චීනය තායිවානයට පහර දුන්නොත්
ජපානයේදී, එරට අගමැතිවරයාත්, ඉන්දියාවේ සහ ඔස්ට්‍රේලියාවේ අගමැතිවරුත්, ඇමරිකානු ජනාධිපතිවරයාත් හමුවූ ක්වොඩ් රාජ්‍ය නායක හමුවට සමගාමීව තායිවානය පිළිබඳ කතාබහ නැවත පණගැන්වුණා. ඊට එක් හේතුවක් වූයේ චීනය විසින් තායිවානය ආක්‍රමණය කළහොත් තායිවානයේ ආරක්ෂාව සඳහා කටයුතු කරන බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් කරන ලද ප්‍රකාශයයි.
ඇමරිකානු හමුදාමය මැදිහත්වීමක් පිළිබඳ ඇඟවුණ මෙම ප්‍රකාශයේ සැර බාල කිරීමට ඇමරිකානු ආණ්ඩුව වහ වහා පියවර ගත්තා. කෙසේ වෙතත් ඉන් ස්වල්ප දිනකට පසු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා සිටියේ ඇමරිකාව විසින් දීර්ඝ කාලීන අභියෝගයක් ලෙස රුසියාවට වඩා චීනය දකින බවයි.
@elearninglk
තායිවානය සහ චීනය අතර ගැටුම 1949 දක්වාම දිවෙනවා. චීනය විසින් තායිවානය සලකනු ලබන්නේ තමන් වෙතින් කැඩී ගිය කැරලිකාර ප්‍රාන්තයක් ලෙසයි. 1949 දී කොමියුනිස්ට් පාලනය බිහිවූ දා පටන් තායිවානය චීනය සමග එක්සත් කිරීම පිළිබඳ ඔවුන් දිගටම තර්ජනය කරනවා. පසුගිය වසර කිහිපය තුළ මෙම තර්ජන වැඩි වැඩියෙන් එල්ල වීමට ද පටන් ගෙන තිබෙනවා. මෙසේ තර්ජන ඉහළයාමට එක් හේතුවක් වන්නේ චීනයේ ආර්ථික සහ මිලිටරි බලයෙහි වැඩීමයි.
ඇමරිකානු බලපෑම නොසලකමින් තායිවාන ගුවන් ආරක්ෂණ හඳුනාගැනීම් කලාපයට නිරන්තරයෙන් චීන ගුවන් යානා ඇතුල්වීම මෙවන් එක් තර්ජනයක් වනවා. ගුවන් ආරක්ෂණ හඳුනාගැනීම් කලාපය යනු ගුවන් සීමාවට වඩා ඔබ්බට විහිදෙන්නක්. මෙම ප්‍රදේශය වෙත පැමිණෙන ගුවන් යානා පිළිබඳ තායිවානය විපරමින් සිටින්නේ ඔවුන් වෙත එන ආක්‍රමණයක් (හෝ තර්ජනයක්) කලින් හඳුනාගැනීමටයි.
චීන රජයෙහි උපදේශකයකු වූ මහාචාර්ය ජින් කැන්රොංග් 2022 වසරේ පෙබරවාරියේදී පවසා තිබුණේ 2027 වනවිට තායිවානය අත්පත් කරගැනීමට චීනයට හැකියාව ඇති බවයි. චීනයේ මහජන විමුක්ති හමුදාවට සිය වෙරළෙහි සිට නාවික සැතපුම් 1000 ක් ඇතුලත සිටින ඇමරිකානු හමුදා පරාජය කිරීමේ හැකියාව ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළා. එහෙයින් ඇමරිකානු මැදිහත්වීමක් වුවද තායිවානය ගලවාගැනීමට ඉවහල් නොවන බවයි ඔහු තර්ක කරන්නේ.
චීනය තායිවානය වෙත සිදුකෙරෙන තර්ජනයන් සමග මතුවන ප්‍රධාන ගැටළු කිහිපයක් වනවා. එකක් නම්, සත්‍ය වශයෙන්ම චීනය විසින් තායිවානය ආක්‍රමණය කරනු ඇතිද? යන්නයි. එමෙන්ම චීන ආක්‍රමණයකදී ඇමරිකානු ක්‍රියා පටිපාටිය කවරක්ද? සහ එහිදී චීන ක්‍රියා පටිපාටිය කවරක්ද? යන කරුණු ද වැදගත් ගැටළු වනවා. අනෙක් වැදගත්ම ප්‍රශ්නයක් වන්නේ චීන ආක්‍රමණයක් සාර්ථක වේද? යන්නයි.
