පොළොන්නරු පරිහානිය, බිඳ වැටීම සහ රාජධානිය විතැන් වීම

පොළොන්නරු රාජධානිය
පොළොන්නරු රාජධානිය කියන්නෙ 1070 සිට 1232 වෙනකන් අපේ රටේ තිබුණු සිංහල රාජධානියටයි. සමහරක් අය පොළොන්නරු රාජධානිය අපේ රටේ තිබුණු දෙවෙනි රාජධානිය විදිහටත් හඳුන්වනවා. ඒත් තවමත් විජයාවතරණයට පෙර තිබුණු රාජධානි ගැන ක්‍රමවත් ගවේෂණයක් සිද්ධ වෙලා නැති නිසා පොළොන්නරු රාජධානිය අපේ රටේ තිබුණු දෙවෙනි රාජධානිය විදිහට හැඳින්වීම කොපමණ දුරට උචිතද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා පොළොන්නරු රාජධානිය, “විජයාවතරණයෙන් පසුව” අපේ රටේ නිර්මාණය වුණු දෙවෙනි රාජධානිය විදිහට හඳුන්වන්න පුලුවන්.

රාජ්‍යත්වයන් ගැන ලංකා ඉතිහාසයේ සඳහන් වෙන මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වගේ පුරුෂ චරිත වගේම ලීලාවතී, කළ්‍යාණවතී, සුගලා, මිත්තා වගේ කාන්තා චරිතත් අපට හමුවෙන්නෙ පොළොන්නරු රාජධානියෙනුයි.

කාලිංග මාඝ ආක්‍රමණය
පොළොන්නරු රාජධානියේ බිද වැටීමට හේතු වුණු සාධක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සාධක අතරින් ප්‍රධානතම සාධකය විදිහට ගැනෙන්නෙ ඉන්දියාවේ කාලිංග දේශයේ ඉදන් ආපු මාඝගේ ආක්‍රමණයයි. මේක තමයි “කාලිංග මාඝ” ආක්‍රමණය කියලා කියන්නෙ. 1215 අවුරුද්දෙ ඒ වෙනකොට අපේ රටේ රජකම් කළේ, ලීලාවතී බිසවව එලවලා අපේ රටේ බලය අල්ල ගත්ත, ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයෙන් ආපු පරාක්‍රම පාණ්ඩ්‍ය රජතුමයි.

පොළොන්නරු රාජධානි කාලයේ සමහරක් රජවරු ඉන්දියාවෙන් විවාහ සම්බන්ධතා ඇති කර ගත්ත නිසා, අපේ රටේ සිංහාසනය සම්බන්ධව ඉන්දියාවටත් උරුමකමක් ලැබුණා. එහෙම උරුමකම් කිව්වෙ ඉන්දියාවෙ කාලිංග වංශිකයන් සහ පාණ්ඩ්‍ය වංශිකයන්. ඉතින් එයාලා එයාලා අතරෙත් ගැටුම් ඇති වෙලා තියෙනවා. ඉතින් මාඝටත් අපේ රටේ සිංහාසනයට උරුමයක් තිබුණාය කියලා කියවෙනවා.

ඉතින් මහා රෑක 24 000ක ඉන්දීය හමුදාවක් එක්ක අපේ රටේ වෙරළට ගොඩ බහින මාඝගේ එකම අරමුණ වෙන්නෙ අපේ රටේ බලය අල්ල ගන්න එකයි. ආර්යය වංශිකයින්ගේ සංක්‍රමණයෙන් පස්සෙ අපේ රටට එල්ල වෙන විශාලතම, කෘරතම සහ දරුණුතම ආක්‍රමණය තමයි මාඝගේ ආක්‍රමණය. මාඝගේ ආක්‍රමණය කොයි වගේද කියලා පොළොන්නරුවේ පැරණි නගරය බලන්න ගියාම අපිට හිතාගන්න පුලුවන්.

