සෝවාන් වෙන එක අමාරු වැඩක්ද?

සෝතාපන්න මට්ටම වනාහි බුද්ධ අවවාදය අනුව හිත දියුණු කිරීමෙන් යමෙකු ලඟාවන චිත්ත දියුණුවේ පළමු මට්ටමයි. මෙම මට්ටමට හිත දියුණු කල කෙනෙකුගේ සිතේ ඇති මම, මගේ යයි දැඩි අල්ලාගැනීම්( උපාදාන ) යම් මට්ටමකට තුනී වේ.

සිත තවත් උපතක් උදෙසා කර්ම රැස් වන වේගය( භවය ) උපාදානයේ ස්වභාවයට සාපේක්ෂ වේ.(තන්හා පච්චයා උපාදානං – උපාදාන පච්චයා භවො )

සෝවාන් වූ කෙනෙකුගේ දැඩි ආත්මාර්ථකාමී හැඟීම (සක්කාය දිට්ඨිය ) නැතිව යන අතර අනෙකුත් උපාදානද තුනී වී යයි. එනිසා සෝවාන් වූ කෙනාගේ සිත, තිරිසන් ලෝකය වැනි දුක් වැඩි ලෝකයක උපදින ආකාරයට සකස් වන්නේ නැත.

සෝවාන් වූ කෙනා දිව්‍ය – මිනිස් වැනි සැප සහිත ආත්මභව හතක් තුල රහත්ව පිරිනිවන් පායි. එනිසා සෝවාන් වීම අති සුවිශේෂී ජයග්‍රහණයකි. බුද්ධ කාලයේදී අවුරුදු හතේ පුංචි දරුවන් පවා සෝවාන් මට්ටමට ලඟා වූහ. බඩගින්නට කෑම සොයා ආ හිඟන කුෂ්ට රෝගියෙක් පවා සෝවාන් විය. උපතිස්ස-කෝලිත(පසුව සැරියුත්-මුගල රහතන්වහන්සේලා) දෙදෙනා එම මට්ටමට ලඟා වූයේ, “යේ ධම්මා හෙතුප්පබවා” නම් එක ගාථාවක් ශ්‍රවණය කිරීමෙනි.

පසු කලෙක අන් සියල්ලට සිදු වූවාක් මෙන්ම සෝවාන් වීමද අතිශෝක්තියට ලක් වූ අතර එය ලඟා වීමට අතිශයින් අපහසු , කල්ප ගණන් පාරමිතා පුරා අවබෝධ කල යුතු මාර්ගඵලයක් ලෙස විග්‍රහ වීය.

සෝවාන් වෙන්නේ කොහොමද?
සෝවාන් වීමේදී මූලික ඇති වන්නේ “උදය-ව්‍යය ඥානයයි”. එනම් “ඇති වන සියල්ල නැතිව යන සුළු වේ” යන්න අවබෝධ වේ.(යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත∘ නිරොධ ධම්මං )

උපතිස්ස හා කෝලිත කොණ්ඩඤ්ඤ මහරහතන්වහන්සේගෙන් ශ්‍රවණය කල ගාථාව හා එහි තේරුම පහත පරිදීය.

“යෙ ධම්මා හෙතුප්පබවා
තෙසං හෙතුන් තථාගතෝ ආහ
තෙසංච යෝ නිරොධො
ඒවං වාදී මහා සමනො”

ලොව හේතූන් නිසා ඇති වන මේ සියලු දේවල් වල හේතූන් බුදුරදුන් විග්‍රහ කරන සේක. එසේ ඇති වූ සියලු දේ විනාශ වී යන බවද බුදුරදුන් දේශනා කරන සේක. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ එබඳු දර්ශනයක් දේශනා කරන සේක.

මෙය කියවන කෙනෙකුට, “අයියෝ ඕක මේ අමුතුවෙන් අවබෝධ කරන්න දෙයක්යැ. ඕක කවුරුත් දන්නා සාමාන්‍ය කාරණයක්‌නෙ” යයි සිතෙනු ඇත. සහතික ඇත්තය. එනමුත් දැනුමේ හා අවබෝධයේ වෙනසක් ඇත.