චීනයේ ස්ථාවරය වන්නේ තායිවානය ඒකාබද්ධ කරගැනීම සඳහා සියළු සාමකාමී ක්‍රම යොදාගැනීමෙන් අනතුරුව ඒවා සියල්ල අසාර්ථක වුවහොත් පමණක් යුධමය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවයි. මෙම ස්ථාවරයට දේශපාලනික හේතුවක් මෙන්ම මිලිටරිමය හේතුවක් ද පවතිනවා. දේශපාලනික හේතුව නම් සුපැහැදිලියි. චීනයට කෙලින්ම යුධවාදී රටක් ලෙස පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නැහැ. මිලිටරිමය හේතුව ද ඉතා පැහැදිලියි. තායිවානය ආක්‍රමණය කිරීම පහසු නැහැ.
ආක්‍රමණයේ අභියෝගය
දෙරටෙහි යුධ ශක්තිය සැසඳීමේදී කෙනෙකුට මෙය හිතළුවක් යයි පැවසීමට හැකියාව තිබෙනවා. චීනයට නිත්‍ය සන්නද්ධ අංශ සාමාජිකයන් මිලියන දෙකක් පමණ සිටීයැ යි අනුමාන කළ හැකියි. තායිවානය සතු වන්නේ නිත්‍ය සන්නද්ධ හමුදා පිරිස 160,000 ක් පමණයි. නමුත් එපමණකින් තායිවානය නිරායාසයෙන් යටත් කළ හැකියැ යි සිතිය නොහැකියි.
ඊට හොඳම උදාහරණයක් වන්නේ යුක්‍රේනයේ යුද්ධයයි. එහිදී රුසියාව බලාපොරොත්තු නොවූ ප්‍රතිරෝධයකට මුහුණදීමට එරටට සිදුවූවා මෙන්ම මුලදී ඔවුන් ගේ අරමුණු බොහොමයක් සාක්ෂාත් කරගැනීමට හැකිවූයේ නැහැ.
නමුත් කල් යාමේදී සිය හමුදා ශක්තිය උපයෝගී කරගෙන යුක්‍රේනය කෙමෙන් අඩපණ කිරීමට ඔවුන් කටයුතු කළා.
තායිවානයේදී මෙම කතාන්දරය වෙනස් වීමට බලපාන ප්‍රධාන කරුණක් වනවා. එනම් යුක්‍රේනය තැනිතලා බිමක් මෙන්ම ගොඩබිම් ප්‍රදේශයක් වීම සහ තායිවානය දූපතක් වීම සහ කඳුකර ප්‍රදේශයක් වීමයි. දූපතකට මුහුදෙන් පැමිණ හමුදා ගොඩබෑමක් සිදුකිරීම කිසිසේත්ම පහසු නැහැ. එහිදී ආක්‍රමණිකයා විසින් අදාල ප්‍රදේශය පුරා ගුවන් බලය පිහිටුවිය යුතුයි. හමුදාව සහ අවි ආයුධ, යුධ ටැංකි, වාහන, ඉන්ධන, ආහාරපාන ආදිය ගෙන ඒමට විශාල යාත්‍රා ප්‍රමාණයක් අවශ්‍ය වනවා. ඒවා ගොඩබෑමට ප්‍රමාණවත් තරම් විශාල සහ ආරක්ෂා කළ හැකි වෙරළ අවශ්‍ය වනවා. අවශ්‍ය කරන සැපයුම් දිගටම ප්‍රධාන භූමියේ සිට සැපයිය යුතු වනවා.
තායිවාන දූපතේ මෙවන් ප්‍රමාණවත් සහ සුරක්ෂිත වෙරළවල් ඉතා දුලබයි. වෙරළෙහි සිට වැඩි දුරක් යන්නට මත්තෙන් කඳුකරය හමුවනවා. දැවැන්ත හමුදාවක් ගොඩබෑම පහසු වන්නේ ද නැතිවාක් මෙන්ම ඔවුන්ට කඩිනමින් ඉදිරියට යාමට ද පහසු වන්නේ නැහැ.
කිසියම් අවස්ථාවක තායිවානය ආක්‍රමණය කිරීමේදී මූලික පියවරක් වනු ඇත්තේ ගුවන් ප්‍රහාර හෝ මිසයිල ප්‍රහාර මගින් තායිවාන මූලෝපායික ඉලක්කවලට පහරදීමයි. ඊට අමතරව චීන නාවික යාත්‍රා තායිවානයට එරෙහි නාවික අවහිරයක් ක්‍රියාත්මක කරනු ඇති. වර්තමානය වනවිටත් ලොව වැඩිම යාත්‍රා සංඛ්‍යාවක් සහිත නාවික හමුදාව වන නිසාත්, ඇමරිකානු නාවික හමුදාව මෙන් ලෝකයේ විවිධ ස්ථානවල පැතිරී නැති නිසාත් චීන නාවික හමුදාවට මෙය ද එතරම්ම අපහසු නොවනු ඇතැයි සිතන්නට පුළුවන්.
