පාවෙන පොත්ගුල

August 28, 2020

සාමාන්‍යයෙන් පුස්තකාලයක් කිව්වම අපි කාටත් මතක් වෙන්නෙ පොත්පත් විශාල ප්‍රමාණයකින් සමන්විත ගොඩනැගිල්ලක්. හැබැයි මේ කියන්න යන්නෙ නම් එහෙම පුස්තකාලයක් ගැන නෙවේ. පාවෙන පුස්තකාලයක් ගැනයි. Logos Hope Valletta කියන නෞකාව ඉතිහාසගත වෙන්නෙ ලෝකයේ විශාලතම පාවෙන පුස්තකාලය විදිහටයි.

1973දි ජර්මනියෙන් නිර්මාණය කරපු, තට්ටු 9කින් යුක්ත මේ නෞකාවේ පළවෙනි තට්ටු කිහිපය වෙන් කරලා තියෙන්නෙ අති දැවැන්ත පුස්තකාලයක් වෙනුවෙන්. මේ පුස්තකාලයේ හැම විෂයකටම අදාළ ජාත්‍යාන්තර මට්ටමේ පිළිගත් පොත්පත්, පුවත්පත්, සගරා විශාල ප්‍රමාණයක් ගබඩා කරලා තියෙනවා. ඒ විතරක් නෙවේ ඒවා අලෙවි කිරීමත් සිදු කෙරෙනවා.

ස්වේච්ඡාවෙන් සේවය කරන කාර්යය මණ්ඩලයකින් සමන්විත මේ නෞකාව, ලෝකයේ මිනිසුන්ගේ දැනුම පෝෂණය කරනු පිණිස රටින් රටට, වරායෙන් වරායට ගමන් කරනවා. මේ නෞකාව ටොන් 12 519ක් බරයි වගේම මීටර් 132.5ක් දිගයි. ඒ වගේම එකවර මගීන් 442 ක් ප්‍රවාහනය කරන්නත් පුලුවන්.

පාවෙන පුස්තකාලයක් පිළිබදව සංකල්පය මුල් වරට කරලියට ගේන්නෙ බ්‍රිතාන්‍යයෙන්. ඒ අනුව 1968 අවුරුද්දේ ස්පාඤ්ඤයෙන් නිෂ්පාදනය කරපු Logos Hope II (Antonio Lazaro) කියන නෞකාව බ්‍රිතාන්‍යයේ Educational Book Exhibits Ltd. සමාගම 1989 මිළදී ගන්නවා. බරින් ටොන් 4804ක් සහ දිගින් මීටර් 109.55ක් වුණු මේ නෞකාව රටින් රටට යමින් ජාත්‍යාන්තර තලයේ පත පොත දායාද කරලා 2008 අවුරුද්දේ දුර්වල තත්වය නිසා විශ්‍රාම ගැනීමත් එක්ක, 1973 ජර්මනියෙන් නිෂ්පාදනය කරපු Logos Hope නෞකාව මේ වැඩේට යොදා ගන්නවා.

Logos Hope නෞකාව 1914දී ඇමරිකාවෙන් නිෂ්පාදනය කරපු Doulus Phos නෞකාවේ ආකෘතියට අනුව නිර්මාණය කරපු නැවක්. 1960 වෙන කොට ඇමරිකානු නෞකාවේ බර ටොන් 6822කුත්, දිග සහ පළල පිළිවෙලින් අඩි 410ක් සහ අඩි 54කුත් වෙලා තිබුණා.

Logos Hope නෞකාවෙන් අලෙවි වෙන පොත්පත් වලින් ලැබෙන ආදායම, ලෝකයේ රටවල් වල ස්වේච්ඡා සහ සුභසාධන වැඩ කටයුතු වලට යොදවනවා.

නෞකාවේ පහළ කොටසේ ඇතුල් වෙන ස්ථානයේ නෞකාවේ ඉතිහාසය සහ ආකෘති, නාවික කටයුතු වලට සම්බන්ධ උපකරණ ප්‍රදර්ශනය කරලා තියෙනවා දකින්න පුලුවන්. නෞකාවට පැමිණෙන්නන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා ප්‍රදර්ශනය කරලා තියෙන විස්තර දිහා බලලා මුහුදු ගමනක තියෙන ස්වභාවය ගැන සුළුවෙන් හෝ අවබෝධ කර ගන්න හැකියාවක් ලැබෙනවා.

නැවේ සුක්කානම සහිත කොටසේ ආකෘතිය කාගේත් සිත් ගන්න කොටසක් වෙනවා. රේඩාර් තිරය ප්‍රධාන කරගත් පරිගණක තිර සහ බොත්තම සිය දහස් ගණනකින් යුතු ඒ කොටසෙන් නැව ක්‍රියා කිරීම ගැන හොද අධ්‍යනයක් කරන්න පුලුවන්.

නෞකාවේ ඉපැරණි ඡායාරූප, ආරම්භ කෙරුණු ව්‍යාපෘතිවල ඡායාරූප සහ විස්තර වගේම අතීතයේ ඉදලා මේ දක්වා නවික කටයුතු වලදී භාවිතා වෙන උපකරණ කිහිපයකුත් විස්තර සහිතව එක පෙළකට ප්‍රදර්ශනය කරලා තියෙනවා දකින්න පුලුවන්.

දැන් අපි ඒ උපකරණ කිහිපයක් අධ්‍යනය කරලා බලමු.