ඒ වෙනස කුමක්ද?
වරක් බුදුරදුන් මුණ ගැසීමට ආ මැදි වියෙහි මිනිසෙක් මෙසේ පවසා සිටියේය.

මිනිසා: බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද?”

බුදුහිමි: හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?

මිනිසා: ඔව්, ඉන්නවා.

බුදුහිමි: ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද?

මිනිසා: ඔව්. ඉන්නවා.

බුදුහිමි: ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද?

මිනිසා:ඉන්නවනේ හිමියනි.

බුදුහිමි: ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද?

මිනිසා: එසේය හිමියනි.

බුදුහිමි: ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මිනිසා: ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.

බුදුහිමි: ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මිනිසා: ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුහිමි: ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මිනිසා: ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුහිමි: ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මිනිසා: ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ

බුදුහිමි: එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි.

මිනිසා: ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.

බුදුහිමි: බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද?

මිනිසා: ඔව් ස්වාමීනි. එහෙම කළා.

බුදුහිමි: මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද?

මිනිසා: ඔවුනේ ස්වාමීනි.

බුදුහිමි: ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද?

මිනිසා: නෑ ස්වාමීනි.

බුදුහිමි: ඇයි ඔබ ඇඩුවේ නැත්තේ?”

මිනිසා: ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

බුදුහිමි: බොහොම හොඳයි. ඔබ මොහොතකට පෙර පැවසුවා ඔබේ දරුවා මිය ගියොත් ඔබට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. ඔබේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. ඔබට මොනවා වේවිද දන්නේ නෑ, කියා. ඉතින් මේ දරුවා උපත ලබද්දීම ඔබ දන්නේ නැද්ද මේ දරුවාත් වැලි මාලිගාව මෙන්ම නිත්‍ය නොවන, හේතූන් නිසා හට ගත් සංස්කාරයක් බව?. හේතූන් නැතිව යාමෙන් විනාශ වෙලා යන ස්වභාවයට අයත් කෙනෙක් බව. එනිසා මේ දරුවා මම, මගේ කියා සිතින් දැඩිව අල්ලා ගැනීම තේරුමක් නැති දෙයක් බව ? ඔබට තේරෙන්නේ නැද්ද ඔබ දරුවා කෙරෙහි සිදු කල යුත්තේ මෛත්‍රී කරුණාව දැක්වීම මිස උපාදානය කිරීම( මම, මගේ කියා සිතින් දැඩිව අල්ලා ගැනීම ) නොවන බව?

මිනිසා: ස්වාමිනි, දරුවාත් මිය යන ස්වභාවයට අයිතියි කියලා මම දන්නවා. එත් ඒ දැනුම අවබෝධයේ මට්ටමට මම ගෙනිහින් නෑ. දරුවා මිය ගියාම මම හඬා වැටෙන්නේ එකයි.

බුදුහිමි: අන්න හරි. ඕක අවබෝද කරන්න කියන එක තමයි මම මේ උගන්වන්නේ. ලෝකයේ අනිත්‍ය,දුක්ඛ,අනත්ත යථාර්ථය අවබෝධ කිරීමෙන්, සිත උපාදාන වලින් නිදහස් කර ගන්න කියල තමයි මම උගන්වන්නේ. එහෙම කරලා දුකින් එතෙර වෙන හැටි තමයි මම උගන්වන්නේ. අත හැරීමම නිවන වේ. සිත දැඩි අල්ලාගැනීම් වලින් නිදහස් වුනාම සැනසිල්ල උදා වෙනවා.

බුද්ධ දේශනාව ඇසූ ඒ මිනිසාද සත්‍යාවබෝධ කළේය.

දැන් මේ ආකාරයේ සත්‍යාවබෝධ කළ පුද්ගලයා හා නොකළ පුද්ගලයා අතර වෙනස කුමක්ද?
බුද්ධ කාලයේදී කුඩා වියේදීම සෝවාන් වූ මල්ලිකා නම් රූමත් තරුණියක් සිටියාය. ඇය විවාහ වූයේ කොසොල් රජුට සේවය කළ බන්ධුල නම් යුද සෙනෙවියා සමගය. ඉන් පසු ඇය බන්දුල මල්ලිකාව නමින් ප්‍රසිද්ධ විය. ඔවුන් දෙදෙනාට දාව පුතුන් දස දෙනෙකු උපන් අතර පුත්තු සියලු දෙනාද පියා ගිය මග යමින් යුද හමුදාවට බැදී සෙනෙවිවරුන් බවට පත් වූහ.

