පොළොන්නරු යුගයේ කාන්තා නායකත්වය

අපේ රටේ රාජධානි වල කාන්තා නායකත්වය ඉස්මතු වෙන අවස්ථාවන් ගත්තොත්, අනුරාධපුර යුගයට වඩා පොළොන්නරු යුගයේ කාන්තා නායකත්වය ඉස්මතු වෙන ගොඩක් තැන් අපිට දකින්න පුලුවන්. පොළොන්නරු යුගයේ කාන්තා නායකත්වය අපිට කාරණා කිහිපයක් නිසා වැදගත් වෙනවා.

අනුරාධපුර යුගයෙ ඉදන් අපේ රටේ තිබ්බ කාන්තා නායකත්වය අවසන් වෙන්නෙ පොළොන්නරු යුගයෙන්. ඒ වගේම පොළොන්නරු යුගයෙන් පස්සෙ අපේ රටේ සිංහාසනයට රැජිණියන් පත්වෙලා නෑ. අනික් කාරණය තමයි අනුරාධපුර යුගයේ සමහරක් අවස්ථාවන් වලදී පාලකයන්ව සිංහාසනයට පත් කරන්න සමහරක් කාන්තාවන් නායකත්වය ගත්තත්, පොළොන්නරු යුගයේදී කාන්තාවන්ව සිංහාසනයට පත් කරන්න නායකත්වය අරගෙන තියෙන්නෙ පුරුෂ පක්ෂය විසින්.

@elearninglk

ඒ වගේම පොළොන්නරු යුගයේ අවසාන භාගය වෙනකොට කාන්තා නායකත්වය කියන එක නාමික තත්වයකට එන්න ගන්නවා. සෙන්පතියන්, ඇමතිවරු තම තමන්ගේ වැඩ කටයුතු ටික කර ගන්න පුලුවන් කාන්තාවන්ව සිංහාසනයේ වාඩි කරවලා, රූකඩ වගේ නටවනවා.

පොළොන්නරු යුගයේ කාන්තා නායකත්වය ඉස්මතු වෙන තැන් ගොඩක් තියෙනවා. ඒ කාන්තාවන් අතරින් මෙන්න මේ අය ගොඩක් වැදගත්.
01. මිත්තා කුමරිය
02. සුගලා රැජිණ
03. ලීලාවතී රැජිණ
04. කල්‍යාණවතී රැජිණ

මිත්තා කුමරිය
​මිත්තා කුමරිය කියලා කියන්නෙ පොළොන්නරු රාජධානියේ පළවෙනි රජතුමා වුණු මහා විජයබාහු රජතුමාගේ සහෝදරියක්. මහා විජයබාහු රජතුමා රජරට රජකම් කළාට එයාගෙ මුල් පරම්පරාවන් හිටියෙ දකුණෙ (රුහුණු මාගම් රාජධානිය).

මහා විජයබාහු රජතුමා මරණයට පත් වුණාට පස්සෙ, රජකමේ මීළග උරුමක්කාරයා වුණේ මහා විජයබාහු රජතුමාගේ පුත්‍රයා නොහොත් වික්‍රමබාහු කුමාරයයි. ඒත් රජතුමා මිය ගිය සැණින්, වික්‍රමබාහු කුමාරයට නොදන්වා, මහා විජයබාහු රජතුමාගේ සහෝදරයෙක් වන ජයබාහු කුමාරයා පොළොන්න්වරුවේ රජ වෙනවා.

මේක ආරංචි වුණාට පස්සෙ රජ පරම්පරා අසමගි වෙනවා. තමන්ට හිමි රජකම ලබා ගන්න වික්‍රමබාහු කුමාරයා, ජයබාහු රජතුමා එක්ක යුධ වදිනවා. මේ අතරේ ජයබාහු රජතුමාව පරාජය කරලා, තමන් රජ වීමේ සැලසුමක්, මිත්තා කුමරියෙගේ පුත්‍රයින් වෙනම දියත් කරනවා. ඊට කලින් ජයබාහු රජතුමාව පරාජය කරන වික්‍රමබාහු කුමාරයා, 1 වෙනි වික්‍රමබාහු රජතුමා විදිහ පොළොන්නරුවේ සිංහාසනයට පත් වෙනවා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඊට පස්සෙ මිත්තා කුමරිය මැදිහත් වෙලා වික්‍රමබාහු රජතුමා සහ තමන්ගේ පුත්‍රයින්ව සමගි කරවලා, තමන්ගේ පුත්‍රයින්ට එක එක ප්‍රදේශ, ප්‍රාදේශීය රාජධානි විදිහට භාර කරනවා.

