ඇමරිකාවේ පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළෙ වෙඩි තියාගන්නෙ ඇයි?

අපේ රටේ ප්‍රවෘත්ති වලින් අපි නිතරම දකින දෙයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළේ සිදුවෙන වෙඩි තැබීම්. දන්නවද? මේ වගේ වෙඩි තැබීම් වලින් ඒවායේ අධ්‍යාපනය ලබන අහිංසක දරුවන්, තරුණයින් වගේම ගුරුවරුන් බොහොම අවාසනාවන්ත විදිහට මරණයට පත් වෙනවා. එහෙමත් නැත්නම් ආබාධිත වෙනවා.

ඉතින් අද අපි හිතුවා ඒ අවාසනාවන්ත සිදුවීම් වල තිරය පිටුපස කතාව ගැන බොහොම කෙටියෙන් ඔයාලව දැනුවත් කරන්න.

ඇමරිකාවේ ව්‍යවස්ථාව සම්පාදනය කරන වෙලාවෙ ඇමරිකාවේ නිර්මාතෘවරුන්ට අවශ්‍ය වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් හදන්න. ඒ හරහා එයාලා අපේක්ෂා කළා ජන පීඩක පාලකයින්, ඒකාධිපති පාලකයින් පාලනයට පත්වෙන එක නවත්තන්න. ඒ කාලේ එයාලා නොසෑහෙන්න ප්‍රංශ විප්ලවය එහෙම අධ්‍යනය කළා.

ඒ නිසා එයාලා කල්පනා කරනවා ජනතාවට අවි ආයුධ දැරීමේ අයිතිය දුන්නොත්, බැරිවෙලා හරි ඒකාධිපතියෙක් පත් වුණු වෙලාවක ජනතාවට කැරැල්ලක් ඔස්සේ ඒ දූෂිත පාලකයින්ව බලයෙන් පහ කරලා දාන්න පහසු වෙයි කියලා. ඒ නිසා එයාලා දෙවෙනි සංශෝධනයෙන් මිනිස්සුන්ට අවි ආ‍යුධ දැරීමේ නිදහස ලබා දෙනවා.

ප්‍රධාන හේතුව ඒක වුණත්, ඊටත් අමතරව තව හේතුවක් තිබුණා. ඒ තමයි ඇමරිකාවේ විශාලත්වය. ඒ කාලේ මුළු ඇමරිකාවම ආවරණය කරන්න තරම් පොලීසියක් හෝ හමුදාවක් ඇමරිකාවට හිටියෙ නැහැ.

ඒ වගේම ඒ තරම් පොලීසියක් සහ හමුදාවක් නඩත්තු කරන්න මිනිස් බලය සහ ආර්ථික බලයක් ඇමරිකාවට තිබ්බෙත් නැහැ. මේ නිසා ගම්බඳ පැති වල අපරාධ කල්ලි සෑහෙන්න බිහිවෙන්න ගත්තා.

ඒ නිසා අවි ආයුධ දැරීමේ අයිතිය සිවිල් මිනිස්සුන්ට ලබා දීමෙන් රජය බලාපොරොත්තු වුණා සිවිල් මිනිස්සුන්ට සමූහයක් විදිහට තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න හැකියාවක් ලබා දෙන්න. ඒ කියන්නේ ගමේ ආරක්ෂාව ගමේම මිනිස්සුන්ට බලා ගන්න වුණා. මේ නිසා ඇමරිකාව බිහි වුණු කාලේ ඉදන්ම තුවක්කු සහ ආයුධ දැරීමේ අයිතිය එයාලගේ සංස්කෘතියේ ප්‍රධාන කොටසක් වෙනවා. ඒ වගේම ආයුධ දැරීමේ අයිතිය තමන්ගේ නිදහසේ අංගයක් විදිහට දකින්න මිනිස්සු හුරු වෙනවා.

මේ නිසා NRA (National Rifle Association) වගේ ඇමරිකාවේ ආණ්ඩුවක් වුණත් පෙරලන්න හැකියාව තියෙන තරමේ සිවිල් සහ ආර්ථික බලයක් තියෙන සංවිධාන විශාල ප්‍රමාණයක් බිහි වෙනවා. ඉතින් දෙවන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇමරිකාවේ ඕනෑම අයෙකුට පහසුවෙන් තුවක්කු මිළදී ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පසු කාලය වෙනකොට මානසික ප්‍රශ්ණ තියන අය වගේම, බොහෝමයක් අය ප්‍රසිද්ධ වෙන්න, පලිගන්න සහ අවධානය ලබාගන්න මේ වගේ වෙඩි තැබීම් කරන්න ගන්නවා.

වර්තමානය වෙනකොට Gun Culture නොහොත් තුවක්කු සංස්කෘතිය පාලනය කරන නීතීරීතී තමන්ගේ නිදහසට තර්ජනයක් විදිහට දකින්න මිනිස්සු පුරුදු වෙලයි ඉන්නේ. ඇමරිකාව කියන්නෙ තනි රටක් විදිහට අපි දකින්න පුරුදු වෙලා හිටියට, ඇමරිකාව ඇත්තටම රටවල් 50ක එකතුවකින් හැඳුනු ජනරජයක්. සෑම ප්‍රාන්තයකටම (State) තමන්ට ආවේනික සංස්කෘතියක් තිබෙනවා. ඒක හරියට ශ්‍රී ලංකාවේ උතුරේ සහ දකුණේ තියෙන විවිධත්වය වගේ. මේ නිසා Gun Control වගේ සමස්ථ රටටම බලපාන නීතී සම්පාදනය කරන්න ඇමරිකාවේ අපහසුයි.