මේ ආක්‍රමණය ගැන වංශ කතාවල තියෙන්නෙ “යකුන් නැටූ යුධ පිටියක් සේ විය” කියලයි. මාඝගේ හමුදාව ඒ තරමටම විනාශයක් අපේ රටට කළා. මාඝටත්, මාඝගේ හමුදාවටත් අපේ රටේ බලය අල්ල ගන්න ගියේ බොහොම පොඩි කාලයක්. ඊට පස්සෙ පරාක්‍රම පාණ්ඩ්‍ය රජතුමාගේ ඇස් අන්ධ කරලා, හිර කරලා, දස වධ දීලා, මාඝ අපේ රටේ සිංහාසනයේ ඉදගන්නවා.

ඊට පස්සෙ අපේ රටේ ප්‍රභූ මිනිස්සුන්ව, සිංහාසනයට උරුමකම් කියන අයව, හාමුදුරුවරුන්ව, සාමාන්‍ය මිනිස්සුන්ව දරුණු විදිහට මරාගෙන මරාගෙන මරාගෙන යන්න ගත්තා. ගොඩක් අයව මරලා තියෙන්නෙ දස වධ දීලා.

එතනින් නොනැවතුණු මාඝ, අපේ රටේ වැව් අමුණු ටික විනාශ කරන්න ගත්තා. පන්සල් සහ මිනිස්සුන්ගෙ ගෙවල් සම්පූර්ණයෙන්ම ගිනි තිබ්බා. පුස්තකාල වගේ වටිනා ගොඩනැගිලිත් සම්පූර්ණයෙන්ම බිමට සමතලා කරලා, මුළු පොළොන්නරුවම ගිනි තිබ්බා. ඒ වගේම මිනිස්සුන්ට හිරිහැර කළා. අසාධාරණ විදිහට කප්පම් එකතු කළා. මිනිස්සුන්ගෙ වස්තුව කොල්ල කන්න ගත්තා. සැප පහසු ගෙවල්වල ඉන්න අයව එලවලා, ඒ ගෙවල් මාඝට හිතවත් අයට පැවරුවා.

මාඝගේ වැව් අමුණු විනාශ කිරීමේ ප්‍රතිපත්තිය නිසා වතුර නැති වුණා. කෘෂි කර්මය කර ගන්න බැරි වුණා. කන්න නැති වුණා. මිනිස්සු බඩගින්නෙ මෙව්වා ගැනම හිත හිතා හිටියා, යුද්ධ කරන්නෙ නැතුව. ඒක නිසා අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා.

මාඝ බලෙන්ම කරපු තවත් කැත වැඩක් තමයි, සිංහල මිනිස්සුන්ව බලෙන්ම කාලිංගයේ මිනිස්සුන්ට විවාහ කරලා දීපු එක. එතකොට සිංහල සහ කාලිංගයන් අතරේ සම්මිශ්‍රණයක් හැදෙන නිසා, කිසිම කෙනෙක් අනාගතයේදී මාඝගේ පාලනයට විරුද්ධ වෙන එකක් නැති වෙයි කියලා හිතුවා. මේ අතරෙ සමහරක් සිංහල මිනිස්සු පුංචි පුංචි කණ්ඩායම් හදාගෙන මාඝට විරුද්ධව අරගල කළත්, ඒ එකක්වත් සාර්ථක වුණේ නෑ.

ඉතින් මාඝගේ කාලයේ අපේ රටේ ආර්ථිකයට අමතරව හැම දෙයකම පරිහාණිය සිද්ධ වෙන්න ගත්තා. දේශපාලනික අංශය අතින් ගත්තත්, ආගමික අංශය අතින් ගත්තත්, සංස්කෘතික අංශය අතින් ගත්තත්, සාමාජීය අංශයෙන් වුණත්…. මේ හැම දෙයක්ම කඩාගෙන වැටුණා.

