Alarm එක

“ට්‍රිං ට්‍රිං …. ට්‍රිං ටිං….”

“එලාම් එක නේද? අපොයි… තව ටිකක් නිදාගන්න ඕන. අපරාදේ මගේ ලස්සන හීනේ…”

උදේට එලාම් එකේ සද්දේ ජිවිතේ එපා කරපුම සද්දේ නේද? මන් හිතනවා මං නිවැරදියි කියල‍ා. අපි උදේට ඒ එලාම් එකේ සද්දේ ඇහුනම ඒක Off කරලා අයිත් අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා. අපිට උදේ අවදී වූ සැනින් අපිට තවත් නිදා ගන්නවාද? නැත්තන් අලුත් විදියට අලුත් මනසින් අවදිවීම කරනවාද කියලා දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. ඔබ නිසැකවම තෝරාගන්නේ තව ටිකක් නිදාගන්න එක නම් අදම වෙනස් වෙන්න. ඔබ ගන්න ඒ තීරණ දෙකෙන් ඔබ කවුද කියලා අදුරගන්න පුළුවන්.

ඔබ ඔබ ගැන දැක්ක හීන ඉටු කරගන්න නම් අනිවාර්යයෙන්ම උදෙන්ම අවදි වෙලා අද දවස Plan කරන්න, ධනාත්මක හිතලා උදෙන්ම නැගිටින්න පුළුවන් නම් දවස කොච්චර ලස්සන කරගන්න පුළුවන්ද කියලා ඔයාලා හිතුවද? ඊයේ රෑ ඔබ කීයට නිදාගත්තද, උදේ පන්දර අවදිවන්න. සාර්ථකත්වයට යන ගමනේදී අළුයම පිබිදී වැඩ කටයුතු ආරම්භ කිරිම ඉතාමත් වැදගත්.

ලොව දිනූ සාර්ථකම මිනිස්සු තමන්ගේ රාජකාරී ආරම්භ කර ඇත්තේ බ්‍රහ්ම මුහුර්තයෙනි. ඇයි මේ උදෙන්ම අවදි වන්න මෙච්චර කියන්නේ මේ උදේ වරුව කියන්නේ මිනිසාට ලැබුණු වරමක්. වැඩීම ශක්තියක් ජනනය වන්නේ මේ උදේ වරුවේදිය. ඔබට ඔබගේ ශක්තියෙන් 100% ක්ම ඵලදායිත්වය ලබා ගන්න පුළුවන් මේ උදේ වරුවේ වැඩ ආරම්භ කළොත් පමණයි.

උදාහරණයක් කිව්වොත් ඔබ ඉගෙන ගන්න වයසක ඉන්න කෙනෙක් නම් ඔබට පාඩම් වැඩ සදහා සුදුසුම වේලාව වෙන්නේ උදේ පාන්දර 3.00 – 6.00ත් අතර කාලයයි. ඒ වෙලාවේදී අවදිව පාඩම් කළොත් ඒ සියළුම විෂය කරුණු ඔබට හොදින් මතක තියෙනවා අනිවාර්යයෙන්ම. ඉගෙන ගන්න කාලයේදී අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර පාඩම් කළත් මතක හිටින්නෑ කියන එක. ඒකට මේ ක්‍රමය භාවිතා කරලා බලන්නකෝ. අනිවාර්යයෙන්ම පාඩම් මතක හිටිනවා. භාහිර ශබ්ද අඩු නිසා මනස කුලප්පු කරන්න සාධක ඇතිවන්නේ නෑ. නිදහස් මනසින් ඔබට ඔබේ පාඩම් වැඩ කරගන්න පුළුවන්.

ඔබ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩා කටයුතු කෙරෙහි ඇල්මක් තියෙන කෙනෙක් නම් උදේ පාන්දරම පුහුණුවිම් කරන්න පටන් ගන්නකෝ. ඔබට අනිවාර්යයෙන්ම හොද ප්‍රතිඵලයක් ලැබෙනු ඇත. ඔබ අදින චිත්‍රය සාර්ථකය ඇදලා ඉවර කරන්න පුළුවන් වෙන්නේ නිදහස් මනසින් ඒ කාර්යය වෙනුවෙන් පැයක් හෝ සුළු කාලයක් වැය කරමින් කරනු ලබන පුහුණුවිම් තුළින්ය.

තවත් දෙයක් තමයි ගෙදර උදෙන්ම අවදි වෙන්නේ කවුද? ඒ තමයි අපේ අම්මා. ලොවට කලින් මුළුතැන්ගෙට වැඩිය හිරූ අපේ අම්මා. උදේ පාන්දර අම්මා අම්මාගේ වැඩ කීයක් නම් වේලාවටත් කලින් ඉටු කරනවාද? අපේ අම්මාත් දවල් වෙනකම් නිදා ගත්තොත් කොහොමට තියෙවිද කියලා චුට්ටක් හිතුවද? එහෙම උනොත් ගෙදර එදාට ලෝක යුද්ධයක් නේ. තාත්තා, දුවලා, පුතාලා මේ සියල්ලන්ගේම දවසම අවුල් වෙනවා නේද? අම්මා පොඩ්ඩක් උදේට පරක්කු වුනොත්. ඉතින් පොඩ්ඩක් හිතුනද අම්මාට අම්මා තුළ තියෙන ශක්තිය ඉස්මතු කරගන්න උදෙන්ම අවදිවෙන නිසා ලේසියි කියලා.

