ඇමතිවරුන් නූලෙන් ගැලවුණ යේමන ගුවන්තොටුපල ප්‍රහාරය

December 31, 2020

යේමනයේ ඒඩ්න් නගරයේ ගුවන් තොටුපලට දෙසැම්බර් 30 වනදා ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී 22 දෙනකු මියගිය බවයි යේමන රජය සඳහන් කළේ. එමෙන්ම තවත් පනස් දෙනකු පමණ තුවාල ලැබී යයි වාර්තා පළ වුණා.

මෙම ප්‍රහාරය එල්ල වූයේ යේමනයේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් රැගත් ගුවන් යානය සෞදි අරාබියේ රියාද් අගනුවර සිට ඒඩ්න් වෙත පැමිණි විගසමයි.

මෙහිදී පිපිරීම් කිහිපයක් සහ වෙඩි ශබ්ද ඇසුණ අතර කැබිනට් මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබුණා. ඔවුන් පසුව නගරයේ මාශෙක් ජනාධිපති මන්දිරය වෙත ගෙනයනු ලැබුණ අතර සෞදි තානාපති මොහොමඩ් සයිද් අල්-ජබෙර් ද ඒ සමගම එහි රැගෙන යනු ලැබුණා. අගමැති මයීන් අබ්දුල්මලික් සඳහන් කළේ කිසිදු ඇමතිවරයකුට හානියක් සිදු නොවූ බවයි.

ගුවන් තොටුපල ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා අනුව, එහි ගොඩනැගිල්ල වෙත මෝටාර් ප්‍රහාර තුනක් එල්ල වූ බව සඳහන් වුණා.


ගුවන් තොටුපල ප්‍රහාරය​ (Reuters)

මුල් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු, ජනාධිපති මන්දිරය දෙසින් තවත් පිපිරුමක් ඇසුණ බව මාධ්‍ය වාර්තා කියා සිටියා. සෞදි බලධාරීන් පවසා තිබුණේ හූති කැරලිකරුවන් විසින් එවන ලද පුපුරන ද්‍රව්‍ය පිරුණු ඩ්‍රෝනයක් විනාශ කළ බවයි.

කෙසේ වෙතත් හූති කැරලිකරුවන් හෙවත් අන්සරල්ලාහ් සංවිධානය මෙම ප්‍රහාරයන්ට තම සම්බන්ධයක් නැතැයි පවසා තිබුණා. ඔවුන් චෝදනා කරන්නේ තමන්ට එරෙහිව සටන් වදින සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

එක්සත් කැබිනෙට් මණ්ඩලය
2011 අරාබි වසන්තය සමග එවකට යේමන ජනාධිපති වූ අලි අබ්දුල්ලා සාලෙහ්ට එරෙහිව විරෝධතා හටගත්තා. මුලදී ඔහු එම විරෝධතා මැඩලාගෙන සිටියද පසුව, විශේෂයෙන් හූති සටන්කාමීන් සටනට අවතීර්ණ වූ පසු සාලෙහ් බලයෙන් පහ කරනු ලැබ අබ්ද්-රබ්බු මන්සූර් හාදි ජනාධිපති ලෙස පත්වුණා. එහෙත් හූති ප්‍රහාර දිගටම එල්ල වූයෙන් සනා අගනුවර ඇතුළු උතුරු යේමනයම පාහේ ඔවුන් අතට පත්වුණා. හාදිගේ රජය දකුණු යේමනයේ ඒඩ්න් නගරය තම මූලස්ථානය කරගත්තා.

මේ අතර සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් හූතිවරුන්ට එරෙහිව 2015 දී හමුදා මෙහෙයුම් ඇරඹුවා. ඔවුන් චෝදනා කළේ හූතිවරුන් ඉරානයෙන් සහය ලබන බවයි. මෙම සන්ධානයට යේමන රජය සහ තවත් කණ්ඩායම් ද ඇතුලත් වුණා.

හූති විරෝධී සන්ධානයේ ප්‍රධාන සාමජිකයකු වූයේ දකුණුදිග අන්තර්වාර පාලන කවුන්සිලය යි (Southern Transitional Council). මෙය දකුණු යේමනයට ස්වාධීනත්වය හෝ ස්වයං පාලනය හෝ ඉල්ලා සිටින කණ්ඩායමක්. දකුණුදිග අන්තර්වාර කවුන්සිලය පිහිටුවන ලද්දේ 2017 මැයි මාසයේ යි. මෙම කවුන්සිලයේ ප්‍රධානියා වන්නේ අයිදරූස් අල් – සුබයිදි නමැත්තායි​. ඔහු කලින් මන්සූර් හාදිගේ රජය යටතේ ඒඩ්න් ප්‍රදේශයේ ආණ්ඩුකාරයා ව සිටි අයෙක්. ඔහුව එම තනතුරින් ඉවත් කළ පසු ඔහු දකුණුදිග අන්තර්වාර කවුන්සිලය පිහිටුවා ගත්තා.