මේ කරදර තවත් ඉවසන් ඉන්න බැරි වුණු, මාඝගේ හිරිහැරවලින් බේරිලා හිටපු ඔක්කොම මිනිස්සු, පොළොන්නරුවෙන් පැනලා යන්න පටන් ගත්තා. ඒ නිසා පොළොන්නරු රාජධානිය බිද වැටෙන්න බලපාපු ප්‍රධානතම කාරණාව විදිහට, කාලිංග මාඝ ආක්‍රමණය හදුන්වන්න පුලුවන්.

​ඊට අමතරව තවත් කාරණා කිහිපයක්ම තියෙනවා. මේවා ක්ෂණිකව ඇති වුණු සිද්ධීන් නෙවේ. දිගු කාලීන සාධකවලට ඇතුළත් වෙන දේවල්. ඒ කියන්නෙ පොළොන්නරු රාජධානිය ආරම්භ වුණු කාලයේ ඉදන්ම, කල්ප කාලාන්තරයක් තිස්සේ ටිකෙන් ටික පැවතුණු දේවල්. දැන් අපි ඒ කාරණාවන් ගැන අවධානය යොමු කරමු.

මහා පරාක්‍රමබාහු රජතුමාගේ සංඛේන්ද්‍රගත පාලනය
මහා පරාක්‍රමබාහු රජතුමා ගොඩ නගපු සංඛේන්ද්‍රගත පාලනය, ඒ විදිහටම පවත්වාගෙන යන්න කාර්යශූර පාලකයෙක් බිහි නොවීම තවත් හේතුවක් විදිහට දක්වන්න පුලුවන්. පරාක්‍රමබාහු සමය කියන්නෙ දේශපාලන, ආර්ථික සහ ආගමික කියන අංශ තුනටම වැදගත් කාලයක්. මේ කාලයේදී රටේ තිබුණු හැම අංශයක්ම පාලනය කළේ පරාක්‍රමබාහු රජතුමයි. ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය වගේම චතුරංගනී සේනාවේ ප්‍රධානියා වුණෙත් රජතුමයි.

ඒ නිසා සංඛේන්ද්‍රගත පාලනයකදි, ඒ පාලනයේ සාර්ථකත්වය රැදෙන්නෙ පාලකයාගේ ශක්තිය සහ හැකියාව මතයි. මේ වගේ පාලනයක් කරන්න පුළුවන් දක්ෂ කෙනෙක්ට විතරයි. අදක්ෂ කෙනෙක් පාලනය භාර ගත්තට, ඒ අයට කරන්න බෑ. ඉතින් පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ බලයට පත් වුණු පාලකයන්ට, මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුණේ නෑ.

පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ යුද්ධ ගණනාවක්ම සිද්ධ වුණා. ඒවා අතරින් රට එක්සේසත් කරන්න කරපු යුද්ධ මාලාව, බුරුම සහ ඉන්දියාව වගේ විදේශීය රටවල් එක්ක කරපු යුද්ධ හදුන්වන්න පුලුවන්. ඉතිහාසඥයන්ගේ මතයට අනුව, මේ යුද්ධවලට ගොඩක් සම්පත් වැය වෙලා තියෙනවා. විශේෂයෙන්ම විදේශීය රටක් ආක්‍රමණය කරනකොට නම් ගොඩක් සම්පත් වැය වෙනවා. පරාක්‍රමබාහු රජතුමාට ප්‍රබල නාවික හමුදාවක් එහෙම තිබිලා තියෙනවා. ඉතින් පොළොන්නරු ආර්ථිකයයේ පරිහානියට, පරාක්‍රමබාහු රජතුමාගේ මේ යුද්ධ ව්‍යාපාරත් බලපාලා තියෙනවා. ඒක හෙන ගහනවා වගේ එක පාරටම වුණු ආර්ථික පරිහානියක් නෙවේ. ක්‍රමිකව සිද්ධ වුණු දෙයක්.