01. දක්ඛින දේශය – මානාභරන කුමාරයා | කුංකගාම (දැදිගම)
02. දොළොස් දහස් රට – කිත්සිරි මෙවන් කුමාරයා | මහානාගහුල
03. අට දහස් රට – ශ්‍රී වල්ලභ කුමාරයා | උදුන්දොර

මිත්තා කුමරිය මැදිහත් නොවෙන්න රජ පවුල භේද භින්න වෙලා යුද්ධ කරලා විනාශ වෙලාම යන්න පුලුවන්කම තිබුණා. එහෙම වුණා නම් මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වගේ ශ්‍රේෂ්ඨ නායකයන් බිහි නොවෙන්න තිබුණා. එහෙම වුණා නම් ලංකා ඉතිහාසය සෑහෙන්න වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම සමහරවිට එතනින්ම පොළොන්නරු රාජධානිය අවසන් වෙන්නත් තිබුණා.

(ප.ලි – ලංකා ඉතිහාසයේ සමහරක් කතා වල තියෙනවා වික්‍රමබාහු කුමාරයාව පරාජය කිරීමේ උවමනාව සැබෑවටම තිබ්බෙ මිත්තා කුමරියගේ පුතුන්ට නෙවේ, මිත්තා කුමරියටයි කියලා. ඒක වෙනස්ම කතාවක්)

සුගලා රැජිණ
1 වන වික්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පස්සෙ පොළොන්නරු සිංහාසනයේ උරුමකරුවා වෙන්නෙ 1 වන වික්‍රමබාහු රජතුමාගේ පුත්‍රයා නොහොත් ගජබාහු කුමාරයයි. ගජබාහු කුමාරයා, 2 වන ගජබාහු රජතුමා විදිහට රාජ්‍යත්වයට පත්වෙනකොට, දකුණු රටේ ඉදගෙන එක්තරා කුමාරයෙක්, 2 වන ගජබාහු රජතුමාගෙන් රජකම ලබා ගන්න යුද්ධයක් ආරම්භ කරනවා. මේ, මිත්තා කුමරියගේ වැඩිමහළු පුත්‍රයා වන මානාභරණ රජතුමාගේ පුත්‍රයයි. තවත් විදිහකින් කිව්වොත් මහා පරාක්‍රමබාහු කුමාරයයි.

2 වන ගජබාහු රජතුමාව පරාජය කරන පරාක්‍රමබාහු කුමාරයා, සිංහාසනයේ වාඩි වෙන්න හදනකොටම, පරාක්‍රමබාහු කුමාරයට විරුද්ධව දකුණු රටෙන්ම කැරැල්ලක් ඇති වෙනවා. ඒ රුහුණු මාගම් රාජධානිය පාලනය කරමින් හිටපු සුගලා බිසවගේ නායකත්වයෙන්. සුගලා බිසව කියන්නෙ, මිත්තා කුමරියගේ බාල පුත්‍රයා වුණු ශ්‍රී වල්ලභ කියන ප්‍රාදේශීය රජතුමාගේ බිසවයි. සුගලා බිසවගේ අරමුණ වුණේ රජකම තමන්ගේ පුත්‍රයාට ලබා දීමයි (සුගලා බිසවගේ පුත්‍රයාගේ නමත් මානාභරණ).


Click on the Image

සුගලා බිසව දන්ත ධාතුන් වහන්සේව අයිති කරගෙන රුහුණේ නායිකාව බවට පත් වෙනවා. මේ නිසා තමන්ට හිමි වෙන්න ඕන රජකම ගන්න පරාක්‍රමබාහු රජතුමාට යුද්ධ කරන්න වෙනවා. මොකද රටේ රාජ්‍ය බලය ගන්න උරුමය විතරක් තිබ්බට මදි. දන්ත ධාතුන් වහන්සෙත් ළග තියෙන්න ඕන. ඒක තමයි අපේ රටේ රාජ්‍ය බලයේ සැබෑ සංඛේතය. දන්ත ධාතුව නැති වුණොත්, පරාක්‍රමබාහු රජතුමා රජ වුණත් ඒකෙ වලංගුතාවයක් නෑ.

ඉතින් සුගලා බිසව අපේ රටේ ඉතිහාසයට එක් වෙන්නේ අපේ රටේ බලවත්, ප්‍රතාපවත්, අභිමානවත් රජ කෙනෙකුගේ බලයට විරුද්ධව නැගී හිටලා, ඊට විරුද්ධව ප්‍රබල අභියෝගයක් එල්ල කරපු පළවෙනි කාන්තාව විදිහටයි. මේ යුද්ධයේදී සුගලා බිසව එක අඩියක්වත් පස්සට තියන්නෙ නෑ. පරාක්‍රමබාහු කුමාරයාගේ හමුදාව බිසවව අල්ල ගන්නකන්ම, අවුරුදු 5ක් එක දිගට සටන් කරනවා.

සුගලා බිසව තමයි රුහුණු මාගම රාජධානියේ අන්තිම නායකත්වය හොඹවන්නෙ. සුගලා බිසව, පරාක්‍රමබාහු කුමාරයාගේ හමුදාවට කොටු වීමෙන් පස්සෙ, මාගම රාජධානියේ අවසානය සනිටුහන් වෙනවා.