බන්ධුල මල්ලිකාව තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් පින් දහම් වල නිරත වූවද, ඇයගේ සැමියාට හෝ පුතුන්ට එබඳු ශ්‍රද්ධාවක් නොතිබුණි.
මේ කාලය වන විට වටේ සිටි ඇමතිවරු “බන්ධුල සෙන්පති හමුදා කුමන්ත්‍රණයකට සැරසෙන්නේ ” යැයි කොසොල් රජුට කේලාම් කියා තිබුණි. මේ සැකය හේතුවෙන් රජු “බන්ධුල හා ඔහුගේ පුත්‍රයන් මරා දමන්න” යැයි කොසොල් රජු සිය රහස් සේනාංකයකට අණ දුන්නේය.

දිනක් මල්ලිකාව භික්ෂූන් වහන්සේලා උදෙසා මහා දානයක් සංවිධානය කළාය. දානය දින බන්ධුල හා පුත්‍රයන්, රජ අණින් ලද හදිසි කැඳවීමක් නිසා නිවසින් පිටව ගොස් තිබුණි.

මල්ලිකාව දන් බෙදමින් සීටියදී තල පතක ලියූ හදිසි පණිවිඩයක් ඇයට ලැබුණි. තල පතේ සඳහන්ව තිබුණේ ඇයගේ සැමියා හා පුත්‍රයන් සියලු දෙනා එක තැන සතුරන් විසින් ඝාතනය කෙරී ඇති බවයි.

ඇති වූ සියල්ල නැතිව යන ස්වභාවයට අයත් බව අවබෝධ කර සෝවාන් ව සිටි මල්ලිකාව කම්පනයට පත් නොවූවාය. ඇති වූ දුක උපේක්ෂාවෙන් දරා ගත් ඇය දිගටම දානය බෙදීමේ කටයුත්තේ නිරත වූවාය.

හදිස්සියේ සේවිකාවක් අතින් දාන භාජනයක් බිම වැටී එය බීදී ගියේය. මල්ලිකාවට එදෙස බැලුණි. එවිට සැරියුත් හිමියන්, “පින්වත් මල්ලිකාවෙනි ඔය බිඳිලා යන ස්වභාවය ට අයිති දේවල් බිදිලා ගියාවේ!” යැයි වදාළ සේක. එවිට සැරියුත් හිමියන්ට කිට්ටු වූ මල්ලිකාව අන්‍යයන්ට නෑසෙන ලෙස හෙමින් “ඔබ වහන්සේ පොඩ්ඩක් මේ තල පත කියවලා බලන්න. මේක දැන් ලැබුණේ.” යැයි පවසා තමන් ලද තල පත උන්වහන්සේට දුන්නාය. තල් පත කියවා සැරියුත් හිමි මල්ලිකාව දෙස බැලුවාය.

ස්වාමීනි, ඔය ආරංචියටත් කම්පා නොවෙච්ච මම, මේ දාන භාජනයක් බිදුනාට කම්පා වෙනවද? යි ඕ ඇසුවාය. සැරියුත් හිමියන් ඇය කෙබඳු කෙනෙක් දැයි තේරුම් ගත්තේය.