​පරාක්‍රමබාහු රජතුමාට බුරුමය ආක්‍රමණය කරන්න හේතුවක් තිබුණා. ඒකෙන් අපිට ආර්ථික ප්‍රතිලාභයක් ලැබුණා. ඒත් පරාක්‍රමබාහු රජතුමාට දකුණු ඉන්දියාව ආක්‍රමණය කරන්න කිසිම හේතුවක් තිබුනෙ නෑ. ඒ නිසා ඉතිහාසඥයන්ගේ මතය අනුව පරාක්‍රමබාහු රජතුමාගේ මේ විදේශීය ආක්‍රමණ, ලාභයකට වඩා තමන්ගේ අභිමානය පෙන්වන්න කරපු දේවල්.

(මහා පරාක්‍රමබාහු රජතුමාගේ දකුණු ඉන්දීය ආක්‍රමණය, අපි විජයග්‍රහණය කළා කියලා අපේ සාහිත්‍ය මූලාශ්‍ර වල තිබුණත්, මහා පරාක්‍රමබාහු රජතුමාගේ දකුණු ඉන්දීය ආක්‍රමණය අසාර්ථක වුණා කියලා සඳහන් වෙන දකුණු ඉන්දීය සෙල්ලිපි දෙකක් හමුවෙලා තියෙනවා).


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මහා පරාක්‍රමබාහු රජතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති
පරාක්‍රමබාහු රජතුමාගේ ආර්ථික ප්‍රතිපත්තියත්, පොළොන්නරු යුගයේ පරිහානියට බලපාලා තියෙනවා. පරාක්‍රමබාහු යුගය කියන්නෙ මහා පරිමාණයේ වැව්, කුඩා වැව්, ඇළ වේලි දස දහස් ගණනින් නිර්මාණය වුණු යුගයක්. මේ වගේ විශාල වාරි ව්‍යාපෘති අපේ වගේ පුංචි රටකට ඔරොත්තු දෙන්නෙ නෑ කියන එකයි ඉතිහාසඥයන්ගෙ අදහස. මොකද ඕනම දෙයක් ඉදි කරනවට වඩා නඩත්තු කරන එක අමාරුයි. ඉතින් ඉදිකිරීම්වලට සහ නඩත්තු කිරීම්වලට ලොකු මුදලක් වැය වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රමාණය ඉක්මවා ඔරොත්තු නොදෙන තරමටම නිර්මාණය කරපු වැව් තොගය නිසා, ආර්ථිකය ක්‍රමිකව, නොදැනුවත්වම බිඳ වැටීමකට ලක් වෙන්න ඇති කියලා පිළිගැනීමක් තියෙනවා.

සෙනෙවිවරුගේ දූෂිත ප්‍රතිපත්තීන්
​පොළොන්නරු පරිහානියට බලපාපු තවත් කාරණාවක් විදිහට යුද්ධ සෙනෙවිවරු අරගෙන ගියපු දූෂිත ප්‍රතිපත්තිය හදුන්වන්න පුලුවන්. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ විශාල හමුදාවක් ගොඩ නැගුනා. මේ හමුදාව පාලනය කරන්නත් හමුදා නායකයන් ගොඩක් හිටියා. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී ඒ හමුදා නායකයන් සද්ධ වහලා හිටියට, රජතුමාගෙ මරණයෙන් පස්සෙ අන්තනෝමතික විදිහට දූෂිත ක්‍රියාදාමයක නිරත වුණා. සමහරක් දෙනා තම තමන්ට වාසිවෙන විදිහට, රූකඩයක් වගේ නටවන්න පුලුවන් පාලකයින්ව සිංහාසනයේ ඉන්දෙව්වා. මේ දූෂිත ප්‍රතිපත්තිත් පොළොන්නරු පරිහානියට බලපාලා තියෙනවා.

