විශිෂ්ඨතම සිංහල කවිය…?????
අපේ රටේ බුද්ධ ශාසනයට දැනෙන්න වැඩ කරපු රාජ්‍ය පාලකයන් අතරේ 1747 අවුරුද්දෙ රාජ්‍යත්වයට පත් වුණු මහ නුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නමත් ඉහළින්ම තියෙනවා. උපතින් හින්දු භක්තිකයෙක් වුණු නායක්කාර වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අපේ රටේ ඉපැරණි සම්ප්‍රදායට සහ නීති පද්ධතියට අවනත වෙමින් බුදු දහම වැළද ගත්තා. භික්ෂූන් වහන්සේලාට ගොඩක් අනුග්‍රහය දක්වලා සිව්පසයෙන් උපස්ථාන කළා.
රජතුමා එක්ක ගණුදෙනු කරපු භික්ෂූන් වහන්සේලා අතරින් ප්‍රධානතම හිමි නම විදිහට පිළිගැනෙන්නේ වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර පින්ඩපාතික සංඝරාජ මහා නායක හාමුදුරුවන්වයි. දෙවනුවට රජතුමා ළගින්ම ආශ්‍රය කරලා තියෙන්නෙ කරතොට ශ්‍රී ධර්මාරාම කියලා බහුශ්‍රැත හාමුදුරු නමක්. ඒ කාලයේ කරතොට ශ්‍රී ධර්මාරාම හාමුදුරුවන්, සංඝරාජ හාමුදුරුවන් තරමටම චිරප්රසිද්ධ හිමි නමක්. ඒ, රජතුමාගේ සමීපතමයෙක් වුණ නිසා නෙවේ. උගත්කමින් සහ දැනුමෙන් පරතරයටම ගිය කෙනෙක් හැටියට.
ධර්මාරාම හාමුදුරවන් උපත ලබන්නෙ 1734 අවුරුද්දෙ මාතර කන්දේබොඩ පත්තුවේ හක්මන ළග තියෙන කරතොට කියන ගමේ, ප්‍රභූ පවුලක් වුණු දොන් දාවිත් විජේසිංහ අප්පුහාමි සහ සමරකෝන්ගේ ලොකුහාමිනේ (අබේසුන්දර සමරකෝන්) කියන දෙපළට දාව. ගමේ පන්සලේ වේරගම්පිට විහාරාධිපති කදුරුපොකුණේ ස්වර්ණජෝති හාමුදුරුවන්ගෙන් (වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හිමියන්ගේ ප්‍රධාන ගෝල හිමි නම) අතපොත තබලා මහ නුවර මල්වතු විහාරයට වැඩම කරලා අන්තරගම රාජගුරු බණ්ඩාර කියන මහා පඩිවරයගෙන්, වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගෙන් විශාල දැනුම් සම්භාරයක් ලබන්න හාමුදුරුවන්ට අවස්ථාව ලැබෙනවා. ධර්මාරාම හාමුදුරුවන් සාහිත්යකරණයෙනුත් දක්ෂතා පෙන්නපු හිමි නමක්. ධර්මරාජ අෂ්ඨකය, සපුඅෂ්ඨකය, කීර්ති ශ්‍රී රාජසිංහ පාලි අෂ්ටකය වගේ ග්රන්ථ රචනා කරන අතරතුර පිරුවානා පොත් වහන්සේ පිටපත් කිරීමේ කටයුතුවලත් නිරත වෙලා තියෙනවා.
වැලිවිට සරණංකර සංඝරාජ නා හිමියන්ගේ අධීක්ෂණය යටතේ අපේ රටට සියම් නිකාය ගෙනාවට පස්සෙ, සියම් නිකාය යටතේ අපේ රටේ පළමුවෙන්ම උපසම්පදා වුණේ කරතොට ධර්මාරාම හාමුදුරුවන් කියලත් මතයක් තියෙනවා. සංඝරාජ සාධු චරියාවෙත්, කරතොට හාමුදුරුවන් ගැන කෙටි වර්ණනාවක් තියෙනවා. උන්වහන්සේ පුස්කොළ පොත් ලිවීමේ දක්ෂයෙක් වුණා කියලත්, මුතු ඇට වගේ ලස්සන අකුරු තිබුණාය කියලත් සඳහන් වෙනවා.
කරතොට ශ්‍රී ධර්මාරාම හාමුදුරුවන්ගේ උගත්කමට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගොඩක් ගරු කරනවා. රජතුමා කරතොට හාමුදුරුවන්ගෙන් නිතරම අවවාද අනුශාසනා එහෙමත් ලබා ගන්නවා. කරතොට හාමුදුරුවො මල්වතු විහාරයේ වැඩ වාසය කරන කාල වකවානුවේම තමයි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අභාවය සිද්ධ වෙන්නෙත්. ඒ 1782 අවුරුද්දෙදි. රජතුමාගෙන් පස්සෙ හිස් වුණු සිංහාසනයට රජතුමාගේ සහෝදරයා වුණු රාජාධි රාජසිංහ රජතුමා පත් වෙනවා. රාජාධි රාජසිංහ රජතුමත් තමන්ගේ සහෝදරයාගේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් කරතොට හාමුදුරුවන්ව ළගින්ම ආශ්‍රය කරනවා. අවවාද අනුශාසනා ලබා ගන්නවා. මේ කාලයේම රාජාධි රාජසිංහ රජතුමා සබරගමු දිසාව ඇතුලු ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය කරතොට හාමුදුරුවන්ට පවරනවා. ඒත් එක්කම පොත්ගුල් රජමහා විහාරයේ විහාරාධිපති පදවියත් උන්වහන්සේට හිමිවෙනවා.