ලෝකයේ අද යම් ස්ථාවරයක් ගොඩනාගාගෙන ඉන්න බොහෝමයක් උදේ වැඩ පටන්ගන්නේ උදේ පාන්දර කියලා මං ඔයාලාට කිව්වොත් ඔයා පිළිගන්නවද? නෑනේ. ඇයි දෙයියනේ. මේච්චර ලොකු තැනකට ගිහිල්ලත් මොකටද මේ පාන්දර ඇහැරගෙන දුක් විදින්නේ කියලා නේද දැන් ඉතින් මගෙන් අහන්නේ? ඔව් ඇත්තටම ඕනෑම දෙයක් වේලාසන සැලසුම් කරලා ක්‍රියාවට නංවන්න පුළුවන් ශක්තියක් මේ උදේ වරුව අපිට සලසා දෙනවා.

ලෝක ප්‍රසිද්ධ ඇමරිකාවේ General Motorsහි සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිය වන Mary Teresa මහත්මිය උදේ 6.00 ඉදන් තම රාජකාරි අසුනේ ඉදගෙන වැඩ ආරම්භ කරනවා. ඒ වගේම තමයි ලෝකයේ බලවත්ම කන්තාවන් සියය අතර දහතුන් වෙනියා විදියට ඉන්න Pepsi සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිය වන Indra Nooyi Krishnamurthy උදේ 4.00ට අවදි වෙනවා. ඇය කිසිම දවසක උදේ 7.00 පසුවී ඇගේ කාර්යාලයට නම් යන්නේ නෑ.මේ උදාහරණ කිහිපයක් පමණයි. මෙවැනි චරිත ගණනාවක් ගැන අපිට කතා කරන්න පුළුවන්.

ඔයාලාටත් පුළුවන් උදෙන්ම අවදි වෙන්න. මං ඔයාලාට පොඩි උදව්වක් කරන්නම්. මේ පුංච් ක්‍රම ටික අත්හදා බලන්නකෝ. වෙනසක් වෙනවා අනිවාර්යයෙන්ම.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

පළමු ක්‍රමය
දවස ගානේ ඔයාගේ එලාම් එක මිනිත්තු 10ක් ඉස්සරහට ගන්න. උදේ 4.00ට නැගිටන්න අවශ්‍ය කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන්නේ පළවෙනි දවසේ උදේ 5ට නැගිටින්න එලාම් එක තියන්න. ඊළග දිනයේ 4.50 ට එලාම් එක තියන්න මේ විදියට දවස් 6ක් කරන්න. ඊළග දිනයේදී ඔබට උදේ 4.00ට අනිවාර්යයෙන්ම ඇහැරෙනවා.

දෙවන ක්‍රමය
එලාම් එකට නැගිට්ටම ඔයාටම ඔයා තෑග්ගක් දෙන්න. ඔයා උදේම ඇහැරුනම පොඩි වගුවක් වගේ එකක් හදලා තරුවක් අලවන්න. සතිය අවසානයේදී ඔයාම ඔයාට පොඩි තෑග්ගක් දෙන්න. ඒක ඇත්තටම ඔයාට ඔයාගෙන්ම ලැබෙන ප්‍රශාංසාවක්. මෙය ඔබේ යටි සිත බලගන්වන හොද උපක්‍රමයක් වෙයි ඔයාට.

තුන්වන ක්‍රමය
උදේම නැගිටලා පාඩම් කරන්න කැමති යාළුවෝ කිහිප දෙනෙක් එක්ක පුංචි Group එකක් හදන්න. මෙම ක්‍රමයේදී අනිවාර්යයෙන්ම පස් දෙනෙකුට වඩා අඩු පිරිසක් යොදාගැනිම මෙන්ම ඔවුනුත් ඔබේ කාලසටහනට සමාන කාලසටහනක් අනුගමනය කරන අය වීම වඩාත් සුදුසුයි. ඔයා උදෙන්ම අවදී වූ විගස අනිත් අයට Good Morning කියලා Call කරන්න. වෙන කිසිම දෙයක් කතා කරන්න යන්න එපා. එහෙම අනිත් අයත් අවදි වෙලා නේද කියලා දැනුනම ඔයාටත් වැඩ කරන්න ආසාවක් ඇති වෙනවා. මේකත් හොද උපක්‍රමයක් ඔයාට.

තවත් ක්‍රම රාශියක් තියෙනවා අපිට මේ උදේ පාන්දර අවදිවන්න හුරුවෙන්න. දැනට මේ ක්‍රම තුන ප්‍රායෝගිකව පුහුණු කරන්න. එතකොට ඔයාටත් උදේම අවදි වෙන්න කම්මැලි හිතෙන එකක් නෑ. උදෑසන අවදි වෙන ඔයාලාට අනෙක් හැම දිනකටම වඩා එදා දවස තුළ තමන්ගේ දවසේ තමන්ට තිබුනු සැලසුම් සියල්ලම සාර්ථක කරගන්න පුළුවන් වෙයි. වෙනදා කලබලයෙන් කරන දේවල්, කාලයක් අරන් සැලසුම් කරලා කරන්න පුළුවන් නිසා ඔයාටම තේරෙයි සැබෑම වෙනසක්.

ඉලක්ක හඹා යන ඔබ සැමට ඒ ඒ සැලසුම්, ඉලක්ක වෙනුවෙන් යෙදවීමට අමතර කාලයකුත් මෙයින් හිමි වෙනව‍‍ා. නැවුම් මනසින් දවස සැලසුම් කරන්න වැඩ කරන්න ඔබට හැකියාව ලැබේ. මේ ලිපිය කියවීම තුළින් ඔයාලාත් දෙයක් ඉගෙන ගෙන තමන්ගේ ඉලක්ක වෙත යන්න. කම්මැලි නොවී උදෙන්ම අවදි වෙලා ජිවිතේ අළුත් පිටුවක් පෙරළන්න.

ඔබට ජය…!

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....