ඔබට ඇති හොදම ආයුධය ඔබමයි. ඔබේ ආත්ම විශ්වාසයමයි. සිංහයාගේ ආකල්ප.

කැලේ රජු කවුද කියලා ඇහුවොත් ඕනෑම පොඩි දරුවෙකු වුවත් කියාවි සිංහයා තමයි කැලේ රජු කියලා. මොකක්ද සිංහයාට රජකම දෙන්න තරම් තියෙන විශේෂත්වය? කැලේ ඉන්න වේගවත්ම සතා චීටා නම් ඔහු රජකමට සුදුසු නැද්ද? කැ‍ලේ ඉන්න විශාලම සතා අලියා නම් ඔහුට රජකම දෙන්න බෑද? අච්චර පොඩි සිංහයෙක් කොහොමද මේ තැනට ආවේ? අන්න එතන තමයි රහස. ඒ මොකක්ද ඒ? සිංහයාගේ ආත්මවිශ්වාසය තමයි එතැනට ඔහුව ගෙනාවේ.

ශ්‍රේෂ්ඨ රණකාමියෙක් වූ නැපෝලියන් බොනපාට් වරක් මෙසේ පවසා ඇත. “ඔබ සිංහයන් සියදෙනෙකුගේ කණ්ඩායමක් සාදා එහි නායකත්වය සුනඛයකුට දුන්නොත් නිසැකවම රණබිමේදී එම කණ්ඩායම අනිවාර්යයෙන්ම පරාජයට පත්වනු ඇත. නමුත් ඔබ සුනඛයන් සියදෙනෙකුගේ කණ්ඩායමක් සාදා එහි නායකත්වය එකම එක සිංහයෙකුට දුන්නොත් නිසැකවම සටන ජයගනු ඇත.”

මේ කතා‍ව සියට සියයක්ම ඇත්ත. සිංහයාගේ ආකල්ප ඉතා දියුණුයි. ඔහු හිතන්නේ ඔහුට තිබෙන ඉලක්කය ගැන පමණයි. මොන බාධක ආවත් ඔහු කිසිම අවස්ථාවකදී ඒවා ගනන් ගන්නේ නම් නෑ. ඔහුට ඇති එකම සිහිය වන්නේ තම ඉලක්කය ජය ගැනීමයි.

සිංහයාට තියෙන විශ්වාසය අලියාට වඩා සියදහස් වාරයක් වැඩියි. සිංහයාට තමන්ට බඩගිනි දැණුනු විට කවුද කාවද කින්දමන්ද කියලා හෙ‍ායන්න යන්නේ නෑ. අදාළත් නෑ. තමන්ගේ ගොදුර ඩැහැගැනීමේ චේතනාව පමණයි ඔහුට වැදගත් වෙන්නේ. සිංහයා අලියාව ගොදුරක් සේ දැක්කද අච්චර ශක්තිවන්ත අලිය‍ාට සිංහයාව දකින්නේ තමාව මරාගෙන කෑමට ආ කෙනෙක් ලෙසයි. අලිය‍ා කෙතරම් ශක්තිමත් වුවද තමන්ට වඩා ගොඩක් පොඩි සිංහයාගෙන් ගැලවී පලා දුවන්නට අලියාට සිදුවෙනවා.

ඔබ භාහිරයෙන් කෙතරම් ශක්තිවන්තයෙක් වුවත් ඔබ මනසින් ඉතා ‍අඩු තැනක නම් ඉන්නේ ඇත්තටම ඔබ ගොඩක් දුර්වල කෙනෙක්. භාහිර ඔපයට පමණක් මිනිසෙකු ඉදිරියට ගෙනයාමට නොහැක. හොද ආත්මවිශ්වාසක් තිබිම වැදගත් කරුණක්. ඔබ දුර්වලයෙකු ලෙස සිතන තාක් කල් ඔබට අනිත් මිනිසුන්ට ඔළුව පහත් කරගෙන ඉන්න සිදු වෙනවා. දවසක අලියා තෙරුම් ගත්තොත් තමන්ගේ ශක්තිය එදාට සිංහයා අලිමස් කන අන්තිම දවසයි. එදායින් පසුව කවදාවත් අලියා සිංහයාගේ ගොදුරක් නොවනු ඇත. ඔබ ඔබම වෙන්න.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

Gazelle කියන්නේ අප්‍රිකාව, ආසියාව වගේ රටවල් ආශ්‍රිතව ජිවත්වෙන මෙම සතා උපරිම පැයට කි.මී 97 ක වේගයකින් දුවන්න පුළුවන්, මුවෙකුට සමාන හැඩරුවක් තියෙන සතෙක්. මේ සතාට සිංහයාට වඩා වේගයකින් දුවන්න පුළුවන් උනාත් ඔහු ඔහුව විශ්වාස කළේ නෑ. ඒ නිසා සිංහයා ඔහුව ගොදුර බවට පත් කර ගන්නවා.