පාණ්ඩ්‍යයන් සහ කාලිංගයන් අතරේ වුණු බල අරගලය
​​මම ලිපියේ කලින් කිව්වා වගේම පොළොන්නරු පරිහානියට හේතු වුණු තවත් කාරණාවක් විදිහට පාණ්ඩ්‍යයන් සහ කාලිංගයන් අතරේ වුණු බල අරගලය හදුන්වන්න පුලුවන්. ඒ මම අර කලින් කිව්වා වගේම, ඉන්දියාවෙන් විවාහ සම්බන්ධතා ඇති කර ගැනීමේ ප්‍රතිපලයක්. සමහරක් පාණ්ඩ්‍යන් සහ කාලිංගයන්, ලංකාවේ සිංහාසනයේ තම තමන්ගේ බලය රැක ගන්න බැලුවා මිසක්, ඒ අය ලංකාව සමෘද්ධිමත් කරන්න බැලුවෙ නෑ. අනිත් අතට විදේශ සම්භවයක් තියෙන අය සිංහාසනයට පත්වීම නිසා ගොඩක් සිංහල මිනිස්සු අකමැත්තෙන් ඉදලා තියෙනවා. ඒ නිසා විදේශීය රජවරුන්ට විරුද්ධව ගොඩක් විරෝධතා සහ කැරලි විටින් විට ඇති වෙලා තියෙනවා.

දුර්වල පාලකයින් බලයට පත්වීම
තවත් කාරණාවක් විදිහට දුර්වල පාලකයින් බලයට පත්වීමත් නම් කරන්න පුලුවන්. පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ, නිශ්ශංකමල්ල රජතුමා හැරෙන්න අනිත් හැම රජ කෙනෙක්ම දුර්වල පාලකයෙක් වුණා. කලින් සදහන් කළා වගේම ගොඩක් සෙන්පතිවරු තමන්ට වාසිසහගත දුර්වල රූකඩ පාලකයින්ව සිංහාසනයේ වාඩි කරවලා, තම තමන්ට ඕන විදිහට නැටෙව්වා. ඊට පස්සෙ ඒ ඒ පාලකයො ක්‍රියාත්මක වුණෙත් ඒ ඒ සෙන්පතිවරුන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. මේ නිසා එයාලා බලය වෙනුවෙන් තරග කරනකොට, අපේ රටේ හැම අංශයක්ම බිද වැටිලා, අස්ථාවර වෙනවා.

වසංගත ලෙඩ රෝග ව්‍යාප්තිය
​පොළොන්නරු පරිහානියට හේතු වුණු තවත් කරුණු දෙකක් මතක් වෙනවා මේ වෙලාවෙ. එකක් තමයි වසංගත ලෙඩ රෝග ව්‍යාප්තිය. මේක මාඝගේ ආක්‍රමණය නිසා ඇති වුණු වක්‍ර ප්‍රතිපලයක්. මාඝගේ වැව් අමුණු විනාශ කිරීමේ වැඩපිළිවෙල නිසා, තැන තැන රැදුනු වතුර නිසා පාචනය, මැලේරියාව වගේ ලෙඩ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා කියලා මතයක් තියෙනවා.

අනිත් කාරණාව ඇහුවොත් නම් ඔයාලා ගොඩක් පුදුමවෙයි.

පස නිසරු වීම
අනිත් කාරණාව තමයි වගාව. අවුරුදු 1000ක් විතර අපේ මිනිස්සු ඒ පැති වල ඉදගෙන වගා කටයුතු කළා. වගාවට ඉර එළිය, ජලය සහ වාතය වගේම සරු පසකුත් ඕන. අපේ අය ඒ පැති වල වගා කළෙත් සරු පස නිසයි. ඒ වුණාට අවුරුදු 1000ක් තිස්සෙ වගා කරනකොට රජරට පස, නිසරු වෙන්න ගත්තා. ඉතින් ආහාර ප්‍රශ්නයක් ඇති වුණා. අනිත් අතට ආර්ථිකමය ප්‍රශ්නයක් ඇති වුණා. මේ කරුණත් රාජධානියේ පරිහානියට වක්‍රව බලපාලා තියෙනවා.

