අභයගිරි ආරාම සංකීර්ණය

අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අභයගිරි විහාරය ගැනයි. අභයගිරි විහාරයේ ඉතිහාස කතාව ඔයාලා දැනටමත් දන්නවා.

ඒ කියන්නෙ මේ විහාරය වළගම්බා රජතුමා නිර්මාණය කළා කියලත්, එහෙම නිර්මාණය කළේ ගිරි කියන නිගන්ඨයාගේ ආරාමය තිබුණු තැන කියලත්, කුපික්කලතිස්ස හිමියන් ඇතුළු මහා සංඝරත්නයට විහාරය පූජා කළා කියලත්, මහා විහාරයේ භික්ෂූන්ගේ විරෝධතා මතු වුණා කියලත්, ඒ විරෝධය “පසු කාලෙක” නිකායවල් විදිහට වෙන් වෙන්ව කටයුතු කරන්න හේතු වුණා කියලත්, අභයගිරිය කේන්ද්‍ර කරගෙන ලොකු අධ්‍යාපනික ප්‍රබෝධයක් ඇති වුණා කියලත්, අභයගිරියට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලැබුණා කියලත්, පිටරටවලින් ථේරවාදී වගේම මහායානික හාමුදුරුවරුත් අධ්‍යාපනය ලබන්න වැඩම කළා කියලත්, ධර්මරුචි නිකාය ආරම්භ වුණා කියලත්, අතීතයේ අභයගිරියේ භික්ෂූන් 5000කට වඩා වාසය කළා කියලත් අපි ඉගෙනගෙන තියෙනවා.

අභයගිරිය කිව්වම අපි හුග දෙනෙක්ට මතක් වෙන්නෙ විශාල චෛත්‍යයක් විතරයි. ඒත් ලංකාවේ දෙවනියට විශාල චෛත්‍යය වෙන මේ කියන අභයගිරි චෛත්‍යය හැරුණම, අභයගිරිය කියන්නෙ සුවිශාල ආරාම සංකීර්ණයක් කියලා මතක් වෙන්නෙ බොහොම ටික දෙනෙක්ටයි.

මේකට ප්‍රධානම හේතුව වෙන්නෙ අපේ ගොඩක් අය අනුරාධපුරයේ ගියාම සම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවට විතරක් කොටු වෙලා ඉන්න එක. ඉතින් අපි තීරණය කළා අභයගිරි ආරාම සංකීර්ණයේ අභයගිරි චෛත්‍යය හැරුණු කොට, අභයගිරි ආරාම සංකීර්ණයේ අපිට වර්තමානයේ දැක බලා ගන්න පුලුවන් අනිත් අංග සහ ස්ථාන වලින් “කිහිපයක්” ගැන තොරතුරු ගෙන එන්න. අපි එහෙනං ඒවා එකින් එක බලමු.

01. අභිෂේක මණ්ඩපය
අභයගිරි චෛත්‍යය වන්දනා කරන්න යන හුගාක් දෙනෙක්ට මග ඇරෙන ස්ථානයක් තමයි අභිෂේක මණ්ඩපය. අභිෂේක මණ්ඩපය පිහිටලා තියෙන්නෙ ස්තූපයට ඇතුළු වෙන ස්ථානයට වම් පැත්තෙන් සහ ස්තූපයේ වෘත්තාකාර ප්‍රධාන පොකුණට ඉස්සරහින්. අභයගිරියේ පසු කාලීනව ඇති වුණු මහායානික බලපෑම නිසා විහාර පරිශ්‍රයට මහායානික සංස්කෘතියත් එකතු වෙනවා. මහායානිකයන්ගේ ආගමික චාරිත්‍ර අතර ප්‍රතිමා අභිෂේකය විශේෂයි.

ඒ අනුව අභයගිරි විහාරයේ බුද්ධ ප්‍රතිමා සහ බෝධිසත්ව ප්‍රතිමා අභිෂේක කරලා තියෙන්නෙ මේ ස්ථානයෙයි. මේ කටයුත්ත සිද්ධ කරලා තියෙන්නෙ මණ්ඩපයට ඉස්සරහින් තියෙන වෘත්තාකාර ප්‍රධාන පොකුණෙන් ලබා ගත්තු සුවද පැන් වලින්. පැන් බදුන් සහ ප්‍රතිමා තැන්පත් කරපු කුඩා කුඩා වේදිකා වගේම, අභිෂේක ජලය රදවා ගත්තු කාණුත් අදටත් අපිට දැක බලා ගන්න පුලුවන්.

