Airbus අලුත් වැඩකට ලෑස්ති වෙයි…?????

December 16, 2019

අද අපි පෙන්වන්නේ සුප්‍රසිද්ධ Airbus සමාගමෙන් නිෂ්පාදනය කරපු විදුලි බලයෙන් ක්‍රියා කරවන පළවෙනි ගුවන් යානයයි. මේ යානාව නම් කරලා තියෙන්නෙ Airbus E-Fan කියලයි.

මේ ගුවන් යානය පළවෙනි වතාවට අහසට දියත් කරලා තියෙන්නෙ 2015 වර්ෂයේ. එදා මේ යානය මිනිත්තු 36ක් වගේ කාලයක් පියාසර කරලා තියෙනවා. ගමන් මාර්ගය වෙලා තියෙන්නෙ බ්‍රිතාන්‍යයේ දකුණු කොටසෙ ඉදලා ප්‍රංශයේ උතුරු කොටස දක්වා තියෙන ගුවන් මාර්ගයයි.

මේ වගේ ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමෙන් Airbus සමාගම ප්‍රධාන වශයෙන් බලාපොරොත්තුවෙලා තියෙන්නෙ ගුවන් යානා තෙල්වලින් අහසට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් වායුව නැති කරලා දාන එකයි. ඉතින් මේ ගුවන් යානාවේ තටුවල ඉන්ධන වෙනුවට ගබඩා කරලා තියෙන්නෙ ලිතියම් වර්ගයේ බැටරි කිහිපයක්. මේ ක්‍රමයේ තියෙන තවත් වාසියක් තමයි ශබ්ද දූෂණය අවම කරගන්න පුලුවන් වෙන එක.

මේ යානාව නිෂ්පාදනය කිරීමේ තවත් අරමුණක්වෙලා තියෙන්නෙ ගුවන් නියමුවන් පුහුණු කිරීමයි. 2015 අවුරුද්දේ මේ විදිහට මූලාකෘතියක් විදිහට මුදා හැරපු මේ යානාවේ පළවෙනි බෙදාහැරීම 2017 අවුරුද්දෙ සිදු කරන්න හිටියත්, 2017 අවුරුද්ද වෙනකොට Airbus සමාගම, මේ යානාව නිෂ්පාදනය කිරීමේ අදහස අත් හැරලා තියෙනවා.

කොහොම හරි ලබන අවුරුද්දෙ (2020), Airbus සමාගම තවත් ලොකු පිම්මක් පනින්න තමයි සූදානම් වෙන්නෙ. ඒ තමයි ක්‍රීඩා තරග සඳහා නිපද වූ බැටරි බලයෙන් ක්‍රියා කරන ලෝකයේ පළවෙනි ගුවන් යානය (Worlds First Battery-powered Sports Aircraft) එළිදැක්වීම.

මේත් එක්කම, එදාට බැටරි බලයෙන් ක්‍රියා කරන ගුවන් යානා තරගාවලියකුත් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙන බවට තොරතුරු වාර්තා වෙනවා. Airbus සමාගම මේ අලුත් ගුවන් යානාව නම් කරලා තියෙන්නෙ White Lightning කියලයි.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.fortune.com
* වීඩියෝව : Wall Street Journal | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.