නිගමනය
​මේ කරුණු වලින් තහවුරු වෙන එක දෙයක් තමයි පොළොන්නරු රාජධානියේ පරිහානිය සිද්ධවෙලා තියෙන්නේ, මාඝගේ ආක්‍රමණයටත් සෑහෙන කාලෙකට කලින් කියන එක. මාඝගේ ආක්‍රමණයට කලින් ඉදන්ම ක්‍රමිකව, ටිකෙන් ටික, පරිහානියට ලක් වෙමින් තිබ්බ රාජධානිය, මාඝගේ ආක්‍රමණයත් එක්ක ඉක්මන් වෙලා තියෙනවා.

සිංහල රාජධානිය නිරිතදිගට විතැන් කිරීම
පොළොන්නරු රාජධානිය පරිහානියට ලක් වුණායින් පස්සෙ, සිංහල රාජධානිය නිරිතදිගට විතැන් වෙන්න ගත්තා. මුලින්ම දඹදෙනියටත්, දඹදෙනියෙන් පස්සෙ යාපහුවටත්, යාපහුවට පස්සෙ කුරුණෑගලටත්, කුරුණෑගලින් ගම්පලටත්, ඊට පස්සෙ කෝට්ටෙටත් ආදී වශයෙන් නිරිතදිගට විතැන් වුණා.

මේ විදිහට සිංහල රාජධානිය නිරිතදිගට විතැන් වෙන්න බලපාපු කරුණු, ප්‍රධාන වශයෙන් මාතෘකා දෙකකට බෙදන්න පුලුවන්.
01. රජරට ශිෂ්ටාචාරයේ පරිහානිය
02. නිරිතදිග ප්‍රදේශවල තිබූ යෝග්‍යතාව

නිරිතදිග ප්‍රදේශවල තිබුණු යෝග්‍යතාව කියන මාතෘකාව ගැන අවධානය යොමු කරනවා නම් නිරිතදිග ප්‍රදේශවල තිබුණු යෝග්‍යතාව, අධ්‍යනයේ පහසුවට අපිට මෙන්න මේ විදිහට කොටස් කරන්න පුලුවන්.
01. ආරක්ෂා සහිතවීම
02. බටහිර වෙරළේ වැදගත්කම
03. වෙළදභෝග අපනයන වෙළදපලට හුරුවීම
04. නිරිතදිග කුරුදු වගාව ව්‍යාප්තවීම
05. පහසු ජීවන ක්‍රම කෙරෙහි අවධානය යොමුවීම
06. සරු පස
07. සෞඛ්‍යයට හිතකරවීම

මේ කරුණු අනිත් පැත්ත හැරෙව්වොත්, ඒ ටික රජරට ශිෂ්ටාචාරයේ පරිහානියට හේතු වුණ කරුණුවලට ඇතුළත් කරන්නත් පුලුවන්.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

​රජරට පරිහානියත් එක්ක අපේ මිනිස්සුන්ට අවශ්‍ය වුණා, ආයිත් අලුත් ආරම්භයකින් ජීවිතය පටන් ගන්න. ඉතින් මේ ජීවන ගමන පටන් ගන්න හොදම ප්‍රදේශ පිහිටලා තියෙන්නෙ, අපේ රටේ නිරිතට වෙන්න කියලා, මෙයාලා හොයාගත්තා.

