බෞද්ධ දේශපාලන දර්ශනය – 02

රජු / පාලකයා, ධාර්මික, ආධ්‍යාත්මික ගුණ වගාවකින් හා නොකැළැල් පෞරුෂයකින් යුතු චරිතයක් වීම අතිශයින් වැදගත් ය. ‘යථා රාජා තථා පජා’ ජනතාව හැඩ ගැසෙන්නේ රජුට අනුකූලවය. ‘සබ්බා උජු ගච්ඡන්ති නෙන්තේ උජුගතේ සති’ නායකයා සෘජුව යන විට සියල්ලෝම සෘජුව යති. ආදර්ශයන් සෑම විටම ගලා යන්නේ සමාජයේ ඉහළ සිට පහළටය .

අධම්‌මික සූත්‍රයේ මෙසේ දේශිතය.

20. මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්‍ද්‍රසූර්‍ය්‍යයන් වැටෙනා කල නක්‍ෂත්‍රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්‍ෂත්‍රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්‍රින්‍දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්‍රින්‍දිවයන් පවත්නා කල මාසාර්‍ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්‍ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්‍රකුපිත වෙත්. දෙවතාවන් ප්‍රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්‍යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්‍යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්‍වණ ද වෙත්. දුර්‍වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.

මහණෙනි, යම් කලෙක රජදරුවෝ ධාර්මික වෙත් ද, එසමයෙහි රාජපුරුෂයෝ ද ධාර්මික වෙත්. රාජපුරුෂයන් ධාර්මික වූකල බ්‍රාහ්මණ ගෘහපතීහු ද ධාර්මික වෙත්. බ්‍රාහ්මණ ගෘහපතීන් ධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද ධාර්මික වෙත්. නිගම ජනපද වාසීන් ධාර්මික වූ කල සඳහිරු දෙදෙනා සමව පවතිත්. සම ව සඳ හිරු දෙදෙනා පවත්නා කල නක්‍ෂත්‍ර තාරකාරූපයෝ සම ව පවතිත්. සම ව නක්‍ෂත්‍ර තාරකා රූපයන් පවත්නා කල දව රෑ සමව පවතී. සම ව දව රෑ පවත්නා කල මසඩමස් සම ව පවතියි. සම ව මසඩමස් පවත්නා කල ඍතු සංවත්සර සම ව පවතී. සම ව ඍතු සංවත්සර පවත්නා කල අවිෂම වූ නිසි මග ගත් වාතයෝ සම ව හමත්. අවිෂම වූ නිසි මග ගත් වාත සම ව හමන කල දෙවතාවෝ ප්‍රකුපිත නො වෙත්. දෙවතාවන් ප්‍රකුපිත නො වූ කල වර්‍ෂා සම්‍යක් ධාරායෙන් වස්නේ ය. වර්‍ෂා සම්‍යක් ධාරායෙන් වස්නා කල ශස්‍ය ඵලයෝ සමපාකී වෙත්. මහණෙනි, මිනිස්සු සමපාකී ශස්‍ය ඵලයන් වළඳ කරන්නාහු දීර්‍ඝායුෂ්ක ද වෙති. වර්‍ණවත් ද වෙති. බලවත් ද වෙති. අල්පාබාධත් වෙති.

54. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා කුටිල ව යේ නම් ඒ නායක ගවයා කුටිලව ගිය කල්හි සෙසු හැම ගවයෝ කුටිල ව යෙත්.
55. එපරිදි ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ නම් හෙ ම අධර්ම කෙරේ නම් ඉතිරි ප්‍රජාව කැලමය. රජ නො දැහැමි වේ නම් මුළු රට දුඃඛිත වේ.
56. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා අකුටිල ව යේ නම් නායකයා ඍජු ව යත් ම ඒ හැම ගවයෝ ඍජුව යෙත්.
57. එපරිදි ම මිනිසුන් කෙරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ ද, හෙ ද දහම් පුරා නම්, ඉතිරි ප්‍රජාව කැලම ය. රජ ධාර්මික වේ නම් මුළු රට සුඛිත වෙයි.

දස රාජ ධර්මයන් ධර්මානුකූලව මෙසේ වැඩි දුරටත් විස්තර කළ හැක.