අනිත්‍ය දේ නිත්‍ය ලෙස ගන්නා මානසික ස්වභාවය කෙනෙකු සෝවාන් වීමෙන් වලකන මූලිකම සාධකය වේ. සසර පුරා පෝෂණය කරමින් පැමිණි මෙම මානසිකත්වයෙන් නිදහස් වීම කුසල් බලය වැඩි උපතිස්ස පිරිවැජියා වන්නෙකුට පහසු වුවද කුසල් බලය අඩු අයෙකුට එය අපහසු විය හැක. මෙය උපමාවකින් පැහැදිලි කරන බුදුරදුන් පෙන්වා දෙන්නේ ලොකු සතෙකුට මකුළු දැලක් කඩා ගෙන යාම ලෙහෙසි උවද කුඩා සතෙකුට එය අයෝමය බන්ධනයක් වන බවය. මෙනිසා සසර නම් දැල කඩා දමා සෝවාන් වීම අපහසු බව යමෙකුට දැනේ නම් ඔහු සිදු කල යුත්තේ සෝවාන් වීමට සමථ – විපස්සනා භාවනා වල නිරත වන අතර තව තවත් පින් දහම් කිරීමය.භාවනාව පමණක් උවද ඉතා ප්‍රබල කුසලයකි.

ඉහත පළමු කතාවේ බුදුරදුන් ඉදිරිපත් කරන වැලි මාලිගාවේ උපමාව ඉතා ප්‍රබල වූවකි. විද්‍යාත්මක ඇසින් බලනා කල ලොව භෞතික වූ සියල්ල cosmic dust නම් ඉතා සියුම් අංශූන්ගෙන් සකස් වී තිබේ.වැල්ලේ ගොඩ නැගු වැලි මාළිගය පමණක් නොව ඔබේ සිරුරද වැලි මාලිගයකි. “දුහුවිල්ලෙන් සැදුනු මිනිසා නැවත දුහුවිල්ලටම හැරී යන බව” බයිබලයේ කියවේ.

එපමණක් නොව ලොව අප අපට අයත් යයි සිතා සිටිනා භෞතික දේපලද වැලි මාලිගා වේ. සුනාමියෙන් තම නිවස සුනු විසුණු වූ විට යමෙකු හඬා වැටෙන්නේ එහි අනිත්‍ය යථාර්ථය අවබෝධ නොකළ හෙයිනි.

එක් බුද්ධ දේශනාවක ගොම ගුලි දෙකක රෝල් කරගෙන යන ගොම කුරුමිණියන් දෙදෙනෙකු ගැන කියවේ. ඉන් එක ගොම කුරුමිනියෙකු අනිත් ගොම කුරුමිණියා දෙස “උඹේ ගොම ගුලිය මගේ එකට වඩා කොච්චර පුංචිද?” කියා අවඥාවෙන් බලයි. බුදු හිමි දේශනා කරන්නේ මිනිස් ලොව දේපල ඇති ධනවතා දේපල අඩුවෙන් ඇති දුප්පතා දෙස අවඥාවෙන් බලන බැල්මත්, උක්ත බැල්මත් අතර වෙනසක් නැති බවයි. මන්ද යත් මිනිස් ලෝකයේ දේපල වලටද ඇත්තේ සිතින් දුන් වටිනාකම් මිස සැබෑ වටිනාකම් නොවේ. එම වටිනාකම ගොම කුරුමිණියාගේ සංකල්පීමය ලෝකයේදී හිමි වන්නේ ගොම ගුලියටය.

තවත් ගොම කුරුමිණි කතාවකටම යොමු වුවහොත් අස්සක රජුගේ බිසව මිය ගොස් ගොම කුරුමිණියක්ව උපදී. ඇය තවත් ගොම කුරුමිණියෙක් හා සංවාසයේ යෙදෙද්දී ඇය හා දිවැසින් සංවාදයේ යෙදෙන රහතන්වහන්සේ නමක් ඇයගෙන් විමසන්නේ “අස්සක රජු හා විඳි කම්සැප දැන් මතක නැද්ද?” කියාය.

ගොම කුරුමිණිය පිළිතුරු දෙන්නේ “පරණ සැප අලුත් සැප වලින් වැසෙන බවත්, අස්සක රජුට වඩා ගොම කුරුමිණි සැමියා මට දැන් ප්‍රිය බවත්ය.”
සත්වයන් සසරින් නිදහස් නොවන්නේ මෙම උපන් උපන් අත්භවය සතුටින් පිළිගන්නා(තත්‍ර තත්‍රාභිනන්දනී) සිතේ ස්වභාවය නිසා බැව් බුදු හිමි පෙන්වා දෙයි.

