හඳට තවත් යාලුවෙක්?

February 25, 2020

චීනයේ නිරිතදිග නගරයක් වන චෙංඩු නගරයේ සියලුම වීදි ලාම්පු වලට ආදේශනයක් නිර්මාණය කරන්න, අවුරුදු කිහිපයක ඉදන් චීනය කටයුතු කරගෙන යනවා. ඒ ආදේශනය, “කෘතිම සඳක්”.

චීනය, මේ කෘතිම සඳ අභ්‍යාවකාශගත කරන්න බලාපොරොත්තු වෙන්නෙ 2020 වර්ෂය ඇතුළතයි. මේ සඳ ස්වභාවික සඳට වඩා අට ගුණයකින් දීප්තිමත් වෙනවා කියලා තමයි ආරංචිය. මේ කෘතිම සඳ පෘථිවියට කිලෝමීටර් 500ක දුරින් කක්ෂගත කරන්න චීනය බලාපොරොත්තු වෙනවා.

මේ කෘතිම සඳේ ආලෝකය මීටර දස දහස් ගණනක ඉදගෙන පාලනය හෝ වෙනස් කරන්න පුලුවන්. මේ ව්‍යාපෘතිය සාර්ථක වුණොත්, මේ වගේම කෘතිම චන්ද්‍රයන් තවත් තුන් දෙනෙක්, 2022 අවුරුද්ද වෙනකොට කක්ෂගත කරන්න චීනය බලාපොරොත්තු වෙනවා.

මේ විදිහට කෘතිමව සඳ වල් නිර්මාණය කරලා කක්ෂගත කිරීමේ අරමුණ විදිහට චීනය ප්‍රකාශ කරන්නෙ, රාත්‍රී කාලයේ චීන නගර වල විදුලි බල වියදම අඩු කරගන්න පුලුවන් කියලයි. විශේෂයෙන්ම වීදි ලාම්පු නිසා දරන්න වෙන වියදම.

දැනට ගණනය කරලා තියෙන විදිහට පළවෙනි කෘතිම සඳේ එළියෙන් චීනයේ චෙංඩු නගරයේ වර්ග කිලෝමීටර 50ක් ආවරණය කර ගන්න පුලුවන්. ඒකෙන් ඩොලර් මිලියන 240 ක විදුලි පිරිවැයක් මාසිකව ඉතිරි කර ගන්න පුලුවන්.

ඊට අමතරව භූමිකම්පා වගේ ස්වාභාවික විපත් නිසා විදුලිය ඇනහිටීම් සිදුවන ප්‍රදේශ ආලෝකමත් කරන්නත් මේ කෘතිම සඳ වල් උපකාර කරගන්න විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

කෘතිම සඳ ව්‍යාපෘතිය එහෙම වෙන කොට, අනිත් පැත්තෙන් චීනයෙන් කෘතිම ඉරක් (සූර්යයා) නිර්මාණය කරන්න සැලසුම් කරමින් යනවා. ඒ ව්‍යාපෘතිය ගැනත් මේ වගේම කෙටි සටහනක් eLearning.lk හරහා ළගදීම බලාපොරොත්තු වන්න.

* වැඩි විස්තර සඳහා : https://www.abc.net.au/news/2018-10-18/chinese-city-plans-to-launch-artificial-moon-by-2020/10392862


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.abc.net.au
* වීඩියෝව : Inhabitat | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.