ඇමරිකාව ඇෆ්ඝනිස්ථානයේ මොකද කළේ?

ඇෆ්ඝනිස්ථානයේදී සිදුවූ දැවැන්ත කඩාවැටීමෙන් අනතුරුව නිවාඩුවක් ගතකරමින් සිටි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට හදිසියේ ආපසු එන්නට සිදුවුණා. ඔහු නිවාඩුව ගත කිරීමට ගියේත් ඇෆ්ඝනිස්ථානය කඩාවැටෙන්නට ආසන්න බව පැහැදිලිව තිබියදී යි.

පැහැදිලිවම එම කඩාවැටීමේ අපකීර්තියෙන් ඈත්වීමට උත්සාහ කළත් තත්ත්වයේ බරපතලකම හේතුවෙන්ම නිවාඩුව අතරමැද නවතා බයිඩන්ට ධවල මන්දිරයට එන්නට සිදුවුණා. එහිදී ඇෆ්ඝනිස්ථානය පිළිබඳ කතාවක් කළ ඔහු කිසිදු මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී ආපසු සිය නිවාඩුව ගත කිරීමට ගියා.

මෙතෙක් කල් සිදුවුණා වගේම මේ කතාවේදී ද ඔහු පෙන්නුම් කරන්නට උත්සාහ කළේ ඇෆ්ඝනිස්ථානය තමන්ගේ ගැටළුවක් නොවන බවයි. අදටත් බයිඩන් පෙන්නුම් කරන්නට උත්සාහ කරන්නේ එම මුහුණුවරයි. ඔහු කාබුල් ගුවන් තොටුපලේ තිබෙන තත්ත්වය පිළිබඳ දරන්නේ ද ඉතා නොසැලකිලිමත් ස්වභාවයක්. ඒ පිළිබඳ කතා කරද්දී ඔහුට දින පවා පැටලෙන බව අපට දකින්නට ලැබුණා.


බයිඩන් ඇෆ්ඝනිස්ථානය වැටීමෙන් පසු කළ පළමු ප්‍රකාශය​

කෙසේ වෙතත් අගෝස්තු 15 වනදා කාබුල් නගරය තලේබාන්වරුන්ට අත්වීමෙන් අනතුරුව කළ කතාවේදී බයිඩන් කරුණු කිහිපයක් ඉස්මතු කළා. පළමුවැන්න නම් ඇෆ්ඝන්වරුන්ට සටන් කිරීමට අවශ්‍ය නොවූ යුද්ධයකට ඇමරිකානුවන් පැටලීමේ අවශ්‍යතාවයක් නැති බවයි.

තවත් කරුණක් වූයේ ඇමරිකාව ජාතිය ගොඩනැගීමේ මෙහෙයුමක නොයෙදුණ බවයි. ඇමරිකාව ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේ අල් කයිඩා සංවිධානය විනාශ කිරීමට බවත් 2011 දී ඔසාමා බින් ලාඩ්න් මරාදැමීමෙන් එම මෙහෙයුම නිමා වූ බවත් ඔහු සඳහන් කළා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මෙම කරුණුවල විවේචනය කළ හැකි වූ සහ විවේචනය කළ යුතු වූ කරුණු බොහොමයක් තිබුණා වුණත් අපගේ අදහස ඔහු ඇෆ්ඝනිස්ථානයේ ජාතිය ගොඩනැගීම පිළිබඳ කළ ප්‍රකාශය විග්‍රහ කිරීමයි.

ජාතිය ගොඩනැගීම
ඇමරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයේ යුධ මෙහෙයුම් ආරම්භ කළේ 2001 ඔක්තෝබර් 7 වනදා යි. ගුවනින් ඇමරිකානුවන් එල්ල කළ ප්‍රහාර සහ උතුරුදිග සන්ධානයේ ගොඩබිම් ප්‍රහාර හමුවේ තලේබාන් සංවිධානය වැඩිකල් සටන් වැදුණේ නැහැ. ඇත්තෙන්ම බොහොමයක් ස්ථානවල සටනක් දුන්නා නම් ඒ අල් කයිඩා සටන්කාමීන් පමණයි. මෙසේ පසුබැසීම උපක්‍රමිකව සිදුවූවක් බව බොහෝ දෙනාට ප්‍රත්‍යක්ෂ වූයේ ද පසුකාලීනව යි.