ඇමතිවරුන්ගේ සහ සෙන්පතිවරුන්ගේ රූකඩ වුණු රැජිණියන්
​අපි පසුගිය ලිපි වලදි සඳහන් කළා පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රජතුමාගෙන් පස්සෙ අපේ රටේ පාලනය භාර ගන්න සුදුස්සෙක් හිටියෙ නෑ කියලා. මේ නිසා පොළොන්නරුවේ අන්තිම කාලය වෙනකොට දුර්වල පාලකයො රටේ රජකම භාර ගත්තා. දේශපාලනික වශයෙන් මේ කාලය වෙන කොට අපේ රට අවුල් වියවුල් වුණා.

මේ අතරේ දේශපාලනික තන්ත්‍රය පරාක්‍රමබාහු රජුට පක්ෂපාතී පිරිස සහ නිශ්ශංකමල්ල රජුට පක්ෂපාතී පිරිස කියලා කොටස් දෙකකට බෙදෙනවා. නිශ්ශංකමල්ලයන්ගෙන් පස්සෙ එයාගෙ බිසව කල්‍යාණවතී රැජිණ රාජ්‍යත්වයට පත් වෙනවා. ටික කාලයක් යනකොට පරාක්‍රමබාහු රජතුමාට පක්ෂපාතී පිරිසක්, කල්‍යාණවතී රැජිණව එලවලා, පරාක්‍රමබාහු රජතුමාගේ බිසව වන ලීලාවතී බිසවව සිංහාසනයට පත් කරනවා. ඊට පස්සෙ ආයිත් නිශ්ශංකමල්ල රජතුමාගේ පිරිස, ලීලාවතී බිසවව බලයෙන් පහ කරලා, කල්‍යාණවතී බිසවව සිංහාසනයට පත් කරනවා.

මේ විදිහට එකියක පහ කරමින් එකියෙකු රජ වුණා. ලීලාවතී රැජින විතරක් මේ විදිහට කාලයෙන් කාලයට තුන් පාරක් අපේ රටේ සිංහාසනයේ වාඩි වෙනවා. ඒ අවුරුදු තුනක්, අවුරුද්දක් සහ මාස හතක් විදිහටයි. කල්‍යානවතී රැජිණ අවුරුදු හතක් සිංහාසනයේ ඉන්නවා. මේ සෑම අවස්ථාවකදීම රැජිණියන්ව රූකඩ වගේ නටවමින්, තමන්ගේ ඕනෑ එපාකම් සහ පුද්ගලික කටයුතු ටික කරගන්න, රැජිණියන්ව බලයට පත් කරපු පිරිස් අමතක කළේ නෑ.


Click on the Image

ලීලාවතී රැජිණගේ සේවාවන්
ලීලාවතී රැජිණ අපේ රට වෙනුවෙන් සෑහෙන්න වැඩ කොටසක් කළා කියලා සෙල්ලිපිවල තියෙනවා. දුප්පත් අයට ගොඩක් උදව් කරනවා. ඒ අයට ධනය බෙදලා දෙනවා. අනුරාධපුරයේ දාන ශාලාවක් ඉදි කරනවා. විදේශීය වෙළදාම දියුණු කරනවා. විශේෂ වෙළද මධ්‍යස්ථාන ඉදි කරනවා. ලීලාවතී රැජිණ රන් කහවණු හිටන් නිකුත් කරනවා. රන කහවණු නිකුත් කිරීමෙන්, ඒ පාලන අවධියේ අපේ රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් තියෙන්න ඇති කියලා අපිට අනුමාන කරන්න පුලුවන්.

කල්‍යාණවතී රැජිණගේ සේවාවන්
කල්‍යාණවතී විහාරය නිර්මාණය කරලා, රාජ කුල වඩ්ඩන පිරිවෙන නිර්මාණය කරලා, වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන කල්‍යාණවතී රැජිණ… පන්සල් වලට ගම්වර පූජා කරන්නත්, රුවන්වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය පිළිසකර කරන්නත් සමත් වෙනවා. මේ රැජිණගේ පාලන අවධියේදී අපේ රටේ දේශපාලනය, කලින් තිබුණට වඩා පමණක ස්ථාවර මට්ටමකට පත් වෙනවා.

නිගමනය
මේ කරුණු සමාලෝචනය කරන කොට පොළොන්නරු රාජ්‍ය සමයේ දේශපාලන පොර පිටියේ විශාල කාන්තා නායකත්වයක් ඉස්මතු වුණා කියලා නිගමනය කරන්න පුලුවන්.

මූලාශ්‍ර
2012 උසස්පෙළ ඉතිහාසය විෂය නිර්දේශය

විශේෂ ස්තූතිය
01. හිටපු පුරාවිද්‍යා නිළධාරී සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ ඉතිහාසය විෂයභාර නිමල් රණසිංහ මහතා වෙත
02. කොළඹ ආනන්ද විද්‍යාලයේ සාමාන්‍යයපෙළ ඉතිහාසය විෂයභාර හිටපු ආචාරිනී මංගලිකා අබේසුන්දර මහත්මිය වෙත

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.