මෙහෙම ඉන්නකොට 1786දී කරතොට ධර්මාරාම හාමුදුරුවන්ව අත්අඩංගුවට අරගන්නවා. ඒ, උන්වහන්සේ තමන්ගේ ගම වුණු මාතර ප්‍රදේශයට වැඩම කරපු අවස්ථාවකදි, උන්වහන්සේට විරුද්ධව සහ ඊර්ෂ්‍යා කරමින් හිටපු මහනුවර මල්වතු මහා විහාරයේ විහාරාධිපති මොරතොට ධම්මක්ඛන්ද හිමියන් ඇතුළු මල්වතු මහා විහාරයේ අනිත් විහාරවාසී හිමිවරුන්, කරතොට හාමුදුරුවන්ට විරුද්ධව බොරු චෝදනා ගණනාවක් රජතුමාට ඉදිරිපත් කරපු නිසයි. කරතොට ධර්මාරාම හාමුදුරුවන් මාතර කරතොට ගමට වැඩම කළත්, මල්වතු නා හිමියන් ඇතුළු මල්වතු විහාරවාසී හිමිවරු රජතුමාට කිව්වෙ “කරතොට හාමුදුරුවො මාතර යනවා කියලා ගියේ මාතර ලන්දේසි බලකොටුවටයි. ඒ, රජතුමාට විරුද්ධව ලන්දේසීන්ට ඔත්තු සපයලා, ලන්දේසීන් එක්ක සම්බන්ධතා ඇති කරගෙන, ලන්දේසීන්ට එකතුවෙන්න” කියලයි.
ඒ විතරක් නෙවේ, “කරතොට හාමුදුරුවන් බොහොම දුසිල්වත් හාමුදුරු නමක්” කියලත්, මල්වතු මහා නා හිමි ප්රමුඛ මල්වතු විහාරවාසී හිමිවරු රජතුමාට බොරුවක් කියලා තියෙනවා. මේ බොරුවට ඈදා ගන්නෙ දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල් නොහොත් ගජමන් නෝනාවයි. කරතොට හාමුදුරුවන් සහ ගජමන් නෝනාගේ ඇසුර, ඒ අයගේ යෞවන කාලයේ ඉදන්ම පවතින සම්බන්ධයක්. තරුණ ගජමන් නෝනා නිතරම කරතොට හාමුදුරුවන්ව මුණ ගැහෙන්න වේරගම්පිට විහාරයට ආවා ගියාලු. කරතොට හාමුදුරුවන් සහ ගජමන් නෝනා අතරේ තිබුණේ ගුරු ගෝල සම්බන්ධතාවයක් වුණත්, මල්වතු විහාරයේ හිමිවරු මේක රජතුමාට කිව්වෙ ආදර සම්බන්ධයක් විදිහටයි.
ඒ වෙලාවෙම වගේ රජතුමාට හාමුදුරුවන්ගෙන් හසුනක් එනවා. හසුනෙ තිබ්බෙ ‘උඩරට සහ පහතරට ප්‍රදේශයේ නායක පදවිය හාමුදුරුවන්ට දෙන්න’ කියලා. මේක දැකපු රජතුමාට ගොඩක් තරහා ගියාලු. “මේ වගේ කුමන්ත්‍රණයක් කරන ගමන්ම, විනය විරෝධීව හැසිරෙන ගමන්ම තව තනතුරුත් ඉල්ලනවද?” කියලා රජතුමාට හිතෙන්න ඇති. කොච්චර තරහා ගියාද කිව්වොත් රාජ නියෝගයක් නිකුත් කළාලු හාමුදුරුවන්ව මහවැලි ගගේ කටුගස් තොටෙන් එතෙර කරවලා සිරගත කරන්න කියලා. නියෝගයත් ඒ විදිහටම ක්‍රියාත්මක වුණාලු. හාමුදුරුවන්ට කොණ්ඩෙ රැවුල කැපීම එහෙමත් තහනම් කරලා තියෙනවා.
පරණ වාර්තාවල (ජෝර්ජ් ටර්නර්ගේ වාර්තා – ලංකාවේ යටත්විජිත මහා ලේකම්) සඳහන් වෙන විදිහට භික්ෂූන් වහන්සේලා අතරෙත් ඒ කාලයේ උඩ පාත භේදය තිබිලා තියෙනවා. පහතරට හිමි නමක් වුණු කරතොට ධර්මාරාම හාමුදුරුවන්, උඩරට රාජධානියේ සහ ශ්‍රී පාදස්ථානයේ නායක පදවි දරනවට, උඩරට හිමිවරුන්ගේ කැමැත්තක් තිබිලා නෑ. විශේෂයෙන්ම මල්වතු පාර්ශවයෙන්.
මේ විදිහට රජතුමාගේ රාජ උදහසට ලක් වුණේ, රජතුමාගේ සිතේ හාමුදුරුවන් ගැන තිබ්බ වැරදි අවබෝධයක් නිසාත්, හාමුදුරුවන්ගේ බහුශ්‍රැතකම, පදවි තානාන්තර සහ රජතුමත් එක්ක තිබ්බ සමීප ඇසුරට ඊරිසියා කරපු මල්වතු විහාරයේ මහා නා හිමි ඇතුළු හාමුදුරුවරු පිරිසක් නිසා බවත්, කරතොට ධර්මාරාම හාමුදුරුවන්ට ඒ වෙනකොටත් වැටහිලා තිබුණා.
රාජාධි රාජසිංහ රජතුමා පුංචි කාලයේ ඉදලම, එතුමාගේ ගුරුවරයා වුණේ ධම්මක්ඛන්ද හාමුදුරුවොයි. ධම්මක්ඛන්ද හාමුදුරුවොත් බොහොම බහුශ්‍රැත හිමි නමක්. විශේෂයෙන්ම කවියට උපන් හපන්කම් තිබ්බ හිමි නමක්. උන්වහන්සේ තමන්ගේ කුඩා කාලයේ සිටම ගුරුවරයා වුණු නිසා, රජතුමා උන්වහන්සේව තදින්ම විශ්වාස කරගෙන හිටියා.