02. බෝධිඝර අංක 02 
අභයගිරිය ස්තූපයට ඇතුල් වෙන පිවිසුම පහු කරගෙන, ටික දුරක් ඉදිරියට යන කොට, පාරේ වම් පසින් අභයගිරි බෝධිඝර අංක 02 අපිට දැක ගන්න පුලුවන්. මේ ස්ථානයේ දැනට ඉතුරු වෙලා තියෙන ප්‍රධානම අංගය තමයි ඩොලමයිට් පාෂාණයෙන් නිර්මාණය කරලා තියෙන ඉදි පිළිමය. “සමාධි පිළිමය අංක 02” කියලා වරදවා හදුන්වන, ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සහ 8 වෙනි සියවස් අතර නිර්මාණය වුණු මේ ප්‍රතිමාවේ දෙඅත් දකින්න නැති නිසා, ප්‍රදේශයේ මේ ප්‍රතිමාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ “අත් කොට පිළිමය” කියලයි.

මේ ප්‍රතිමාව විතර්ක මුද්‍රාවෙන් යුක්ත ප්‍රතිමාවක්. ඩොලමයිට් පාෂාණයෙන් නෙලන ලද මේ ප්‍රතිමාවේ උස ආසන්න වශයෙන් අඩි 6යි අගල් 9ක් වෙනවා. ඉස්සර මේ ප්‍රතිමාවේ නේත්‍රා වලට මැණික් ගල් ඔබ්බවලා තිබිලා තියෙනවා. බෝධිඝරයක් ඉදිරිපිට නිර්මාණය කරලා තියෙන මේ ප්‍රතිමාවට වම් පසින් කැඩී ගියපු කුඩා ප්‍රමාණයේ ඉදි ප්‍රතිමාවක් දකින්න පුලුවන්. ඒ වගේම මේ ප්‍රතිමාව අවට පරික්ෂා කරන කොට ඉපැරණි ගොඩනැගිලිවල අත්තිවාරම් කොටස් සහ ගල් කණු දකින්න පුලුවන්.

03. සංඝාරාමය
අභයගිරි විහාරයට අයත් ඉපැරණි සංඝාරාමය පිහිටලා තියෙන්නෙ අභයගිරි බෝධිඝර අංක 02 බුද්ධ ප්‍රතිමාවට පිටුපසින්. ඉපැරණි ප්‍රෞඩ ශිෂ්ටාචාරයක වත ගොත හෙළි කරන මේ සංඝාරාමය, අනුරපුරයට එන හැම කෙනෙක්ම අනිවාර්යෙන් දැක බලා ගන්න ඕන. චීන ජාතික පාහියන් හිමියන්ගේ වාර්තා අනුව අභයගිරියේ දේශීය සහ විදේශීය භික්ෂූන් 5000ක් නේවාසිකව හිදිමින් අධ්‍යාපනය ලැබුවා. මේ සංඝාරාමය තුළත් භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩ වාසය කළාට කිසිම සැකයක් නෑ. මේ භූමියට ඇතුල් වෙන්න තියෙන්නෙ සාමාන්‍ය ප්‍රමාණයේ ගල් වියනක් යටින්. ගල් වියනින් පිවිසුනාම දකින්න තියෙන්නෙ අක්කර ගණනාවක භූමි ප්‍රදේශයක විසිරී පැතිරී තියෙන නටබුන්.

ශේෂ වෙලා තියෙන අත්තිවාරම් සහිත ගොඩනැගිලි අතරින් තරමක් විශාල ගොඩනැගිල්ලක් අපිට දකින්න පුලුවන්. ගොඩනැගිල්ලේ ප්‍රමාණය සහ අංග අනුව මේ ප්‍රධාන සංඝාරාමය වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මේ ගොඩනැගිල්ලට පිවිසෙන කොටම සුවිශාල සදකඩ පහණක් දකින්න ලැබෙනවා.