නෞකාවක දකින්න තියෙන උපකරණ අතරින් නැවේ සීනුව විශේෂයි. ඉපැරණි අවධියේ ඉදලා වර්තමානය වෙනකන්ම විශාල නෞකාවල සීනුව භාවිතා වෙනවා. නැවේ සීනුව ගොඩක් වෙලාවට නිර්මාණය කරන්නෙ ලෝකඩ හෝ පිත්තල වලින්. එහෙම නිර්මාණය කරන සීනුවේ, නැවේ නම කොටලා තියෙනවා. නැවක සීනුව තුළින් නැවේ කාර්යය මණ්ඩලයට පණිවිඩ සහ සංඥඥා දීම සිද්ධ කෙරෙනවා.

සීනුව නාද වෙන වාර ගණන අනුව තමයි, නිකුත් කෙරෙන පණිවිඩය මොකක්ද කියලා නැවේ අය අදුර ගන්නෙ. ඒ වගේම සීනුවෙන් දෙන පණිවිඩය නාද කරන රටාව අනුවත් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට සීනුව නොකඩවා නාද කළොත්, නෞකාව අවදානම් සහිත තත්වයකට පත් වීමට යන බව සේවකයෝ අදුර ගන්නවා.

මේ උපකරණයේ කොටස් තුනක් දකින්න පුලුවන්. මුලින්ම තියෙන්නෙ වෘත්තාකාර ඔරලෝසුවක්. ඊට පහළින් තියෙන්නෙ කොම්පාසුවක්. නැව ගමන් කරන දිශාව හොයා ගන්න තමයි ඉස්සර කොම්පාසුව භාවිතා කළේ. ඒත් අදටත් තාක්ෂණයෙන් කොච්චර දියුණු වුණත් නෞකා තුළ මේ වගේ සාම්ප්‍රදායික කොම්පාසු භාවිතා වෙනවා. ඒ, නෞකාවේ විදුලි බලය මුළුමනින්ම නැති වුණොත්, ඊට පිලියමක් වශයෙන්. කොම්පාසුවට පහළින් තියෙන්නෙ සංකීර්ණ කොම්පාසුවක්. මේ කොම්පාසුවේ දිශාවන් වලට අමතරව අක්ශාංස දේශාංස ගැන දත්තත් හොයා ගන්න පුලුවන්.

නැවේ සේවය කරන කාර්යය මණ්ඩලයට තියෙන්නෙ බොහොම කුඩා ප්‍රමාණයේ සරල කාමර (Cabins). ගොඩක් වෙලාවට එක කාමරයක සේවකයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඇදක් උඩ ඇදක් ආදී වශයෙන් නෞකා වලටම සුවිශේෂී වුණු බිත්ති මත සවි කරපු ඇදවල් තියෙන මේ කාමරවල ගොඩක් බඩු මුට්ටු දකින්න නෑ. දවසේ වැඩි හරියක් සේවකයින් නෞකාවේ එක එක කාර්යයන්වල යෙදිලා ඉන්න නිසා, ඒ අය වැඩි හරියක් දවස ගත කරන්නෙ කාමර වලින් පිට. ඒ නිසා කාමර තුළට පිවිසෙන්නේ රාත්‍රියට නිදා ගන්න විතරයි. ඒ වගේම හදිසි තත්වයන් වලදී කාමරවල උපකරණ සහ අංගයන් හකුලා ගැනීමට සහ එහා මෙහා කිරීමට හැකි වෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා.

වස්තූන් දෙකක් අතර දුර මනින්න “සෙක්ස්ටන්ට්” එකක් පාවිච්චි කරනවා. මේක ඉස්සර නාවික කටයුතු වලදි භාවිතා වුණු උපකරණයක්. මේ උපකරණයෙන් දුර තියෙන වස්තූන් ගැන නිරීක්ශනය කරන්න පුලුවන්. නැව තියෙන ස්ථානයේ අක්ශාංස ගණන දැන ගන්නත් මේ උපකරණය ප්‍රයෝජනවත් වෙනවා.

නාවික කටයුතු වලදී ඉස්සර දුර තියෙන වස්තූන් ගැන අධ්‍යනය කරන්න ප්‍රධාන වශයෙන් යොදා ගත්තෙ මේ වගේ දුරදක්න (Telescope). තනි ඇහැක් භාවිතා කරලා බලන්න පුලුවන් මේ උපකරණය කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා විවිධ වර්ග වලින් තිබිලා තියෙනවා.

රබර් වලින් නිෂ්පාදනය කරලා තියෙන හුළං පුරවපු මේ වගේ වෘත්තාකාර දිවි ගලවා ගැනීමේ කට්ටල සෑම යාත්‍රාවකම තියෙනවා. මුහුදට වැටුණු පුද්ගලයින් හට මේ වගේ කට්ටලයක් ලැබෙන්නට සැලැස්සුවොත්, වෘත්තාකාර කොටස තුළ හිර වී ආපසු නැවට ගොඩ ගන්නකං ඕනෑම වේලාවක් නොගිලී ජලයේ පාවී සිටීමේ හැකියාවක් ලැබෙනවා.

නාවික කටයුතු වලදී කරන සිතියම් අධ්‍යන වලදී යොදා ගත්තු කුඩා උපකරණයක් තමයි “මානසංදන්ශය” (Caliper) කියන්නෙ. සිතියමේ ස්ථාන සලකුණු කරන කොට උපකරණයේ අන්ත දෙක අදාළ ස්ථාන දෙකක පිහිටුවලා දුර මනින්න පුලුවන්.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.