මේ සිද්ධිය නිසා ගොඩාක් කම්පාවට පත්වෙන කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ ගුරුවරයෙක් වුණු අත්තරගම බණ්ඩාර පඩිවරයා, කරතොට හාමුදුරුවන්ට අපූරු යෝජනාවක් කරනවා. ඒ තමයි, “රජතුමාට සහ රජතුමා වටේ ඉන්න පිරිසට තේරුම් ගන්න බැරි, සංකීර්ණ කවියක් ලියලා රජතුමාට යවන්න” කියන යෝජනාව. සාහිත්‍ය ලෝලියෙක් වුණු රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ව සාහිත්‍යයෙන්ම මට්ටු කරන්න පුලුවන් විත්තිය පඩිවරයා දැනගෙන හිටියා. මේ යෝජනාවට ධර්මාරාම හාමුදුරුවොත් එකඟ වෙලා, කවියක් රචනා කරලා, රජතුමාට යවනවා.
කවි දොළහක්, කවි තුනකින් කියවෙන විදිහට සංක්ෂිප්ත කරලා තමයි කවිය රචනා කරලා තිබ්බෙ. ඒ නිසා මේකට “බාරස කාව්‍ය” කියලා කියනවා. බාරස කාව්‍ය කියන්නෙ සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළ රචනා වුණු අති දුර්ලභ ගණයේ නිර්මාණයක්.
අන්තිමේදි අසදෘශ ජාතකය හිටන් කවියට නගලා තිබ්බ රාජසිංහ රජතුමාට බාරස කාව්‍ය කියව ගන්න බැරුව ගියා. රජතුමා ලැජ්ජාවට පත් වෙලා, කවියේ තේරුම කියලා දෙන්න කියලා මල්වතු විහාරයේ මහා නා හිමි වුණු, කරතොට ධර්මාරාම හිමියන්ව සිරගත කිරීමේ මෙහෙයුමේ මහා මොළකාරයා වුණු, මොරතොට ධම්මඛන්ද නා හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒත් උන්වහන්සේටත් මේක හරියාකාරව තේරුම් අරගන්න බැරිවෙනවා. උන්වහන්සෙත් ලැජ්ජාවට පත්වෙනවා. ඊට පස්සෙ මල්වතු මහා විහාරයේ වැඩ වාසය කරන ගිහි පැවිදි උගත් පිරිස් රාජ සභාවට රැස් කරනවා. ඒත් කිසිම කෙනෙක්ට කවියේ තේරුම හරියට වටහා ගන්න හැකියාවක් ලැබුණෙ නෑ.
ඒ නිසා රජතුමාට අකමැත්තෙන් වුණත් සිද්ධ වෙනවා, මේ කවියේ නිර්මාතෘ කරතොට ශ්‍රී ධර්මාරාම හාමුදුරුවන්ව නිදහස් කරවලා රාජ සභාවට ගෙන්වලා, උන්වහන්සේගෙන් කවිවල තේරුම් දැන ගන්න. අන්තිමේදි අත්තරගම බණ්ඩාර පඩිවරයාගේ සැලසුම හරි යනවා. රාජ සභාවට එන කරතොට හාමුදුරුවොත් මේ කවිවල තේරුම් එකින් එක පැහැදිලි කරලා දුන්නලු. කවිවල තේරුම් අහලා හාමුදුරුවන්ගෙ උගත්කම ගැන පැහැදෙන රජතුමා ගොඩාක් සතුටු වෙනවා.
මේ දුෂ්කර ප්‍රබන්ධයට “බර කව ගබ සක” කියලත් කියනවා. බාරස කියන්නෙ දොළහට කියන සමාන පදයක්. සිංහල තේරුම තමයි “දොළොස් කවක් ගැබ්වූ වගුව” එහෙමත් නැත්නම් “කවි දොළහක් ඇති සටහන” කියන අර්ථය. සංස්කෘත භාෂාවෙන් “ද්වාදශ කාව්‍ය ගර්භ චක්‍රය” කියලා කියනවලු. සමචතුරස්‍රයක් තුළ යොදපු සටහනක දික් පේළි සහ තීරු මත තමයි කවි ටික ලියලා තියෙන්නෙ. මේ කවිය හරියට ප්‍රහේලිකාවක් වගේ [පහත වීඩියෝව අනිවාර්යෙන් නරඹන්න].
කවි තුන වමේ සිට දකුණටත්, දකුණේ සිට වමටත්, ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් කියවන්න පුලුවන්. ඒ හැම අවස්ථාවකම විශේෂණ පද ගොඩකින් බුදුරජාණන් වහන්සේගෙ ගුණ වර්ණනාවක් තියෙනවා. කියවපු කවි පේළියක්, තව පාරක් කියවන කොට, කලින් වටහා ගත්තු තේරුමට වඩා වෙනමම තේරුමක් ගෙන දෙනවා. එක් පදයකට අක්ෂර 18ක් තියෙනවා. පද හතරට 72යි. කවි 12ට අක්ෂර 864යි. ඒත් කාව්‍ය චක්‍රයේ යොදලා තියෙන මුළු අක්ෂර ගණන 288යි. ඒ කියන්නෙ කවි 4කට අවශ්‍ය අක්ෂර ගණන. කවි 12ම රචනා කරලා තියෙන්නෙ සමූද්රඝෝෂ වෘත්තයෙන්. කවි 12ම බුද්ධාභිවන්දනය සදහාම සැකසුනු ඒවා.