නෙළුම් මල සහිත කොටස විතරක් කැටයම් කරලා තියෙන මේ සුවිශාල සදකඩ පහණ දෙපැත්තෙ, රත්නප්‍රාසාදයේ මුරගලට සමාන, සියුම්ව කැටයම් කරපු මුරගල් දෙකකුත්, ඊට පිටුපසින් කැටයම් දාපු කොරවක්ගල් ද්විත්වයකුත් දකින්න පුලුවන්. බහිරව රූප කැටයම් කරපු පඩි පෙළ නැග්ගම, සංඝාරාමයේ කාමර කොටස්වල අත්තිවාරම් සහ කණු දකින්න පුලුවන්. මේ ගොඩනැගිල්ල කෙලවර වෙන්නෙ කුඩා ප්‍රමාණයේ ගල් වියනකින්. ගල් වියනින් ඇතුල් වුණාම විශාල පොකුණක් දකින්න පුලුවන්.

අභයගිරිය කියන්නෙ අනුරපුර යුගයේ තිබුණු සැප පහසුකම අතින් වැඩිම ආරාම සංකීර්ණයයි. මහා විහාරය සහ අභයගිරි විහාරය අතර සීතල මත ගැටුම් ඇති වෙන්නත්, මහා වංශයෙන් අභයගිරි විහාරය සහ විහාරයට අනුග්‍රහය දක්වපු රජවරු ගැන වැඩි විස්තර නොලියවෙන්නත් මේක වැඩි වශයෙන් බලපෑවා. මහා විහාරික භික්ෂූන් අභයගිරි විහාරය ගැන ඊරිසියාවෙන් පෙලුනෙ මෙන්න මේ වගේ අංග ලක්ෂණ නිසයි. පොකුණේ දකුණු කෙලවරේ පඩි පෙළක් දකින්න පුලුවන්. පොකුණෙන් එහා පැත්තෙත් මේ වගේම ආවාස ගෙවල්වල නටබුන් විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්.

ඊට අමතරව අනිත් සියල්ලත් කුඩා කුඩා සංඝාරාම විදිහට තිබුණු ගොඩනැගිලි. ගොඩනැගිලි ප්‍රමාණය ගණන් කරන්නත් බැරි තරම්. ප්‍රාථමික මට්ටමේ කැටයම් නොකළ කුඩා සදකඩ පහණ්, ගල් කණු, නෙළුම් මල් විශාල ප්‍රමාණයක් ඒවා තුළ අන්තර්ගතයි.

04. දාන ශාලාව
අභයගිරි බෝධිඝර අංක 02 පහු කරලා ටික දුරක් යන කොට, දකුණු පැත්තට බර වෙන්න විශාල වංගුවක් හමු වෙනවා. වංගුවත් එක්කම පාරෙ වම් අත පැත්තෙන් අපිට අභයගිරියේ “ප්‍රධාන” දාන ශාලාව දකින්න පුලුවන්. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේ ඉදලා, අධියර 4ක් යටතේ මේ ගොඩනැගිල්ල විටින් විට ප්‍රතිසංස්කරණය සහ ප්‍රති-නිර්මාණය වෙලා තියෙනවා. අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලා 5000ටම දානය පිළියෙල කරලා තියෙන්නෙ මේ දාන ශාලාවෙන්.

05. බෝධිඝර අංක 03 
අභයගිරි දාන ශාලාවට දකුණු පසින් තියෙන මේ පූජනීය ස්ථානය බලන්න ටිකක් ඇතුළට ඇවිදගෙන යන්න ඕනි. මහ පාරට දිස් වෙන්නෙ නැති නිසා මේ ස්ථානය, අනිත් ස්ථාන වලට සාපේක්ෂව වැඩි අවධානයක් දිනා ගන්න සමත් වෙලා නෑ. චීන ජාතික පාහියං හිමියන්ගේ වාර්තා අනුව මේ තමයි අභයගිරි විහාරයේ නිර්මාණය වුණු “පැරණිතම” බෝධිඝරය. මේ ස්ථානයේ රෝපණය කරලා තිබුණු බෝධීන් වහන්සේ, දඹදිව ශ්‍රී මහා බෝධියෙන් රැගෙන ආපු බීජයකින් රෝපණය වුණු බෝධියක්.

