා මීටත් වඩා වැඩි යමක් දන්නවා ඇති. ඔයාලට මිනිස් පරිණාමයේ අනාගතය ගැන මීට වඩා අර්ථාන්විත, පැහැදිලි, තාත්වික මත සහ අදහස් ඇති.

ඉතින් අපේ දැන ගැනීම සදහා ඒවාත් comments section එකේ සටහන් කරන්න අමතක කරන්න එපා.


Click on the Image

විශේෂ ස්තූතිය
01. විශ්‍රාමලත් සාමාන්‍ය පෙළ විද්‍යා ආචාරිනී වසන්තා මානෙල් මහත්මිය (කොළඹ විශාඛා විද්‍යාලය)
02. අභාවප්‍රාප්ත වූ සාමාන්‍ය පෙළ විද්‍යා ආචාර්ය සුනිල් ද අල්විස් මහතා (කොළඹ ආනන්ද විද්‍යාලය)
03. විශ්‍රාමලත් උසස් පෙළ ඉතිහාසය ආචාර්ය නිමල් රණසිංහ මහතා (කොළඹ ආනන්ද විද්‍යාලය)

ලිපි මාලාව
eLearning.lk අභ්‍යාවකාශ විද්‍යා සහ පිටසක්වල ජීව විද්‍යා ලිපි මාලාව – මෙතනින්

වාර්තාමය වැඩසටහන්
eLearning.lk අභ්‍යාවකාශ විද්‍යා සහ පිටසක්වල ජීව විද්‍යා වාර්තාමය වැඩසටහන් මාලාව පහළින්…

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.