බුදුරදුන් දෙසූ මෙම ගාථාවෙන් ලිපිය අවසන් කරමි.
“අසාතං සාත රූපේන
පිය රූපෙන අප්පියං
දුක්ඛං සුඛස්ස රූපෙන
පමත්ත මති වත්තති.”
“නිස්සාර දේවල් එනවා සාරවත් වේශය අරගෙන. අප්‍රිය දේවල් එනවා ප්‍රිය දේවල් වල වේශය අරගෙන. දුක එනවා සැපේ වේශය අරගෙන. එහෙම ඇවිත් සසරින් මිදෙන්නට ප්‍රමාද වන අඥාන පුද්ගලයාව යට කරගෙන යනවා. ”

සෝතාපන්න ඵලයේ ස්වභාවය
දීඝ නිකාය 1, අම්බට්ඨ සූත්‍රයේ අවසාන කොටසින් උපුටනයකි.

“එකත්පස්ව වාඩිවුණ පොක්ඛරසාති බ්‍රාහ්මණයා හට භාග්‍යවතුන්වහන්සේ අනුපිළිවෙල කතාව වදාළා. ඒ කියන්නේ දන්දීමේ අනුසස් ගැන කතාව, කාමයන්හි ඇති පීඩාකාරීබව ගැන කතාව, කෙළෙස් නිසා ඇතිවන කිලුට ගැන කතාව, එයින් නික්මීමෙන් ලැබෙන ආනිසංස ගැන කතාව වදාළා. එතකොට යම් වෙලාවක පොක්ඛරසාති බ්‍රාහ්මණයා එයට සවන් දීම නිසා යහපත් සිතක් ඇති වුණාද, නීවරණ බැහැර වුණ සිතක් ඇති වුණාද, සතුටින් ඔද වැඩුණු සිතක් ඇතිවුණාද, පහන් වූ සිතක් ඇති වුණාද, එය දැන වදාළ භාග්‍යවතුන්වහන්සේ, බුදුවරයන්වහන්සේලාගේ යම් සුවිශේෂී සමුක්කංසික දේශනාවක් ඇද්ද, ඒ ආකාරයෙන් දුක්ඛ ආර්ය සත්‍යය, සමුදය ආර්ය සත්‍යය, නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය යන චතුරාර්ය සත්‍යය වදාළා.

කළු පැල්ලම් නැති පිරිසිදු වස්ත්‍රයකට සායම් පොවද්දී ඉතා හොඳින් ඒ සායම් උරාගන්නේ යම්සේද, ඒ අයුරින්ම පොක්ඛරසාති බ්‍රාහ්මණයා හටත් ඒ ආසන්නයේදීම “හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද ඒ හේතු ප්‍රත්‍යයන්ගේ නැති වීමෙන්,ඒවා නිරුද්ධ වී යන ස්වභාවයට අයත් වන්නේය” යන කෙළෙස් රහිත වූ, අවිද්‍යා මල රහිත වූ සදහම් ඇස(උදය-ව්‍යය ඥානය) පහළ වුණා.

එතකොට ධර්මය දැකපු, ධර්මයට පැමිණි, ධර්මය අවබෝධ කළ, ධර්මයෙහි බැසගත්, සැකයෙන් එතෙර වුණ, “කෙසේද ? කෙසේද ?” යන අවිශ්වාසයෙන් බැහැර වුණ, ආර්ය සත්‍ය ධර්මය තුළ විශාරදභාවයට පත්වුණ, ශාස්තෘ සාසනය තුළ බාහිර උපකාර නොසොයන බවට පත්වුණ, පොක්ඛරසාති බ්‍රාහ්මණයා භාග්‍යවතුන්වහන්සේට මෙසේ පවසා සිටියා.

“ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස, ඉතා සුන්දරයි. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වාගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වාගෙයි. මංමුලා වූවන්ට නිසිමග පෙන්වා දෙනවා වාගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්නට අඳුරෙහි තෙල් පහනක් දල්වා ගෙන දරා ගෙන ඉන්නවා වාගෙයි…”

පරිවර්තනය: පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ (මහමෙව්නා ප්‍රකාශන)

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.