පාකිස්ථානයේ නව හමුදාපතිවරයාට ඉම්රාන් ඛාන් සමග ඇති ගනුදෙනුව කුමක්ද?
2022 නොවැම්බර් 29 වනදා පාකිස්ථාන හමුදාපති ජෙනරාල් කමාර් ජාවෙඩ් බාජ්වා විශ්‍රාම ගැනීමට නියමිතයි. මේ අනුව නව හමුදාපතිවරයකු පත්වන අතර ලුතිනන් ජෙනරාල් ආසිම් මුනීර් ඒ සඳහා නම් කරනු ලැබ තිබෙනවා. ඔහුගේ පත්වීම අගමැති ෂබාස් ෂරීෆ් විසින් පසුගියදා තහවුරු කරනු ලැබුණා.
ලුතිනන් ජෙනරාල් ආසිම් මුනීර් යනු පාකිස්ථාන හමුදා ඉතිහාසයේ එක්තරා විශේෂිත චරිතයක්. එමෙන්ම වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය තුළ මුනීර්ගේ පත්වීම වැඩි පුදුමයක් ද වූයේ නැහැ. ඇත්තෙන්ම විශේෂඥයින් සමහරෙක් ඔහුගේ පත්වීම කලින්ම අනුමාන කර තිබුණා.
පාකිස්ථානයේ හමුදාපති තනතුර එරට දේශපාලනය සැලකීමේදී ඉතාම වැදගත් තනතුරක් වනවා. මක් නිසාද යත්, සිවිල් පාලනය කවුරුන් විසින් කළ ද යුධ හමුදාවට විශාල දේශපාලන, ආර්ථික බලයක් තිබෙන නිසයි. පාකිස්ථානයේ 1950 දශකයේ සිටම හමුදා පාලනයන් පැවතිය ද යුධ හමුදාව සතු දේශපාලන බලය සිවිල් පාලනය අභිබවා යන්නේ ජෙනරාල් සියා උල්-හක්ගේ පාලන සමය තුළදී යි.
ජෙනරාල් සියා උල්-හක් එරට දේශපාලනයෙහි කළ වෙනස්කම් කලාපයටම ඉතා වැදගත් වූ හෙයින් ඒ ගැන දැන සිටීම දකුණු ආසියාවේ දේශපාලනය හැදෑරීමේදී අත්‍යවශ්‍ය කරුණක් බව අපගේ හැඟීමයි. ඔබට සියා උල්-හක්ගේ බලපෑම පිළිබඳ මෙම වීඩියෝවෙන් කරුණු දැනගන්නට පුළුවන්.
වර්තමාන දේශපාලනය සැලකීමේදී අපට පෙනී යන කරුණ වන්නේ හිටපු වේග පන්දු යවන්නා ඉම්රාන් ඛාන් විසින් එවනු ලබන ප්‍රහාරාත්මක වේග පන්දු හමුවේ පාකිස්ථාන යුධ හමුදාව පසුපාදයේ ආරක්ෂාකාරීව ක්‍රීඩා කිරීමයි.
මෙය යුධ හමුදාව කාලයකට පසු ඉතාම අනාරක්ෂිත ස්වභාවයක් පෙන්නුම් කරන පළමු අවස්ථාවයි. ඔවුන් කෙතරම් අපහසුතාවයකට පත්ව සිටින්නේ ද කියතොත් පසුගිය දිනෙක පාකිස්ථානයේ ප්‍රධාන බුද්ධි සේවය වන ඉන්ටර්-සර්විසස් ඉන්ටෙලිජන්ස් (ISI) ප්‍රධානියා, එම ඔත්තු සේවයේ වසර 74 ක ඉතිහාසයේ පළමු වරට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ ඉම්රාන් වෙතින් එල්ල වන විවිධ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා යි.
ඉම්රාන් යුධ හමුදාවට තර්ජනයක් වූ අයුරු
ඉම්රාන් ඛාන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කරනු ලැබුණේ යුධ හමුදාව විසින් බව පැහැදිලි කරුණක්. යුධ හමුදාවට අවශ්‍ය වූයේ කෙළින්ම බලය අල්ලාගැනීමෙන් තොරව තමන්ට හිතවත් අයකු සිවිල් පාලනයට පත්කර දිගටම කටයුතු කරගෙන යාමයි.
2018 මහමැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ ජයග්‍රහණය පසුපස සිටි වැදගත් සාධකයන් අතර දූෂණ විරෝධය සහ සම්ප්‍රදායික දේශපාලනඥයන් කෙරේ වූ අප්‍රසාදය මෙන්ම යුධ හමුදාවේ සහය යන සාධකය ද තිබුණු බව ප්‍රකට රහසක්.
කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් බලයට පත්ව ස්වල්ප කලක් ගතවනවිට යුධ හමුදාවෙන් ස්වාධීනව කටයුතු කිරීමට වුණා. මෙහිදී ඔහු තමන් වටා ඒකරාශී කරගත් අනුගාමිකයන් ඉතා වැදගත් වූ බව පෙනී යනවා. ඔහු එම අනුගාමිකයන් ඒකරාශී කරගත්තේ ජනප්‍රියවාදී ඉස්ලාමීය මතවාදයක් ඔස්සේයි. එහෙයින් ඊට එරෙහි වීම ද පාකිස්ථාන යුධ හමුදාවට පහසු වූයේ නැහැ.
