ලංකාවට ඇත්තටම නිදහස ලැබුණේ කවදාද?

ලංකාවට ඇත්තටම නිදහස ලැබුණේ කවදාද?

1940 ගණන්වල මුල් කාලයේදී නව ව්‍යවස්ථාවක් සඳහා ලාංකිකයන් බ්‍රිතාන්‍යයෙන් කළ ඉල්ලීම් වල ප්‍රතිපලයක් විදිහට සොල්බරි කොමිසම පිහිටුවනු ලැබුවා.

ඩී.එස්.සේනානායක මහතාගේ මඟපෙන්වීම මත සොල්බරි ව්‍යවස්ථාව සම්පාදනය කළේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රවීණයෙකු වූ ශ්‍රීමත් අයිවර් ජෙනින්ස් මහතා විසින්.

සොල්බරි ව්‍යවස්ථාව සහ “ලංකා නිදහස් පනත” බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හා 6 වන ජෝර්ජ් රජු විසින් අනුමත කිරීමෙන් පසු 1948 පෙබරවාරි 4 වන දින ලංකාවට නිදහස ලබා දුන්නා.

ඉන් අනතුරුව ලංකාව බ්‍රිතාන්‍යයේ ඩොමීනියනයක් බවට පත් වුණා.

ස්වයං පාලන අයිතියක් ලැබුණත් ලංකාවේ රාජ්‍ය නායකයා වුණේ 6 වන ජෝර්ජ් රජතුමා.

ඔහු මිය යෑමෙන් පසුව 2 වන එලිසබත් රැජින ලංකාවේ රාජ්‍ය නායිකාව බටව පත් වුණා.

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව බ්‍රිතාන්‍යයේ ප්‍රිවිකවුන්සිලයට අභියාචනා කරන්න පුලුවන් වුණු තත්වය නොවෙනස්ව පැවතියා.

හමුදාව ලංකා රාජකීය හමුදාව ලෙස දිගටම හැඳින්වුණා වගේම හමුදාවේ බොහෝ ඉහළ තනතුරු දැරුවේ බ්‍රිතාන්‍ය නිළධාරීන්.

ලංකාවේ විදේශ සබඳතා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවලට පමණක් සීමා වුණා.

මෙසේ ලංකා ඩොමීනියන් රාජ්‍යයේ විවිධ දේශපාලන බල පෙරලි හා හැලහැප්පීම් මැද දින, සති, මාස, අවුරුදු ගණන් ගෙවී ගියා.

සැබෑ නිදහස ලබා ගැනීමේ බලාපොරොත්තු යලිත් අලුත් වුණේ 1970 මහමැතිවරණයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමත් සමඟයි.

එයට මුල් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂය වන අතර නව ආණ්ඩුව බලයට පත්වුණේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න ජනමතයක් ඇතිවයි.

1972 මැයි 22 වන දා සම්මත වූ නව ව්‍යවස්ථාව මඟින් “ලංකා ඩොමිනියනය”, “ශ්‍රී ලංකා ජනරජය” බවට පත්වුණා.

ඉතිහාසයේ ප්‍රථම වරට පරමාධිපත්‍යය ජනතාවට ලබා දුන්නා.

එතෙක් පැවති බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව ඉවත් කෙරුණු අතර නාමික විධායකය ලෙස ජනාධිපතිවරයෙක් පත් කෙරුණා.

ලංකාවේ නඩු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ප්‍රිවිකවුන්සිලයට තිබූ බලය ඉවත් කෙරුණා.

ලංකාව සියලු බ්‍රිතාන්‍ය බැඳිම් වලින් නිදහස් වී පූර්ණ නිදහස් රටක් බවට පත්වුණා.

ජනරජයේ බුදු දහමට ප්‍රමුඛස්ථානය හිමිවන බවත්, බුදු දහම සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම බවත් ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණා.

ව්‍යවස්ථාව සම්පාදනය කළ කොල්වින්.ආර්.ද සිල්වා මහතා ව්‍යවස්ථාව “මේ රටේ ජනතාවට වාසය කළ හැකි ගොඩනැගිල්ලකට අත්තිවාරමක් දැමීම” ලෙස හැඳින්වුවා.

1972 ව්‍යවස්ථාවේ එක් විශේෂත්වයක් වුණේ එය ලංකාවේ පළමු දේශජ ව්‍යවස්ථාව (යම් කිසි රටක මිනිසුන් විසින්ම තම රට සඳහා සාදන ලද ව්‍යවස්ථාව) වීමයි.

අනෙක් විශේෂත්වය වුණේ එමගින් ව්‍යවස්ථාදායක ස්වාධිපත්‍යය පිහිටුවීමයි.

සියවස් ගණනාවක් මෙරට පොදු ජනතාව විසින් සැබෑ නිදහස උදෙසා කළ සටන්වල අග්‍රපලයක් ලැබූ දිනයක් ලෙස 1972 මැයි 22 වන දා ඉතිහාසයේ සටහන් වී තිබෙනවා.


සැ.යු – මෙම ලිපියේ ඇති ඡායාරූප කිසිවක් eLearning.lk අප සතු නොවන අතර එම ඡායාරූපයන්හී නිසි ගෞරවය, ඒවායේ මුල් හිමිකරුවන් සතුය.