උතුරු සහ දකුණු යේමනය​ (Geopolitical Features)

ඔටෝමන් අධිරාජ්‍යය බිඳවැටුණ පසු උතුරු යේමනය ස්වාධීන රාජධානියක් වුණා. දකුණු යේමනයේ වූයේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයන් කිහිපයක්. බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව තිබුණු ප්‍රදේශ ඒකාබද්ධව 1967 දී දකුණු යේමනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත කරනු ලැබුවා. එහි රජය වාමංශික නැඹුරුවකින් යුතු වූ අතර 1969 දී එහි වාමාවාදී කණ්ඩායම සිය බලය තහවුරු කරගත්තා. 1970 දී ඔවුන් දකුණු යේමනය නිල වශයෙන් මාක්ස්වාදී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

නිරවි යුද්ධයේ අවසන් සමයේ දී දකුණු යේමනය සහ උතුරු යේමනය එක්සත් වීමට සාකච්ඡා ඇරඹුවා. මේ අනුව 1990 මැයි 22 වනදා එම රාජ්‍යයන් දෙක එක්සත් යේමනය බවට පත් වුණා. ඒ අනුව දකුණු යේමනයේ නායකයා වූ අලි සෙලිම් එල් බෙයිද් එක්සත් යේමනයේ උප ජනාධිපති ලෙස පත් කෙරුණා. යේමනයේ ජනාධිපති වූයේ එතෙක් උතුරු යේමන ජනාධිපති වූ අලි අබ්දුල්ලා සලේහ්.

මෙම එක්සත් කිරීම පිළිබඳ දකුණු යේමනයේ එතරම් තෘප්තිමත්භාවයක් වූයේ නැහැ. ඔවුන් අඩු සැලකිල්ලට පත් වන්නේ ය යන අදහස එම නායකයින්ට තිබුණා. එහි ප්‍රතිඵලය වූයේ 1994 දී හටගත් සිවිල් යුධ තත්ත්වයක්. එහි දී දකුණු යේමන් සේනා පරාජය වීමෙන් පසු සාලෙහ් සමස්ථ රටෙහිම සිය බලය තහවුරු කරගත්තා. එතැන් පටන් දකුණු යේමනයේ ඇතැම් කොටස් වෙන්වීමට අපේක්ෂා කළා. STC යෙහි ක්‍රියාකාරකම් මෙහිම දිගුවක් ලෙසයි සැලකිය හැක්කේ.


යේමනයේ සෞදි පාර්ශවික සහ හූති පාලනය යටතේ ඇති ප්‍රදේශ​, 2020 ජනවාරියේදී (South Front)

හාදිගේ රජය සහ STC අතර මතගැටුම් උත්සන්න වීමෙන් 2019 අගෝස්තු 11 වනදා ඒඩ්න් නගරය අල්ලාගැනීමට STC සංවිධානය ක්‍රියා කළා. ඒ අනුව හූතිවරුන්ට එරෙහි කඳවුරේ බරපතල බෙදීමක් ඇතිවුණා.

යේමනයේ නව කැබිනට් මණ්ඩලය පිහිටුවාගෙන ඇත්තේ මෙම දෙපාර්ශවයේ ඒකාබද්ධතාව ඔස්සේ යි. ඒ සඳහා සෞදි අරාබිය විශාල උත්සාහයක් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ අතරවාරයේ හූතිවරුන්ට එරෙහි යුධ ව්‍යාපාරය තවමත් පැහැදිලි සාර්ථකත්වයක් නොමැතිව ක්‍රියාත්මක වනවා. හූතිවරුන් සෞදි අරාබියේ අභ්‍යන්තරයට පවා නිරන්තර ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරනවා.

එමෙන්ම උතුරු යේමනයේ හූතිවරුන් අල්ලාගෙන සිටින ප්‍රදේශයන් හි ඔවුන්ගේ බලය තවමත් තහවුරුව තිබෙනවා. ඒඩ්න් නගරයටම එල්ල වූ දරුණු ප්‍රහාරය කියාපාන්නේ මෙම යුද්ධ ව්‍යාපාරය සෞදි අරාබියට කොටි වල්ගයක් අල්ලාගත්තාක් වැනි වූවක් බවයි.

මූලාශ්‍ර
1. Yemeni officials say blast at Aden airport kills 22, wounds 50 (AP)
2. Separatists seize Aden presidential palace, gov’t military camps (Al Jazeera)

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.