බෙරයක් හදන හැටි

January 3, 2020

ලංකාවේ සංස්කෘතියත් එක්ක බැඳුනු දෙයක් තමයි බෙර කියන්නෙ. අද වෙනකොට තම්මැට්ටම, දවුල, යක් බෙරය, ගැට බෙරය, උඩැක්කිය වගේ බෙර වර්ග 10ක් වගේ භාවිතා වුණත්, දැනට තියෙන වාර්තා අනුව ඒ කාලයේ බෙර වර්ග 33ක් විතර භාවිතා වෙලා තියෙනවා. අද කෙටි සටහනෙන් අපි අරගෙන එන්නෙ ඔයාලා අපි හැමෝම ආස කරන සහ රසවිඳින මේ බෙර, නිෂ්පාදනය වෙන විදිහ ගැනයි.

මුලින්ම මේ නිර්මාණය කරන්න ඒ සඳහා සුදුසු, හොඳ වැඩුණු ගසක පරිපූර්ණ කඳක් ඕන වෙනවා. ඉතින් නිර්මාණ ශිල්පියා මුලින්ම කරන්නෙ ඒ වගේ කඳක් තෝර ගන්න එක. සාමාන්යයෙන් මේ කර්තව්යට අරගන්නෙ කොහොඹ, ඇහැල, කිතුල්, මිල්ල, කොස් වගේ විශාල ගස්.

ඒ විතරක් නෙවේ, ඒ විදිහට තෝර ගන්නෙ ගලා බසින වතුර පාරක් ළග තියෙන ගස්. මොකද වතුර ගලා බසිනකොට නිකුත් වෙන ඒ මිහිරි සහ හිත සනසන ශබ්දය සහ ගස අතරේ ලොකු බැදීමක් ඇති වෙලා තියෙනවා කියලත්, ඒ අනුව නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන බෙරයේ ශබ්දයත් ගුණාත්මකභාවයෙන් උසස් විදිහට නිකුත් වෙයි කියලත් ඉපැරණි බෙර නිර්මාණ ශිල්පීන් විශ්වාස කළා. මොකද ගසක් කියන්නෙත් ජීවයක් ගැබ් වෙලා තියෙන වස්තුවක් සහ ගසකට වුණත් හැඟීම් දැනීම් තියෙනවා.

ඊට පස්සෙ ඒ කඳ කපා ගන්නවා. එහෙම කරන්නෙ ඉපැරණි සිංහල විශ්වාස සහ සම්ප්රදායන් වලට අනුව සුබ වෙලාවක් බලලා, තමන්ගේ නිර්මාණය වෙනුවෙන් කැප වෙන ඒ මහා වෘක්ෂයට සහ ඒ ගසේ වැඩ ඉන්නවා කියලා විශ්වාස කරන වෘක්ෂ දෙව්වරුන්ට එතනින් ඉවත් වෙන්න කියලා පූජාවක් පවත්වලයි.

ඊළග අදියරය වෙන්නෙ ගහේ කඳේ සුදුසු කොටසක් වෙන් කරලා අරගෙන, ඒ කොටසෙ පොත්ත ඉවත් කිරීමයි. ඊට පස්සෙ කරකැවෙන උපාංගයකට මේ කොටස තියලා, ඒ උපාංගය කරකවනවා. සම්ප්රදායික ක්රමයට අනුව නම් මේක කරකවන්නෙත් රෝදයකින්. එතකොට බෙරය කැරකෙන කොට, තියුණු ආයුධයක් (නියනක්) බෙරයට තියලා අවශ්ය කරන හැඩය කපා ගන්නවා. ඒත් දැන් නම් ගොඩක් අය මේ පියවර මෝටරයක් ආධාරයෙන් තමයි සිදු කරන්නෙ.

ඊට පස්සෙ බෙරය සම්පූර්ණයෙන්ම මැදීමකට ලක් කරලා, දෙපැත්තෙන් ටිකක් ඇතුළට හාරලා, භාහිර කොටසට තීන්ත ආලේපනය කරනවා.

ඊළග පියවර වෙන්නෙ බෙරය දෙපැත්තෙ ඉවත් කරපු කොටස වැහෙන විදිහට, මියගිය සත්වයෙක්ගේ හමක් සවි කරන අදියරයි. මෙතනදි මේ සත්ව හම, වෘත්තාකාර හැඩයකට කපා ගැනීමක් වෙනවා. සම බෙරයට සවි කරන්න භාවිතා කරන වෘත්තාකාර රාමුව, වර පටිය කියලා හඳුන්වනවා.

ඊට පස්සෙ කිරිදි සහ බෝකැටියා වගේ වැල් වර්ග බෙරය වටේට, නිවැරදිව, ඔතනවා. මේ වැල් වලින් තමයි, බෙර වාදන ශිල්පියා බෙරයේ හඬ සියුම් හෝ රළු කරගන්නෙ.


උපුටා ගැනීම් :
* වීඩියෝව : Mamas Boys Films | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.