1. දානය – දානය වනාහි අනුන්ට අභිමත වස්තු එනම් ආහාරපාන ,ඇඳුම්, නිවාස, බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීමයි. කූටදන්ත සූත්‍රය අනුව රටේ කර්මාන්තකරුවන්ට, ගොවියන්ට, ව්‍යාපාරිකයින්ට, එකී කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා අවැසි ප්‍රාග්ධන ආධාර සපයා අතහිත දීම දානය තුළින් අපේක්ෂා කෙරේ. දුප්පතුන්ට නැගී සිටීමට අත හිත දෙන සමාජ සුබ සාධන පද්ධතියක් ගොඩනැඟිය යුත්තේය. ඒ හරහා ඔවුනට ඔවුන්ගේම නිෂ්පාදන හා සේවා ආරම්භ කරලීමට අත හිත දිය යුත්තේය. ජනතාව බදු බරින් මිරිකවන ක්‍රම අවසන් කළ යුතුය. බුදුරදුන් දේශනා කළ පරිද්දෙන්ම බදු ක්‍රියාත්මක කළ යුත්තේ මී මැස්සා මල නොතලා රොන් ගන්නා සේ ධාර්මික ලෙසය.
මෙලෙස දන්දීමේ අනුසස් සහ ප්‍රතිඵල ඉතා බලවත්ය. පාලකයෙකුට තම අරමුණු ඉටුකර ගැනීම උදෙසා අවංක දක්ෂ පිරිසක් තමා වටා එක් රොක් වන්නේ දානයේ ආනිශංස වශයෙනි. ඤාණවන්ත උපදේශකයන් ලැබෙන්නේ දානයේ අනුසස් වශයෙනි.

2. පරිත්‍යාගය – තමාගේ කාලය, ශ්‍රමය සහ සැප පහසුකම් අනුන්ගේ යහපත සඳහා කැපකිරීම පරිත්‍යාග ගුණයයි. මෙය නායකත්වයේ හරයයි. යහපත් නායකයෙක්වීමට මෙය වටිනාම හේතුවක් වේ. කාන්තාරයක අතරමං වී ජලය නොමැතිව මිය යෑමට ආසන්නව සිටියදී දිය උල්පත් සොයාගෙන සියලු දෙනාගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ බෝසතාණන් වහන්සේ පිළිබඳ කථාවක් ‘වණ්ණුපථ ජාතකයේ’ සඳහන්ය. එහි දී අන් සියල්ලන් අධෛර්යයට පත් වී උත්සාහය අත්හළ විටෙක, ගැල් නායක බෝධිසත්වයන් වහන්සේ තනිවම දිය උල්පත ඇතැයි හැඟෙන තැන සොයාගෙන, මහත් ධෛර්යයෙන් යුතුව එම උණ පඳුර තිබූ තැන කැන, ගල් තලාවක් බිඳවා ජලය ලබාගත් ආකාරය යහපත් නායකයෙකුගේ පරිත්‍යාගශීලී වීරෝදාර ගුණයට කදිම නිදසුනකි.

3.සීලය – කයෙන්, වචනයෙන් සංවර වීම සීලයයි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලයයි. පාලකයා අනිවාර්යයෙන් මේ ආර්ය කාන්ත සීලය රැකීමට කැපවුණු අයෙකු විය යුතුය. මෙහිදී ප්‍රාණඝාතයෙන් වෙන් වුණු පාලකයා සතුරු ආක්‍රමණයකදී සතුරාට එරෙහිව යුද වදින්නේ කෙළෙසදැයි කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවක රජු හෝ පාලකයා යුද්ධය නම් කටුක යථාර්ථයට මුහුණදීමට ක්‍රියාත්මක වන්නේ රට වැසියාගේ ආත්මාරක්ෂාව උදෙසා සිය යුතුකම ඉටු කිරීමේ උතුම් චේතනාවෙන් මිසෙක මිනීමැරීමේ චේතනාවෙන් නොවේ. ‘දෙටුගැමුණු’ රජ පුවතින්ද මේ ගැන මනා ආදර්ශයක් ගත හැක. ඒ ශ්‍රේෂ්ඨ සිංහල මහ රජු පැවසුවේ ‘මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසාම’ වන බවයි.
මේ ශීලය රැකීමෙහි ලා බොරු කීමෙන් හැකිතාක් වැළකී සත්‍යවාදී වීම, අතිශයින් වැදගත්ය. පරුෂ වචනයෙන්, අසැබි වචනයෙන් හෝ කේලාම් කීමෙන් (කේලාම් වලට හසුවීමෙන්) හිස් වචන දෙඩීමෙන් වැළකී වචනයේ උතුම් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම රාජ්‍ය පාලකයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමටද, එතුළින් යහ පාලනය ඇතිකිරීමට ද නිසැකවම ඉවහල් වේ. මෙසේ සිල්වත් වීම නිසා ලැබෙන අනුසස් රැසකි. සිල්වතා අප්‍රමාදීව කටයුතු කරන නිසා ධනවත්භාවයට පත්වේ. පිරිසක් ඉදිරියට එළැඹීමේ හැකියාව ලැබේ. ඕනෑම තැනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔහු පිළිබඳව කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන අතර නිසි පිළිගැනීම හා ගෞරවය නිතැතින්ම ලැබේ. හේ සිහියෙන් යුක්තව කළුරිය කරන අතර ඒකාන්තයෙන්ම සුගතියක උපත ලබයි. තවද භාවනාව තුළින් සමාධිය ඇතිකර ගැනීමටත් ප්‍රඥාව පහළ කර ගැනීමටත් සීලය පදනම් වේ.