එමෙන්ම යුධ හමුදාව තුළ ද සැලකියයුතු පිරිසක් ඉස්ලාමීය නැඹුරුවකින් යුක්ත බව රහසක් නොවෙයි. මේ අනුව, වීදියේ බලය සහ යුධ හමුදාව තුළම වූ බෙදීම් හේතුවෙන් ඉම්රාන්ගේ තර්ජනය පරාජය කිරීම යුධ හමුදාවට පහසු වූයේ නැහැ.
ඉම්රාන් ඛාන් යුධ හමුදාව එළිපිටම විවේචනය කිරීමට පටන් ගත්තේ 2022 මුලදී ඔහුව බලයෙන් නෙරපීමට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී යි. මෙහිදී දෛවයේ සරදමකට මෙන්, පාකිස්ථාන යුධ හමුදාව ඔවුන්ගේ පැරණි එදිරිවාදීන් වූ නවාස් ෂරීෆ් පවුලේ සහ භූතෝ පවුලේ අය සමග එක කඳවුරේ සිටිනු දකින්නට ලැබුණා.
බලයෙන් ඉවත විසිවූ ඉම්රාන් ඉන් අනතුරුව සිය වාග් ප්‍රහාර තවත් දැඩි කළා. පාකිස්ථාන ආණ්ඩුව ඔහුගේ රැළිවල සජීවී විකාශ තහනම් කිරීම, ඔහුට මන්ත්‍රී ධුරය දැරීම තහනම් කිරීම උදෙසා අධිකරණය වෙත යාම, ඔහුගේ අනුගාමිකයන් අත්අඩංගුවට ගැනීම සහ හිරිහැර කිරීම ආදී විවිධ ක්‍රම මගින් ඔහුව මැඩලීමට උත්සුක වුණා. නමුත් ඒවායින් සිදුවූයේ ඉම්රාන්ගේ වීදියේ බලය තවත් ඉහළ නැගීම පමණයි. ඉම්රාන් ඝාතනයට නොබෝදා කළ උත්සාහය ද ඔහුව මර්ධනය කිරීමට වෙනත් ක්‍රමයක් නොමැති තැන ගත් පියවරක් වියහැකි යයි අනුමාන කෙරෙනවා.
නව හමුදාපති වැදගත් වන්නේ කෙසේද?
හමුදාපති ධුරය සඳහා පත්වීමට ඉඩකඩ තිබූ නිලධාරීන් පස්දෙනකු පමණ වූ අතර ලුතිනන් ජෙනරාල් ආසිම් මුනීර් ඉන් ජ්‍යේෂ්ඨතම නිලධාරියා වුණා. ඔහු නොවැම්බර් 27 වනදා විශ්‍රාම ගන්නට නියමිත වූ අතර ඔහුට සේවා දිගුවක් ලබා දීමෙන් පසු හමුදාපති ලෙස පත්කෙරෙනු ඇති.
ආසිම් මුනීර් පාකිස්ථාන යුධ හමුදා බුද්ධි අංශයේ සහ ISI බුද්ධි සේවයේ යන දෙකෙහිම අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ විරල පුද්ගලයින් අතුරින් කෙනෙක් වනවා.
වත්මන් දේශපාලනයට ඔහු වඩා වැදගත් වන්නේ ඔහුගේ දේශපාලනික නැඹුරුව නිසයි. ඔහු ඉම්රාන් ඛාන් කෙරේ විරෝධයෙන් පසුවන්නෙක් මෙන්ම ජෙනරාල් බාජ්වාට සමීප අයෙක් ලෙස ප්‍රකටයි.
ඉම්රාන්ගේ පාලන සමයේ මුල් කාලයේ ISI ප්‍රධානියා ලෙස පත්වූ ආසිම් මුනීර් 2019 ජූනි මාසයේ දී එම තනතුරෙන් ඉවත් කෙරුණේ ඉම්රාන්ගේ අවශ්‍යතාවය මත බව ප්‍රකට කරුණක්.
ඊට හේතු වූයේ ඉම්රාන්ට සමීප සමහරුන් විසින් සිදුකළ බව කියන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ඉම්රාන් වෙත වාර්තා කිරීමයි. එයින් අප්‍රසාදයට පත්වූ ඉම්රාන් ඛාන් ආසිම් මුනීර්ව තනතුරෙන් ඉවත් කරන ලෙස නියෝග කර තිබුණා.
ඉම්රාන් සහ යුධ හමුදා නායකත්වය අතර ගැටුම්වල මුල ද මෙම සිද්ධිය බව විශ්වාස කෙරෙනවා. මේ අනුව ඉම්රාන්ගෙන් එල්ල වන අභියෝගයට මුහුණදීමට සුදුසුම නිලධාරියා ආසිම් මුනීර් බව යුධ හමුදා නායකත්වය සහ දේශපාලන නායකත්වය පිළිගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා.
ලුතිනන් ජෙනරාල් ආසිම් මුනීර් කුරානය කටපාඩමින් දැන සිටින, ආගමික නැඹුරුවකින් යුක්ත අයකු ලෙස ද ප්‍රකටව සිටිනවා. ඔහු ආගමික අන්තවාදියකු බවට කිසිදු සාධකයක් නැහැ. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රධානීත්වය යටතේ පාකිස්ථාන යුධ හමුදාවේ ආගමික නැඹුරුව තවත් වැඩිදියුණු වියහැකි බවට අනුමාන කළ හැකියි.
එවන් තත්ත්වයක් තුළ කාශ්මීරය පිළිබඳ අර්බුදය මෙන්ම අභ්‍යන්තර පාකිස්ථාන දේශපාලනය ද කිනම් ආකාරයෙන් හැසිරේද යන්න විමසිල්ලෙන් නිරීක්ෂණය කළ යුතු කරුණක් වනවා.
@elearninglk