සි සි සි සි දයල නිනි නිනි නිරජ ලල ල ල
සි රි ව ල දියන වසවමු සිනද කුස ක ල
සි දි බ ව ගිමණ රඟනඟමිණ පළුන ස ල
සි රි ගන නිරත නමදිමි නවණ නුවත ල
න ව රද නවස සිරි පතළ මණි මන ර ක
න ර මණ නතන වසුලව නමසු පස ස ක
න න සඳ දමන නල’සනි රුසිරු නද පි ක
න ව නුසනද පුරණ රසු නමදු විනය ක
ග ත යදි සතොස දඟනුන දවනි දම න ද
ග රු පිසු වදු වනර සන නව ගනත’ම ද
ගණ නද නකළණ පියසි හරන නප’ප ද
ග ග ගග නරති සස සස නජර දද ද ද
ලල’ලල ව්දසි කක ක කන’ ගන ද දද ද
ලක සත දුරම රස පිය බිදම් නම ප ද
ල ස නව සඳසෙ නසදන සවන, මත ප ද
ලකුළුණු නිදිසමපන විසිකරණ දන න ද
නිමුගමි දමන තව් නිසුදරිසි තණ යි ස
නිවන දිය දද පලසර දන තිනු සය ස
නිසගම ‘රහසිරි’සුල නවදු වගර’ පි ස
නිවරණ නිවද සිවනරනව සද න න ස
සිලවන ගණ නඳන දසතප නිදි සුද ග
සිවබග නපුන රමසනු වදුව ය’ පිණ ග
සිරි දිරි සරස වරන’වනද වතරුණ ග
සිසි සිසි නදන නන’ නන දුමිඳ’ ගග ග ග
දද’ ද’ද රජන සස සස කිරන ගග’ග ග
දප ‘පන නරහ සියපිණ ලකණදන න ග
දමතන ගවන නසරණ වඳුව සුපිරු ග
දනමද නිවද තනුගද සතොස දියත ග
කයන විදුමන සුරනර පුදන සනුව න
කපිදන රුසිරි නිසලන නම ද දසන න
කස සපසුමන වලසුවනතන න මර න
කරනම නිමල තපරිසි සවන දරව න
ලතවනු නවන මිදිමන තරණි නගරි සි
ලසනලු පණමි ගණ ගරණ මගිව බදි සි
ලකසකු දන සිමුව සවන යදි ලව රි සි
ලල ලල ජරණි නිනි නි නි ලයද සිසිසි සි
ගග ගග දමිදු නන නන නදන සිසිසි සි
ගන රුතවදන වනරව සර සරිදි රි සි
ගණපිය වදුව නුසමර නපුන ගබ ව සි
ගද සුදිනිපත සදනදන නගනවල සි
සණන ද සවන රණවසි දමනි නරව නි
සපිරග වදුව නලසුරිසි හරමග ස නි
සයස නුතිනද රසලපදද යදිනව නි
සසි නත සිරිද සුනි වතනමද මිගමු නි
දන නද නකස විනප මසදිනි නුලූ කු ල
දපත මනවස නදසන සෙද සවන ස ල
දපම නමද බියපි සරමරදු තස ක ල
දද දද නගණ කකක ක සිඳවි ලල ල ල
මේ අගනා කාව්‍ය සංග්‍රහය ගැන පැහැදිලා, හාමුදුරුවන් එක්ක තිබ්බ හිත් අමනාපකම් දුරු කර ගන්න රජතුමා පල්ලෙබැද්ද ප්‍රදේශයේ අක්කර 13 000කින් සමන්විත නින්ද ගමක්, සබරගමු දිශාඅටකළන් කෝරලය (අටකලත්වින්න කෝරලය), පහතරට සංඝනායක පදවිය, පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරය පූජා කරනවා. ඒ වෙලාවේදී සංඛපාල රජමහා විහාරය පරිත්‍යාග කිරීම ගැන කවියකින් කියන්න කියලා රජතුමා ආරාධනා කරනවා. ඒකට ප්‍රති උත්තර හැටියට හාමුදුරුවෝ පහත කවි දෙක එවෙලේම රජතුමාට නිර්මාණය කරලා දෙනවා. ඒකෙන් හාමුදුරුවො ගැන රජතුමා තවත් පැහැදෙනවා.
සක වසිනෙක් දහස් සත්සිය දෙ සිව්වන
ලක සිරි රජදිරජ සිහ නිරිඳුට සවන
තික රජ ගුරු ගෝල දම්රම් යති රුවන
සක කළෙ මෙ බර කව් ගැබ නම් අමූතු වන
මෙනිරි ඳු මෙසක නරඹා සිය සකි නිඳුරා
නෙවිරි දු කිවිඳු කැළ ගෙල බන් පාස යූරා
පිරිසි දු මෙනෙන් පල්ලේබැද්ද ගම් වරා
මෙයති ඳුහට පිදී මිහි පවතිනා තුරා
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇඹිලිපිටිය පාරෙ පල්ලේබැද්දටත් ඇඹිලිපිටියටත් අතර මහා මාර්ගය අසල සංඛපාල රජ මහා විහාරස්ථානය පිහිටලා තියෙනවා. දුටුගැමුණු රාජ්‍ය පාලන සමයේ නිර්මාණය වුණු මේ රජමහා විහාරය, නිර්මාණය කරන්නෙ දස මහා යෝධයන් අතර හිටපු “ඵුස්සදේව” කියන යෝධයා.
හමුදාවේ දුනුවායෙක් විදිහටත් සේවය කරපු ඵුස්සදේවගේ ප්‍රධාන රාජකාරිය වුණේ ජය සංඛයක් එහෙමත් නැත්නම් හක් ගෙඩියක් පිඹින එක. එළාර සමග පැවති සටන් වලදී, අත්පත් කර ගන්නා සෑම ද්‍රවිඩ හමුදා පාලන ප්‍රදේශයක් පාසාම, ඵුස්සදේවට සංඛය පිඹීමේ රාජකාරිය නියම වුණා. සංඛයෙන් නිකුත් වන හඩෙන්, ඈත ගම් බිම්වලට සංනිවේදනය වුණේ යුද්ධය ජයග්‍රහණය කිරීම අත ළග බවයි. ඒ වගේම ඒ ඔස්සේ හමුදාවේ සෙබලුන්ගේ චිත්ත ධෛර්යත් ඔප් නැංවුණා. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පස්සෙ ඵුස්සදේව කරපු සේවය වෙනුවෙන් රජතුමා පල්ලෙබැද්ද ප්‍රදේශයේ අක්කර 12 000ක භූමි භාගයක්, ගම්වරයක් විදිහට ඵුස්සදේවට දෙනවා.