අනුරාධපුර සහ පොළොන්නරු රාජධානිවල අවසාන කාලයේදී, ඒ භූමි ප්‍රදේශ බොහොම අනාරක්ෂිත ප්‍රදේශ බවට පත් වුණා. අපේ රටට මන්නාරමින් ඇතුල් වුණත්, ගෝකණ්ණෙන් ඇතුල් වුණත්, දඹකොළ පටුනෙන් ඇතුල් වුණත්, විදේශීය ආක්‍රමණිකයන්ට බොහොම ලේසියෙන් රජරටට ඇතුල් වෙන්න පුලුවන් වුණා. ඒ නිසා රාජධානිය නිරිතට විතැන් කරනකොට, පාලකයො සහ සාමාන්‍ය මිනිස්සු ගොඩක්ම සැළකිලිමත් වුණේ රාජධානියේ ආරක්ෂාව ගැනයි. ඉතින් රාජධානි ගොඩනගන්න තෝරගත්තෙ ස්වභාවිකව ආරක්ෂා වුණු ප්‍රදේශයි.

මේකට හොදම උදාහරණය තමයි දඹදෙනි රාජධානිය. දඹදෙනි රාජධානිය කියන්නෙ තුන් පැත්තකින් වට වුණු රාජධානියක්. රාජධානියට ඇතුල් වෙන්න තිබුණෙ එක පැත්තකින් විතරයි. එතන ආරක්ෂාව තර කළාම, සතුරාට රාජධානියට ඇතුල් වෙන්න බෑ.

රජරට ආර්ථිකයේ අත්තිවාරම වුණේ ගොවිතැනයි. ඒත් වැව් අමුණු විනාශ කිරීමේ මාඝගේ ප්‍රතිපත්තිය නිසාත්, අවුරුදු දහස් ගාණක් තිස්සෙ ගොවිතැන් කරලා කරලා කරලා, රජරට පස නිසරුවීම නිසාත්, තැන තැන රැදුනු කැඩිලා ගිය වැව් අමුණුවල වතුරවලින් වසංගත ලෙඩ රෝග ව්‍යාප්තිය නිසාත් රජරට ආර්ථිකය බලාගෙන ඉන්න ගමන්ම කඩාගෙන වැටුණා. මේ නිසා මිනිස්සු ගොවිතැන් කරන්න හොද භූමියක් හෙව්වා. ගොවිතැන් කටයුතු කරන්න හොද පොළොවක්, නිරිත දිශාවෙ තියෙනවා කියලා මිනිස්සු හදුන ගත්තා. නිකං පොළොවක් නෙවේ, බොහොම සාරවත් පොළොවක්.

ඒ වගේම ගොවිතැන ඇරෙන්න, අනිත් වගා කටයුතු (වෙළදභෝග) එහෙමත් කරන්න පුලුවන් කියලත්, ඒ හරහා අපනයන කටයුතු කරන්න පුලුවන් කියලත් හදුනාගත්තා. විශේෂයෙන්ම කුරුදු වගාවට ගොඩක් හිතකර පරිසරයක් නිරිත ප්‍රදේශයේ තිබුණා. රාජධානියක පැවැත්ම තීරණය වෙන ප්‍රධාන සාධකයක් තමයි ආර්ථිකය කියන්නෙ. ඒ නිසා රජරට රාජධානිවලින් පස්සෙ, මිනිස්සු සිංහල රාජධානිය නිරිත දිශාවටම අරගෙන ගිහින්, නිරිත දිශාව එයාලගෙ කේන්ද්‍රස්ථානය කර ගත්තා.

විශේෂ ස්තූතිය
01. ගුරු මුෂ්ඨියකින් තොරව ඉතිහාසය ඉගැන්වීම වෙනුවෙන්, කොළඹ ආනන්ද විද්‍යාලයීය කලා අංශයේ හිටපු ඉතිහාසය විෂයභාර ආචාර්ය, නිමල් රණසිංහ ගුරු පියාණන් වෙත
02. ඉතිහාස ගැටළු නිරාකරණය කර ගැනීමට සහාය වීම වෙනුවෙන්, කැළණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ කථිකාචාර්ය හසිත ගුණසිංහ මහතා වෙත
03. ලිපිය සඳහා පොළොන්නරු පැරණි නගරයේ ඡායාරූප ලබා දීම වෙනුවෙන්, සඳමාලි නාගහවත්ත මහත්මිය වෙත

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.