මේ ස්ථානයෙත් ගොඩනැගිලි නිර්මාණය වෙලා තියෙන්නෙ කාල වකවානු 4ක් යටතෙයි. මේ ස්ථානයේ දැක බලා ගන්න තියෙන ප්‍රධානතම අංගය තමයි තරමක් උස් වූ වජ්‍රාසනයක් මත නිර්මාණය කරලා තියෙන ඉදි බුද්ධ ප්‍රතිමාව. සමාධි පිළිම අංක 03 කියලා වරද්දලා හදුන්වන මේ ප්‍රතිමාවේ දකුණු අත නම් අද දකින්න නෑ. චීවරයේ රේඛා රහිත මේ බුද්ධ ප්‍රතිමාව වටේට සිංහල රජ දවස තවත් ප්‍රතිමා ගණනාවක් තිබුණාය කියලා හිතන්න පුලුවන් නටබුන් විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්. මේ නටබුන් අතර සිරි පතුල් ගල් 20කට ආසන්න ප්‍රමාණයක් දකින්න පුලුවන්.

මේ ස්ථානයට පිවිසෙන්න තියෙන්නෙ අලංකාර කැටයම් දාපු ඉපැරණි මණ්ඩපයක් යටින්. අද නම් ඒක බාරෝස් මණ්ඩපය කියලා තමයි හඳුන්වන්නෙ. මේ මණ්ඩපයට ඉස්සරහින් 4 වන මහින්ද සහ 5 වන කාශ්‍යප යන රජවරු පිහිටවපු සෙල්ලිපි දෙකක් දකින්න පුලුවන්. මේ සෙල්ලිපිවල ඒ ඒ කාල වකවානුවල අභයගිරි විහාරයට පූජා කරන ලද දේවල් සහ විහාර සීමාව තුළ ගොඩ නැගුණු නීති රීති පද්ධතීන් ගැන අන්තර්ගත වෙලා තියෙනවා.

06. කපරා මූලය
මේක තියෙන්නෙ අනුරාධපුරයේ අභයගිරි විහාර සංකීර්ණය මායිමට වෙන්න. ඒ කාලයේ අභයගිරි විහාර සංකීර්ණය කොටස් 4කට බෙදලා තිබිලා තියෙනවා. කපාරා මූලය කියන්නෙ ඒ අතරින් එක සීමාවක්. අනිත් සීමා 3 තමයි උත්තර මූලය, මහනෙත් මූලය සහ වහදු මූලය කියලා කියන්නෙ. කපරා මූලය ආශ්‍රිත ප්‍රදේශයේ විදේශීය භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළා කියලා අප්‍රසිද්ධ මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා. නටබුන් වෙලා ගිය පරණ ගොඩනැගිලි කිහිපයක අත්තිවාරම් කොටස් මෙතනදී අපිට දැක ගන්න පුලුවන්.

07. ප්‍රතිමා ගෘහය
අනුරාධපුරයේ රත්න ප්‍රාසාදයට වම් පැත්තෙන් පිහිටලා තියෙන මේ ගොඩනැගිල්ල අභයගිරි විහාරයේ තිබුණු පිළිම ගෙවල් වලින් එකක් විදිහට හදුනාගෙන තියෙනවා. ගොඩනැගිල්ලේ අත්තිවාරම් කොටස් දිහා හොදින් බැලුවොත්, ගොඩනැගිල්ල කොටස් කිහිපයකට වෙන් කරලා තිබුණාය කියලා දැක ගන්න පුලුවන්. ගොඩනැගිල්ලෙ කෙලවරින් ප්‍රාථමික මට්ටමේ සදකඩ පහණකින් සහ පඩි පෙළකින් සමන්විත වජ්‍රාසනයක් දකින්න පුලුවන්. පුරාවිද්‍යාඥයන් හදුනා ගෙන තියෙන විදිහට ඉපැරණි අවධියේ ඉදලා පසු අවධිය වෙනකං අවධි 4ක ලක්ෂණ, මේ ගොඩනැගිලි වලින් දකින්න පුලුවන්. ඒ වගේම මුල් ගොඩනැගිල්ලේ ලක්ෂණ වෙනස් කරන්නෙ නැතුව භාවිතා කරලා තියෙනවා කියලා, කැණීම් වලින් හොයා ගත්තු කණු වලවල් වලින් ඔප්පු වෙලා තියෙනවා.