තලේබාන් රජය බිඳවැටීමෙන් පසු ඇමරිකාව කළ යුත්තේ කුමක්ද යන විවාදය පැවතුණා. ඔවුන් උත්සාහ කළේ ඇෆ්ඝනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ස්ථාපිත කිරීමටයි. අල් කයිඩා නායක බින් ලාඩ්න් අල්ලාගත නොහැකි වීම හේතුවෙන් ඔවුන් පැමිණි කාර්යය සම්පූර්ණ නොවූ අතර එහෙයින් දිගටම ඇෆ්ඝනිස්ථානයේ සිටීම සාධාරණීකරණය කිරීමට ද ඇමරිකාවට හැකිවුණා. නමුත් ඔවුන් ඇෆ්ඝනිස්ථානය පිළිබඳ දක්වන අවධානය අඩුකරමින් ඉරාකය ආක්‍රමණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළා. මේ අතර තලේබාන් සංවිධානය පාකිස්ථානයේ සිට කෙමෙන් කෙමෙන් ප්‍රතිසංවිධානය වුණා.


ඇමරිකන් පුහුණුව ලද ඇෆ්ඝන් කමාන්ඩෝවරුන් පිරිසක් වසර කිහිපයකට පෙර​

කොහොම වෙතත් ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් නොවීම සාධාරණීකරණය කළ එක් කරුණක් වූයේ ඇෆ්ඝන් රට ගොඩනැගීමේ අවශ්‍යතාවය යි. මෙය ඇමරිකානුවන්ගේ මෙහෙයුම නොවූ බවට ජෝ බයිඩන් පැවසුවද එකල ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ප්‍රකාශ කරන්නේ වෙනත් කරුණක්.

2002 වසරේ දී වර්ජිනියා හමුදා ආයතනයේදී කතාවක් කළ ජෝර්ජ් ඩබ්. බුෂ් සඳහන් කළේ සැබෑ සාමය ස්ථාපිත වනු ඇත්තේ ඇෆ්ඝන් ජනතාවට තම අභිලාෂයන් ඉටු කරගැනීමට අවශ්‍ය පසුබිම සැකසූ විට සහ ඇෆ්ඝන් ජනතාවට ස්ථාවර රජයක් බිහි කිරීමට සහය දුන් විට බවයි. එමෙන්ම පසුකාලීනව සිය මතක සටහන්වල බුෂ් සඳහන් කළේ ද ඊටත් වඩා පැහැදිලි ලෙස ජාතිය ගොඩනැගීම පිළිබඳ ඇඟවෙන කරුණක්.

“ඇෆ්ඝනිස්ථානය යනු වැදගත්ම ජාතිය ගොඩනැගීමේ මෙහෙයුම ය. අප එරට ආදිකල්පික ඒකාධිපතිත්වයකින් ගලවාගත් අතර ඒ වෙනුවට වඩා යහපත් ක්‍රමයක් ස්ථාපිත කිරීමේ සදාචාරාත්මක වගකීමක් අපට තිබේ. එමෙන්ම අෆ්ඝන් ජනතාවට නිදහස් සමාජයක් ගොඩනැගීමට සහය වීමේ ක්‍රමෝපායික වැදගත්කමක් ද අපට තිබේ.”

මෙසේ එවකට ජනාධිපති වූ ජෝර්ජ් ඩබ්. බුෂ් ප්‍රකාශ කරන්නේ ඇෆ්ඝනිස්ථානය තුළ ඇමරිකන් මෙහෙයුම ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියක් බවට පත්වූ අතර එය ක්‍රමෝපායික වශයෙන් ද ඇමරිකාවට වැදගත් බවයි. නමුත් 2003 දී එවකට සෙනට් සභිකයකු වූ බයිඩන් රජයට දොස් පැවරූයේ ජාතිය ගොඩනැගීමේ කාර්යයට දෙන අවධානය අඩු බව යි.

ඇෆ්ඝනිස්ථානයේ ජාතිය ගොඩනැගීම නොකරන්නේ නම් ඊළඟට ලැබෙන ප්‍රතිඵලය වන්නේ ව්‍යාකූලත්වය සහ විවිධ යුධ නායකයන්ගේ නැගීම බව ඔහු එක ප්‍රකාශ කළේ ය. බුෂ් පාලනය නිවැරදි ලෙස ඇෆ්ඝනිස්ථානය ගොඩ නොනැගුවේ නම් පසු කලෙක වසර අටක් උප ජනාධිපති ලෙස කටයුතු කළ බයිඩන්ට ඒ සඳහා ඕනෑතරම් කල් තිබුණා. නමුත් වර්තමානයේ ඔහු පවසන්නේ ඇමරිකාව කිසිදු ජාතිය ගොඩනැගීමේ මෙහෙයුමක නොයෙදුණ බවය.