4.තපස – ආත්ම දමනය තපස් ගුණයයි. පරිත්‍යාගශීලි පුද්ගලයෝ, තණ්හාවට දාසකම් නොකරමින් මනා උත්සාහය තුළින් ලබාගත් දෙයින් පමණක් සතුටු වී සුවසේ කල් ගෙවති. චාම් සරල ජීවිතයක් ගත කරති. මෙසේ තුටු සිතින් ගත කරන දිවිය දිනෙන් දින වර්ධනය වීමෙන් අල්පේච්ඡතාව (අඩු ආශා ඇති බව – අපිස් බව) තුළින් තපස නැතහොත් ආත්ම දමනය ඇතිවේ. පාලකයෙකුට එය වටිනා බලයකි. එය අනුන්ට පරම ආදර්ශයක් වේ. අවවාදයට තරවටුවට වඩා ඒකාන්තයෙන්ම ආදර්ශය උතුම් වේ.
මෙලෙස බෞද්ධ දැහැමි බෝසත් පාලකයා තමා උදෙසා නොව අනුන් උදෙසා ජීවත්වන්නෙකි. නිසැකවම රට ජාතිය ගැන සිතන්නෙකි. තම දිවි පරදු කොට අනුන් හට අභය දෙන්නෙකි. එය ඔහුගේ ජීවිතයේ පරමාර්ථයයි. අරමුණයි.

5.අවිහිංසාව – හිංසාවෙන් වැළකීම අවිහිංසා ගුණයයි. මේ උදෙසා මෙත්තා, කරුණා ආදි ගුණ දම් වැඩිය යුතුය. මෛත්‍රීය වනාහි ලොකු කුඩා සියලු සත්ත්වයන් කෙරෙහි සමව පැතිර වූ මවක සිය එකම දරුවාට දක්වන ස්නේහයට සමාන වූ මිතුරු සිතයි.
කරුණාව වනාහි දුකට පත් වූ සත්ත්වයින් දුකින් මුදවා ගැනීමට සිතෙක ඇතිවන සැබෑ වුවමනාවයි. ළතෙත් භාවයයි. දානාදී පරිත්‍යාග ගුණ වලටත් මුල් වන්නේ මේ කරුණාවමයි. දැහැමි පාලකයෙකු ඒකාන්තයෙන් මෛත්‍රී භාවනාව වැඩීම වැදගත් ය. ඒ තුළින් සමාව දීමේ උතුම් ගුණයද වැඩේ.

6.අක්‍රෝධය – වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය, මදය මානයෙන් වැළකීම අක්‍රෝධ ගුණයයි. අනුන්ගේ සතුට දැක සතුටු වන මුදිතා ගුණය ඒකාන්තයෙන් පාලකයෙකු තුළ පිහිටිය යුතුය.

එමෙන්ම සතර අගතියෙන් වැලකී කටයුතු කල යුතුය. ඡන්දය, ද්වේශය, භය, මෝහය නිසා අගතියට නොයා යුතුය. එනම්, යමෙකු කෙරෙහි ඇති කැමැත්ත, භය, තරහ නිසා ඔහුට සුදුසු තැන නොදී නුසුදුස්සෙකුට තැන දීමයි. බොහෝ පාලකයෝ තම insecurity එනම් හිතේ ඇති අනාරක්ෂිත බව නිසා දක්ෂයන්ට තැන නොදී නුසුදුසු එහෙය්යන්ට තැන දෙති. එබඳු මෝඩ (මෝහ) තීරණ නිසා පක්ෂ,සංවිධාන, ආණ්ඩු පිරිහේ,

එසේ කටයුතු නොකිරීම සතර අගතියෙන් වැළකීමයි.

