ජනමතවිචාරණය යනු කුමක්ද?

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපති වන්නේ ජනතාවයි.

4 වන ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය (නීති හැදීමේ බලය) පාර්ලිමේන්තුව විසින්ද, ජනමතවිචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනමතවිචාරණයක් කැදවිය හැක්කේ ජනාධිපතිවරයාටයි.

යම්කිසි පනත් කෙටුම්පතක් ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කරන්නේ නම්ද, එම පනත් කෙටුම්පතට ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලැබිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන්නේ නම්ද, එම පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේ 2/3කට නොඅඩු මන්ත්‍රීවරුන් ගණනක් ඡන්දය දී ඇත්නම්ද ජනාධිපතිවරයා එම පනත් කෙටුම්පත ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ යුතුය.

එමෙන්ම පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද යම් පනත් කෙටුම්පතක් (එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් නොවේ නම්) ජනමතවිචාරණයකට යොමු කිරීමට ජනාධිපතිවරයාට අභිමතය ඇත.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුත් කාරණා ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක.


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.thediplomat.com