මහාමාරි වෛද්‍යවරු

Joker කෙනෙක්, එහෙමත් නැත්නම් විකටයෙක් කියලා නේද හිතුවෙ?

නෑ ! මේ ඉන්නෙ අවුරුදු 600කට විතර කලින් යුරෝපයේ හිටපු වෛද්‍යවරයෙක්. මෙයාලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Plague Doctors කියලයි.

1346ත් 1353ත් අතර කාලයේ යුරෝපය ආශ්‍රිත රටවල් පුරාවටම මහාමාරිය (Plague) රෝගය සීඝ්‍රයෙන් පැතිරිලා තියෙනවා. මේ ව්‍යසනයෙන් යුරෝපය ආශ්‍රිත රටවල්වල මිනිස්සු මිලියන 75ත් 200ත් අතර ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ සමස්ථ යුරෝපීය ජනගහණයෙන් 30%ත් 60%ත් අතරේ ප්‍රමාණයක්.

මේ පින්තූරයේ ඉන්න දොස්තරලා තමයි ඒ කාලයේ මහාමාරිය රෝගයට ප්‍රතිකාර කරලා තියෙන්නෙ. දුප්පත් පොහොසත් භේදයකින් තොරව ඒ කාලයේ යුරෝපයේ හිටපු හැම කෙනෙක්ම මේ රෝගයෙන් බේරෙන්න උත්සාහ කරපු නිසා මේ දොස්තරලාට ඒ කාලයේ හොද පිළිගැනීමක් තිබිලා තියෙනවා. හැබැයි මෙයාලා හොද පුහුණුවක් ලබපු දොස්තරලා නෙවේ කියලත්, පාරවල්වල අහු මුළුවල ඉදගෙන වෙදකම් කරපු දොස්තරලා කියලත්, තුන්වන ශ්‍රේණියේ දොස්තරලා කියලත් තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. ඒ වගේම හොර බොරු වංචා කරපු දොස්තරලත් විශාල පිරිසක් ඉදලා තියෙනවා.

මේ වෛද්‍යවරුන්ගේ නිළ ඇදුම සිත් ඇදගන්නා සුළු අමුතු ඇදුමක්. මේ වෛද්‍යවරු සැරසිලා ඉදලා තියෙන්නෙ මේ පින්තූරයේ තියෙන විදිහට කළු පැහැති තොප්පියකින්, කළු කබායකින්, කුරුළු හොටක් සහ වීදුරු ඇස් දෙකක් තියෙන වෙස් මුහුණකින් සහ කෙවිටකින්.

ඒ කාලයේ තිබුණු අපවිත්‍ර රෝගකාරක වාතයෙන් ආරක්ෂා වෙන්න තමයි මෙයාලා මේ විදිහට වෙස් මුහුණක් පැළදගෙන ඉදලා තියෙන්නෙ. වෙස් මුහුණේ නාසය කොටස නිර්මාණය කරලා තියෙන්නෙ සුවඳ හමන අමුද්‍රව්‍ය භාවිතා කරලයි. ඒ අමුද්‍රව්‍ය අතරට බෙරී වර්ග, ඇම්බග්‍රිස් (තල්මසුන්ගේ බඩවැලේ ඇති වන සුවඳ වර්ගයක් සහ වර්තන කලාපීය මුහුදු මත ඇති වන සුවඳ වර්ගයක්), මිංචි, රෝස, කපුරු, කරාබු නැටි, ලෞඩනම් (අබින් මද්‍යසාරයෙන් දියකොට තනාගත් ද්‍රව්‍යයක්) ,ශිලාජතු, සුවඳ ලාටු වගේ අමුද්‍රව්‍ය එකතු වෙනවා.

වෙස් මුහුණේ ඇස්, වීදුරුවකින් ආවරණය කරලා තිබිලා තියෙනවා. ඒ, අපවිත්‍ර වාතයෙන් ඇස් ආරක්ෂා කරගන්නයි. කබාය නම් බොහොම ඝනකමට හදපු එකක්. මේ වෛද්‍යවරු හැමතිස්සෙම කෙවිටක්, එහෙමත් නැත්නම් වේවැලක් අතේ තියාගෙන ඉදලා තියෙනවා. ගොඩාක් විෂබීජ පිරිලා තියෙන රෝගීන්ව පරීක්ෂා කරන්න තමයි මේ කෙවිට භාවිතා කරලා තියෙන්නෙ. ඒ නිසා අතින් රෝගියාව ස්පර්ශ කරනවා වෙනුවට, ටිකක් ඈත ඉදගෙන, කෙවිටෙන් රෝගියාව ස්පර්ශ කරන්න පුලුවන්කම තිබිලා තියෙනවා.


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.desktopimages.org
* වීඩියෝව : CJake3 | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.