ඉතියෝපියාව කැළඹූ ටිග්‍රේ යුද්ධයේ පසුබිම

පසුගිය නොවැම්බර් මාසයේ (2020) ලෝක දේශපාලනයේ අවධානයට ලක් වූ එක් අර්බුදයක් වූයේ ඉතියෝපියාවේ ටිග්‍රේ ප්‍රාන්තය ආශ්‍රිතව ඇති වූ යුධමය තත්ත්වය යි. මෙම ප්‍රදේශයේ සටන් බොහෝ කල් ඇදෙනු ඇතැයි සැක පහළ වුණත් සති කිහිපයක් තුළ ටිග්‍රේ ප්‍රාන්ත අගනුවර ඉතියෝපියානු ෆෙඩරල් හමුදා අතට පත්වීමත් සමග සටන් අවසන්ව ඇතැයි යන අදහසක් පහළ වී තිබෙනවා. නමුත් ටිග්‍රේ ප්‍රාන්තයේ මෙන්ම ඉතියෝපියාවේ අනෙකුත් ප්‍රද්ශයන්වල ද අළු යට ගිනි ඇති බවත්, ඕනෑම අවස්ථාවක් එය ඇවිළ යා හැකි බවත් සලකුණු පහළ වෙමින් තිබෙනවා.

ටිග්‍රේ යුද්ධය සිදුවන්නේ ඉතියෝපියාව විසින් නිල් නයිල් නදිය හරහා දැවැන්ත වේල්ලක් ඉදිකිරීම සහ ඒ හේතුවෙන් නයිල් නදියේ පහළින් පිහිටි සුඩානය සහ ඊජිප්තුව ඉතියෝපියාව සමග මතභේදයක පැටලී සිටින අතරතුරයි. මේ හේතුව නිසා ටිග්‍රේ යුද්ධය පිටිපස විදේශීය බලවේගයක් සිටින්නේ යයි ද සැක මතුව තිබෙනවා. එහෙත් ටිග්‍රේ යුද්ධයට වඩාත්ම හේතු වූයේ බාහිර සාධකවලට වඩා අභ්‍යන්තරිකව ජන වර්ග අතර ඇතිවූ දේශපාලනික ආතතීන් බවයි පෙනී යන්නේ. මෙම ආතතීන් අවම වශයෙන් 1974 දක්වාත්, ඇතැම්විට ඊටත් වඩා ඈතටත් දිව යනවා.

ඉතියෝපියාවේ ෆෙඩරල් ක්‍රමය සහ ටිග්‍රේ
ඉතියෝපියාවේ ප්‍රාන්ත දහයක් සහ ෆෙඩරල් පාලනය යටතේ පවතින නගර දෙකක් පවතිනවා. මෙම ප්‍රාන්ත ඇතිකරන ලද්දේ 1992 වසරේදී යි. 1995 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එය තහවුරු කරනු ලැබුණා. මෙම ප්‍රාන්ත බෙදා ඇත්තේ ජනවාර්ගික පදනමක් ඔස්සේ යි. මේ අනුව, රටේ ජනගහනයෙන් වැඩි කොටසක්, එනම් සියයට 65 ක් ජීවත් වන්නේ අම්හාරා සහ අෆාර් ප්‍රදේශවලයි.

කෙසේ වෙතත් ප්‍රධාන පළාත් කිහිපයක හැරුණ කළ, අනෙක් ප්‍රදේශවල ජනතාවට පාලන තන්ත්‍රය තුළ විශාල බලයක් තිබුණේ නැහැ. මේ තත්ත්වය මත එසේ වෙනස්කමට ලක්වූ ජනතාව අතර තිබුණේ නොරිස්සුම් තත්ත්වයක්.

ටිග්‍රේ පළාත සහ ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණට මෙහිදී හිමිවුණේ ඉතාම සුවිශේෂී තත්ත්වයක්.