ඕනෑම රටක තමන්ගේ සංස්කෘතිය සමඟ බැඳුනු ප්‍රධාන කොටසක් වෙනස් කරන එක ලේසි දෙයක් නෙවෙයි. අද වෙනකොට ඇමරිකාවේ බොහෝමයක් දෙනාට තුවක්කු භාවිතය පිළිබඳව තියෙන නීති අතිශක්තිමත් කරන්න අවශ්‍යය වුණත්, ඒ ක්‍රියාවලිය අපි හිතන තරම් පහසු නෑ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක, දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන එක එක විදිහට අර්ථකථනය කරනවා. ඇමරිකාව තුළ තුවක්කු භාවිතය සම්බන්ධව තියෙන නීතිරීති දැඩි කරන්න ඩිමොක්‍රටික් පක්ෂයට අවශ්‍යයයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන පොරොන්දු වල හමුදා වල භාවිතා කරන මොඩල් වගේ අධි බලැති තුවක්කු තහනම් කිරීම, මිනිස්සුන්ට අනවශ්‍ය තරම් විශාල උණ්ඩ තොග ලබා දීම සීමා කීරීම, තුවක්කු මිළදී ගැනීමට පෙර එම පාරිභෝගිකයාගේ මානසික තත්වය වගේ දේවල් පරික්ෂා කර අවසරපත් නිකුත් කිරීම වගේ කරුණු අන්තර්ගත වෙනවා.

නමුත් රිපබ්ලිකන් පක්ෂය ඉන්නෙ මේකෙම අනිත් අන්තයේ. ඔවුන් තර්ක කරන්නේ ඒක පාලනය කරන එක පුද්ගලික නිදහසට හානියක් කියලයි. රිපබ්ලිකන් පක්ෂය Minimum Government කියන සංකල්පය විශ්වාස කරනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිත වලට රජයේ බලපෑම අවම විය යුතුයි කියන සංකල්පයයි. ඔවුන්ගේ ප්‍රධානම තර්කය තමයි Gun Control නීතී වලින් මිනිසුන්ගේ ව්‍යවස්ථාපිත අයිතියක් උල්ලංඝනය වෙනවා කියන එක.

ඒ නිසා ඇමරිකාවේ ගම්බද පළාත් වල රිපබ්ලිකන් පක්ෂයට වැඩි බලයක් තියෙනවා. තවත් විදිහකින් කිව්වොත් ඒ ප්‍රදේශවල ජනතාවගේ සහයෝගය තියෙනවා. ඊට අමතරව NRA (National Rifle Association) වගේ සංවිධාන වලින් Gun Control වලට විරුද්ධව අතිවිශාල විරෝධතා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

ටෙක්සාස් වගේ ප්‍රාන්ත වල ඕනෑම කෙනෙක්ට පාරේ යනකොටත් තුවක්කුවක් අරගෙන යන්න නිදහස ලබා දීලා තියෙනවා (Open Carry). ඇමරිකාවේ ගම්බද පළාත්ව වල බොහෝ අය සහ විශේෂයෙන්ම ට්‍රක් රථ රියදුරන් වගේ අය රාත්‍රී කාලයේ ගමන් බිමන් යනකොට තුවක්කුවක් අරගෙන යනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.

ඉතින් මේ පක්ෂ දෙකම තුවක්කු සම්බන්ධව අන්ත දෙකක, ඉතාමත් තද ස්ථාවරයක ඉන්න නිසා සමස්ථ ඇමරිකාවටම බලපාන විදිහට තුවක්කු භාවිතය ගැන නීතිරීති සම්පාදනය කරන්න ෆෙඩරල් රජයට අපහසුයි.

දෙවෙනි සංශෝධනයෙන් අවි ආයුධ දැරීමේ අයිතියට අමතරව සිවිල් වැසියන්ට Militia නොහොත් සිවිල් හමුදාවක් හදාගන්නත් අවසර ලබා දීලා තියෙනවා. සිවිල් මිනිස්සුන්ගෙන් හැඳුනු සිවිල් හමුදා කණ්ඩායම් 200කට අධික ප්‍රමාණයක් අදටත් ඇමරිකාව තුළ තිබෙනවා.

දන්නවද? ඇමරිකාවේ සමස්ථ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 332ක් වෙනවා. ඒත් ඇමරිකාවේ සිවිල් වැසියන් සතුව මිලියන 393.3 ප්‍රමාණයක් තුවක්කු ඇතුලු අවි ආයුධ තිබෙනවා. ඒ කියන්නේ සෑම ඇමරිකානු පුරවැසියන් 100කටම තුවක්කු 120ක් තිබෙනවා.

වැඩි විස්තර සඳහා – List of Militia Organizations in the United States


Click on the Image

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.