මේ භූමි භාගය මත තමයි ඵුස්සදේව යෝධයා මේ විහාරය නිර්මාණය කරන්නෙ. විහාරයේ කදු මුදුනේ ජය සංඛය නිධන් කරපු නිසා, මේ විහාරය සංඛපාල විහාරය කියලා ප්‍රසිද්ධ වෙනවා. කාලයක් ගියායින් පස්සෙ ඵුස්සදේවත් භික්ෂු ශාසනයට ඇතුළත් වෙලා, මේ විහාරයේම වැඩ වාසය කරන ගමන්, භාවනා කරලා අර්හත් භාවයට පත් වුණා කියලා ජනප්රවාදයේ තියෙනවා. කාලයක් තිස්සේ ජන ශූන්‍ය කලාපයක් බවට පත් වෙලා තිබුණු සංඛපාල රජමහා විහාරය ආශ්රිත භූමි පරිශ්‍රය ගැන ආයිත් අවධානයට ලක් වෙන්නෙ කරතොට හාමුදුරුවන් විහාරයේ විහාරාධිපතිව වැඩ වාසය කරන කාලයෙදියි. හාමුදුරුවන් මේ ඓතිහාසික සිද්ධස්ථානය රජතුමාගෙත් අනුග්‍රහය ඇතුව හොදට පිළිසකර කරලා, දියුණු තත්වයකට අරගන්නවා.
කරතොට ධර්මාරාම හාමුදුරුවන්ට, රජතුමා මේ නින්දගම පූජා කරන්නේ “මේ යතිඳුනට පිදි මිහි පවතිනා තුරා” කියලා අවසන්වෙන කවි දෙකකුත් එක්කයි. කරතොට ධර්මාරාම හාමුදුරුවන්ට විතරක් නෙවේ, උන්වහන්සේගේ ගිහි සහ පැවිදි පරපුරටත් වරප්‍රසාද දෙන්න රජතුමා අමතක කරන්නෙ නෑ.
රජතුමා නියමයක් පනවනවා, උන්වහන්සේගේ ගිහි පරපුරේ හෝ පැවිදි පරපුරේ හෝ කවුරුන් හරි කෙනෙක් වරදක් කළොත්, ඒ කෙනාට රාජ දඩුවම් නොදී නිදහස් කරන්න කියලා.
ටික කාලයක් ගියායින් පස්සෙ වැරදි ආරංචි මාර්ග නිසා ආයිත් අර පරණ චෝදනාවම හාමුදුරුවන්ට එල්ල වෙනවා. “හාමුදුරුවන් ලන්දේසීන් එක්ක රජ්ජුරුවන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා” කියන චෝදනාව. මේත් එක්කම හාමුදුරුවන්ව අල්ලන්න එන සිංහල හමුදාවෙන් බේරෙන්න, හාමුදුරුවො ලන්දේසී ආණ්ඩුකාරයා ළගට යනවා. ඊට පස්සෙ ලන්දේසීන් හාමුදුරුවන්ට රජ්ජුරුවන්ගෙ හමුදාවෙන් ආරක්ෂාව සපයනවා. ඒ වගේම ලංකාවේ ලන්දේසී පාලන බලය තියෙන ප්‍රදේශවල, කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ නායක පදවි වලංගු වන විදිහට සන්නස් කරලා දෙනවා. ඒ වගේම උන්වහන්සේට සිව්පසය වෙනුවෙන් ඕලන්ද රජයෙන් මාස් පතා පතාග (Rix Dollar) 25ක ගෙවීමකුත් කරලා තියෙනවා.
ඉංග්‍රීසි ආණ්ඩු කාලයෙත් ඒ පත්වීම කරතොට හාමුදුරුවන්ට භාර දීලා, පහතරට නායක පදවිය අහෝසි නොකරන්න බ්‍රිතාන්‍ය ජාතිකයිනුත් වග බලා ගන්නවා. ඒ විතරක් නෙවේ, සර් රොබට් බ්රවුන්රිග්ගේ මූලිකත්වයෙන් ශී‍්‍ර පාද පදවිය හා සබරගමු දිසා සංඝනායක පදවිය ධර්මනීති අනුව කරතොට හාමුදුරුවන්ටම ආයිත් පවරනවා. ඉතිහාසයට අනුව අවුරුදු 41ක් විතර උන්වහන්සේ පහතරට සංඝනායක පදවිය දරලා තියෙනවා. මල්වතු පාර්ශවයෙන් රාජාධි රජතුමාට කේළම් කීමේ ප්‍රතිපලයක් විදිහට පහතරටින් උදුර ගත්ත, ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය, 1815 වෙනකොටත් හොඹවලා තියෙන්නෙ මල්වතු විහාරයෙන්. ඒත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මේ නායක පදවිය කරතොට ධර්මාරාම හාමුදුරුවන්ට පවරනවත් එක්කම, ආයිත් පහතරට නායක හිමිවරුන්ට අයිතිවෙලා තියෙනවා.
ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු මේ සියලුම වරප්‍රසාද උන්වහන්සේට ලබා දීලා තියෙන්නෙ, බ්‍රිතාන්‍යයේ 3 වෙනි ජෝර්ජ් මහා රජතුමාගේ අනුදැනුම මතවීම තවත් විශේෂත්වයක්.
ඒ වගේම සංඝාධිකරණ පැවැත්වීම සහ පන්සල්වල ඉඩකඩම් සම්බන්ධ නඩු විශාල ප්‍රමාණයක් උන්වහන්සේගේ මැදිහත්වීමෙන් සමථයකට පත්වෙලා තියෙනවා. ඉතිහාසයට අනුව “මාතර නගරයේ වැඩ සිටින උගතෙකු වූ කරතොට නායක හිමියන් විශේෂයෙන් ආශ්‍රය කළ යුතුය. උන්වහන්සේගේ සිත රිදෙන යමක් නොකළ යුතුවාක් මෙන්ම සිත දිනාගෙන රාජකාරි කළ යුතුය” කියලා ලියමනක්, සර් තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විසින් මාතර දිසාපති විදිහට රාජකාරි කරපු තෝමස් ඊඩන්ට යවලා තියෙනවා.