ඉතියෝපියාවේ පළාත් (Geopolitical Features)

1974 දී ඉතියෝපියානු අධිරාජයා බලයෙන් පහකර කොමියුනිස්ට් හමුදා පාලනයක් එහි බිහිවුණා. එය හැඳින්වූයේ “ඩර්ග්” නමින්. එයට එරෙහිව සටන් වැදුණ ප්‍රධාන සංවිධාන දෙකක් මතුවුණා. එකක්, එවකට ඉතියෝපියාවේ කොටසක් වූ එරිත්‍රියාවේ නිදහස උදෙසා සටන් කළ එරිත්‍රියා මහජන විමුක්ති පෙරමුණයි. අනෙක් සංවිධානය වූයේ ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ (TPLF) යි.

ටිග්‍රේ යනු ඉතියෝපියාවේ වයඹදිග පිහිටි කුඩා ප්‍රදේශයක්. වර්තමානයේදී ද ටිග්‍රේ ජනතාව සමස්ථ ඉතියෝපියානුවන්ගෙන් සියයට 6 ක් පමණයි. එහෙත් ඩර්ග් පාලනයට එරෙහිව සටන් කළ ප්‍රමුඛම සංවිධානය බැවින් TPLF සංවිධානයට ඉතියෝපියාවේ සැලකිය යුතු බලයක් ලැබුණා.

1988 දී තම බලය අනෙක් ප්‍රාන්ත කරාද පැතිරවීමේ අරමුණින් TPLF මූලික වී ඉතියෝපියානු මහජන විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (EPRDF) බිහිකළා. පසුකාලීන වෙනස්කම් සමග 1990 දශකය මුල වනවිට එයට ඇතුලත් වූ අනෙක් පක්ෂ වූයේ අම්හාරා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ADP), ඔරෝමො ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ODP) සහ දකුණුදිග ඉතියෝපියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (SEPDM) යන පක්ෂයි.

මේ අතර ඩර්ග් පාලනය 1991 දී බිඳ වැටුණා. එරිත්‍රියාව ස්වාධීනත්වය ලබාගත් අතර EPRDF පක්ෂය ඉතියෝපියාවේ බලය තහවුරු කරගත්තා. වැඩිකල් නොගොස් ඉතියෝපියාව හා එරිත්‍රියාව අතර දේශසීමා යුද්ධ හටගත්තා.

2018 වනතුරු EPRDF හි ප්‍රමුඛ බලය තිබුණේ TPLF අතයි. එහෙයින් එරට පාලනය කළේ සුළු ජනවර්ගයක් වූ ටිග්‍රේ නායකයින් විසින්. මෙහිදී ටිග්‍රේ ජනවාර්ගික නිලධාරීන්ට විශේෂ වරප්‍රසාද ද ලැබුණා. ඔරෝමෝ, අම්හාරා සහ දකුණුදිග ජනවර්ග ද මෙම ක්‍රියාවලියේ සිටිද්දී අනෙක් ජනවර්ග කොන් වීමක් මෙයින් සිදුවුණා.

2014 පමණ සිට ඔරෝමෝ ජනයාගේ ඉඩම් සංවර්ධන කටයුතු උදෙසා ලබාගැනීමේ උත්සාහය ආදී කරුණු හේතුවෙන් ඉතියෝපියාවේ මතු වූ ජනතා විරෝධයේ ප්‍රතිඵලය වූයේ 2018 දී EPRDF තුළ බලය වෙනස් වී අබියි අහමඩ් බලයට පත්වීමයි. එයින් පටන් TPLF පක්ෂය කොන්වීමක් දකින්න පුළුවන්. අබියි අහමඩ් දූෂණ විරෝධී ව්‍යාපාරයක් ද ගෙනගිය අතර ටිග්‍රේ නායකයන් පැවසූයේ එයින් තමන් සුවිශේෂී කර ඉලක්කගත කරන බවයි.