සිංහයා හිතන්නේ නෑ අද Gazelle කෙනෙක්වම දඩයම් කරනවා කියලා. සිංහයාට අදාළ වන්නේ තමන්ගේ බඩගින්නට විසදුමක් විතරයි. මිනිස්සු විදියට අපිට සිංහයාව ආදර්ශයට අරන් අපිට අපේ ජිවිතය හදාගන්න පුළුවන්. අපේ ආකල්ප ස්ංවර්ධනය කරගැනීම තමයි වැදගත්.

ඔබව කෙතරම් ශක්තිමත් කළත්, රූපයෙන් කොපමණ වෙනස් කළත් ඔබ ඔබේ ආකල්පයන්ගෙන් විශ්වාසයන්ගෙන් ඉන්නේ එකම තැන නම් හිල් වු කළයකට වතුර කොච්චර පිරෙව්වත් වැඩක් නෑ වගේ තමයි. ඔබ ඔබේ ශක්තීන් විශ්වාස කරන තුරු සමාජය විසින් ඔබව පාගා දමනු ඇත. ඔබට යම් තනතුරකට යන්න ලොකු ආසාවක් තියෙනවා. නමුත් ඔබ බයයි ඒ තැනට යන්න උත්සාහ කරන්න. ඔබට බයයි ඔබ තුළ තියෙන හැකියාවන් ගැන. ඒ නිසා ඔබ හැමදාම කරන්නේ ඒ දෙස බලාගෙන හූල්ලන එක. ඔබ පොඩ්ඩක් හරි විශ්වාස කරා නම් මට පුළුවන් මට මේ තනතුරට යන්න පුළුවන්, මං කොහොමහරි යනවා, අභියෝග ඒවී, ඒත් මට ඒවා අදාළම නෑ, මං එතැනට යනකම් අයිත් පසුපස බලන්නේ නෑ. කියලා හිතලා තමන්ගේ ආකල්ප වෙනස් කර ගත්තා නම් ඔබගේ කකුලෙන් අදින ඔබගේම සෘණාත්මක ආකල්ප පසුබසිනු ඇත.

සිංහයා කවදාවත් තමන්ගේ ගොදුර ඩැහැගන්න කල්යල් බැලුවේ නෑ. වෙහෙස මහන්සිය බැලුවේ නෑ. ගොදුර දැක්ක සැනින් ඔහු ක්‍රියාත්මක වෙනවා. මොකද ඔහු දන්නවා තමා නිසි වේලාවේ ක්‍රියාත්මක වුනේ නැත්තං එදාට ඔහුට බඩගින්නේ ඉන්න වෙනවා කියලා. ඒ වෙලාවේ ඔහු මූ නරියෙක් ද අලියෙක් ද මුවෙක් ද කියලා බලන්න යන්නෙත් නෑ. ඒ මොකෙක් වුනත් සිංහයාට විශ්වාසයි මේ ගොදුර තමාට ඩැහැගන්න පුළුවන් කියලා. අතට ආපු කෑම එක කටට දාගන්න නම් සිංහයෙක් කිසිම විටක පසුබසින සතෙක් නම් නෙමෙයි.

තවත් දෙයක් සිංහයා ගැන කියද්දි කියන්න ඕන. සිංහයා කවදාවත් තව කෙනෙක්ව Follow කරන්න යන්නෑ. තමන් හදාගත්ත පාරක තමන්ගේම සැලසුමකට අනුව වැඩ කරන කෙනෙක්. බැටළුවා හැමවිටම තව කෙනෙක්ව Follow කරන සතෙක්. ඔවුන්ට කරදරයක් වුනොත් හැමෝටම ඒ දේට මුහුණ දෙන්න වෙනවා. හැබැයි සිංහයා බොහෙ‍ා් අවස්ථාවලදී තනිව හෝ කිහිපදෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් විදියට තමයි තමන්ගේ ඉලක්කවලට යන්නේ. හදිස්සියේ හෝ කරදරයක් වුනොත් හැමෝම සටන් කර ජිවිතේ බේරා ගන්න සමත් වෙනවා.