කරතොට ධර්මාරාම හාමුදුරුවන් සාහිත්‍යකරණයේ සහ ධර්ම ව්‍යාප්තියේ නිරත වෙන ගමන් උගත් ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසකුත් බිහි කරනවා. ඒ අතර ගාල්ලේ මේධංකර, කටුකුරුන්දේ ධම්මානන්ද, මිහිරිපැන්නේ ධම්මරතන, වලගෙදර ධම්මදස්සී, හෙට්ටිපොළ සුමංගල, බෙන්තර අත්ථදස්සි, කදුරුපොකුණේ සෝභිත, පුංචි කරතොට, අක්මීමන, කුඩා කදුරුපොකුණේ සුමනජෝති, සාලියාලේ මනිරතන ආදී පැවිදි උතුමෝ සහ පත්තායමේ ලේකම්, ඇලපාත මුදලි, බරණ ගණිතයා, ගජමන් නෝනා ආදී ගිහි පඬිවරුත් ඉන්නවා. ඕලන්ද ආණ්ඩුකාරයෙක් වුණු ඉවෝන් විලෙමිෆෝක් කියන ආණ්ඩුකාරවරයා, කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගෙන් සිංහල භාෂාව, හෙළ සිරිත් විරිත්, සිංහල ආණ්ඩුක්‍රම සහ නීති රීති වගේ දේවල් ඉගෙන ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙවේ බ්‍රිතාන්‍යන්ගේ උඩරට ආක්රමණයේ මහා මොළකාරයා වුණු ජෝන් ඩොයිලිත් සිංහල භාෂාව ඉගෙන ගෙන තියෙන්නෙ කරතොට හාමුදුරුවන්ගෙන්.
හාමුදුරුවන්ගේ අපවත්වීම සිද්ධ වුණු නිශ්චිත අවුරුද්ද නම් අපට තාමත් හොයා ගන්න බැරි වුණා. සමහරක් තැනක 1822 විදිහටත්, සමහරක් තැනක 1826 විදිහටත්, සමහරක් තැනක 1827 විදිහටත් සදහන් වෙනවා. සමහරක් තැනක 1832 කියලත් සදහන් වෙනවා. කොහොම හරි වයස අවුරුදු අනූ ගණනක් උන්වහන්සේ ආයු වළදලා තියෙනවා. ඒ, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් ජේම්ස් කැමල්ගේ කාලයෙදි වගේ. හාමුදුරුවන් අවසන් කාලයේදී උඩරට අතෑරලා (1785), පහතරට තමන්ගෙ ගම් පළාතට (මාතර වේරගම්පිට රජමහා විහාරය) වැඩම කළා කියලා තමයි සදහන් වෙන්නෙ. කරතොට ශ්‍රී ධර්මාරාම හිමියන්ගේ භෂ්මාවශේෂ මාතර වේරගම්පිට රජමහා විහාරයේ කුඩා ස්තූපයක නිධන් කරලා තියෙනවා. ඒ, උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වුණු කදුරුපොකුණේ සුමනජෝති හිමියන්ගේ මෙහෙයවීමෙන්.
කරතොට හිමියන්ගෙන් පස්සෙ, උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවත් ටික ටික ව්‍යාප්ත වෙන්න ගන්නවා. විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් පිහිටවපු හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ සහ රත්මලානේ ධර්මාලෝක හිමියන්ගේ ගුරුවරයා වුණේ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන පිහිටවපු වලානේ සිද්ධාර්ථ හිමියන්. වලානේ සිද්ධාර්ථ හිමියන්ගේ ගුරුවරයා වුණේ ගාල්ලේ මේධංකර හිමියන්. ගාල්ලේ මේධංකර හිමියන්, කරතොට ධර්මාරාම හිමියන්ගේ ප්‍රධාන ගෝල හිමි නමක්. මේ විදිහට ගත්තම කරතොට ධර්මාරාම හිමියන් ඇති කරපු සහ පෝෂණය කරපු ඒ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය සහ ඒ ආලෝකය, නූතන යුගය වෙනකන්ම ක්‍රියාත්මක වෙමින් යනවා.
කරතොට හාමුදුරුවන්ගේ ගිහි පරපුරෙන් පැවත ගෙන එන අය වර්තමානයේ මාතර දිස්ත්‍රික්කයේ ගම් කිහිපයකත්, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගමත් විසිරිලා ඉන්නවා. එහෙම හිටපු අයගෙන්, අපේ රටම දන්න අඳුරන සුප්‍රසිද්ධ චරිතයක් වුණු සෑම් විජේසිංහ (සැම්සන් සේන සමරකෝන් විජේසිංහ) මහතාව (1921 – 2014) නම් කරන්න පුලුවන්.
සෑම් විජේසිංහ මහතාට, වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ගිහි පරපුරෙත් නෑකමක් තියෙනවා. ඒ අනුව වැලිවිට සරණංකර හිමියන්ගේ ගිහි පරපුර සහ කරතොට ධර්මාරාම හිමියන්ගේ ගිහි පරපුරේ එකතුවීමක්, එහෙමත් නැත්නම් සම්බන්ධයක් දකින්න පුලුවන්. වැලිවිට සරණංකර හිමියන් කියන්නේ, කරතොට ධර්මාරාම හිමියන්ගේ ගුරු හාමුදුරුවන් වුණු වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ ඥාති සහෝදරයෙක්. ඒ තර්කය අනුව කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ ගිහි පරම්පරාවට, වැලිවිට සරණංකර සහ වේහැල්ලේ ධම්මදින්න හිමිවරුන්ගේ ගිහි පරම්පරා එක්කත් ආවාහ විවාහා හරහා සෘජු හෝ වක්‍ර සම්බන්ධතා තිබිලා තියෙනවා.
මුහන්දිරම් විජේසිංහ සහ කඹුරුපිටියේ විජේසිංහ පරපුර අයිති වෙන්නෙත්, කරතොට නා හිමියන්ගේ ගිහි පරපුරටමයි. උන්වහන්සේ උත්පත්තිය ලබපු කරතොට අංගහවත්ත වලව්ව, පස්සෙ කාලයක කඹුරුපිටියේ විජේසිංහ පරපුරේ වාසස්ථානයක් වුණා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඊට අමතරව ගැටමාන්න ආසන්නයෙ තියෙන වලව්වකත්, කරතොට නා හිමියන්ගේ ගිහි පරපුරේ තවත් විජේසිංහලා කිහිප දෙනෙක් ජීවත්වෙලා ඉදලා තියෙනවා.