08. සන්නිපත ශාලාව
සන්නිපත ශාලාව කියලා හදුන්වන්නේ රැස්වීම් පවත්වන ශාලාවටයි. අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලා සහ ගිහි පාර්ශවයන් රැස්වීම් පවත්වන්න භාවිතා කරපු ශාලාව “අභයගිරි සන්නිපත ශාලාව” කියලා හදුන්වනවා. මේ තමයි අපේ රටෙන් හොයා ගත්ත විශාලම සන්නිපත ශාලාව. නිර්මාණය කරලා තියෙන්නෙ අභයගිරි ස්තූපය ඉස්සරහා.

දැනට දකින්න තියෙන ශාලාව අනුරාධපුර යුගයේ පසු භාගයේ නිර්මාණය වුණු එකක්. මුල් ශාලාව කණිට්ඨතිස්ස රජතුමාගේ අදහසකට අනුව ක්‍රි.ව 2 වන සියවසේ නිර්මාණය වුණා කියලා තහවුරු කරගෙන තියෙනවා. ඒ ශාලාවේ ගඩොල් බැමි මත තමයි වර්තමානයේ තියෙන ශාලාව නිර්මාණය කරලා තියෙන්නෙ. මේ ශාලාවට සතර දිශාවෙන්ම පිවිසෙන්න පුලුවන්කම තිබිලා තියෙනවා. ශාලාවේ මැද තමයි සභා මණ්ඩපය තිබිලා තියෙන්නෙ.

09. ඇත් පොකුණ
අනුරාධපුරයේ අභයගිරි විහාර භූමි සීමාවට අයිති ඇත් පොකුණ, ලංකාරාමය ස්තූපයට වම් පසින් තියෙන කුඩා අතුරු පාර දිගේ ඇවිදගෙන යන කොට දකින්න පුලුවන්. නටබුන් ගොඩක් මධ්‍යයේ තියෙන මේ අරුම පුදුම නිර්මාණය, අභයගිරි විහාරයේ භික්ෂූන්ගේ ජල අවශ්‍යතා සදහා නිර්මාණය වුණු පොකුණක්.

පොකුණක් කිව්වට මේක විශාල තටාකයක්. දිගින් අඩි 500ක් සහ පළලින් අඩි 150ක් වෙන මේ පොකුණේ ගැඹුර අඩි 30ක් වෙනවා. ජාත්‍යාන්තර මට්ටමේ ඔලිම්පික් පිහිණුම් තටාක 6ක ප්‍රමාණයෙන් යුක්ත වෙන මේ පොකුණට ජලය සැපයෙන්නෙ බසවක්කුලම වැවෙන්. ඒ භූගත උමං මාර්ග හරහයි.

ඒ විතරක් නෙවේ. අනුරාධපුරයේ පළවෙනි වතාවට සංචාරය කරන ඕනෑම කෙනෙක්, වරද්දන්නෙ නැතුව යන මේ ස්ථාන ටිකත් අයිති වෙන්නෙ අභයගිරි ආරාම සංකීර්ණයටමයි කියලා ඔයාලා දැනගෙන හිටියද?

10. අභයගිරි බෝධිඝර අංක 01 (සුප්‍රසිද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාව)

11. බිසෝ මාළිගාව / බිසෝ කොටුව (සුප්‍රසිද්ධ සඳකඩ පහණ)

12. රත්න ප්‍රාසාදය (සුප්‍රසිද්ධ මුරගල)

13. කුට්ටම් පොකුණ

14. ලංකාරාමය

ඉතින් පේනවා නේද අභයගිරි ආරාම සංකීර්ණය කියන්නේ චෛත්‍යයකට සහ නමකට සීමා නොවුණු දැවැන්ත ආරාම සංකීර්ණයක් කියලා?

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.