කෙසේ නමුත් මූලෝපායික ප්‍රහාරයන් මගින් තායිවානයේ සම්පූර්ණ ශක්තියම කඩාවැටෙන්නේ නැති බව ද ස්ථිරවම කිව හැකියි. තායිවානය සිය ගුවන් යානා සමහරක් කඳුකර උමංවල සඟවා තිබෙන බව ප්‍රකට කරුණක්. එවැනි ඇතැම් ඉලක්ක ලබාගැනීම කළ නොහැක්කක් වනු ඇති. තවද, ගුවන් පථවලට පහර එල්ල වීමේ අවධානම දන්නා තායිවානය සිය ගුවන් නියමුවන්ට තම යානා අධිවේගී මාර්ගවලට ගොඩබෑමට ද පුහුණු කර තිබෙනවා.
එමෙන්ම, පසුව එළඹෙන ආක්‍රමණය අවස්ථාවේ චීනයට විශාල වශයෙන් හානි සිදුවන්නට හැකියාව තිබෙනවා මෙන්ම ඇතැම්විට ඒ සා විශාල අභියෝගයක් අසාර්ථක වීමට ද හැකියාව තිබෙනවා. මුල් අවස්ථාවේ හමුදා ගොඩබෑම අසාර්ථක වුවහොත් චීනයට ඉතා වේදනාකාරී යුද්ධයක පැටලෙන්නට සිදුවනවා නිසැකයි.
ආර්ථික සම්බාධක
තායිවානය ආක්‍රමණය කිරීම වැනි සිද්ධියකදී චීනයට මුහුණදීමට සිදුවන අනෙක් අභියෝගය වන්නේ ආර්ථික සම්බාධකයි. බටහිර රටවල් අනිවාර්යයෙන්ම චීනයට එරෙහිව ආර්ථික සම්බාධක පනවනු ඇති. යුක්‍රේන යුද්ධයේදී රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක පිළිබඳ අධ්‍යයනය කිරීම චීනයට වැදගත් වන්නේ ද එම කරුණ නිසයි.
රුසියාවට එරෙහිව එල්ල වූ ආර්ථික සම්බාධක හේතුවෙන් එරට ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. කෙසේ වෙතත් බලශක්ති ක්ෂේත්‍රය හැරුණවිට අන් බොහෝ අංශවලින් බටහිරට එම සම්බාධකවල බලපෑමේ අයහපත් ප්‍රතිඵල එතරම් දැනෙන්නේ නැති බවයි පෙනී යන්නේ. කෙසේ වෙතත් චීනය සම්බන්ධයෙන් තත්ත්වය මීට වඩා වෙනස් වනු ඇති.
එක් අතකින් චීනය රුසියාවට වඩා ලෝක ආර්ථිකයට සම්බන්ධ වී සිටින හෙයින් ආර්ථික සම්බාධක බරපතල ලෙස ඔවුන්ට බලපෑ හැකියි. එමෙන්ම එහි අයහපත් ප්‍රථිපල බටහිරට ද වැඩියෙන් දැනෙන්නට ඉඩ තිබෙන හෙයින් එය පිළිබඳ ද කලින් අධ්‍යයනය කිරීම වැදගත් වනු ඇති. තවද, අනාගත සම්බාධක තර්ජනය දැක ඊට මුහුණදීම උදෙසා චීනය ද සූදානම් වනු ඇති බව පැහැදිලියි.
එමෙන්ම ඍජු ආක්‍රමණයක අවදානම දන්නා චීනය කිසියම් වෙනස් ක්‍රමයකින් තායිවානය තමන් අතට පත්කරගැනීම කෙරේ අවධානය යොමු කරනු ඇති. සාමකාමී ක්‍රම මගින් තායිවානය ඒකාබද්ධ කරගැනීමේ සියළු උත්සාහයන් ගන්නා බව ඔවුන් පවසන්නේ ද එම කරුණ හේතුවෙන් බව පැහැදිලියි. එතරම් විශාල අවධානමක් නොමැති නම් චීනය සාමකාමී ක්‍රම පිළිබඳ සොයමින් සිටිනු නැති බව ටිබෙට් ජාතිකයන් ඔබට පවසනු ඇති.
කෙසේ වෙතත් චීනය තායිවානය තුළ දේශපාලන අස්ථාවරභාවයක් නිර්මාණය කර එමගින් එරට කටයුතුවලට ඇඟිලිගැසීමේ අවස්ථාව උදාකරගැනීමට ද වුවද ඉඩ ඇති බව හිටපු ජපන් අගමැති ෂින්සෝ ආබේ මෑතකදී ප්‍රකාශ කළා. එවැනි උත්සාහයන් ද සාර්ථක වීමේ හැකියාව කෙතෙක්දැ යි කිව නොහැකි නමුත් ආබේ පවසා සිටියේ ඕනෑ දෙයක් සිදුවියහැකි බව යි.