කරතොට ධර්මාරාම නා හිමියන් අපවත්වෙලා සෑහෙන කාලයක් ගියාට පස්සෙ උන්වහන්සේගේ ගිහි පරපුර (විජේසිංහ) සහ උන්වහන්සේගේ පැවිදි පරපුර අතරේ මත ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ, රාජාධි රාජසිංහ රජ්ජුරුවන්, කරතොට ධර්මාරාම හාමුදුරුවන්ට පූජා කරපු පල්ලෙබැද්ද නින්දගමේ, අක්කර 5000ක හිමිකම සම්බන්ධව ඇති වුණු ප්‍රශ්නයක් නිසයි. මේ නිසා උන්වහන්සේගේ ගිහි පරපුර සහ පැවිදි පරපුර දෙපැත්තකට වෙලා නඩු කියන්න ගන්නවා. ගිහි පරපුරේ මතය වුණේ “රජතුමා උන්වහන්සේට නින්දගම පෞද්ගලික ත්‍යාගයක් විදිහට පූජා කළා සහ ඒ නිසා මේ නින්දගමේ හිමිකාරීත්වය ගිහි පරපුරට හිමිවෙනවා” කියන මතයයි. ඒත් පැවිදි පරපුරේ මතය වුණේ “රජතුමා මේ නින්දගම උන්වහන්සේට සන්නසකින් ප්රදානය කළා කියලත්, ඒ සන්නස අනුව තුඩපතක් ලියාපදිංචි කරලා තියෙනවා කියලත්, 1818 ජනවාරි 03 වෙනිදා උන්වහන්සේ ලියාපදිංචි ඔප්පුවකින් මුළු නින්දගමම කදුරුපොකුණේ ධම්මජෝති හිමියන් ඇතුළු ගෝල පරම්පරාවට පැවරුවා කියලත්, ඒ නිසා නින්දගම පැවිදි පරපුරට අයිතියි” කියලයි. මේ නඩුවේදී අධි නීතීඥ වෝල්ටර් විමලචන්ද්‍ර සහ රාජ නීතීඥ ඇන්.ඊ.වීරසූරිය මහත්වරු දෙපල පැවිදි පරපුර වෙනුවෙනුත්, අධි නීතීඥ ඒ.සී.ගුණරත්න මහතා ගිහි පරපුර වෙනුවෙනුත් පෙනී ඉදලා තියෙනවා. නඩුව අවසානයේදී රත්නපුර දිස්ත්‍රික් විනිශ්චයකාර ඩී.එච්.ද.ඇස්.ගුණසේකර මහතා මුළු නින්දගමම, පල්ලබැද්ද සංඛපාල රජමහා විහාරයට සහ පැවිදි පරපුරට අයිති දේපලක් විදිහට තීරණය කරලා තියෙනවා.
ඒත් විජේසිංහ පරම්පරාවේ සමහරක් වැඩිහිටි උදවියගෙන් අපට දැනගන්න ලැබුණේ වෙනස්ම විදිහේ කතාවක්. එයාලට අනුව පස්සෙ කාලෙක සංඛපාල රජමහා විහාරයේ සමහරක් ඉඩම්, බර්ගර් ජාතිකයෙක් අත්පත් කර ගත්තලු. ඉතින් මේ නඩුවේදී කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ ගිහි සහ පැවිදි පරපුරවල් දෙකම එකතුවෙලා, බර්ගර් ජාතිකයට විරුද්ධව නඩු පැවරුවලු. කරතොට හාමුදුරුවන්ගේ පරපුර නඩුව දිනුවලු. ඊට පස්සෙ ගිහි පරපුරේ අය, ස්වේච්ඡාවෙන් තම තමන්ගෙ කොටස්, පන්සලට පූජා කළාලු. සමහරවිට මේ කතාව කියන්න ඇත්තෙ පළවෙනි කතාව නොහොත් සත්‍ය කතාව යටපත් කරලා, මේ සිද්ධිය නිසා තමන්ගේ පරම්පරාවට එකතු වුණු කළු පැල්ලම වහගන්න වෙන්න පුලුවන්. ඒත් පළවෙනි කතාවේ නඩු තීන්දුව දීපු දවසට පස්සෙ දවසෙම, ඒ සිද්ධිය අපේ රටේ ප්‍රධාන පුවත්පත්වල පවා පල වෙලා තියෙනවා (උදා – ඉරිදා ලංකාදීප : 1960.02.14)
කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ ගිහි පරම්පරාව ගැන අපට දකුණෙන් අහන්න ලැබුණත්, මේ ගිහි පරම්පරාව ගැන ගැඹුරින් පරීක්ෂණ සහ ගවේෂණ කරපු කිහිප දෙනෙක් අපට කියපු විදිහට, මේ ගිහි පරම්පරාවේ ආරම්භය සහ මුල් වං හුං තියෙන්නෙ උඩරට දිශාවෙයි. උඩරටින් ආරම්භ වුණු විජේසිංහ පරම්පරාවෙන් කොටසක්, උඩරට අතෑරලා දාලා, දකුණු රටට සංක්රමණයවෙලා තියෙනවා. මේ සිද්ධියේ ප්‍රතිපලයක් විදිහට තමයි ධර්මාරාම හාමුදුරුවන් දකුණේ හිමි නමක් විදිහට ප්‍රකට වෙන්නෙ.