අල් කයිඩාව විනාශ කිරීම
බයිඩන් සිය ප්‍රකාශයන්වලදී පැහැදිලි කරන තවත් කරුණක් නම් ඇමරිකාව අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කළ පසු ඇෆ්ඝන් ආක්‍රමණයෙහි මූලික අරමුණ ඉටුවූ බවයි. මෙහිදී මතුවන ප්‍රධාන ප්‍රශ්න දෙකකි. එනම් 2011 දී සිදුවූ එම ඝාතනයෙන් පසු සිය අරමුණ සම්පූර්ණ වූයේ නම් 2016 තෙක් තමන් උප ජනාධිපති ධුරය දරද්දී ඇෆ්ඝනිස්ථානයේ සිටි ඇමරිකන් හමුදා ඉවත් කරගැනීමට බයිඩන්ට අවශ්‍යතාවයක් නොවූයේ ද යන්න යි. ඇමරිකාව ජාතිය ගොඩනැගීමේ නොයෙදුණේ නම් එතරම් කල් හමුදා තබාගෙන සිටියේ කවර කරුණක් උදෙසාදැයි බයිඩන් පැහැදිලි කළ යුතුයි.

අනෙක් අතට ඔසාමා බින් ලාඩ්න් ඝාතනයෙන් අල් කයිඩා සංවිධානය විනාශ කළේ යයි පැවසීමද සත්‍යයෙන් තොරයි. 2011 වනවිට ඔසාමා එතරම් ක්‍රියාකාරී චරිතයක් නොවූ බව පෙනී යනවා. අල් කයිඩා සංවිධානයේ බොහෝ කටයුතු සිදුකළේ අයිමන් අල්-සවහිරි ආදී ඊළඟ නායකයින් බව විශ්වාස කරනු ලබනවා. කෙසේ වුවත් ඔසාමාගේ මරණයෙන් අල් කයිඩාව විනාශ නොවූ බවත් අදටත් එය ක්‍රියාකාරී බවත් පැහැදිලිව පෙනී යන කරුණක්. ඊට අමතරව ISIS සංවිධානය පවා ඇෆ්ඝනිස්ථානයේ ක්‍රියාත්මක තත්ත්වයේ තිබෙනවා. මේ කරුණු හේතුවෙන් ඇමරිකාව පැමිණි කාර්යය හරිහැටි ඉටුකළේ යයි සඳහන් කිරීමම මුසාවක් බව පෙනී යනවා.


කඩා වැටෙන රටක ළමුන්ට දිය හැකි ත්‍යාගය​

මූලික වශයෙන්ම ඇමරිකානුවන්ට අදටත් තිබෙන ප්‍රශ්නය නම් සිය හමුදා ඇෆ්ඝනිස්ථානයේ වසර විස්සක් පුරාවට කුමක් කළේ ද යන්න යි. ඔවුන් ඇෆ්ඝනිස්ථානය ගොඩනැගීම අරමුණු කරගත්තේ නැති බව පවසනවා. අල් කයිඩාව ද විනාශ කර නැහැ.

එපමණක් නොව ISIS සංවිධානය ද එරට ක්‍රියාත්මක වී තිබෙනවා. අවසානයේදී තලේබාන්වරු නැවත බලය අල්ලාගෙන තිබෙනවා. වසර විස්සක ශේෂ පත්‍රය බැලූවිට පෙනෙන්නේ අරමුණ අපැහැදිලි කාර්යයක් උදෙසා වියදම් කළ දහස් ගණනක් ජීවිත සහ ඩොලර් ට්‍රිලියන දෙකක පමණ මුදල පමණයි.

බයිඩන් ඇෆ්ඝනිස්ථානය පිළිබඳ කරනු ලබන ප්‍රකාශයන් අසාර්ථක උත්සාහයක අපකීර්තිය වසාගන්නට කරන දුර්වල නිදහසට කරුණු දක්වීම් මිස අනෙකක් නොවේ.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.