අබියි අහමඩ් (AP)

මේ අතර, බලයට පත්වූ පසු අබියි අහමඩ් එරිත්‍රියාව සමග සාම වැඩපිළිවෙළක් ඇරඹුවා. එරිත්‍රියාව විසින් ටිග්‍රේවරුන් සිය සතුරන් ලෙස සැලකුවද අබියි අහමඩ් සමග එවන් ගැටුමක් වූයේ නැහැ. ඒ අනුව දෙරට අතර සාමය ස්ථාපිත කෙරුණා. ඒ වෙනුවෙන් අබියි අහමඩ් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවා.

2019 දී EPRDF පක්ෂය විසුරුවා හැරුණ අතර සෞභාග්‍ය පක්ෂය නමින් පක්ෂයක් එම ස්ථානය ගත්තා. EPRDF හි අන් පක්ෂ ඊට එක් වුවද TPLF පක්ෂය එයට එක් වූයේ නැහැ. ඔවුන්ගේ බලය මේ අනුව ටිග්‍රේ පළාතට සීමා වුණා.


ටිග්‍රේ සන්නද්ධ අංශ – AFP

ටිග්‍රේ යුද්ධය
අබියි අහමඩ්ගේ රජය සහ ටිග්‍රේ පාලනය අතර එදිරිවාදිකම් දිනෙන් දින වර්ධනය වුණා. අගෝස්තු 29 වනදා පවත්වන්නට නියමිත වූ මහමැතිවරණය කල් දැමීම ටිග්‍රේවරුන්ගේ දෝෂදර්ශනයට හේතු වුණා. අබියි අහමඩ්ගේ නියෝග නොතකා ඔවුන් සැප්තැම්බර් මාසයේදී ටිග්‍රේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වූවා. අබියි අහමඩ් කියා සිටියේ එම මැතිවරණා නීති විරෝධී බවයි.

ෆෙඩරල් රජය සහ ටිග්‍රේ රජය අතර මෙම ඝට්ටනය පුපුරාගියේ නොවැම්බර් මුලයි. ටිග්‍රේ මිලීෂියා කණ්ඩායම් ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දුන්නේ යයි පවසමින් නොවැම්බර් 4 වනදා අබියි අහමඩ් ටිග්‍රේවලට එරෙහිව සටන් ඇරඹුවා. සති කිහිපයකදී ප්‍රාන්තයේ බලය අතට ගන්නට ඉතියෝපියානුවන් සමත් වුණා.

ඉතියෝපියාවේ ප්‍රාන්තවලට තමන්ගේ මිලීෂියාවක් සිටිනවා. ටිග්‍රේ පළාතේ එම පිරිස 250,000 ක් තරම් වන්නේ යයි පැවසුණා. එමෙන්ම ඔවුන් ඉතා හොඳ සටන්කාමීන්. ඔවුන්ගේ නායකත්වය ඩර්ග් පාලනයට එරෙහිව සටන් කළ අයයි. එහෙත් ඉතියෝපියානු ප්‍රහාර හමුවේ ඔවුන් වැඩි දිනක් නොගොස් පරාජය වීම ප්‍රහේළිකාවක් බව පෙනී යනවා. එහෙයින් මේ වනවිට බියක් මතුව ඇත්තේ ටිග්‍රේ සටන්කාමීන් ගරිල්ලා ක්‍රමයේ සටනක් දියත් කරනු ඇති බවටයි.

මේ අතර අනෙකුත් ප්‍රාන්තවලද රජයට එරෙහිව මෙන්ම ඒ ඒ ප්‍රාන්ත අතර විරෝධතා හා ආතතීන් වර්ධනය වෙමින් පවතිනවා. බටහිර ඉතියෝපියාවේ බෙනිෂන්ගුල්-ගුමූස් ප්‍රාන්තය එවැනි ස්ථානයක්. එහි මෑතකදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉතියෝපියාවේ අනාගතය කෙරේ සුබදායී සලකුණක් නොවෙයි. එමෙන්ම ඔරෝමෝ පළාතේ පවා රජයට එරෙහිව විරෝධතා මතුවෙමින් පවතිනවා.


මූලාශ්‍ර​
1. Ethiopia: A timeline of the Tigray crisis
2. Explainer: Why Ethiopia’s federal system is deeply flawed

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.