කෑලෑවේ රජු සිංහයා නම් ඔහුට පුළුවන් නේද, තමන්ගේ වැඩවලට කෙනෙක් පත් කරන් දඩයම් නෙ‍ාකර සැපට ඉන්න පුළුවන් නේද? ඔව් එහෙම කරන්න පුළුවන්. එත් සිංහයා එහෙම කරන්න යන්නෑ. සිංහයා කිසිම විටෙක තවත් අයෙකුගෙන් යැපෙන කෙනෙක් නෙමෙයි. ඔහුට විශ්වාස ඔහුව පමණයි. ඒ නිසා තමන්ම තමන්ගේ ගොදුර සොයා ගැනීම සිදු කරගන්නවා.

අපි හැමෝම වාසනාව විශ්වාස කරගෙන ඉන්නවා. මට වාසනාවක් තියෙනවා නම් ඒ දේවල් මට ලැබෙයි. මහන්සි වෙන්න අවශ්‍ය නෑ. මට ඒ දේවල් නොලැබෙන්නේ මගේ තියෙන කාලකණ්ණිකම නිසා වෙන්න ඇති. මේ කිසිම දෙයක් විශ්වාස කරන්න යන්න එපා. ඔබ ඒ රාමුවෙන් එළියට එන්න. අළුත් සැලසුමක් ගොඩනගාගන්න. ඒ සැලසුමට අනුව වැඩ කරන්න. ඒ විදියට වැඩ කරන්න යද්දි ඔබටම තේරෙයි, වාසනාව කියන්නේ තමන්ගේ ආත්මශක්තිය හා ධනාත්මක ආකල්ප තුළින් ඔබගේ සාර්ථකත්වයට කියන තවත් නමක් කියලා.

කවුරු ඔයා ගැන මොන විදියට හිතුවත් ඔබ එය කිසිම වේලාවක ගනන් ගන්න යන්නවත්, ඒවාට උත්තර දෙන්නවත් යන්න එපා. ඔබ ඔබගේ ගමන ඔබම හදාගත් මාර්ගයක යන්න. අපේ ජිවිතේ අපිට තියෙන්නේ අපේ ප්‍රශ්න නෙමෙයි. අපේ වටේ ඉන්න අය විසින් අපිට දාන ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න නිකම් කාලය වෙන් කරන්න යන්න එපා. සිංහයා තමන්ට ව‍ටපිටාවෙන් මොන ප්‍රශ්න ආවත් ඒ දෙවල්වලට තමන්ගේ ඉලක්කවලට පාර වහන්න දෙන්නේ නෑ. ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවේ කරපුවාවේ, ඒ දෙවල් වලට උත්තර දෙන්නවත් උත්තර හොයන්නවත් ඒ දෙවල් තමන්ගේ කරගන්නවත් යන්න එපා.

ආත්මාර්ථකාමි වෙන්න වෙනවා ඉතින් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්. තමන් කරන වැඩ කියව කියවා යන්න එපා. වැඩ කරලාම පෙන්නන්න. මුලින්ම ඔබ ඔබට තියෙන ශක්තින් විශ්වාස කරන්න. කල්යල් බලන්නේ නැතිව අදම වැඩ කරන්න ගන්න. නැකත කියන්නේ තමන්ට වැඩ කරන්න හිතෙන වෙලාවයි. සිංහයා මේ නැකත් ඒවා දන්නේත් නෑ. එත් වේලාවට හරි තැනදී ක්‍රියාත්මක වෙන්න සිංහයා දන්නවා. භාහිර කිසිම දෙයකට තමන්ගේ ගමන නවත්තන්න දෙන්න එපා.

දින සති ගෙවිලා 2022 අවුරුද්දට පියනගන්නට තව දින කිහිපයක් විතරයි. අළුත් අවුරුද්දෙදී සිංහයෙක් වගේ හිතලා අළුත් ආකල්ප එක්ක මේ පහුගිය ජිවිතේට අලුත් ප්‍රාර්ථනා එක්ක අලුත් වෙමු. සිහින, සිහින නොවේ තවත්. එන්න අපි බාධක කොපමණ ආවත් දිනන තුරු අපේ ආත්මශක්තිය විශ්වාස කරන් වැඩ කරමු. සුබ නව වසරක් වේවා… ඔබට ජය…!!!

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....