එමෙන්ම හේ දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව (අන්‍යයන්ට අන්‍යයන්ට ආර්ථිකව දියුණු වන්නට උදව් කිරීම) හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ලෝකයාට මනා සේ සංග්‍රහ කල යුතුය.

7.සෘජුභාවය – සත්‍යය රැක ගැනීම සෘජුභාවයයි. ලාභ, කීර්ති, ප්‍රශංසා, ඉදිරියේ තම අවංක ප්‍රතිපත්ති පාවා නොදී සෘජු, නිර්භයව, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම පාලකයාගේ කාර්යභාරයයි. මනා විනයකින් හා සැළසුමකින් යුතුව කටයුතු කරන හෙතෙම කලට වෙලාවට, අලස නොවී කඩිසරව සිය කාර්යභාරයෙහි යෙදේ. පොරොන්දු කඩ නොකරයි. විශ්වාසය රැකගනී. පැහැදුන අයගේ පැහැදීම වැඩිවන ලෙසත්, නොපැහැදුන අය පැහැදෙන ලෙසත් කටයුතු කරයි. හේ ඇත්ත හමුවෙහි මලක් මෙන් මෙලොක් වෙයි. අසත්‍යය, අධර්මය හමුවෙහි ගලක් මෙන් දැඩි වේ. කුසීතව බාධක හමුවේ පසුනොබා වජ්‍රමය අධිෂ්ඨානයෙන්, තිර අදිටනින්, සිහි කල්පනා ඇතිව පෙරටම ඇදෙයි. එබඳු පාලකයා මෙලොවත් පරලොවත් දිනයි. එබඳු පාලකයෙකු ඇති රට, සමාජය සුඛිත මුදිත වේ.

8.මෘදුභාවය – මෘදු භාවය වනාහි සිත මෘදු මෙලෙක්ව, අනුන්ගේ දුකෙහිදී උණුවන සුළුව තබා ගැනීමයි. මෙත්, කරුණා, මුදිතා වඩාගත් මෘදු සිත උපේක්ෂාවෙන් යුතුවේ. අටලෝ දහම ඉදිරියේ කම්පා නොවේ. සැපේදී ඉහළ නොනගී. දුකේදී පහළ නොබසී. සතර බ්‍රහ්ම විහරණය ඇති මෘදු සිත ගැඹුරු විලක නිසල ජල තලයක් මෙනි. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත. එහෙයින් සත්‍යය රකිමින් ජීවත්වීමට හැකිවේ.

9.ඉවසීම (ක්ෂාන්තිය) – ක්ෂාන්තිය අත්‍යවශ්‍ය ගුණාංගයකි. ‘ඛන්ති පරමං තපෝ තිතික්ඛා’ ‘ඉවසීම පරම තපසයි’ යනු බුදු වදනයි. බෝසත් ඉවසීම විර්යයෙන් දුක් පීඩා දරා සිටීමට වඩා බොහෝ ඉදිරියට ගිය එකකි. බෞද්ධ පාලකයාද බෝධිසත්වයෙකි. හේ යහපත් අරමුණ වෙත. ළඟාවෙන්නේ මනා ඉවසීමෙන් යුක්තවයි.

10. අවිරෝධතාව – ගැටුම් වලට නොවැටීම අවිරෝධතා ගුණයයි. පාලකයන් අතර සමඟිය රැක ගැනීමට මෙය ඉතා වැදගත් වේ. එමෙන්ම උම්මග්ග ජාතකයේ විවරණය කරන ලෙසම, දක්ෂ තානාපතීන් හරහා අසල්වැසි රාජ්‍ය පාලකයන් සමඟ මනා මිතුරු සම්බන්ධතාවයක් ඇතිව යහපත්, විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුත්තේමය. එය සතුරන් ජය ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයකි.

මේ ලෙස දැහැමින් සෙමින් රට කරවන පාලකයන්ට, සම්දිටු දෙවියන්ගේ ආශිර්වාදයද ලැබී බාධා ජය ගත හැකිවේ. දැහැමින් සෙමින් රාජ්‍ය පාලනයෙහි යෙදෙන මෙබඳු සක්විති රජෙකු, ‘කේතුමතී නගරය’ අගනුවර කොට රජකම් කරන කාලෙක අනාගතයේදී මෛත්‍රී සම්බුදුරජාණන්වහනසේ පහළ වන බැව් අනාගත වංස දේශනාවෙහිදී බුදුරජාණන් වහන්සේ අනාවැකියක් දේශනා කොට ඇත.

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.