මූලාශ්‍ර :-
01. බෝපේ මහජන පුස්තකාලීය සමරු කළඹ (2004)
{රජුගෙන් පුදලත් කරතොට ශ්‍රී ධර්මාරාම නාහිමිපාණෝ – සුගතදාස විජේසිංහ}
02. ආගිය කතා
{රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ? – හසිත ගුණසිංහ}
03. එදා මෙදාතුර
{රාජ උදහසින් ගැලවෙන්නට කල අරුම පුදුම කාව්යයය – තාරක සමරනායක}
04. Viki.lk
{කරතොට කීර්ති ශ්‍රී ධර්මාරාම හිමි – ඩේවිඩ් බමූණූගම}
05. පුන්යග්රාම වෙබ් බිහි දොර
{ශී‍්‍ර පාද සඟ පරපුර}
06. දිවයින බදාදා අතිරේකය (2012.11.14)
{රාජ උදහසින් මිදීමට කාව්‍ය ප්‍රබන්ධ ගෙතූ කරතොට ධම්මාරාම හිමි – අනුර ගුණවර්ධන}
07. දිවයින වටමඩල (2012.11.08)
{රාජ උදහස කවියෙන් කණපිට හරවා රාජ සම්මානයට ලක් වූ මාතර පඬිරුවන – විමල් රූබසිංහ}
08. සරණංකර සඞඝරාජ සමය
{සාහිත්‍ය පරම්පරාව – කොටගම වාචීස්සර හිමි}
09. Heraldica Civica Et Militara
{Kandy – Hubert de Vries}
10. රසවාහිනිය (1957)
{කරතොට නාහිමියන්ගේ ගිහි පරපුර – ජස්ටින් විජයවර්ධන}
11. ආගිය කතා
{ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් යටි කූට්ටු මහ මොළකාරයා – හසිත ගුණසිංහ}
12. ලක්බිම – සසුන රැකි රන් වැට (2011.06.28)
{ආණ්ඩුකාරවරුන්ටත් ඉගැන්වූ කරතොට ධර්මාරාම යතිඳු – වරුණ}
13. රුහුණේ රාවය (1993.08.29) – රෝහණ පුත්‍ර
14. රාවය (1997.02.16)
{මා දන්නා සෑම් විජේසිංහ – විජේසිංහ බෙලිගල්ල}
15. ලංකාදීප (1996.10.13)
{නිල්වලා ගඟ බඩ වලව් පෙළපත – රංජිත් ආනන්ද ජයසිංහ}
16. ලංකාදීප (1968.09.28)
{කවියට ගම්වර ලැබූ කරතොට නා හිමි – කිරිවත්තුඩුවේ ශ්‍රී ප්රඥාසාර හිමි}
17. දිවයින (2004.01.07)
{රාජ උදහස නිසා රචනා කෙරුණු බාරස කාව්‍යය – ධම්මික රණවීර}
18. සිංහල වීරයෝ – ටී.එස්.ධර්මබන්ධු
19. ලංකාදීප (1961.04.01)
{රජුගෙන් පුද ලැබූ කොරතොට ශ්‍රී ධර්මාරාම හිමියෝ – ශ්‍රී ප්රඥාසාර නාහිමි}
20. ලංකාදීප (1960.02.21)
{කවිය ලැබූ රාජ සම්මාන – පෙරමුණේ}
21. ලංකාදීප (1968.09.28)
{කරතොට නාහිමිගේ ශාස්ත්‍රීය සේවාව – අත්තුඩාවේ චන්දසිරි හිමි}
22. ඉරිදා ලංකාදීප (1960.02.14)
{කවිය ලැබූ අක්කර 5000ක් සඟ සතුවේ}
23. ලංකාදීප – වග තුග (1961.11.23)
24. සිළුමිණ – අතිරේකය (1984.01.29)
{කවි තුනකින් කවි දොළොසක් කළ කරතොට හාමුදුරුවෝ – සිරිසේන පල්ලියගුරු}
25. ඉරිදා දිවයින (1986.06.13)
{කවිය හතරෙන් ගුණ කළ කවි හාමුදුරුවෝ – කරතොට වජිරසීල හිමි}
26. වරුණ පුවත් සංග්‍රහය – 10 වන කලාපය (2013.06)
{කවි සිත කළඹන – “බර කව ගබ සක” – ඩේවිඩ් බමුණුගම}
27. රාවය (1998.03.01)
{කිවිඳියක නිසා අවමන් විඳි කරතොට සමිඳු – විජේසිංහ බෙලිගල්ල}
28. රිවිරැස (1984.03.04)
{සැකය දුරු කළ කවිය – ජේ.කොතලාවල}
29. සංඛපාල ගිරි අරණ – ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
30. දිවයින – රූපණ (2005.11.27)
{සිංහල කවි ලියූ දෙමළ රජ්ජුරුවෝ – වික්‍රම හරිස්චන්ද්‍ර}
31. මාතර සාහිත්‍ය වංශය (1972) – පී.ඩී.එස්.වීරසූරිය (එම්.ඩී.ගුණසේන ප්‍රකාශකයෝ)
32. හස්තිනාපුර
{ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 1 ) – දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන}
33. හස්තිනාපුර
{ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 2 ) – දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන}
34. හස්තිනාපුර
{ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 3 ) – දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන}
35. ලංකාදීප – රසවිත (2015.06.14)
{වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ දකුණේ ඥාති පරපුර – පුෂ්ප එපිටකඩුව}
36. සරණඞකර සඞඝරාජ සමය – කොටගම වාචීස්සර හිමි
37. ලක්දිව අමිල චරිත – සරත් රණවීර / ස්වර්ණා රණවීර
38. වාර්ෂික ඇසළ මහා පෙරහැර පැවැත්වෙන සංඛපාල රජමහා වෙහෙර වත (1992.09.10) – කොටගම වාචීස්සර හිමි
39. දනාගේ පලා මල්ල
{කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර – දනුල වික්‍රමආරච්චි}
උපුටා ගැනීම් :
* ඡායාරූපය 02 : හිමිකරු නොදනිමු. එහි මුල් අයිතිය ඔහු හෝ ඇය සතුය
* ඡායාරූපය 03 : හිමිකරු නොදනිමු. එහි මුල් අයිතිය ඔහු හෝ ඇය සතුය
* ඡායාරූපය 04 : හිමිකරු නොදනිමු. එහි මුල් අයිතිය ඔහු හෝ ඇය සතුය
* වීඩියෝව : Waterfalls Art Camp | YouTube Channel
* ඡායාරූපය 05 : www.trips.lakdasun.org
* ඡායාරූපය 06 : රුවන් ද සිල්වා
* ඡායාරූපය 07 : හිමිකරු නොදනිමු. එහි මුල් අයිතිය ඔහු හෝ ඇය සතුය